ඉරානය ආසන්නයේ ඇමෙරිකානු යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා නිරීක්ෂණය වෙයි

    • Author, රිචර්ඩ් අර්වින්-බ්‍රවුන්
    • Author, ඇලෙක්ස් මරේ
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ඉරානයේ හමුදා වැඩසටහන සහ විරෝධතාකරුවන්ට එරෙහි මෑත කාලයේ සිදුකළ මාරාන්තික මර්දනයට එරෙහිව ඇමෙරිකාව සිය පීඩනය වැඩි කරමින් සිටින මොහොතක, ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Abraham Lincoln නෞකාව ඉරානය ආසන්නයේ ඇති බව BBC Verify චන්ද්‍රිකා ඡායාරූප භාවිත කරමින් තහවුරු කර ඇත.

ඇමෙරිකානු සහ ඉරාන නිලධාරීන් දෙවන වටයේ සාකච්ඡා සඳහා අඟහරුවාදා (පෙබරවාරි 17) ස්විට්සර්ලන්තයේදී හමුවීමට නියමිත ය. ඉරානය පවසන්නේ, මෙම රැස්වීමේදී තම න්‍යෂ්ටික වැඩසටහන සහ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කරන බව ය. ඇමෙරිකාව මීට පෙර වෙනත් කරුණු ද සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පෙන්වා දී තිබේ.

බහු-මෙහෙයුම් ප්‍රහාරක සහ ආරක්ෂක හැකියාවන් සපයන යුද නැව් තුනකින් ද සමන්විත ප්‍රහාරක කණ්ඩායමකට නායකත්වය දෙන ඒබ්‍රහම් ලින්කන් නෞකාව, F35 වර්ගයේ ප්‍රහාරක යානා ඇතුළු ගුවන් යානා 90ක් සහ කාර්ය මණ්ඩලය 5,680ක් රැගෙන යන අතර, ජනවාරි මස අග සිට ගල්ෆ් කලාපයේ යොදවා ඇති බව වාර්තා වන නමුත් මේ දක්වා චන්ද්‍රිකා ඡායාරූපවල දක්නට නොලැබිණි. එය ඉරානයේ සිට කිලෝමීටර් 700ක් පමණ දුරින් ඕමානයේ වෙරළට ඔබ්බෙන් ස්ථානගත කර ඇත.

ලොව විශාලතම යුද නෞකාව වන USS Gerald R Ford නෞකාව ද ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මැදපෙරදිග කලාපයට යොමු කරනු ලැබ ඇති බවත්, එය ඉදිරි සති තුන ඇතුළත එම කලාපයට ළඟා විය හැකි බවත් වාර්තා වේ.

ඒබ්‍රහම් ලින්කන් නෞකාව පැමිණීම, පසුගිය සති කිහිපය තුළ මැද පෙරදිග වත්මන් එක්සත් ජනපද හමුදා වර්ධනය කිරීම පිළිබඳව අප දන්නා කරුණු අතරට අලුතින් එක්වූ කරුණකි. එහිදී කලාපය තුළ ඇමෙරිකානු ප්‍රහාරක යානා, සටන් නැව් සහ ප්‍රහාරක ජෙට් යානාවල වැඩිවීමක් BBC Verify නිරීක්ෂණය කර ඇත.

ඇමෙරිකාව මැද පෙරදිගට යොමු කර ඇති හමුදාමය උපකරණ මොනවා ද?

යුරෝපීය Sentinel-2 චන්ද්‍රිකාව මගින් ප්‍රසිද්ධියේ ලබා ගත හැකි රූපවලින් ඕමාන වෙරළට සැතපුම් 150ක් (කිලෝමීටර් 240ක්) පමණ අරාබි මුහුදේ ඒබ්‍රහම් ලින්කන් නෞකාව ස්ථාන ගත කර ඇති බව පෙන්වයි.

ජනවාරි මාසයේ මැද පෙරදිග කලාපයට ඇතුළු වූ දා සිට එම නෞකාව දැකගත නොහැකි වූයේ, එය විවෘත මුහුදේ පැවති නිසාත්, එම ප්‍රදේශවල චන්ද්‍රිකා ආවරණය සීමිත වූ නිසාත් ය. චන්ද්‍රිකා ඡායාරූපවලට ගොඩබිම ඇති හමුදා උපකරණ පහසුවෙන් හඳුනාගත හැකි ය.

චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන් මැදපෙරදිග කලාපයේ ඇති ඇමෙරිකා එක්සත් ජනපද නැව් 12ක් අප නිරීක්ෂණය කර ඇත්තෙමු:

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS ඒබ්‍රහම් ලින්කන් සහ බහු-මෙහෙයුම් ප්‍රහාරක සහ ආරක්ෂක හැකියාවන් සහිත යුද නැව් තුනක් සමග මෙම ප්‍රහාරක කණ්ඩායම සමන්විත වී ඇත. එමෙන් ම, දිගු දුර මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සහිත නෞකා දෙකක් ද ඇතුළුව වෙරළට ආසන්න සටන් කිරීමට හැකියාව සහිත කුඩා නැව් තුනක් ගල්ෆ්හි බහරේන් නාවික මූලස්ථානයේ යොදවා ඇත. මධ්‍යධරණී මුහුදට නැගෙනහිරින් පිහිටි සවුඩා බේ හමුදා කඳවුර අසල තවත් ප්‍රහාරක නෞකා දෙකක් ඇති අතර තවත් නෞකාවක් රතු මුහුදේ ස්ථානගත කර තිබේ.

ජෝර්දානයේ මුවෆාක් සල්ටි හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති F-15 සහ EA-18 ප්‍රහාරක ජෙට් යානාවල වැඩිවීමක් අප දැක ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ යුරෝපයෙන් මැද පෙරදිග දෙසට ගමන් කරන ඇමරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ ඉන්ධන පිරවීමේ සහ සන්නිවේදන ගුවන් යානාවල වැඩිවීමක් අපි නිරීක්ෂණය කරමින් සිටිමු.

ඉරානය ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේ ද?

ඉරානය සිය හමුදා බලය ප්‍රදර්ශනය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පෙබරවාරි 6 වන දා ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආඥා බළකාය (US Central Command) විසින් ප්‍රහාරක ජෙට් යානා, නිරීක්ෂණ ගුවන් යානා, වෙරළාරක්ෂක නැව් සහ බහු-මෙහෙයුම් ප්‍රහාරක හැකියා සහිත යුද නැව් සමග අරාබි මුහුදේ යාත්‍රා කරන ප්‍රහාරක ගුවන් යානා රැගත් USS ඒබ්‍රහම් ලින්කන් නෞකා ඛණ්ඩයේ හමුදා ශක්තිය පෙන්වන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරන ලදී.

සඳුදා, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසයක් පැවැත්වීය. එම අභ්‍යාසය අතරතුර, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර්, වරායේ ඇති නැව් පරීක්ෂා කළ අතර, පසුව එක් යාත්‍රාවකින් මිසයිල දියත් කළ බව තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වැදගත් ම නැව් මාර්ගවලින් එකක් වන අතර ඉන්ධන ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන ප්‍රධාන නැව් මාර්ගයකි. ඉරානයේ ප්‍රධාන ඉන්ධන පර්යන්තය වන කාර්ග් දූපතෙන් සිදුකරන අපනයනය ඇතුළුව ලෝකයේ තෙල් හා ගෑස්වලින් පහෙන් එකක් පමණ ඒ හරහා ගමන් කරයි. ඉරානයේ නවතම හමුදා අභ්‍යාසයේදී, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් හෙලිකොප්ටරයකින් එම දිවයිනට ඉහළින් පියාසර කරන ආකාරය ද පෙන්වන ලදී.

වෙනිසියුලාව සහ ඔපරේෂන් මිඩ්නයිට් හැමර් සමග මෙය සැසඳෙන්නේ කෙසේ ද?

හමුදා බුද්ධි විශේෂඥ ජස්ටින් ක්‍රම්ප් බීබීසී වෙරිෆයි වෙත පැවසුවේ, මැද පෙරදිග වත්මන් එක්සත් ජනපද හමුදා ගොඩනැගීම අතීත ක්‍රියාමාර්ගවලට වඩා ශක්තිමත් සහ දිගු කල් පවතින බව ය. ජනවාරි මාසයේදී හිටපු වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීමට ගත් උත්සහයට සහ පසුගිය ජූනි මාසයේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පෙර වූ සූදානම ඉක්මවා යන බව ද ඔහු පැවසීය.

ඒ සියල්ලට ම බහු ප්‍රහාරක කණ්ඩායමක් සහ තනිව ම ක්‍රියාත්මක වන ප්‍රහාරක නෞකා කිහිපයක් ඇතුළත් වේ. කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසරේ වෙනිසියුලාවේ සහ ඉරානයේ සිය හමුදා යෙදවූයේ ඉතා වෙනස් තත්ත්වයන් යටතේ ය.

වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරවලට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය කැරිබියන් දූපතට USS ජෙරල්ඩ් ආර්.ෆෝඩ් නෞකාව යෙදවූ අතර එය එකල කලාපයේ අප නිරීක්ෂණය කළ යුද නැව් අටෙන් එකක් විය. නමුත් ඉන් භාවිත කළේ ගුවන් යානා කිහිපයක් පමණි. එයට හේතුව වූයේ, ඇමරිකාවේ ප්‍රධාන භූමියේ ඇති හමුදා කඳවුරුවලින් හෝ පුවර්ටෝ රිකෝහි පිහිටා ඇති ඇමෙරිකානු කඳවුරෙන් පහසුවෙන් ප්‍රහාරක ජෙට් යානා යැවීමට හැකිවීම ය. මදුරෝ අල්ලා ගන්නා අවස්ථාවේ මෙහෙයුම් සඳහා යොදා ගත් බවට දැකිය හැකි වූ හෙලිකොප්ටර් ගුවන්ගත කිරීමට හැකි විශේෂිත නාවික යාත්‍රා ද කැරිබියන් දූපත් අසල ඇමෙරිකාව ස්ථානගත කර තිබිණි. කෙසේ වෙතත්, වෙනිසියුලාවේ හමුදාව සාමාන්‍යයෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමට හෝ ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට අඩු හැකියාවක් පෙන්නුම් කළ බව සැලකිය හැක.

පසුගිය වසරේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගත් ඔපරේෂන් මිඩ්නයිට් හැමර් මෙහෙයුමේදී එක්සත් ජනපදය ඉරානයට පහර දුන් විට, ඔවුන් වෙනිසියුලාවට වඩා බලවත් හමුදාවක් ඇති රටකට පහර දෙමින් සිටියහ. ඉරාන හමුදාවට මැද පෙරදිග පුරා ඇමෙරිකානු කඳවුරුවලට පහර දීමට හැකියාව ඇත.

මිඩ්නයිට් හැමර් මෙහෙයුම අතරතුර, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එම කලාපයට ගුවන් යානා රැගත් ප්‍රහාරක නෞකා දෙකක් ද මධ්‍යධරණී සහ රතු මුහුදේ ප්‍රහාරක නෞකා පහක් සහ ගල්ෆ්හි යුද නෞකා තුනක් ස්ථානගත කරනු ලැබ තිබිණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට යුරෝපයට ප්‍රහාරක ජෙට් සහ ඉන්ධන පිරවුම් ගුවන් යානා ද රැගෙන ගියේ ය. කෙසේ වෙතත්, ෆෝඩෝ, ඉස්ෆහාන් සහ නැටන්ස්හි න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දුන් B-2 වර්ගයේ බෝම්බ හෙළන යානා ඇත්ත වශයෙන් ම මිසූරිහි පිහිටි ඇමෙරිකානු එක්සත් ජනපද හමුදා කඳවුරකින් පිටත් විය.

අවදානම් සහ බුද්ධි කටයුතු පිළිබඳ සමාගමක් වන Sibylline හි ප්‍රධාන විධායක නිලධාරී ජස්ටින් ක්‍රම්ප් පැවසුවේ, යුද නැව්, ගුවන් යානා සහ කලාපයේ ගුවන් කඳවුරු අටක් ඇතුළුව ඇමෙරිකා එක්සත් ජනපද හමුදා වත්කම් ඒකරාශී කිරීම හරහා ඇමෙරිකා එක්සත් ජනපදයට ඉහළ ගුවන් මෙහෙයුම් සංඛ්‍යාවක් සිදු කිරීමට ඉඩ සලසන බව ය. ඉරානයට එරෙහිව ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව දුර්වල කිරීමේ අරමුණින් දිනකට ප්‍රහාරක ගුවන් ගමන් 800ක් පමණ දියත් කළ හැකි බව ඔහු පැවසීය.

"දැන් සිදුවෙමින් පවතින්නේ පහර දීමට සූදානම් වීම පමණක් නෙමෙයි. එය සටන් කිරීමට පමණක් නොව ගැටුම වැළැක්වීමට (අධෛර්යවත් කිරීමට) අදහස් කරන විශාල හමුදා යෙදවීමක්. මෙම සැකසුම වෙනිසියුලාවේ තත්ත්වය සඳහා හෝ පසුගිය වසරේ ඔපරේෂන් මිඩ්නයිට් හැමර් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය භාවිත කළ බලවේගවලට වඩා ශක්තිමත් සහ දිගුකාලීන යි. අවශ්‍ය නම් ඇමෙරිකා එක්සත් ජනපදයට සටන් කිරීමට සහ කලාපයේ හෝ ඊශ්‍රායලයට එල්ල වන ඕනෑ ම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි එය සැලසුම් කර තිබෙනවා."

අතිරේක වාර්තාකරණය : බාබරා මෙට්ස්ලර්, ගොන්චේ හබිබියාසාඩ්, තෝමස් කෝප්ලන්ඩ්, යී මා