'ගෑස් පිරවූ යෝග බෝලයකින් සිය බිරිඳ සහ දියණිය ඝාතනය කළ' හොංකොං වෛද්‍යවරයෙක්

Chinese doctor who killed his wife and daughter

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යෝග බෝලය සිය බිරිඳ සහ දියණිය ගමන් ගන්නා මෝටර් රථය පිටුපස දැමීමට Khaw Kim-sun නැමැති වෛද්‍යවරයා ක්‍රියා කර තිබූ බව පැමිණිලි පාර්ශ්වය පවසයි

යෝග ව්‍යායාම සඳහා යොදා ගන්නා බෝලයකට කාබන් මොනොක්සයිඩ් විෂ වායුව පුරවා සිය බිරිඳ සහ 16 වියැති දියණිය ඝාතනය කළ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ නඩුවක් හොංකොං අධිකරණයක විභාග වෙමින් පවතී.

එම බෝලය සිය බිරිඳ සහ දියණිය ගමන් ගන්නා මෝටර් රථය පිටුපස දැමීමට Khaw Kim-sun නැමැති වෛද්‍යවරයා ක්‍රියා කර තිබූ බව පැමිණිලි පාර්ශ්වය පැවසීය. බෝලයෙන් පිටවූ විෂ වායු ආඝ්‍රාණය වීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනා මරණයට පත්ව තිබේ.

2015 වසරේදී ඔවුන් දෙදෙනා වසා තිබුණ කාරයක් තුළ මියගොස් සිටියහ. මෙම සිද්ධිය පිළිබඳ මූලික පරීක්ෂණවල දී පොලිසියට නිවැරදි නිගමනයකට එළැඹීමට අපහසු වී තිබුණි.

මෙම ඝාතන සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව වෛද්‍ය Khaw Kim-sun පවසන්නේය.

මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන පරිදි ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය මියගොස් ඇත්තේ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වීමෙනි. ඔවුන් සතු කහ පැහැති 'මිනි කූපර්' වර්ගයේ මෝටර් රථය පිටුපස තිබී යෝග ව්‍යායාම සඳහා භාවිත කරන සුළං බැස ගිය බෝලයක් සොයා ගන්නා ලදී.

මෙම වෛද්‍යවරයාට තිබෙන අනියම් සම්බන්ධයක් හේතුවෙන් මෙන්ම බිරිඳ දික්කසාද වීමට අකමැත්ත පළ කිරීමේ තත්ත්වය තුළ සිතා මතා ඇය ඝාතනය කර ඇති බව පැමිණිලි පාර්ශ්වය පැවසූවා යැයි 'සවුත් චයිනා මෝනින්ග් පෝස්ට් (South China Morning Post) පුවත්පත වාර්තා කර තිබේ.

නමුත් ඔහුගේ දියණිය ඝාතනය කිරීම අසාමාන්‍ය දෙයක් බව ද ඔවුහු පවසති. මෙම සිද්ධිය වූ දින වෛද්‍යවරයා ඔහුගේ බාල දියණියට නිවසේ නතර වන ලෙස දන්වා ඇතැයි හෙළි වී ඇත.

හොංකොං චීන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Khaw Kim-sun යෝග බෝල දෙකකට කාබන් මොනොක්සයිඩ් වායුව පුරවන ආකාරය දුටු බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පැවසූහ.

හාවන් මැරීමට මෙම වායුව යොදා ගන්නා බව ඔහු සිය මිතුරන්ට පවසා තිබේ. නමුත්, වාර්තාවේ දැක්වෙන පරිදි ඔහු පොලිසියට පවසා ඇත්තේ සිය නිවසේ මීයන් මැරීමට මෙම වායුව යොදා ගත් බවය.

මෙම ඝාතන නඩුව තවදුරත් අධිකරණයේ විභාග කෙරෙනු ඇත.

මේ තොරතුරුද දැනගන්න: