ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස්වූ ලාංකිකයින්ට මව්රටට පැමිණිය හැකි ද?

Nalini Rajeev Gandhi assassination

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන් දඩුවම් විඳිමින් සිටි සයදෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය ශේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. එලෙස නිදහස් වූ සයදෙනාගෙන් සිව්දෙනෙකු ලාංකික පුරවැසියන් වේ. 

නලිනිගේ සැමියා වන මුරුගන් නොහොත් ශ්‍රීහරන්, ශාන්තන්, රොබට් පයස් සහ ජෙයකුමාර් යන අය ලාංකිකයන් ය.

මොවුන්ගෙන් ශාන්තන් සහ මුරුගන් සතුව ලාංකික විදෙස් ගමන් බලපත්‍ර ද තිබේ.

රොබට් පයස් සහ ජෙයකුමාර් 1990 වසරේ තමිල්නාඩුව වෙත ගොස් එහි සරණාගතභාවය ලත් අය වෙති.

දෙමළ කොටි සංවිධානය ලංකාව තුළ තහනම් කර ඇති පසුබිමක, එම සංවිධානයේ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ ලාංකිකයන්ට නැවත මව්රටට පැමිණිය හැකි ද යන ගැටලු‍ව මේ වන විට පැන නැගී ඇත.

ලංකාවට පැමිණිය හැකි ද?

මෙම නඩුවෙන් නිදහස ලද ලාංකිකයන්ට නැවත මෙරටට පැමිණීමට හැකියාවක් පවතින්නේ ද, මොවුන් මෙරටට පැමිණියහොත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් ලෙස සලකා ලංකා රජය අත්අඩංගුවට ගනී ද යන්න BBC දෙමළ සේවය නීති විශාරදයින්ගෙන් විමසා සිටියේ ය.

මෙහිදී පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මෙසේ පැවසීය: “ඒ අයට ලංකාවට එන්න කිසිම බාධාවක් නැහැ. ඔවුන් සතුව විදේශ ගමන් බලපත්‍ර තියෙනවා නම්, වීසා තියෙනවා නම් අනිවාර්යයෙන් ලංකාවට එන්න පුළුවන්. එහෙත් මොකක් හෝ වරදක් සම්බන්ධයෙන් චූදිතයෙක් හෝ සැකකරුවෙක් ලෙස ලැයිස්තුගත කර තිබෙනවා නම් ඔවුන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්.” 

ලංකාවේ තහනම් කරන ලද සංවිධානයක් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන නිදහස ලබා සිටින පිරිස එම චෝදනාව යටතේ අත්අඩංගුවට ගත හැකි ද යන්න ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වාගෙන් අපි විමසීමු.

“එම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න බැහැ. ලංකාවේ කුමක් හෝ වරදක් කරලා තිබිය යුතු යි. උදාහරණයක් විදිහට විමුක්ති කොටි සංවිධානයට මුදල් ලබා දීම, වෙනත් අයුරකින් සහාය වීම යන කරුණු පදනම් කරගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්,” ඔහු පිළිතුරු දුන්නේ ය.

මානව හිමිකම් කොමිසමේ මතය කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අපි මෙම පැනයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති නීතිඥ ප්‍රතිභා මහානාම හේවා වෙත යොමුකළෙමු.

“ඔවුන්ට ලංකාවට එන්න පුළුවන්. ලංකාව තුළ කොටි සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක්. මොවුන් එහි සාමාජිකයන් නම්, ඒ සමාජිකයන් ලෙස අසාදු ලේඛනගත කරලා තියෙනවා. මොවුන් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන් කියලා සැක කරන පිරිස් විතරයි. කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සමාජිකයන් කියලා හඳුනගෙන නැහැ. 

"නඩුවකින් නිදොස්කොට නිදහස් කළ අය කියන්නේ, ඔවුන්ගේ දඬුවම අහෝසි කරලයි නිදහස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන්ට මූලික අයිතිවාසිකම් තියෙනවා. ලාංකික පුරවැසියෙකුට ඕනෑම වෙලාවකට ලංකාවට එන්න පුළුවන්, ඕනෑම මොහොතක රටින් පිට වෙන්නත් පුළුවන් කියලා 14 වන වගන්තියේ සටහන් කරලා තියෙනවා. වෙනත් වැරදි කරලා තිබුණා නම් අත්අඩංගුවට ගන්න පුළුවන්. එහෙත් වෙනත් වැරදි නැහැ. ඒ කියන්නේ අත්අඩංගුවට ගන්න බැහැ,” නීතිඥ ප්‍රතිභා මහානාමහේවා අවධාරණය කළේ ය.

මේ අතර මොවුන් සිව්දෙනා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් බව තහවුරු කිරීම තුළින් ඔවුන්ගේ ජීවිතයට ගැටලු‍වක් මතු විය හැකියැ යි ප්‍රවීණ නීති විශාරද ඉලයතම්බි තම්බයියා BBC දෙමළ පුවත් සේවය සමග පැවසීය.

සැකයක් මතුකරන නීතිඥවරයා

“එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙක් විදිහට ඉඳලා මෙම ප්‍රහාරය සිදුකරන්න උදව් කළා කියලයි චෝදනා පත්‍රය ගොනු කරලා තියෙන්නේ. ඔවුන්ට ගැටලු‍වක් තියෙනවා. විමුක්ති කොටි සංවිධානය කියන්නේ තහනම් සංවිධානයක්. ලංකා රජය ඒ තහනම ඉවත් කරන්න ඕනේ. සමහර නම් ලංකා රජය පසුගියදා අසාදු ලේඛනයෙන් ඉවත් කළා. මොවුන්ගේ නම් ඒ ලැයිස්තුවේ තිබුණොතින් ඒක අයින් කරන්න ඕනේ. ඉන්දියාවෙත් එයාලාට ගැටලු‍වක් තියෙනවා.

"ඔවුන්ව කඳවුරකට යවලා තියෙනවා. ඒ අයට ඉන්දියාව තුළ නිදහස් ඇවිදින්න අවසර නැහැ. ඒ රටේ පුරවැසියන් නොවන නිසයි කඳවුරකට යවලා තියෙන්නේ.

"එහෙත් ඉන්දියාව වීසා ලබා දෙනවා නම් ඔවුන්ට එහෙ ඉන්න පුළුවන්. රටින් පිටුවහල් කළත් ලංකාව භාරගනියි ද කියලා ප්‍රශ්නය මතුවෙනවා. අපි ලංකාවට යන්න කැමති නැහැ, ඒ නිසා අපට වීසා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප වුණොත් එරට අධිකරණයට යන්න පුළුවන්. මොවුන්ට එන්න ලංකා රජය අනුමැතිය දුන්නොත් කිසිම ප්‍රශ්නයක් නැහැ,” නීතිඥ ඉලයතම්බි තම්බයියා ප්‍රකාශ කළේ ය.