ඉන්දියාව: නාගයෙක් මිනිස් ඝාතනයක ආයුධයක් බවට පත් වූ විට

Uthra
ඡායාරූප ශීර්ෂ වැකිය, උත්‍රා

නාගයෙකු දෂ්ට කරවීමෙන් සිය බිරිඳ ඝාතනය කිරීමේ වරදට ඉන්දියානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා ද්විත්ව සිර දඬුවමක් නියම කර තිබේ. අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා ද්විත්ව සිර දඬුවමක් නියම කිරීමක් සිදුවන්නේ ඉතා කලාතුරකිනි.

ඉතාමත් දරුණු මිනීමැරුමකට තුඩු දුන් සිදුවීම් පෙළ එකට එක් කර සම්පූර්ණ කතාව වාර්තා කිරීමට බීබීසී මාධ්‍යවේදීන් වන සෞතික් බිස්වාස් සහ අෂ්රෆ් පදන්නා ක්‍රියා කළහ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී, 28 හැවිරිදි සුරාජ් කුමාර්, ලෝකයේ වඩාත් විෂ සහිත උරගයෙක් ලෙස හඳුනාගෙන ඇති නාගයෙකු සඳහා ඉන්දියානු රුපියල් 7,000 ක් ගෙවා තිබිණි.

ඉන්දියාවේ සර්ප වෙළඳාම නීති විරෝධීය. එබැවින්, සුරේෂ් කුමාර් යන කේරල ප්‍රාන්තයේ සර්පයන් අල්ලා ගන්නෙකුගෙන් සුරාජ් මෙම නාගයා රහසිගත ලෙස මිලදී ගෙන තිබේ.

නාගයා ප්ලාස්ටික් භාජනයකට දමා වාතය ගලා ඒම සඳහා සිදුරක් ද සාදා ඔහු එය තම නිවසට රැගෙන ගොස් තිබේ.

Sooraj Kumar and hiw wife Uthra at their wedding
ඡායාරූප ශීර්ෂ වැකිය, සුරාජ් කුමාර් සහ උත්‍රා ඔවුන්ගේ විවාහය දින

දින 13කට පසු සුරාජ් එම භාජනය මල්ලක දමාගෙන කිලෝමීටර 44ක් එපිටින් පිහිටි ඔහුගේ බිරිඳගේ දෙමාපියන්ගේ නිවස වෙත අමාරුවෙන් ඇවිදගියේය. ඔහුගේ බිරිඳ උත්‍රා ඒ වනවිට සිය මහගෙදර නැවතී 'අද්භූත' සර්ප දෂ්ඨ කිරීමකින් සුවය ලබමින් සිටියාය.

ඉන්දියාවේ වාර්ෂිකව සිදු වන දහස් ගණනක් මරණවලට වගකිව යුතු පාංශු වර්ණ ඉතා විෂඝෝර සර්පයෙකු වූ රසල් පොළඟකු ඇය නිවසේ සිටියදී කකුලට දෂ්ට කර තිබේ. දින 52ක රෝහලේ ගත කළ කාලය තුළ උත්‍රාගේ තුවාල වූ කකුල සුව කිරීම සඳහා ශල්‍යකර්ම තුනක් සිදු කර තිබිණි.

මැයි 6 වෙනි දින රාත්‍රියේ, නිද්‍රා ඖෂධ යෙදූ පලතුරු යුෂ වීදුරුවක් සුරාජ් සිය බිරිඳ උත්‍රාට ලබා දුන් බව අපරාධ විමර්ශකයෝ පවසති.

ඇය එය පානය කර මොහොතකකට පසු දැඩි නින්දකට වැටිණි. ඉන්පසු සුරාජ් සර්පයා සිටින භාජනය පිටතට ගෙනැවිත් එය උඩු යටිකුරු කර නිදා සිටි බිරිඳගේ ඇඟ මතට සෙන්ටිමීටර 152ක් දිග නාගයා විසි කළේය.

Indian spectacled cobra

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම නාගයා, ලොව විෂඝෝරම සර්පයෙකි

සර්පයා ඉවතට විසිවිය. සුරාජ් සර්පයා ඔසවා උත්‍රා දෙසට නැවත විසි කළේය.

