දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග

ඡායාරූප මූලාශ්‍රය, Deshabandu Tennakoon
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (මාර්තු 11 වැනිදා) විවෘත වරෙන්තු නිකුත් කළේ ය.
මේ වන විට දේශබන්දු තෙන්නකෝන් අනිවාර්ය නිවාඩු යවා ඇත.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, සැකකාර හිටපු පොලිස්පතිවරයා සැඟව ඇතැයි සැක කරන ස්ථාන 10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව ය.
ඊට අමතරව, බුද්ධි නිලධාරීන් යොදවා තවත් ස්ථාන 18ක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටිය ද, ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ නිලධාරීන් එමනිසා ඔහු අත්අඩංගුවට ගැනිමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
ඒ අනුව, ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, සැඟව සිටින හිටපු පොලිස්පතිවරයා දුටු තැන අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විවෘත වරෙන්තු නිකුත් කළේ ය.
මීට පෙර අධිකරණය නිකුත් කළ නියෝගය
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය (පෙබරවාරි 28 වැනිදා) නියෝග කළේ ය.
මීට වසරකට පමණ පෙර සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ අවසානයේ මෙය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ ය.
මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයකට මීට වසරකට පමණ පෙර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, වැලිගම හෝටලයක් ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ ය.
'2023 දෙසැම්බර් 31 දින වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට, වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට පත් වුණා.'
''මෙම සිදුවීමට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව (පෙබරවාරි 28) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළා. එහිදී වැලිගම පොලිස් ස්ථානයට අනියුක්ත නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීම පුද්ගලික ආරක්ෂාව අයිතියේ පිහිටා සිදුකළ එකක් බවත්, එම නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අධිකරණය දැනුම් දී තිබෙනවා.''
''කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම ස්ථානයට යොමු කිරීම නීත්‍යනුකූල නොවන ලෙස සිදුකර ඇති බවත්, ඒ අනුව මේ ස්ථානයට පැමිණි නිලධාරීන් සහ එවකට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත යි," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
වැලිගම සිදුවූ වෙඩි තැබීම කුමක් ද?
වැලිගම පැලෑන ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටලයකට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබන බවට 2023 දෙසැම්බර් 31 වන දා අලුයම් කාලයේදී වැලිගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව අදාළ සුදු වෑන් රථයෙන් පැමිණි පිරිස පළාගොස් තිබිණි.
වැලිගම පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඉමදූව අධිවේගී පිවිසුමේදී අදාළ සුදු වෑන් රථය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු වෙඩි වැදී තුවාල සහිතව සුදු වෑන් රථයේ සිටි දෙදෙනෙකු 1990 ගිලන් රථ සේවය මගින් කරාපිටිය රෝහලට යොමු කළ අතර එහිදී වෙඩි වැදී සිටි එක් පුද්ගලයෙකු මියගොස් තිබිණි. ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ සැරයන් උපුල් කුමාර නමැති 46 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බව පසුව අනාවරණය විය.
අනෙක් පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ උපපොලිස් පරීක්‍ෂකවරයෙකු බව අනාවරණය වූ අතර වෙඩි වැදුණු තුවාල සහිතව සිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.
'හරක් කටා' සහ 'මිදිගම රුවන්' නමැත්තන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයින් කොටු කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය 'යුක්තිය මෙහෙයුම' යටතේ කළ වැටලීමකදී මෙම සිද්ධිය වූ බව පසුව අනාවරණය කෙරුණු අතර වැලිගම පොලිසියේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ ඥාතීන්ට හිටපු මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පසු අවස්ථාවකදී රුපියල් ලක්ෂ 42ක මුදලක් වන්දි වශයෙන් දුන් බව ද අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් මතුවු කරුණු මත විමර්ශන කටයුතු දකුණු පළාතේ පොලිස් ස්ථානවලින් ඉවත් කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණු අතර සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තා රහස් පොලිස් නිලධාරීහූ අධිකරණයට ඉදිරිපත් කළහ.
සිද්ධියට අදාළව වසරකට අධික කාලයක් පුරා කළ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේ ය.














