ඉන්දියාවේ සති පූජාව තහනම් කිරීමේ සටන ජයගත් හැටි

Lord William Bentinck

ඡායාරූප මූලාශ්‍රය, Kean Collection

ඡායාරූප ශීර්ෂ වැකිය, විලියම් බෙන්ටින්ක් සාමිවරයා 1829 දී සතිය තහනම් කළ නමුත්, පසුව එම නීතිය බාල කෙරිණි

1829 වර්ෂයේ දෙසැම්බරයේ දී, බ්‍රිතාන්‍ය ඉන්දියාවේ පළමු අග්‍රාණ්ඩුකාරවරයා වූ විලියම් බෙන්ටින්ක් සාමිවරයා, වැන්දඹුවන් ඔවුන්ගේ සැමියාගේ දැවෙන චිතකයට පැන දිවි තොරකර ගැනීමේ පෞරාණික හින්දු චාරිත්‍රය වූ 'සති' පූජාව තහනම් කළේ ය.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 49 දෙනෙකුගෙන් හා විනිසුරන් පස්දෙනෙකුගෙන් අදහස් විමසූ එකල බෙංගාලයේ අග්‍රාණ්ඩුකාරවරයා වූ බෙන්ටින්ක්, "බ්‍රිතාන්‍ය පාලනය මත ඇති අපිරිසිදු පැල්ලමක් සෝදා හැරීමට" කාලය පැමිණ ඇතැ යි ඒත්තු ගෙන සිටියේ ය. ඔහුගේ රෙගුලාසි මඟින්, සති පූජාව "මනුෂ්‍ය ස්වභාවයේ හැඟීම්වලට පිළිකුල් දනවන"බවත්, එය බොහෝ හින්දූන් ද කම්පනයට පත්කරනබවත්, "අනීතික හා අසත්පුරුෂ"බවත් ප්‍රකාශ කෙරින.

හින්දු වැන්දඹුවක් පිළිස්සීමට "උදව් හා අනුබල දීම" සම්බන්ධයෙන් වරදකරුවූවන්, "එම පරිත්‍යාගය [වැන්දඹුවගේ] පාර්ශවයෙන් ස්වකැමැත්තෙන් සිදුකෙරුන ද" අනියම් මිනීමැරුමකට වරදකරු වනබවට රෙගුලාසිවලින් ප්‍රකාශවිය. එමඟින්, "මත්කර සිටි හා එනිසාවෙන් සිය නිදහස් කැමැත්ත භාවිතා කෙරුමට නොහැකිව සිටි" වැන්දඹුවන් පුළුස්සා දැමීමට බලහත්කාරයෙන් කටයුතු කළ හෝ සහාය දුන්නන්ට මරණ දඬුවම ලබාදීම සඳහා අධිකරණයන් බලගැන්වීය.

බෙන්ටින්ක්ගේ නීතිය, සති පූජාවට එරෙහිව සමාජ ව්‍යාපාර සිදුකළ ප්‍රමුඛ ඉන්දීය ප්‍රතිසංස්කරණවාදීන් විසින් නිර්දේශිත, වඩාත් ක්‍රමානුකූලව එම සිරිත මුලිනුපුටා දැමීමේ ක්‍රමයට වඩා අනුල්ලංඝනීය විය. මෙම නීතිය හඳුන්වාදීමෙන් පසු, රාජා රාම්මෝහන් රෝයි විසින් නායකත්වය දුන් කීර්තිමත් හින්දූහු 300 දෙනෙක්, "හිතාමතා කාන්තාවන් ඝාතනය කරනා මිනීමරුවන් ලෙස [ඔවුන්ගේ] චරිතයට ඈඳී ඇති දැඩි අපකීර්තියෙන් [ඔවුන්] සදාකාලිකව ගලවා ගැනීම" සම්බන්ධයෙන් බෙන්ටින්ක්ට ස්තුති කළෝ ය.

සාම්ප්‍රදායික හින්දූහු ඊට විරුද්ධවෙමින් බෙන්ටින්ක් වෙත පෙත්සමක් ඉදිරිපත් කළහ. පඬිවරුන් හා ශුද්ධ ග්‍රන්ථ උපුටා දැක්වූ ඔවුහු, සතිය "ආගම යටතේ අත්‍යවශ්‍යක රාජකාරියක්" නොවනබව පවසමින් ඔහුගේ කටයුත්තට අභියෝග කළහ. නමුත් බෙන්ටින්ක් නොසැලුණි. පෙත්සම්කරුවෝ, බ්‍රිතාන්‍ය යටත්විජිතයන්හි අවසන් අධිකරණය මෙන් වූ ප්‍රිවි කවුන්සිලයට ගියහ. 1832 දී කවුන්සිලය බෙන්ටින්ක්ගේ රෙගුලාසි අනුමත කරමින්, සතිය "සමාජයට එරෙහි අතිශය නින්දිත අපරාධයක්" ලෙස ප්‍රකාශ කළේ ය.

Engraving by Poisson after a painting by Pierre Sonnerat (1748-1814), showing the custom of Suttee or Sati

ඡායාරූප මූලාශ්‍රය, Science & Society Picture Library / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශ ගවේශක පියෑර් සොනරාට්ගේ ඉන්දියාවේ සති චාරිත්‍රය පෙන්වන සිතුවමක්

"1829 රෙගුලාසිවල තිබුණු නිදහසට කරුණු නොදෙන අන්දමේ සටන්කාමීබව, සමහර විට අවුරුදු 190ක යටත්විජිත පාලනය තුළ දී සාම්ප්‍රදායික හැඟීම්වලට කිසිම ඉඩකඩක් ලබා නොදී සමාජීය නීති සම්පාදනයක් සිදුකළ එකම අවස්ථාව වෙන්න පුළුවන්," ඉන්දියාවේ කුල ක්‍රමයේ නීතිමය ඉතිහාසය අධ්‍යයනය කරනා 'කාස්ට් ප්‍රයිඩ්' (කුල ගර්වය) නම් නව ග්‍රන්ථයේ කතුවර මනෝජ් මිත්තා ලියයි.

එසේම, "ගාන්ධි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව ප්‍රසිද්ධියේ සදාචාරාත්මක පීඩනයක් ඇති කරන්න කලින්, බෙන්ටින්ක් ඒ බලවේගයම සති පූජාවට නිසර්ග වුණු කුලය සහ ලිංගික අගතීන්ට එරෙහිව භාවිත කළා," මිත්තා සටහන් කරයි.

"යටත්විජිතකරණයට ලක්වූවන් පරිහානියට පත්කළ මේ එක් ස්වදේශික සිරිත අපරාධයක්බවට පත් කිරීම මඟින්, යටත්විජිතකරුවා සදාචාරය සඳහා ලකුණක් දිනාගත්තා," ඔහු ලියයි.

තෝමස් මැකෝලේ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නමුත් 1837 දී බෙන්ටින්ක්ගේ නීතිය තවත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ද, ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ රචකයා වූ ද තෝමස් මැකෝලේ අතින් බාල කෙරිණි. මැකෝලේගේ කියවීමට අනුව, යමෙකු චිතකය දැල්වූයේ වැන්දඹුවගේ ඉල්ලීමට අනුවබව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට ඔහුට හැකි නම්, ඔහුට සරල දඬුවමක් ලබා ගැලවීමට ඉඩකඩ සැලසුණි. තමාවම දවාගන්නා කාන්තාවන් එය "ආගමික නියමය පිළිබඳ දැඩි හැඟීමකින් හෝ, ඇතැම්විට ගෞරවය පිළිබඳ දැඩි හැඟීමකින්" අභිප්‍රේරණයක් ලබනු හැකිබව ඔහු කෙටුම්පතක සටහන්කර ඇත.

මැකෝලේ සති පූජාව වෙත දැක්වූ "සානුකම්පිත ආස්ථානය" ඉන් දශක ගණනකට පසු සිටි බ්‍රිතාන්‍ය පාලකයින්ට ගැලපුණුබව මිත්තා ප්‍රකාශ කරයි.

මැකෝලේගේ කෙටුම්පත භාවිතයට ගැනුනේ සෙපෝයි කැරැල්ලෙන් පසුබැව් මිත්තා ලියයි. 1857 දී, 'සෙපෝයි' ලෙසින් ද හැඳින්වුණු ස්වදේශික හින්දු හා මුස්ලිම් සොල්දාදුවෝ, ඔවුන්ගේ ආගම් විසින් තහනම්ව ඇති සත්ත්ව මේදය තුවක්කු කාට්රිජවලට ආලේපකර ඇතැ යි යන භීතිය නිසාවෙන් බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට එරෙහිව කැරලි ගැසූහ. අනතුරුව, කැරැල්ලේ "ප්‍රධාන භූමිකාවක් ඉටුකළ උසස්-කුල හින්දූන් සතුටු කිරීමේ යටත්විජිත උපායමාර්ගයට ගැලපෙන නිසාවෙන්" බාලකරන ලද රෙගුලාසිය නීති පොතට ඇතුළත්විය.

Hands commemorating women who killed themselves on the pyre of their husbands on the walls of the Mehrangarh Fort in Jodhpur, Rajasthan, India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජස්ථානයේ බලකොටුවක බිත්ති මත, සති පූජාව සිදුකළ කාන්තාවන් සිහිපත් කිරීමට ලකුණුකර ඇති අත් සලකුණු

1862 වසරේ රෙගුලාසියක් මඟින්, සති පූජාව අනියම් මිනීමැරුමක් ලෙස සලකා දඬුවම්දීමටත්, අනෙකුත් බරපතල සිදුවීම්වල දී මරණ දඬුවම ලබාදීමටත් හැකිවන පරිදි පනවා තිබූ දණ්ඩ නීති විධිවිධානයන් අවලංගු කෙරිණි. එසේම, වින්දිතයා ඇගේ සැමියාගේ අවමංගල උත්සවයේ දී සිය දිවිය අවසන් කිරීමට කැමැත්ත ලබා දී තිබුණේයැ යි පැවසීමට මෙමඟින් චූදිතයාට ඉඩ සැලසුණු අතර, එවිට එය ඝාතනයකට වඩා සියදිවි නසාගැනීමක් ලෙස සලකනු ලැබුණි.

සති නීතිය බාල කිරීම "සමාජ නීති සම්පාදනයට එරෙහිව ඉදිරිපත් වන මැසිවිලිවලට ප්‍රතිචාරයක්බව" මිත්තා ලියයි. මෙම 'සමාජ නීති සම්පාදනය' සඳහා උදාහරණ ලෙස සති පූජාව තහනම් කිරීම, කුලයෙන් පිටමං කෙරුණු සහ ඇදහිල්ල අත්හළ හින්දූන්ට පවුලේ දේපොළවල අයිතිය හිමිවන පරිදි 1850 දී ගෙන ආ නීතියක්, සහ සියලු වැන්දඹුවන්ට නැවතත් විවාහවීමට අවසරදෙමින් 1856 දී ගෙන ආ නීතියක් ආදිය පෙන්විය හැකි ය.

උසස්-කුල හින්දු සොල්දාදුවන්

නමුත් සැර බාලකරන ලද නීතියක් ගෙන ඒමට හේතුවූ ආසන්නතම ප්‍රේරකය වූයේ, තුවක්කු කාට්‍රිජ ගව මේදය මඟින් ලිහිසිකර ඇතැ යි පළවූ වාර්තා නිසා "උසස්-කුල හින්දු සොල්දාදුවන් අතර ඇතිවූ දැඩි කෝපය" යි.

1829 සිට 1862 දක්වා කාලය තුළ සති පූජාව නම් අපරාධය මනුෂ්‍ය ඝාතනයක සිට සියදිවි නසාගැනීමට අනුබලදීම දක්වා තත්ත්වයෙන් පහත හෙළනු ලැබුණි. "1829 දී ඉඳන් අඩුවෙන් පිළිපැද්දත්, ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දී, විශේෂයෙන්ම උසස් කුල අතර සති පූජාව වීරකමක් විදියට, ගෞරවයෙන් යුතුව සැලකුණා," මිත්තා පවසයි.

මෝතිලාල් නේරු

නමුත්, ඉන්දියානු ජාතික කොංග්‍රසයට එකතු වී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ඉල්ලූ ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ නීතීඥයෙකු හා දේශපාලකයෙකු වූ මෝතිලාල් නේරු කුතුහලාත්මක පෙරළියක් ඇති කරමින්, 1913 දී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සති පූජාව සම්බන්ධ නඩුවක විත්තිකාර උසස්-කුල පිරිමින් සයදෙනෙකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ය.

Photograph of Motilal Nehru (1861-1931)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1913 දී, නීතීඥයෙකු සහ දේශපාලනඥයෙකු වූ මෝතිලාල් නේරු සති පූජා චෝදනාවට ලක්වූ මිනිසුන් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටියේ ය

එම චිතකය "වැන්දඹුවගේ පතිවෘතාවේ පවිත්‍රතාව නිසා ආශ්චර්යමත් ලෙස ඉබේ ඇවිලුණුබව" අදාළ පිරිමින් විසින් ප්‍රකාශවිය. නමුත් දේව මැදිහත්වීමක් පිළිබඳ මතය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් සිද්ධිය වසන් කිරීමට ගත් උත්සාහය හෙළා දුටු අතර, සියදිවි නසාගැනීමකට අනුබල දීමේ චෝදනාවට අදාළ පිරිමින් වැරදිකරුවන්බව තීරණය කළේ ය. ඔවුන්ගෙන් දෙදෙනෙකුට සිව් වසරක සිර දඬුවම් නියම කෙරිණි.

රජීව් ගාන්ධි

ඉන් වසර 70කට වැඩි කලකට පසු, සති පූජා කතාන්දරයේ අවසාන පෙරළිය සිදුවිය. 1987 දී, මෝතිලාල් නේරුගේ මී මුණුබුරු වූ රජීව් ගාන්ධිගේ නායකත්වය යටතේ මෙහෙයවුණු රජය, "[සති පූජාව] උත්කර්ෂයට නැංවීම" ප්‍රථම වරට අපරාධ වරදක්බවට පත්කළ නීතියක් ක්‍රියාවට නැංවීය. මෙමඟින්, සතියට සහාය දුන්, සාධාරණීකරණය කළ හෝ ව්‍යාප්ත කළ පුද්ගලයින්ට වසර හතක් දක්වා දඬුවම් දිය හැකිවිය. එම නීතිය මඟින් සතිය නැවතත් ඝාතනයක් ලෙස හැඳින්වූ අතර එයට අනුබල දුන්නන්ට මරණ දඬුවම ලබාදීම යළි හඳුන්වා දුන්නේ ය.

මෙම පියවර ගනු ලැබුණේ, ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්තයක් වන රාජස්ථානයේ කුඩා ගම්මානයක නවයෞවන මනාලියක වූ රූප් කන්වර් සම්බන්ධයෙන් වාර්තා වූ ඉන්දියාවේ අවසන් සති පූජාව හේතුවෙන් සමාජයේ ඇතිවූ කෝපය නිසාවෙනි. මිත්තා සටහන් කරන පරිදි, 1947 දී නිදහස ලැබීමෙන් පසු ඉන්දියාව තුළ නිල වශයෙන් වාර්තා වූ 41 වැනි සති පූජාව මෙය යි.

රජීව් ගාන්ධිගේ නීතියේ ප්‍රස්තාවනාව බෙන්ටින්ක්ගේ රෙගුලාසියෙන් උපුටා ගන්නා ලද්දකි. "ඒක යටත්විජිතකරණයෙන් මිදුණු රටක්, නොදැනුවත්වම හෝ, එහි යටත්විජිතකරුවන්ට සිදුකරන ලද උපහාර පිදුමක්," මිත්තා පවසයි.