නාගයා යළිත් ඇය මතින් ලිස්සා වැටිණි. සුරාජ් තෙවෙනි වරටත් උත්සාහ කළේය. ඔහු උරගයාගේ හිසෙන් අල්ලාගෙන උත්‍රාගේ වම් අතට තද කළේය.

උරණ වී සිටි නාගයා මුඛයේ ඉදිරිපස දළ භාවිතා කර ඇයට දෙවරක් දෂ්ට කළේය. පසුව ඌ කාමරයේ තිබූ රාක්කයකට ඇදී ගිය අතර, මුළු රාත්‍රිය පුරාම එහි රැඳී සිටියේය.

"ඔබ කුපිත කළේ නැත්නම් නාගයින් සපා කන්නේ නැහැ. උගේ ඔලුවෙන් අල්ලාගෙන බිරිඳව සපා කෑමට බල කිරීමට සුරාජ්ට සිද්ධ වෙලා තිබෙනවා," යනුවෙන් උරග විශේෂඥයෙකු වන මාවීෂ් කුමාර් පැවසීය.

සුරාජ් පසුව යුෂ වීදුරුව සෝදා දමා, සර්පයාව හැසිරවීමට භාවිත කළ සැරයටිය විනාශ කර ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ ඇමතුම් වාර්තා ද මකා දැමූ බව විමර්ශකයෝ පවසති.

පසුදා උදෑසන උත්‍රාගේ මව කාමරයට ඇතුළු වූ විට "කට ඇරගෙන වම් අත එක පැත්තක එල්ලෙමින්" තම දියණිය ඇඳේ වැතිරී සිටිනු දුටු බව ඈ පොලීසියට පවසා තිබිණි.

සුරාජ් ද කාමරයේ සිටි බව ඇය පැවසුවාය.

The room where Suraj and Utra slept on the night of the crime at Utra's house in Anchal. Utra was lying on the bed on the left

ඡායාරූප මූලාශ්‍රය, Sreedhar Lal

ඡායාරූප ශීර්ෂ වැකිය, උත්‍රා මරා දැමූ මෙම කාමරයේ ඇය නිදා සිටියේ වම්පස ඇඳ මතය

"ඇය අවදි වී ඇත්දැයි ඔයා බැලුවේ නැත්තේ ඇයි?," මනිමේඛලා විජයන් සිය බෑනාගෙන් විමසීය.

"එයාගේ නින්දට බාධා කරන්න මට ඕනේ වුණේ නැහැ," සුරාජ් ඇයට පැවසීය.

පවුලේ අය උත්‍රා රෝහලට ගෙන ගිය අතර, විෂක් හේතුවෙන් ඇය මියගොස් ඇති බව පැවසූ වෛද්‍යවරු ඒ ගැන පොලිසියට දැනුම් දී ඇත.

ඇයගේ වම් යටි බාහුවේ අඟලකටත් වඩා අඩු දුරකින් සිදුරු සහිත තුවාල දෙකක් දක්නට ලැබුණු බව මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වේ. රුධිරයේ සහ බඩවැල් කොටස්වල නාග විෂ සහ නිද්‍රා ඖෂධ තිබෙන බව ද හෙළිවිය. නාග විෂ මගින් ශ්වසන මාංශ පේශිවල අංශභාග තත්ත්වයක් ඇති වීම හේතුවෙන් පැය කීපයකින් මිය යා හැකිය.

උත්‍රාගේ දෙමව්පියන්ගේ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඔහුගේ බිරිඳගේ අසාමාන්‍යය මරණය සම්බන්ධයෙන් මැයි 24 දින සුරාජ් අත්අඩංගුවට ගත්තේය.

දින 78ක පරීක්ෂණයකින් පසු සහ පිටු දහසකට වැඩි ගණනක චෝදනා පත්‍රයක් සමඟ නඩු විභාගය ආරම්භ විය.

උරග විශේෂඥයන්, වෛද්‍යවරුන් ඇතුළු 90 කට වැඩි පිරිසක් සාක්ෂි ලබා දුන්හ. සුරාජ්ගේ දුරකථන ඇමතුම් වාර්තා, අන්තර්ජාල සෙවුම් ඉතිහාසය, පසුපස මිදුලෙන් ගොඩගත් මියගිය නාගයා, පවුලේ මෝටර් රථය තුළ තිබූ නිද්‍රා ඖෂධ සහ ඔහු එක් සර්පයෙකු නොව දෙදෙනෙකුම මිලදී ගත් බවට සාක්ෂි උපයෝගී කරගනිමින් පැමිණිල්ල නඩුව ගොනු කර තිබිණි.

උත්‍රා මිය යාමට මාස දෙකකට පමණ පෙර ඇයව සපා කෑ රසල් පොළඟා ද සුරාජ් මිලදී ගෙන ඇති බව විමර්ශකයෝ සොයා ගත්හ.

සර්පයින් අල්ලා ගත් සුරේෂ්, සර්පයින් දෙදෙනාම සුරාජ්ට විකිණූ බවට පාපොච්චාරණය කළේය.

යුවළ නිදා සිටි කාමරයේ ඉහලින් ඇති විවෘත කර තිබූ ජනේලයකින් නාගයෙකු ඇතුළු වීම බොහෝ දුරට සිදු නොවූවක් බව උරග විශේෂඥයෙකු අධිකරණයට පැවසීය.

Police found the vessel in which Suraj had brought the snake to kill Uthra during the taking of evidence

ඡායාරූප මූලාශ්‍රය, Sreedhar Lal

ඡායාරූප ශීර්ෂ වැකිය, සුරාජ් තම බිරිඳ ඝාතනය කිරීමට යොදාගත් නාගයා ළඟ තබාගෙන සිටි ප්ලාස්ටික් භාජනය පොලිසිය සොයා ගත්තේය

සජීවී නාගයෙකු, සර්පයන් හසුරුවන්නෙකු සහ ඇඳ මත සිටි වින්දිතයා හා සමාන ඩමියක් භාවිත කරමින් අපරාධ ස්ථානය ප්‍රතිනිර්මාණය කරන ලදී.

"නාගයන් රෑට එතරම් ක්‍රියාශීලි නැහැ. අපි උඩු යටිකුරු වූ ඩමිය මතට නාගයෙකු දැමූ සෑම අවස්ථාවකම ඌ බිමට ලිස්සා ගොස් කාමරයේ අඳුරු කෙලවරකට ගියා" මාවීෂ් කුමාර් පැවසීය.

"අපි නාගයා කුපිත කළ විට පවා ඌ දෂ්ට කිරීමට උත්සාහ කළේ නැහැ."

පසුව ඔහු එක් නාගයෙකුගේ ගෙල අල්ලාගෙන ඩමියේ ප්ලාස්ටික් බාහුවේ බැඳ තිබූ කුකුළු මස් කැබැල්ලකට දෂ්ට කිරීමට "පෙළඹවීය."

එය උත්‍රාගේ බාහුවේ තිබූ දෂ්ට කිරීමෙන් ඇති වූ තුවාල ලකුණු අතර දුරට සමාන විය.

මෙම මස ආරම්භයේ දී සුරාජ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ විනිසුරු එම් මනෝජ් සඳහන් කළේ, "මෙය ඉතා දුෂ්ට හා දරුණු ලෙස තම බිරිඳ ඝාතනය කිරීමක්," යනුවෙනි.

ඔහු පැවසුවේ "සැකයක් ඇති නොකර" උත්‍රා මරා දැමීමට සුරාජ් සැලසුම් කළ බවත් "එය අහම්බෙන් සිදු වූ නාගයකුගේ දෂ්ට කිරීමකින් සිදු වූ මරණයක් ලෙස පෙන්වීමට උත්සාහ ගෙන ඇති" බවත්ය.

නාගයෙකු දෂ්ට කරවීම, මාස හතරක් තුළදී උත්‍රා ඝාතනය කිරීමට සුරාජ් ගත් තුන්වන උත්සාහය බව විමර්ශකයන් සොයා ගෙන ඇත.

ප්‍රාදේශීය බැංකුවක මුදල් එකතු කිරීමේ නියෝජිතයෙකු ලෙස සේවය කළ සුරාජ්ට පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී සර්පයන් අල්ලා ගන්නා සුරේෂ් හමුවී ඇති අතර, ඔහුගෙන් ඉන්දියානු රුපියල් 10,000කට පොළඟා මිලදී ගෙන ඇත.

ඔහු සර්පයා ප්ලාස්ටික් භාජනයකට දමා ගෙන ගෙදර ගෙනැවිත් මඩුවක දර ගොඩක සඟවා තැබීය.

පෙබරවාරි 27 දා සුරාජ් සර්පයා තම නිවසේ ඉහළ මහලට මුදා හැර ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනය රැගෙන ඒමට එහි යන ලෙස බිරිඳගෙන් ඉල්ලීමක් කළේය.

නිවසේ කිරිගරුඬ පොළොව මත සර්පයා ගුලි වී සිටින ආකාරය දැක උත්‍රා කෑ ගසා ඇති බව ඇයගේ මව පොලිසියට පැවසුවාය. සුරාජ් ඇවිත් සර්පයාව කෝටුවකින් ඔසවාගෙන නිවසින් පිටතට ගියේය. ඉන්පසු ඔහු සර්පයාව නැවත ප්ලාස්ටික් භාජනයට දැමීය.

මාර්තු 2 දා රාත්‍රියේ දී සුරාජ් නැවත උත්සාහ කළේය. ඔහු තම බිරිඳගේ පුඩිංවලට නිද්‍රා ඖෂධ දැමූ අතර, ඇය නිදා සිටියදී පොළඟා නිදන කාමරයට මුදා හැරියේය.

Uthra's house

ඡායාරූප මූලාශ්‍රය, Sreedhar lal

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ඝාතනය සිදු වී ඇත්තේ කොලම් දිස්ත්‍රික්කයේ මෙම නිවසේ බිම් මහලේය

විමර්ශකයන් පවසන පරිදි, මිනිත්තු කීපයකට පසු උත්තරා වේදනාවෙන් කෑගසමින් අවදි වී තිබිණි. සර්පයා ඇයගේ දකුණු පාදයට දෂ්ට කර ඇති අතර, පසුව සුරාජ් ඌ ජනේලයෙන් ඉවතට විසි කර ඇත.

"කේරළයේ සර්ප දෂ්ට කිරීම් බහුලව සිද්ධ වෙනවා. ඒ නිසා මෙතන කිසිම අපරාධයක් සිද්ධ වෙන බවට අපි සැක කළේ නැහැ" යනුවෙන් උත්‍රාගේ පියා වන විජයසේනන් විද්‍යාධරන් පැවසීය. (ඉන්දියාවේ සර්ප දෂ්ටකිරීම් මඟින් සෑම වසරකම පුද්ගලයෝ 60,000ක් පමණ මිය යති).

දැඩි සත්කාර ලබා දෙන රෝහලක් සොයා ගැනීමට එදින රාත්‍රියේ පැය දෙකකට වඩා ගත විය. උත්‍රා ඉදිමීමෙන් සහ අභ්‍යන්තර ලේ ගැලීමකින් ද පීඩා වින්දාය.

සම බද්ධ කිරීමේ සැත්කම් තුනකින් පසු, ඇය විවේක ගැනීම සඳහා 'කොලාම්හි' ගම්මානයක පිහිටි දෙමාපියන්ගේ දෙමහල් නිවසට පැමිණියාය.

සුරාජ් තම පුත්‍රයා සහ දෙමාපියන් සමඟ පතානම්තිට්ටාවේ පිහිටි ඔහුගේ නිවසේ නැවතී සිටියේය.

"ඔහුගේ බිරිඳ රෝහලේ සිටියදී සුරාජ් සර්පයන් හැසිරවීම සහ සර්ප විෂ ගැන ඉගෙන ගැනීමට අන්තර්ජාලයේ සැරිසරමින් සිටියා," විමර්ශකයෙකු වන අනූප් ක්‍රිෂ්ණා පැවසීය.

තවත් විසකුරු සර්පයෙකු අල්ලා ගත් විට ඔහුට දන්වන ලෙස සුරාජ්, සුරේෂ් කුමාර්ට පවසා තිබිණි.

