ඉන්දීය මවක් තම දියණියගේ 'මියගිය' දූෂකයා සොයාගත් හැටි

Mother and daughter, Bihar

ඡායාරූප මූලාශ්‍රය, Swastika Pal

ඡායාරූප ශීර්ෂ වැකිය, තම දියණියගේ දූෂකයාට දඬුවම් කිරීම තමන්ගේ අධිෂ්ඨානයබව මව පැවසුවා ය
1px transparent line

පසුගිය වසරේ දී, උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කාන්තාවකට දන්වනු ලැබුණේ ඇගේ දියණිය ස්ත්‍රී දූෂණයට ලක්කළ තැනැත්තා මියගොස් ඇති හෙයින් ඔහුට එරෙහි නඩුව අවසන් කෙරෙනබව යි. එම කාන්තාව මෙම ප්‍රකාශය ප්‍රශ්න කළ නිසාවෙන් නඩුව නැවතත් විවෘත කෙරුණු අතර, අවසානයේ ඇගේ දියණියට යුක්තිය ඉටුවනු ඇතැ යි තහවුරු කෙරිණ. බීබීසීයේ සූතික් බිස්වාස්, නොපසුබස්නා උත්සාහය පිළිබඳ මේ අපූරු කතාව විමර්ශනය කරයි.

පසුගිය වසරේ (බොහෝවිට) පෙබරවාරියේ ප්‍රසන්න ලෙස උණුසුම් උදෑසනක, ඉන්දියාවේ පාරිශුද්ධ ගංගා නම් ගඟේ ඉවුරක පිහිටි ආදාහන භූමියකට පැමිණි මිනිසුන් දෙදෙනෙකි.

ඔවුන් පැමිණ සිටියේ හින්දු ක්‍රමයට අවමංගල සිරිත් ඉටුකිරීම සඳහා ය. මිනිස්සු දෙදෙනා එතැනට දර කොටන් අදිමින් සිටිමුත්, අසාමාන්‍ය ලෙස, මළ සිරුරක් රහිතව පැමිණ සිටියහ.

ඔවුන් ආදාහන භූමියට පැමිණි විට තත්ත්වය වඩාත් විකාරමය ස්වරූපයක් ගත්තේ ය.

මිනිස්සු එහි චිතකයක් ඉදිකළහ. අනතුරුව, එකෙකු තමාම චිතකය මතට නැඟී, සුදු රෙදි කඩකින් තමා ආවරණයකර ගෙන දෑස් පියාගත්තේ ය. ඔහුගේ මුහුණ පමණක් පිටතට පෙනෙන පරිදි අනෙකා ඔහු මත දර ගොඩගැසුවේ ය.

අනතුරුව එහි ඡායාරූප ද්විත්වයක් ගනු ලැබුණි. ඡායාරූප ගත්තේ කවුද, තෙවැන්නෙකු එහි සිටියේ ද යන්න තවමත් පැහැදිලි නැත.

මෙහි "මියගිය" මිනිසා වූයේ නීරජ් මෝදි නම්, 39-හැවිරිදි රජයේ පාසැල් ගුරුවරයෙකි. වයස හැටගණන්වල පසුවන කෙට්ටු ගොවියෙකු වූ අනෙකා නීරජ්ගේ පියා වන රාජාරාම් මෝදි විය.

රාජාරාම් මෝදි නීතිඥයෙකු ද කැටුව ඉන් කිලෝමීටර සියයක් පමණ ඈතින් පිහිටි අධිකරණයක් වෙත ගොස්, සිය පුත්‍ර නීරජ් මෝදි පෙබරවාරි 27 දා සිය ගම්මානයේ පිහිටි නිවෙසේ දී මරණයට පත්වූබවට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළේ ය. අවමංගල උත්සවයක් පැවැත්වූබවට සාක්ෂි ලෙස ආදාහනයේ පින්තූර දෙකක් සහ ඒ සඳහා දර මිළට ගත් බිල්පත ඉදිරිපත් කෙරිණි.

Modi, bier.

ඡායාරූප මූලාශ්‍රය, Swastik Pal

ඡායාරූප ශීර්ෂ වැකිය, පින්තූරයේ සිටින "මියගිය" පුද්ගලයා, දැරිය දූෂණය කළබවට චෝදනා ලද නීරජ් මෝදිබව පෙනෙන්නට තිබේ

මේ සියල්ල සිදුවූයේ පොලිසිය විසින් නීරජ් මෝදිට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනුකර දින සයකට පසුව ය. 2018 ඔක්තෝබරයේ දී මෝදි සිය සිසුවියක වූ 12-හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටියේ ය. දැරිය උක් වත්තක තනිව සිටිද්දී ඇය ලිංගික අඩත්තේට්ටමට ලක්කර තිබූ මෙතැනැත්තා, එම දර්ශනය රූගත කළබැවින් අන්තර්ජාලයට මුදාහරින බවට ද තර්ජනයකර තිබුණි.

දැරියගේ මව විසින් මේ පිළිබඳව පැමිණිල්ලක් ගොනුකළ සැණින් මෝදි අත්අඩංගුවට ගෙන තිබූ අතර, මාස දෙකක් බන්ධනාගාරයේ ගතකිරීමෙන් පසු ඇප පිට නිදහස ලැබීය.

ගිය වසරේ නීරජ් මෝදිගේ "මරණයෙන්" අනතුරුව සියල්ල ඉක්මණින් සිදුවිය. ඔහුගේ පියා ඒ බව අධිකරණයට දැනුම්දීමෙන් දෙමසකට පසු බලධාරීන් විසින් ඔහුගේ මරණ සහතිකය නිකුත් කෙරිණි. මැයි මාසයේ දී, "සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ එකම පුද්ගලයා" මරණයට පත්ව ඇතිබැවින් අධිකරණය නඩුව අවසන් කළේ ය.

ගුරුවරයා සිය මරණය ව්‍යාජ ලෙස මවා පා, නීතියෙන් දඬුවම් නොලබණු පිණිස සැඟවී සිටිතැ යි සැකකළේ එක් අයෙකු පමණි - දැරියගේ මව, මෝදිවරුන් විසූ ගම්මානයේම පැල්පතක ජීවත්වූ දුර්වල කාන්තාවක් වූවාය.

Short presentational grey line
1px transparent line
Modi father and son, bier

ඡායාරූප මූලාශ්‍රය, Swastik Pal

ඡායාරූප ශීර්ෂ වැකිය, නීරජ් මෝදිගේ පියා වන රාජාරාම් මෝදි ද චිතකය අසල සිටිනු එක් පින්තූරයක දක්නට ලැබිණි
1px transparent line

"නීරජ් මෝදි මැරිලා කියලා ආරංචි වෙච්ච ගමන්ම මං දැනගත්තා ඒක බොරුවක් කියලා. ඌ ජීවතුන් අතර ඉන්නවා කියල මං දැනන් හිටියා," මෑතක දී මා ඇය හමුවූ අවස්ථාවේ ඒ මව මට පැවසුවා ය.

ඉන්දියාවේ සිදුවන මරණ 10කින් හතක්ම සිදුවන්නේ එරට ඇති 700 000කට ආසන්න ගම්මානවල ය. එසේම, නගරවලට සාපේක්ෂව ගම්මානවල සිදුවන මරණවලින් විශාල ගණනක් නිවෙසේ දීම සිදුවෙයි. වසර 54ක් පැරණි නීතියක් මඟින් සියලු උපත් සහ මරණ ලියාපදිංචි කිරීම අනිවාර්යයකර ඇතිමුත්, මරණයට හේතුව සඳහන් කිරීම අත්‍යවශ්‍ය නොවේ.

බිහාරයේ ගමක තැනැත්තෙකු මියගිය විට, එම පවුලේ සාමාජිකයෙකු ඔහුට හෝ ඇයට අනන්‍ය ජෛවමිතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කළ යුතු අතර, මරණයට සාක්ෂි ලෙස එගම පදිංචිකරුවන් පස්දෙනෙකුගේ අත්සන් ලබාගත යුතු ය.

අනතුරුව මෙම ලියකියවිලි එගම පංචායත් සභාවට හෝ ගම් සභාවට ඉදිරිපත් කෙරෙයි. ප්‍රාදේශීය රෙජිස්ට්‍රාර්වරයෙකු ද ඇතුළුව පංචායත් සාමාජිකයින් මෙම ලියවිලි පරීක්ෂාකර බලා, ඒ සියල්ල නිවැරදි පිළිවෙලට තිබේ නම් සතියක් තුළ මරණ සහතිකය නිකුත් කරයි. "අපේ ගම් ජනාකීර්ණ යි, [මිනිස්සු] හරිම එකතු යි. හැමෝම හැමෝවම අඳුනනවා. මරණයක් සිද්ධවුණා නම් ඒක කාටවත් නොපෙනී, ආරංචි නොවී තියෙන්නෙ නැහැ," වින්දිතයාගේ නීතිඥවරයා වන ජායි කරන් ගුප්තා පවසයි.

රාජාරාම් මෝදි ද ගම්වැසියන් පස්දෙනෙකුගේ අත්සන් හා ජෛවමිතික හැඳුනුම්පත් අංක ද, සිය පුත්‍රයා මළබවට දිවුරුම් පෙත්සමක් ද ඉදිරිපත්කර පුත්‍රයාගේ මරණ සහතිකය ලබාගෙන තිබුණි. එහි මරණයට හේතුව සඳහන් නොවීය. චිතකය සඳහා දර මිළට ගත් වෙළඳසැලෙන ලබාදුන් ලදුපතෙහි සඳහන්වූයේ "රෝගාබාධයක්" හේතුවෙන් මරණය සිදුවූබව යි.

නීරජ් මෝදි මරණයට පත්වූ බැවින් ඔහුට එරෙහි නඩුව අවසන් කෙරුණු බව, ගිය වසරේ මැයි මස දී දැරියගේ නීතිඥයා විසින් මවට දැනුම්දෙනු ලැබුණි.

Girl drawing, Bihar

ඡායාරූප මූලාශ්‍රය, Swastik Pal

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිංගික අඩත්තේට්ටමට ලක්වීමෙන් පසු පාසැල් යෑම නවතා දැමූ දැරිය දැන් වැඩි කාලයක් නිවෙසේ දී ගතකරයි

"ඒ වුණාට කවුරුවත් සර්ගේ මරණෙ ගැන නොදැන ඉන්නේ කොහොමද? මරණෙන් පස්සෙ චාරිත්‍ර කරලා නැත්තේ ඇයි? කවුරුවත් මරණෙ ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?" ඇය මගෙන් විමසුවා ය.

නීරජ් මෝදි මළේදැ යි ගම්වැසියන්ගෙන් අසමින් තමා ගෙන් ගෙට ගියබව ඇය පවසයි. ඒ කිසිවෙකුත් මරණය පිළිබඳව අසා තිබුණේ නැත. අනතුරුව ඇය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කරන්නැ යි ඉල්ලා අධිකරණයට ගිය නමුත්, ගුරුවරයා ජීවත්ව සිටින බව සනාථ කිරීමට සාක්ෂි ගෙනෙන්නැ යි විනිසුරුවරු ඉල්ලා සිටියහ.

මැයි මස මැද දී, ව්‍යාජ ලියවිලි මත පදනම්ව ගම් සභාව විසින් මරණ සහතිකයක් නිකුත්කර ඇතැ යි ද, එය විමර්ශනය කළ යුතුයැ යි ද පවසමින් මව ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත පෙත්සමක් ඉදිරිපත් කළා ය.

එතැන් සිට සියල්ල වේගයෙන් සිදුවීම ඇරඹිණි.

නිලධරයා විමර්ශනයක් කැඳවා ගම් සභාව ද දැනුවත් කළේ ය. පුත්‍රයාගේ මරණය පිළිබඳ වැඩිදුර සාක්ෂි සපයන ලෙස ගම් සභා සාමාජිකයෝ රාජාරාම් මෝදිට දැනුම්දුන්හ. මෙහිදී, "මරණකරු මියගොස් සිටින අයුරු දැක්වෙන, ආදාහනය දැක්වෙන, චිතකය දැල්වෙනු දැක්වෙන, අවසන් කටයුතු සිදුකෙරෙනු දැක්වෙන ඡායාරූප, හා [නව] සාක්ෂිකරුවන් පස්දෙනෙකුගේ ප්‍රකාශයන්" ඉල්ලුම් කෙරිණි.

ගම් සභා සාමාජිකයෝ නිවෙස් 250ක් පමණ ඇති ගම්මානයේ වැසියන් ද හමුවූහ. ඒ කිසිවෙකුත් නීරජ් මෝදිගේ මරණය පිළිබඳ අසා ඇති බවක් පෙනෙන්නට නොතිබුණි. සමීප ඥාතියෙකු අභාවප්‍රාප්ත වූ විට පවුලේ [පිරිමි] සාමාජිකයින් හිස මුඩුගානා හින්දු චාරිත්‍රයක් වෙයි. නමුත් මෝදි පවුලේ කිසිවෙකු හිස මුඩුකර සිටියේ ද නැත.

death certificate

ඡායාරූප මූලාශ්‍රය, Swastik Pal

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය මැයි මාසයේ දී බලධාරීන් විසින් නීරජ් මෝදිගේ මරණ සහතිකය අවලංගු කෙරිණි
Presentational white space

"නීරජ් මෝදිගේ නෑයො පවා ඔහුගේ මරණය සිද්ධවුණුබව හෝ ඔහු කොහෙද ඉන්නෙ කියන එක ගැන තොරතුරක් දැනන් හිටියෙ නැහැ. ඔවුන් දිගින් දිගටම කිව්වේ මරණයක් සිද්ධවුණා නම් අවසන් චාරිත්‍ර ගෙදර දී ඉටුකළා වෙන්න ඕනේ කියන එක යි," විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරියා වන රෝහිත් කුමාර් පස්වාන් පැවසීය.

ගම් සභා සාමාජිකයෝ නැවතත් රාජාරාම් මෝදිගෙන් ප්‍රශ්න කළහ. සිය පුත්‍රයාගේ මරණය පිළිබඳ නව සාක්ෂි සැපයීමට ඔහු අපොහොසත්ව සිටියේ ය. "අපි ඔහුගෙන් තවත් ප්‍රශ්න ඇහුවට, සතුටුදායක පිළිතුරක් දෙන්න ඔහු අසමත් වුණා," ගම් සභාවේ ලේකම් ධර්මේන්ද්‍ර කුමාර් ප්‍රකාශ කළේ ය.

විමර්ශනයන්හි නිගමනය වූයේ, නීරජ් මෝදි ඔහුගේ මරණය ව්‍යාජ ලෙස සකස්කර ඇතිබවත්, පියා සහ පුත්‍රයා යන දෙදෙනාම මරණ සහතිකයක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි සකස්කර ඇතිබවත් ය.

පාසැල් ගුරුවරයා සිය ශිෂ්‍යයින් පස්දෙනෙකුගේ දෙමාපියන්ගේ ජෛවමිතික හැඳුනුම්පත් අංක ලබාගෙන, ඔවුන්ගේ අත්සන් ව්‍යාජ ලෙස කඩදාසියක තබා ඔහුගේ මරණ සහතිකය ඉල්ලා ඇතැ යි පොලිසිය අනාවරණයකර ගත්තේ ය. තමා ශිෂ්‍යයින් වෙනුවෙන් සූදානම් කරනා ශිෂ්‍යත්වයන් සඳහා දෙමාපියන්ගේ හැඳුනුම්පත් අංක අවශ්‍යබව ඔහු ඔවුන්ට පවසා තිබුණි.

මැයි 23 වන දා බලධාරීන් විසින් නීරජ් මෝදිගේ මරණ සහතිකය අවලංගු කෙරිණි. පොලිසිය, ව්‍යාජ ලියකියවිලි සැදීමේ චෝදනාව මත පියා අත්අඩංගුවට ගත්තේ ය. "මං මගේ වෘත්තීය ජීවිතයෙදි මේ වගේ කේස් එකක් විමර්ශනය කරලාම නැහැ," පස්වාන් පැවසුවේ ය. "ප්ලෑන් එක පරිපූර්ණයි වගේ පෙනුනට, ඒක එහෙම වුණේ නැහැ."

ජුලි මාසයේ දී අධිකරණය නඩුව නැවත විවෘත කළේ, විත්තිකරුට "දඬුවමෙන් ගැලවීමේ" අරමුණින් අධිකරණය "රවටා, නොමඟ යවා" ඇතිබව පවසමිනි. ගුරුවරයා ලුහුබැඳීමේ අනවරත සටනක නිරතවෙමින් සිටි මව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමට අධිකරණයට පැමිණියා ය.

Niraj Modi arrested in Bhagalpur

ඡායාරූප මූලාශ්‍රය, The News Post

ඡායාරූප ශීර්ෂ වැකිය, දැරිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ නීරජ් මෝදිට (දකුණේ) වසර 14ක සිර දඬුවමක් නියමවිය

ඔක්තෝබරයේ දී, නීරජ් මෝදි ඔහුගේ "මරණයෙන්" මාස නවයකට පසු අධිකරණයට බාරවිය. නඩු විභාගය අතරතුර දී ඔහු තමා නිර්දෝෂීබව ප්‍රකාශ කරමින්, ස්ත්‍රී දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කළේ ය. දැන්, කඹයකින් බඳිනු ලබා, බිමට නෙත් හරවාගත් ඔහු උසාවියෙන් පිටතට පැමිණ තිබෙයි.

පසුගිය මාසයේ දී, දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් නීරජ් මෝදි වරදකරුයැ යි තීන්දුකළ අධිකරණය ඔහු 14 වසරකට දඟගෙට නියම කළේ ය. එසේම, එය වින්දිතයාට ඉන්දියානු රු. 300 000ක (රු. මිලියන 1.3ක් පමණ) වන්දියක් ද ප්‍රදානය කළේ ය. රාජාරාම් මෝදි ද වංචනික ක්‍රියා සහ වංකබව සම්බන්ධයෙන් සිරගතව සිටියි - එම චෝදනාවට අදාළ උපරිම සිර දඬුවම වසර හතකි. පියා සහ පුත්‍රයා යන දෙදෙනාම දැන් ව්‍යාජ මරණ සහතිකයට සම්බන්ධ චෝදනාවන්ට ලක්ව සිටියි.

"මං අවුරුදු තුනකට වැඩිය උසාවි බඩගෑවා මගෙ දූට කරදර කළ මිනිහට දඬුවම් ලැබෙයි කියලා සහතික කරන්න. ඊට පස්සේ දවසක් උගෙ ලෝයර් මට කිව්වා ඌ මළා කියලා. මනුස්සයෙක් කොහොමද එහෙම අතුරුදහන් වෙලා යන්නේ?" මව කියයි.

"ලෝයර් මට කිව්වා මරණෙ බොරු එකක් කියලා ඔප්පු කරන්න අලුතෙන් නඩුවක් දාන්න හුඟක් සල්ලි යයි කියලා. අනිත් අය මට කිව්වා ඒ මිනිහා හිරෙන් නිදහස් වෙලා ඇවිත් පළිගනිවී කියලා.

"මං ගණන් ගත්තෙ නෑ. මං කිව්වා මං සල්ලි ලෑස්ති කරන්නම් කියලා. මං බය නෑ. මම නඩුකාරයින්ට යි නිලධාරී මහත්තුරුන්ට යි කිව්වා 'ඇත්ත හොයාගන්න' කියලා."

Short presentational grey line
1px transparent line
Bhagalpur, Bihar

ඡායාරූප මූලාශ්‍රය, Swastik Pal

ඡායාරූප ශීර්ෂ වැකිය, දැරියගේ පවුල ජීවත්වන්නේ බිහාරය අභ්‍යන්තරයේ පිහිටි ගමක ය

අපි කැඩුණු බිඳුණු මාර්ග ඔස්සේ විවෘත කාණු, පැල්පත්, කහ මලින් පිරි අබ කෙත්, සහ දුම් නගන ගඩොල් පෝරණු පසුකර, ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තයන්ගෙන් එකක් වන බිහාරය අභ්‍යන්තරයේ පිහිටි, වින්දිතයා විසූ අවුල් ජාලාවක් වැනි ගම්මානයට ළඟාවීමු.

වහල මත රවුම් සැටලයිට් ඇන්ටෙනා සවිකළ මිටි ගඩොල් නිවෙස් අතරින් පටු, තාර පාරක් විහිදුනි. පාසැල් යන වයසේ ඇගේ පුතුන් දෙදෙනා හා දියණිය සමග මව විසූයේ, ටකරම් සෙවිලි කළ ජනෙල් රහිත කුඩා ගඩොල් කාමරයක ය. ඇගේ වැඩිමල් දියණිය විවාහවී වෙනතක විසුවා ය.

දුක්බර, අඳුරු කාමරය තුළ වූයේ බඩුබාහිරාදිය ස්වල්පයකි: ලණු ඇඳක්, ධාන්‍ය ගබඩා කිරීමට වානේ බඳුනක්, පොළවට ගිල්ලවා සාදා තිබූ මැටි ලිපක්, සහ අබලන් රෙදි වැලක් එහි විය. පවුල සතුව ඉඩකඩම් කිසිවක් නොවීය.

ගමට නල ජලය හා විදුලිය තිබුණත් රැකියා අවස්ථා නොතිබූ හෙයින්, දැරියගේ පියා ගම්මානයෙන් කිලෝමීටර 1700ක් එපිටින් පිහිටි දකුණුදිග ප්‍රාන්තයකට සංක්‍රමණය වී බඩු පටවන්නෙකු ලෙස සේවයේ යෙදෙමින් ගෙදරට මුදල් එවීය.

2019 දී අගමැති නරේන්ද්‍ර මෝදි, ඔහුගේ රජය විසින් දියත් කෙරුණු වැසිකිළි ගොඩනැගීමේ දැවැන්ත වැඩසටහනකින් පසු ඉන්දියාවේ ගම්මාන 100%ක්ම එළිමහනේ මළපහ කිරීමෙන් තොරබව නිවේදනය කළේ ය. එනමුත් දැරියගේ මවගේ නිවෙස ද ඇතුළු බොහෝ නිවෙස්වලට තවමත් වැසිකිළියක් නැත.

දැරිය වැසිකිළි යෑම පිණිස අසල පිහිටි උක් වත්තකට ගොස් තිබුණේ එබැවිනි. විනිසුරු කුෂ් කුමාර් සිය තීන්දුවෙන් ප්‍රකාශ කළ පරිදි, දැරිය පිටුපසින් පැමිණි නීරජ් මෝදි ඇගේ කට වසා ඇය දූෂණයකර තිබෙන්නේ එහිදී ය. එසේම, තමා එම ක්‍රියාව විඩියෝ කළබැවින් නිශ්ශබ්දව පසුවන්නැ යි ඇයට තර්ජනය කළ ඔහු, එම විඩියෝව 'වෛරල්' කිරීමට තමාට හැකිබව ද ඇයට පවසා ඇතැ යි විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.

Daughter, Bihar

ඡායාරූප මූලාශ්‍රය, Swastik Pal

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඒ සිද්ධියෙන් පස්සෙ දූගේ ජීවිතේ මඟ නැවතුණා," ඇගේ මව පවසයි

අඩත්තේට්ටමෙන් දින දහයකට පසු, බියපත්ව සිටි දැරිය ඒබව සිය මවට පැවසුවා ය. ඇගේ මව පොලීසියට ගියා ය: ඉන්පසු ගෙවුණු දින කීපය තුළ දැරිය සාක්ෂි ලබාදී තිබුණි. "නීරජ් මෝදි ඉස්කෝලෙ දී මට නිතර හරියට ගැහුවා," දැරිය පොලිසියට පැවසුවා ය.

නීරජ් මෝදි අත්අඩංගුවට පත්වීමෙන් පසු දැරිය සිය පාසැල් ගමන යළි ඇරඹි නමුත්, ඔහු ඇප පිට නිදහස්වූ කල එය නවතා දැමුවා ය. ඇය මේ වන විට සිව් වසරකින් පාසැල් ගොස් නැත. ඇගේ පොත්පත් බෝතල් පත්තරකරුවෙකුට විකුණා දමා තිබේ.

සුදුමැලි සිරුරක් දරන නොසන්සුන් දැරිය දැන් ඇගේ කාලයෙන් වැඩිකොටස ගෙවා දමන්නේ අඳුරු කාමරය තුළ ය. "එයා ඉගෙනගන්න ළමයෙක් විදියට ගෙවපු ජීවිතේ ඉවරයි. එයාට එළියට යන්න දෙන්න බැරි තරමට මං බයෙන් ඉන්නේ. එයාව බන්දලා දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා," මව කියා සිටියා ය.

තවමත් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු නැත. ලියකියවිලි නිසි පරිදි පරීක්ෂා කිරීමෙන් තොරව ගම් සභාව මරණ සහතිකයක් නිකුත් කළේ කෙසේ ද? "පස්සෙ මං එයාලට [මේ ගැන කියලා] ප්‍රශ්න කළාම, ඒ අය කිව්වා එයාලට වැරැද්දක් වෙලා කියලා," මව පැවසුවා ය.

අකල් මරණ සම්බන්ධයෙන් ලොව සිදුකළ විශාලතම අධ්‍යයනයක කතුවර හා ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ප්‍රභාත් ජා, නීරජ් මෝදිගේ සිද්ධිය "ඉතා අසාමාන්‍ය හා දුර්ලභබව" පවසයි. "අපේ [අධ්‍යයන] කටයුතුවල දී අපට මේ විදියෙ එකම සිද්ධියක්වත් හම්බවෙලා නැහැ,"යි ඔහු පවසන්නේ ඉන්දියාවේ 'Million Death Study' නම් අධ්‍යයනය ගැන සඳහන් කරමිනි.

J Gupta, lawyer

ඡායාරූප මූලාශ්‍රය, Swastik Pal

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඉන්දියාවේ ගමක සිද්ධවෙන මරණයක් කාටවත් නෝටිස් නොවී තියෙන්න බැහැ," වින්දිතයාගේ නීතිඥවරයා වන ජායි කරන් ගුප්තා කියයි
Presentational white space

"අවභාවිතාවක් වෙන්නේ කලාතුරකින් වුණත්, මරණ ලියාපදිංචියට තවත් සීමාවන් හරි බාධක හරි හඳුන්වා දෙනවා නම් ඒක කරන්න ඕනේ බොහොම පරිස්සමින්. නැත්නම් තත්ත්වෙ වඩාත් නරක අතට හැරෙන්න පුළුවන්," මහාචාර්ය ජා පැවසුවේ ය.

මීට හේතුව මෙය ය: ඉන්දියාවේ මරණ සහ වෛද්‍ය ලියාපදිංචියේ දී පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩිදෙනෙකු ද, ධනවතුන්ට සාපේක්ෂව දුප්පතුන් වැඩිදෙනෙකු ගණන් කෙරෙනු මඳබැවින්, එය වත්කම් පවරාදීම සහ අනෙකුත් ප්‍රයත්නයන් වඩාත් දුෂ්කර කරවන අතරම "දරිද්‍රතා උගුල්වලට දායකවීමට ඉඩකඩ තිබේ."

ගම්මානයේ වෙසෙන මවගේ ජීවිතයේ අවුල් නිරාකරණය වී ඇතැ යි පෙනෙන්නට තිබුණත්, එය දුක් පීඩාවෙන් යුතු, කාංසාවෙන් පිරුණු දිවියක් බවට පත්ව තිබේ.

"මම ඇත්ත හොයාගන්න ඕනෙකමට ගමට යි, නිලධාරින්ටයි බලපෑම් කළා. මගේ දරුවා කෙලෙසලා, සදහටම කැළලක් ඉතිරි කරපු මිනිහා හිරේ ගිය එකට මට සතුටු යි.

"ඒත් මගේ දූගෙ ජීවිතේ නැවතිලා. ඈට වෙන්නේ මොකද්ද?"