ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජකීය තනතුරු අවභාවිත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් චාර්ල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩෲ මුදා හරී
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
රාජකීය තනතුරු අවභාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජුගේ සොහොයුරෙකු වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් මුදා හැර තිබේ. නමුත් විමර්ශන තවමත් සිදුවෙමින් පවතී.
තේම්ස් වැලී පොලිසිය විසින් බ්‍රහස්පතින්දා උදෑසන (පෙබ. 20) ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර එදින ඔහුගේ 66 වන උපන් දිනය ද යෙදී තිබිණි.
ඇන්ඩෲ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් III චාල්ස් රජු පැවසුවේ "නීතිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතු" බව ත් "පොලිසියට තම පූර්ණ සහය ලැබෙන" බව ත් ය.
ජීවිතක්ෂයට පත් ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන් සමග ඇන්ඩෲගේ සම්බන්ධය පිළිබඳව ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සලකා බලමින් සිටින බවත්, ඔහු රහස්‍ය තොරතුරු බෙදාගත් බවට එල්ල වන චෝදනා සමාලෝචනය කරමින් සිටින බවත් පොලිසිය මීට පෙර පවසා තිබිණි.
පොලිස් නිවේදනය
ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තේම්ස් වැලී පොලිසිය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.
(උපුටා ගැනීම)
"විමර්ශනයේ කොටසක් ලෙස, අද (19/2) රාජකීය තනතුර අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් සැකපිට නෝර්ෆෝක්හි වයස අවුරුදු 60 ගණනක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බර්ක්ෂයර් සහ නෝර්ෆෝක්හි ලිපිනයන් සෝදිසි කරමින් සිටී."
"මේ වන විට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවේ."
"ජාතික මග පෙන්වීම අනුව අපි අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නම හෙළි නොකරන්නෙමු. අධිකරණයට අපහාසයක් වීම වළක්වා ගැනීම සඳහා ඕනෑ ම ප්‍රකාශනයක් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු ය."
සහකාර ප්‍රධාන කොස්තාපල් ඔලිවර් රයිට් මෙසේ පැවසීය: "සම්පූර්ණ තක්සේරුවකින් පසුව, තනතුර අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපි දැන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තෙමු."
"මෙම චෝදනාවට ලක්වූ වරද විමර්ශනය කිරීම සඳහා අපගේ හවුල්කරුවන් සමග කටයුතු කරන විට අපගේ විමර්ශනයේ අඛණ්ඩතාව සහ විෂයට අදාළ කරුණු ආරක්ෂා කිරීම වැදගත් වේ.
"මෙම සිද්ධියට අදාළව ඇති සැලකිය යුතු මහජන උනන්දුව අපි තේරුම්ගෙන ඇති අතර, සුදුසු වේලාවට යාවත්කාලීන කිරීම් නිකුත් කරන්නෙමු." (උපුටා ගැනීම අවසන්)
එප්ස්ටීන් ලිපිගොනුවලින් ඇන්ඩෲ ගැන අනාවරණය වූ කරුණු
මෑතකදී ප්‍රසිද්ධියට පත් කළ නවතම එප්ස්ටීන් ලිපිගොනු නිකුතුවට, ඇන්ඩෲ මවුන්ට්බැටන්–වින්ඩ්සර් බිම වැතිර සිටින කාන්තාවකගේ සිරුර මත දණ ගසාගෙන සිටින ආකාරය පෙන්වන ඡායාරූප කිහිපයක් ද ඇතුළත් විය.
ඡායාරූප දෙකක ඇන්ඩෲ, අනන්‍යතාව හඳුනා ගත නොහැකි සම්පූර්ණයෙන් ම ඇඳුම් ඇඳ සිටින කාන්තාවකගේ උදරය ප්‍රදේශය ස්පර්ශ කරන ආකාරය දක්නට ලැබේ. තවත් ඡායාරූපයක ඔහු ඍජුව කැමරාව දෙස බලා සිටින ආකාරය දැක්වේ.
මෙම ඡායාරූප සම්බන්ධයෙන් කිසිදු පසුබිම් තොරතුරක් ලබා දී නොමැති අතර, ඒවා ලබා ගත්තේ කවදා ද හෝ කොහේදී ද යන්න පැහැදිලි නොමැත.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා බීබීසී පුවත් සේවය මවුන්ට්බැටන්–වින්ඩ්සර් අමතා ඇත. කිසිදු වැරදි ක්‍රියාවක් නොකළ බව ඔහු දිගින් දිගට ම පවසයි.