විමර්ශකයින් පවසන්නේ 2019 දී සුරාජ් ඔහුගේ පුතා ධෘව්ගේ උපතේ සිටම මෙම ඝාතනය සැලසුම් කර ඇති බවය.

අන්තර්ජාලයේ ප්‍රසිද්ධ එම ප්‍රදේශයේ සිටින සර්ප හසුරුවන්නෙකුගේ නාලිකාවක් ඇතුළු විෂ සහිත සර්පයන් සිටින යූටියූබ් වීඩියෝ සහ ගූගල් තොරතුරු නැරඹූ බව සුරාජ්ගේ අන්තර්ජාල සෙවුම් ඉතිහාසයෙන් හෙළි විය. ඔහු වඩාත් ප්‍රිය කළ වීඩියෝ පටයක් වූයේ "භයානක හා ආක්‍රමණශීලී රසල් පොළඟා" යන්නය.

Suraj was brought to Uthra's house for evidence.

ඡායාරූප මූලාශ්‍රය, Sreedhar Lal

ඡායාරූප ශීර්ෂ වැකිය, සුරාජ් (මැද) වසරකට වැඩි කාලයක් තම බිරිඳ ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි

සුරාජ් තම මිතුරන්ට පැවසුවේ තම බිරිඳ "සර්පයෙකුගේ ශාපය නිසා බය වෙලා සිටිනවා. එයා සිහිනයෙන් දකිනවා සර්පයෙක් දෂ්ට කිරීමෙන් මිය යාමට නියමිතයි," යනුවෙනි.

සුරාජ්ගේ පියා ත්‍රිවීලර් රථ රියැදුරෙකු වූ අතර ඔහුගේ මව ගෘහණියකි. වසර දෙකකට පෙර, විවාහ තැරැව්කරුවෙකුගේ සේවය ලබාගෙන ඔහුට වඩා අවුරුදු තුනක් බාල උත්‍රා මුණගැසී විවාහ විය.

රත්‍රන් ග්‍රෑම් 768ක්, සුසුකි සෙඩාන් රථයක් සහ ඉන්දියානු රුපියල් ලක්ෂ 4ක් ඔහු දෑවැද්ද වශයෙන් පිළිගත්තේය. ඉගෙනීමේ දුර්වලතා ඇති "තම දියණිය රැකබලා ගැනීම සඳහා" උත්‍රාගේ දෙමාපියන්ගෙන් ඔහුට මසකට ඉන්දියානු රුපියල් 8,000ක් ද ලැබිණි.

විමර්ශකයන් පවසන්නේ, සුරාජ් ඔහුගේ නිවස වැඩි දියුණු කිරීමට සහ ඔහුගේ සහෝදරියගේ අධ්‍යාපන කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය බව පවසමින් උත්‍රාගේ දෙමාපියන්ගෙන් වැඩිපුර මුදල් ඉල්ලා දෙන ලෙසට ඇයට හිරිහැර කර ඇත.

උත්‍රාගේ පියා රබර් වෙළෙන්දෙකු වන අතර මව විශ්‍රාමික විදුහල්පතිනියකි

"ඔහු ඇයව ඝාතනය කර, ඇයගේ සල්ලි රැගෙන වෙනත් කාන්තාවක් විවාහ කර ගැනීමට ස්ථීර අභිප්‍රායෙන් සිටි අතර ඔහු එය ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර තුන්වෙනි උත්සාහය සාර්ථක කරගත්තා" යනුවෙන් ප්‍රධාන විමර්ශන නිලධාරී අපුකුට්ටන් අශෝක් පැවසීය.

පසුගිය සතියේදී විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ විට, සුරාජ් පැහැදිලිවම "පසුතැවීමක් පෙන්නුවේ නැහැ" යනුවෙන් රජයේ පැමිණිලිකරු මෝහන්රාජ් ගෝපාලක්‍රිෂ්ණන් පැවසීය.

"ඝාතනයක ආයුධයක් ලෙස සතෙකු භාවිතා කළ බව පැමිණිලිකරුවන් තීරණාත්මකව ඔප්පු කළ මෙම විමර්ශණය ඉන්දියාවේ පොලිස් පරීක්ෂණවල සන්ධිස්ථානයක්."

මේ තොරතුරු ද කියවන්න: