'හැම සිද්ධියක්ම ප්‍රහේලිකාවක්': යටත්විජිතවාදය විසින් කඩා බිඳ දැමූ පවුල් යළි එක්කරන මිනිසෙක්

Shamshu Deen when he was 20 years old

ඡායාරූප මූලාශ්‍රය, Shamshu Deen

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙන්වූ පවුල්වලට යළි එක්වීම සඳහා උපකාර කිරීමේ ෂම්ෂු දීන්ගේ ගමන ඇරඹුණේ, දේපළ සම්බන්ධ ලේඛනයක නුහුරු නමක් දැකීමෙන් පසු ය
    • Author, ස්වාමිනාදන් නටරාජන්
    • Role, බීබීසී ලෝක සේවය

"නැතිවුණු පවුලක් හොයාගත්තට පස්සෙ මට හරි හැඟීම්බර ගතියක්, මහ සතුටක් දැනෙනව. ඒ වගේම, මම යමක් කළා, යමක් දිනාගත්තා කියන හැඟීම දැනෙනව," ෂම්ෂු දීන් බීබීසීය හා කියයි.

පසුගිය වසර 25 පුරා, කැරිබියානුවාසී පවුල් 300කට ඔවුන්ගේ දිගුකලක් අහිමිව සිටි ඉන්දියානු ඥාතීන් සොයාගැනීමට ශම්ෂු දීන් උපකාරකර තිබේ. ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝහි වැසියෙකු වන ඔහු මුලින් භූගෝල විද්‍යා ගුරුවරයෙකුව සිට පසුව භූගෝල විද්‍යාඥයෙකු බවට පත්වූ තැනැත්තෙකි.

ඔහුගේ සාර්ථකත්වයේ කතන්දර අතරට හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු හා ඔහුගේම පවුලේ සාමාජිකයන් ද ඇතුළත් ය.

"ඒක හරියට ආයෙත් ආදරෙන් බැඳෙනවා වගෙයි," ඔබ කිසිදා නොදැන සිටි පවුලේ සාමාජිකයෙකු සිටිනබව සොයාගෙන, ඔවුන් හා "ක්ෂණයෙන් සබඳතාවක් ඇතිවූ විට" දැනෙන අයුරු විස්තර කරමින් ඔහු පවසයි.

'නව වහල් වෙළඳාම' නිසා අවතැන්වූවන්

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී (මෙය 'බ්‍රිටිෂ් රාජ්' ලෙස හැඳින්විය) එරට තුළ වහල්භාවය අහෝසිකර තිබුණි. නමුත් ඉන්දියානු ගිවිසුම්ගත කම්කරුවන්, ඊනියා ශ්‍රම හිඟයකට ප්‍රතිචාර ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පුරාවට "ලාභ ශ්‍රමය" ලෙස යොදවනු ලැබිණ.

1838 හා 1917 අතර කාලයේ දී ඉන්දියානුවෝ විශාල පිරිසක් උක් වගාවන්හි සේවය කිරීම සඳහා ඉන්දියාවේ සිට කැරිබියානු දූපත්, දකුණු අප්‍රිකාව, මුරුසිය, සහ ෆීජී වෙත ගමන් කළහ. මෙහි බලපෑම තවමත් ලොව පුරාවට දැකිය හැකි අතර, ඉන්දියානු සම්භවයක් ඇති විශාල ප්‍රජාවෝ දැනටත් මේ රටවල වෙසෙති.

Over one million Indians were displaced ruing the colonial era
ඡායාරූප ශීර්ෂ වැකිය, යටත්විජිත සමයේ දී මිලියනයකට අධික ඉන්දියානුවන් පිරිසක් අවතැන්විය

බොහෝ කම්කරුවන්, ඔවුනට මුහුණ දෙන්නට සිදුවනු ඇති තත්ත්වයන් ගැන පූර්ණ දැනුවත්කමක් නොමැති නිසාවෙන් හෝ නූගත්ව ගිවිසුම් අත්සන් කළ නිසාවෙන් කැමැත්තෙන් මෙම රටවලට ගිය ද, අනෙකුත් තැනැත්තන් බලහත්කාරයෙන් වෙනත් යටත්විජිතවලට ගෙන යනු ලැබුණි. බොහෝදෙනා තමන් සේවයේ යෙදෙන්නට යන්නේ කුමන රටේ ද යන්නවත් නොදැන සිටි අතර, ඇතැම් ඉතිහාසඥයෝ ගිවිසුම්ගත ශ්‍රම ක්‍රමය "නව වහල් වෙළඳාම" ලෙස පවා විස්තර කළහ.

දැන්, කැරිබියානු දූපත්වලට ගිය ගිවිසුම්ගත කම්කරුවන්ගේ මුණුබුරු මිණිබිරියෝ ඔවුහුගේ මුතුන්මිත්තන් මින් සියවසකට පෙර ගමන් කළ මඟේ ප්‍රතිවිරුද්ධ දෙසට ඉන්දියාව වෙත ගමනේ යෙදෙමින්, ෂම්ෂු දීන්ගේ සහාය ඇතිව ඔවුහු කිසිදා නොදත් ඥාති සොයුරු සොයුරියන් හමුවෙමින් සිටිති.

ගැටවර කුතුහලය නිසා ගිවිසුම්ගත කම්කරුවන්ගේ පවුල් සොයායෑම

අන් තැනැත්තන්ගේ පවුල් පිළිබඳව සොයාබැලීමේ කුතුහලය ෂම්ෂු දීන්ට ඇතිවූයේ, ඔහු පාසල් වියේ දී හමුවූ ලේඛනයක වූ නමක් දැකීමෙන් අනතුරුව ඔහු ඔහුගේම පවුල් ගස ගැන සෙවීමෙන් පසු ය.

"අපේ ගෙදර හදලා තියෙන ඉඩම අරන් තියෙන්නේ මුන්රදීන්. එයා මගේ සීයගෙ සීයා. එයා ගැන වැඩි දෙයක් කියන්න පවුලෙ කාටවත් බැරිවුණා," ෂම්ෂු දීන් පැහැදිලි කරයි.

උපාධිය ලැබීමෙන් පසු ෂම්ෂු දීන් කැනඩාවේ රැකියාවකට ගියේ ය. 1972 දී ප්‍රථමයෙන් ආපිට ට්‍රිනිඩෑඩ් බලා ගිය අවස්ථාවේ දී ඔහු එහි 'රෙඩ් හවුස්' (පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල) වෙත ගියේ ය. මෙම ගොඩනැගිල්ල පසුව නීති කටයුතු පිළිබඳ අමාත්‍යංශය බවට පත්විය. ඔහුගේ බිරිඳ, සොහොයුරා, සහ සොහොයුරාගේ බිරිඳ ද මේ ගමනට එක්ව සිටියහ. ඔවුහු ගොඩනැගිල්ලේ යටි බිම් මහලෙහි ගොඩ ගසා තිබූ ලියකියවිලි තොගයක් පිරික්සමින් මුන්රදීන් පිළිබඳ තොරතුරු සෙවූහ. පැය හතරක පමණ සෙවීමකින් පසු, ඔවුන්ගේ කටයුත්ත සාර්ථක විය.

Indian workers in a sugarcane field

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රිනිඩෑඩ්හි, උක් වැනි වාණිජ බෝග නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු කම්කරුවන් යොදවනු ලැබුණි

"ඒක තමයි මගේ 'යුරේකා' මොහොත. කාවො කාපු පොතක අන්තිම පිටුවේ 'මුන්රදීන්' කියන නම තියෙනවා මම දැක්කා," ඔහු හිකිහිකියක් අතරින් පවසයි.

"එයා 1858 ජනවාරි පස්වැනි දා කල්කටාවෙන් ඇවිත්, අප්‍රේල් 10 වෙනි දා මෙහෙට ගොඩබැහැලා තිබුණා." ෂම්ෂු දීන් අනතුරුව මුන්රදීන්ගේ පින්තූරයක් ගොඩනැගීම සඳහා ට්‍රිනිඩෑඩ්හි අනෙකුත් ලියවිලි භාවිතා කළේ ය.

"එයා ඉගෙනගත්ත කෙනෙක්බව, ඉංග්‍රීසි කතා කරපුබව අපි දැනන් හිටියා. මුන්රදීන් වැඩ කළේ උක් වගාවල. පස්සේ එයා පරිවර්තන වැඩ කරලා තිබුණා. කම්කරු ගිවිසුම අවසන් වුණාට පස්සේ මුන්රදීන් ටීචර්කෙනෙක් වෙලා, අන්තිමට කඩ දෙකකුත් ඇරලා තිබුණා. එයාට නෝනලා දෙන්නෙකුයි, ළමයි පස්දෙනෙකුයි ඉඳලා තියෙනව. එයා ජීවත් වෙච්ච ගෙදර පස්සේ ළමයින්ට අයිතිවෙලා තිබ්බට, ඒක ගින්නකින් විනාශ වෙලා."

දිගු කලක් අහිමිව සිටි ඥාතීන් හමුවීම

මුන්රදීන් වැනිම බොහෝ ගිවිසුම්ගත කම්කරුවන්, ඈතක සිට තම පවුල් ගොඩනගා අවසන දුර රටකදීම මියගියහ. මුන්රදීන් පිළිබඳ තොරතුරු සොයා බලන අතරේ සිය පවුලේ ශාඛාවන් ත්‍රිත්වයක් සොයාගැනීමට ද ෂම්ෂු දීන් සමත්වූයේ ය.

"මගෙ තාත්තගේ පිය පාර්ශවයේ ආච්චිගෙ තාත්තා මොහොමඩ් මූක්තීත් 1852 දී කල්කටාවෙන් නැව් නැග්ග කෙනෙක්."

ඔහුට හඳුනාගත හැකිවූ පවුලේ වයස්ගතම තැනැත්තා මූක්තී විය. ඒ වන විට මුන්රදීන් 23-හැවිරිදිව හිඳ ඇත. ඔවුන් පැමිණි ගම්වල නම් මෙම ලේඛනවලට ඇතුළත් කිරීම අරඹා තිබුණේ 1859 දී සිට ය. එනිසා මුන්රදීන් පැමිණියේ කුමන ගමින් හෝ නගරයෙන්දැ යි කිසිවෙකුත් නොදනියි.

Bhongee in a photo taken few years before her death in 1949

ඡායාරූප මූලාශ්‍රය, Shamshu Deen

ඡායාරූප ශීර්ෂ වැකිය, භෝන්ගී, ෂම්ෂු දීන්ගේ පවුලේ අවසන් ගිවිසුම්ගත කම්කරුවා යි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහු සිය මවගේ පාරම්පරික තොරතුරු සෙවීම ඇරඹි විට දී, ඔවුන් ඉන්දියාව හැරදා පැමිණ තිබුණේ 1865, 1868, 1870, සහ 1875 වැනි පසු වසරවල බව ඔහු සොයාගත්තේ ය. එනිසා ඔවුන් පැමිණියේ කුමන ගම්වලින් ද යන්න නිවැරදිව පැවසීමට ඔහුට හැකි ය.

"මගෙ අම්මගෙ පැත්තෙ සීයගෙ මව් පාර්ශවයේ ආච්චි ජොසෙමියා 1870 අගෝස්තු 25 ඉඳන් නොවැම්බර් 26 දක්වා යාත්‍රා කරපු විල්ෂයර් ගමනෙන් මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. මට එයාගේ සහෝදරයා වුණු ජුමාන් ජොලාහාගෙන් පැවතෙන කට්ටියව උත්තර් ප්‍රදේශ්වලින් (ඉන්දියාවේ එනම් ප්‍රාන්තය) හම්බුණා."

ඉන්දියානු ඉඩම් ලේඛනවලින් ජොසෙමියා සොයාගැනීමට ෂම්ෂු දීන්ට නොහැකිවුව ද, මරණ රෙජිස්ටරයක් පිරික්සීමෙන් සහ සොයාගෙන තිබූ දත්ත භාවිතාවෙන් ඔහුගේ පවුලේ නැතිවුණු ශාඛාවේ කොටසක් සොයාගැනීමට ඔහු සමත්විය.

අනතුරුව ඔහු ඔවුන් සොයා ගිය අතර, 1872 දී ඉන්දියාවෙන් ගිවිසුම්ගත ශ්‍රමිකයෙකු ලෙස කැරිබියානු දූපත් වෙත පැමිණි ඔහුගේ පවුලේ අවසන් සාමාජිකයා වූ භෝන්ගීගෙන් පැවැත එන්නන් හමුවීමට තරම් වාසනාවන්ත විය. වයස අවු. හතක පමණක් වන විට ඇය ට්‍රිනිඩෑඩ් වෙත පැමිණ සිටියේ ඇගේ දෙමාපියන් හා සොයුරු සොයුරියන් තිදෙනා සමග ය. කැරිබියන් දූපත් සහ ඉන්දියාව යන දෙතැනම විසූ භෝන්ගීගේ ඥාතීන් හමුවීමට යාමෙන් ෂම්ෂු දීන් සතුටක් ලැබීය.

"මගෙ ළඟ තියෙන්නේ භෝන්ගීගෙ එක ෆොටෝ එකක් විතර යි. එයා 1949 දී, මට අවුරුදු තුනේ දී මැරිලා තියෙන්නෙ. එයා මී මුණුබුරන්ගේ ළමයින්ව දකින්නත් ජීවත් වුණා. එයාට අවුරුදු 115ක් ජීවත් වුණා කියලා කිව්වට, එයා මැරෙද්දි වයස 84ක් විතර යි කියලා මම හොයාගත්තා.

විනෝදාංශය වෘත්තියකට හැරෙයි

ෂම්ෂු දීන් භූගෝල විද්‍යා ගුරුවරයෙකුබවට පත්වූ නමුත් ඔහුගේ විනෝදාංශය සමාජ අවධානය දිනාගැනීම පටන්ගත් අතර, හින්දු සහ මුස්ලිම් පවුල් 10ක පවුල් පරම්පරාව සොයාගැනීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයයෙන් ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමිණ.

ගිවිසුම්ගත ශ්‍රම ක්‍රමය නිසා පීඩාවට පත්වූ පුද්ගලයන්ගේ පවුල් 300කට පමණ උපකාර කිරීමට ඔහු කටයුතු කළේ ය. පසුව එය සිය වෘත්තිය බවට පත්කරගත් ඔහු වංශාවලි විද්‍යාඥයෙකු බවට පත්වූ අතර, ගෙවීම් ලබමින්, ට්‍රිනිඩෑඩ් සහ ඉන්දියාවේ පර්යේෂණ කණ්ඩායම්වල සහාය ඇතිව එම කටයුතු සිදු කළේ ය.

Shamshu Deen

ඡායාරූප මූලාශ්‍රය, Shamshu Deen

ඡායාරූප ශීර්ෂ වැකිය, අලුත් පවුලක පරම්පරාව සොයාගැනීමට ඔවුන් හා කටයුතු කරන සෑම අවස්ථාවක දීම නව අභියෝගයක් පැමිණෙනබව ෂම්ෂු දීන් පවසයි

ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝහි අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු වන බස්දියෝ පාන්ඩේ සහ කම්ලා පර්සාද් බිසේසර්, ඔහුගේ උපකාර ලබා පවුල සොයාගත් තැනැත්තන්ට ඇතුළත් වේ.

ඩිජිටල් සිතියම් සහ ඓතිහාසික වාර්තා සඳහා වඩාත් හොඳ ප්‍රවේශයක් තිබීම හේතුවෙන් වර්තමානයේ දී මිනිසුන් සොයාගැනීම ඔහුගේ වෘත්තීය දිවිය ආරම්භයට වඩා තරමක් පහසු නමුත් තවමත් අභියෝග පවතිනබවත්, තමාට 80%ක සාර්ථකත්ව අනුපාතයක් ඇතැ යි තමා තක්සේරු කරන බවත් ෂම්ෂු දීන් පවසයි.

"මට හැමෝගෙම වංශය හොයාගන්න බැහැ. සමහර වෙලාවට ලිපිලේඛනවල තියෙන්නේ වැරදි තොරතුරු," ඔහු පැහැදිලි කරයි.

ජීවිත යළි ගොඩනැගීම

අවාසනාවකට, ඇතැම් ගිවිසුම්ගත ශ්‍රමිකයෝ ඉන්දියාවේ සිට ට්‍රිනිඩෑඩ් බලා එන ගමනේ දී මියගියහ. ගමන් සම්පූර්ණ කළවුන්ට ද නිතර කටුක හා අභියෝගාත්මක තත්ත්වයන් යටතේ සේවය කිරීමට සිදුවිය. නමුත් සාර්ථකත්වය පිළිබඳ කතන්දර ද තිබුණේ ය.

ෂම්ෂු දීන් පැහැදිලි කරන පරිදි, ඇත්තෙන්ම බොහෝ කම්කරුවන් තම කොන්ත්‍රාත් කාලය අවසන්වූ පසු ස්වේච්ඡාවෙන් ට්‍රිනිඩෑඩ්හි නැවතුනු අතර නිදහස් මිනිසුන් ලෙස දිවි ගෙවා තිබේ.

ට්‍රිනිඩෑඩ්හි බාලි සහ ලීලා මහරාජ්ගේ පවුල් ගස් සොයාගැනීමට ඔවුනට උපකාර කළබව ඔහු සිහිපත් කරයි. ඔවුන්ගේ පවුල් ගසෙහි හිටපු ගිවිසුම්ගත ශ්‍රමිකයෙකු වූ පල්ටු පර්සාද් සිටියි. ඉන්දියාවේ ඔහුගේ උපන් ගමෙන් ඉඩමක් මිලදී ගැනීමට සමත්වූ පල්ටු පර්සාද් එහි පාසැලක් පිහිටුවීය. මහරාජ් යුවළට පාසල නැරඹීම සඳහා විශේෂ සංචාරයක යෙදීමට ද ෂම්ෂු දීන් උපකාර කළේ ය.

සාමාන්‍යයෙන් අතිශය හැඟීම්බරව ඇරඹෙන මෙවැනි සිදුවීම් සහ යළි එක්වීම්වලින් තමාට ද සන්තෝෂයක් ලැබෙනබව ෂම්ෂු දීන් පවසයි. ඩේවිඩ් ලඛාන් හා ඔහුගේ පවුල ද එවැනිම චිත්තවේගීය ප්‍රවාහයක් අත්වින්දේ ය.

A family from Trinidad looks at the school their grand dad built in India

ඡායාරූප මූලාශ්‍රය, Shamshu Deen

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රිනිඩෑඩ්හි බාලි සහ ලීලා මහරාජ් (මල් මාලා පැළඳ සිටින) ගිවිසුම්ගත කම්කරුවෙකු වූ ඔවුන්ගේ සීයා වන පල්ටු පර්සාද් විසින් ඉන්දියාවේ ඉදිකරන ලද පාසලකට ගියෝ ය

"ඉස්කෝලෙ දවස්වල ඉඳන්ම මට ලොකු උවමනාවක් තිබ්බා මගෙ මීමුත්තා ආවෙ කොහෙන්ද කියලා හොයලා බලන්න," ට්‍රිනිඩෑඩ්හි වෙසෙන 65-හැවිරිදි ලඛාන් පවසයි.

"එයා මෙහෙ ඇවිල්ලා තිබ්බේ 1888 දී, වයස යන්තම් 22ක් වෙද්දි. එයා ලියකියවිලිවලට දීලා තියෙන්නේ එක නම යි - ඒ, ලඛාන්. නමුත් මට ඕනෑ වුණා මගෙ මීමුත්තා මෙච්චර දුරක් එන්න ගත්ත තීරණය පිටුපස තිබුණු ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව හොයාගන්න," ඔහු බීබීසීයට පවසයි.

ලඛාන්ගේ සොහොයුරා, පියා, කුලය සහ ඔහු පැමිණි ගමේ නම ඇතුළත් විගමන ලේඛන එරට ජාතික ලේඛනාගාරයෙන් සොයාගැනීමට ෂම්ෂු දීන් සමත්විය. ඔහුගේ ඉන්දීය සබඳතා භාවිතා කරමින් ඩේවිඩ් ලඛාන්ගේ දිගුකලක් අතුරුදන්ව සිටි ඥාතීන් සොයාගැනීමට ඔහු සමත්වූ අතර, මෙනිසා වසර 132කට වැඩි කලක් තුළ සිදුවූ එම ආකාරයේ පළමු පවුල් හමුව 2020 දී ඉන්දියාවේ දී පැවැත්විණි.

හැඟීම්බර යළි එක්වීම්

"ඒක හරියට හීනයක් හැබෑවුණා වගේ. ඒ සම්බන්ධය තදට දැනුනා. මම ඇඬුවා. තමන්ගෙ පවුල ගැන දැනගන්න ලැබෙන එක විශිෂ්ට හැඟීමක්. ඒක විශිෂ්ට අත්දැකීමක්," ඩේවිඩ් ලඛාන් පවසයි.

ඔවුන්ගේ ගමට යෑමට පෙර ලඛාන්ගේ විස්තෘත පවුලේ සාමාජිකයින්ට මුලින්ම ඔහු මුණගැසුණේ ශුද්ධවූ වරනාසි නගරයේ දී ය.

A family from Trinidad looks at the school their grand dad built in India

ඡායාරූප මූලාශ්‍රය, Shamshu Deen

ඡායාරූප ශීර්ෂ වැකිය, යළි හමුවීමක්

"අපිව පිළිගන්න මුළු ගමම ඒවි කියලා අපි බලාපොරොත්තු වුණේ නැහැ. ඒගොල්ලෝ අපට මල් මාලා දැම්මා," ඩේවිඩ්ගේ බිරිය ගීතා ලඛාන් සිහිපත් කරයි.

"අමුතු දේ තමයි, අපට එයාලව හම්බවෙයි කියලා අපට යම් බලාපොරොත්තුවක් තිබ්බා. එයාලටත් අපිව හම්බවෙයි කියලා එහෙම බලාපොරොත්තුවක් තිබිලා," යි ඩේවිඩ් ලඛාන් පවසන්නේ "ඔබව සොයාගැනීමට ද කිසිවෙකුට ඕනෑවී තිබේ" ය යන අදහස ගැන ප්‍රීතියෙන් ඉල්පෙමිනි.

ඔවුන්ට ගාසිපූර් හැරදමා නොගොස් නතරවූ ලඛාන්ගේ සොහොයුරු පොතීගේ මී මුණුබුරු මිණිබිරියන් හමුවූ අතර, ලඛාන් විසූ නිවෙස ඔහුගේ දරුවන් විසින් කඩාදමා යළි ගොඩනගා තිබුණි.

පවුල් සැබෑ ජීවිතයේ දී එකිනෙකා හමුවීමට පෙර විඩියෝ පණිවුඩ හරහා එකිනෙකා සමග කතාබහකර තිබූ අතර, දැන් ඔවුන් පරිවර්තන මෙවලම් භාවිතයෙන් භාෂා බාධක ජය ගනිමින්, නිතිපතා ඒ ආකාරයෙන් සන්නිවේදනය කරයි.

ගීතා ලඛාන් පවසන පරිදි ඈ ඇගේ ඉන්දියානු ඥාතීන් හා තමා අතර බොහෝ සමානකම් නිරීක්ෂණයකර තිබේ. මෙසේ වූයේ ගිවිසුම්ගත ශ්‍රමිකයන් ඔවුන්ගේ සංස්කෘතික දැනුම අනාගත පරම්පරාව වෙත ලබාදුන් නිසායැ යි ඇය විශ්වාස කරයි.

"අම්මා ඒ දවස්වල උයපු වැංජනවලින් ආපු සුවඳම යි අපි ඉන්දියාවෙදි කාපු වැංජනවලින් ආවෙත්. අපි රස විඳින්නේ එකම සංගීතය. මගේ දෙමාපියො හින්දි භාෂාවෙන් කතා කරන්න පුරුදුවෙලා හිටියා. මම හින්දි කතා කරන්නේ නෑ, ඒත් මම හින්දියෙන් යාඥා කරනවා," ඇය පැහැදිලි කරයි.

දැන් ඔවුන් ඔවුන්ගේ සත් හැවිරිදි මුණුබුරාට තම ඉන්දීය සංචාරය ගැන පවසමින් ඔහුගේ කුතුහලය පෝෂණය කරනබවත්, එමඟින් ඔහු ඔහුගේ උරුමය ගැන උනන්දුවක් ඇතිකර ගනු ඇතැ යි බලාපොරොත්තු වනබවත් ගීතා සහ ඩේවිඩ් ලඛාන් ප්‍රකාශ කරයි.

අපි ආපසු ෂම්ෂු දීන් දෙසට හැරෙමු. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පවා රැකියාවෙන් ලැබුණු උද්යෝගීමත් හැඟීම අත්හරින්නට ඔහුට නොහැකිවූ අතර, 1996 දී ඔහු තවත් පවුල් 14ක් සොයා සයමසකට ඉන්දියාවට ගියේ ය.

මේ වන විට 76 වැනි වියේ පසුවන ෂම්ෂු දීන් පවසන්නේ ඔහුගේ වැඩකටයුතු තවමත් "සතුට සහ [යහපත්] සෞඛ්‍යයක්" ලබා දෙනබව යි.

"හැම සිද්ධියක්ම ප්‍රහේලිකාවක්. කිසිම සිදුවීම් දෙකක් එක වගේ නැහැ. මගේ ශරීර ශක්තිය යි මගේ මතකය යි තියෙන තාක්කල් මම දිගටම මේ වැඩේ කරනවා. මේකෙන් මට දිගටම වැඩ කරගෙන යන්න හයියක් ලැබෙනවා," ඔහු පැහැදිලි කරයි.

ඔහුගේම පවුලේ ඉතිහාසය තුළට කිමිදීමෙන් ඔහු ලබා ඇති දැනුම කුමක් ද?

"මගේ ගෙදර ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ. මගේ දරුවො, දරුවන්ගෙ දරුවො ඉන්න කැනඩාවේ. ඒ අය ට්‍රිනිඩෑඩ් එක්කත්, ඉන්දියාව එක්කත් වංශාවලි සහ සංස්කෘතික සබඳකම් පවත්වාගන්නවා.

"මම හිතන්නේ මානව වර්ගයා වගේම අපි හැමෝම සංක්‍රමණිකයො. අප්‍රිකාවෙන් ඉන්දියාවට, ට්‍රිනිඩෑඩ්වලට, කැනඩාවට, ඊළඟට කොහෙට ද? ඒත් ඉන්දියානු උරුමය කියන එක අපෙ ඇතුළාන්තයේ කෙටිලා තියෙනවා," ඔහු පවසයි.