ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ඇත්තට ම යුද්ධ කොපමණ ගණනක් අවසන් කර තිබේ ද?

    • Author, ජේක් හොර්ට්න් සහ නික් බීක්
    • Role, BBC Verify

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට මැදිහත්වීම් කිරීමට උත්සහ කරන අතර තුර, ඔහුගේ සිය දෙවන ධූර කාලය ආරම්භ වූ දා සිට සාම සාකච්ඡාවලදී ඔහු ඊට පෙර අත් කර ගත් සාර්ථකත්වය ගැන ද සඳහන් කරයි.

යුරෝපීය නායකයින් විසින් සටන් විරාමයක් සඳහා බලපෑම් කරන ලෙස ඔහුට බල කරන ලද අගෝස්තු 18 වන දින ඔහු ධවල මන්දිරයේදී මෙසේ පැවසීය: "මම යුද්ධ හයක් අවසන් කරලා තියෙනවා... මම ඒක කළේ 'සටන් විරාමය' කියන වචනයවත් කියන්නෙවත් නැතිව."

ඉන්පසු දින ඔහු සඳහන් කළ අංකය "යුද්ධ හතක්" දක්වා වර්ධනය විය.

"සාම දූත ප්‍රධානියා" ලෙස ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගයක් ලැබීම "බොහෝ කලකට පෙර සිදු වන්නට තිබූවක්" බව ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කරන්නේ ඔහු අවසන් කළ බව පවසන "යුද්ධ" ද උපුටා දක්වමිනි.

ඇතැම් ගැටුම් පැවතියේ දින කිහිපයක් පමණක් නමුත් ඒවා දිගුකාලීන ආතතීන්ගෙන් පැමිණි ඒවා වූ අතර, ඒවායින් සමහරක් සාම ගිවිසුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ ද යන්න අපැහැදිලි ය.

ට්‍රම්ප් ඔහුගේ Truth සමාජ වේදිකාවේ ඒවා ගැන කතා කරන විට "සටන් විරාමය" යන වචනය ද කිහිප වතාවක් ම භාවිත කළේ ය.

මෙම ගැටුම් සහ ඒවා අවසන් කිරීමේ ගෞරවය ඇමෙරිකානු ජනාධිපතිවරයාට කොතෙක් දුරට ලබා ගත හැකි ද යන්න සම්බන්ධයෙන් BBC Verify විසින් සමීපව විමසා බැලීමක් කරන ලදී.

ඊශ්‍රායලය සහ ඉරානය

මෙම දින 12ක ගැටුම ආරම්භ වූයේ ජූනි 13 වන දින ඊශ්‍රායලය ඉරානයේ ඉලක්ක වෙත පහර දීමත් සමග ය.

ප්‍රහාරවලට පෙර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඒ බව තමාට දැනුම් දෙන ලද බව ට්‍රම්ප් තහවුරු කළේ ය.

එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කළ අතර, එය ගැටුම ඉක්මන් අවසානයක් කරා තල්ලු කළ බවට ලෙස පුළුල් ලෙස සැලකෙයි.

ජූනි 23 වන දින ට්‍රම්ප් මෙසේ පළ කළේ ය: "නිල වශයෙන්, ඉරානය සටන් විරාමය ආරම්භ කරනවා, 12 වන පැයේදී, ඊශ්‍රායලය සටන් විරාමය ආරම්භ කරන කරනවා. 24 වන පැයේදී, දින 12ක යුද්ධයේ නිල අවසානයට ලෝකය විසින් ආචාර කරනු ලබනවා."

සටන් අවසන් වීමෙන් පසු, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අවධාරණය කළේ තම රට "තීරණාත්මක ජයග්‍රහණයක්" ලබා ඇති බව ය. නමුත් එහිදී ඔහු සටන් විරාමයක් ගැන කිසිදු සඳහනක් නොකළේ ය.

එතැන් සිට, නව තර්ජනවලට මුහුණ දීම සඳහා නැවත ඉරානයට පහර දිය හැකි බව ඊශ්‍රායලය පවසා තිබිණි.

"ස්ථිර සාමයක් පිළිබඳව හෝ අනාගතයේදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නිරීක්ෂණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව කිසිදු එකඟතාවක් නෑ," බෲකින්ස් ආයතන බුද්ධි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන මයිකල් ඕ'හැන්ලන් පැවසීය.

"ඉතින් අපට තියෙන්නේ යුද්ධයේ සැබෑ අවසානයකට වඩා අවිධිමත් සටන් විරාමයක් වැනි දෙයක්. නමුත් එක්සත් ජනපද සහය ඇතිව ඊශ්‍රායලය ඉරානය දුර්වල කිරීම උපායමාර්ගිකව වැදගත් වෙලා තියෙන නිසා, මම ඔහුට යම් ගෞරවයක් ලබා දෙනවා."

පකිස්ථානය සහ ඉන්දියාව

න්‍යෂ්ටික අවි ඇති මෙම රටවල් දෙක අතර ආතතීන් වසර ගණනාවක් තිස්සේ පැවතුණ ද, මැයි මාසයේදී ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රහාරයක් නිසා සතුරුකම් මතු විය.

දින හතරක් තිස්සේ පැවති ගැටුම්වලින් පසු, ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ ඉන්දියාව සහ පකිස්ථානය "පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට" එකඟ වී ඇති බව ය.

මෙය "ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් දීර්ඝ රැයක් පුරා පැවති සාකච්ඡාවල" ප්‍රතිඵලයක් බව ඔහු පැවසීය.

පකිස්ථානය ට්‍රම්ප් වෙත ස්තූති කළ අතර, පසුව ඔහුගේ "තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම" උපුටා දක්වමින් නොබෙල් සාම ත්‍යාගය සඳහා ඔහුව නිර්දේශ කළේ ය.

කෙසේ වෙතත්, ඉන්දියාව එක්සත් ජනපද මැදිහත්වීම පිළිබඳ සාකච්ඡා අවතක්සේරු කළේ ය: "හමුදා ක්‍රියාමාර්ග නැවැත්වීම පිළිබඳ සාකච්ඡා ඉන්දියාව සහ පකිස්ථානය අතර ඍජුව ම පැවැත්වූයේ දෙපාර්ශවයේ ම හමුදා අතර පිහිටුවා ඇති සම්බන්ධීකරණයන් හරහා," ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පැවසීය.

රුවන්ඩා සහ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය

මෙම වසර මුලදී නැගෙනහිර කොංගෝ ප්‍රාන්තයේ ඛනිජවලින් පොහොසත් ප්‍රදේශයක් M23 නමැති කැරලිකාර කණ්ඩායම අත්පත් කර ගැනීමෙන් පසු මෙම රටවල් දෙක අතර පැවති දිගුකාලීන සතුරුකම් නැවත ඇවිළී ගියේ ය.

දශක ගණනාවක් තිස්සේ පැවති ගැටුම් අවසන් කිරීමේ අරමුණින් ජූනි මාසයේදී වොෂින්ටනයේදී දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කරන ලදී. එය ඔවුන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳ කටයුතු වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි ට්‍රම්ප් පැවසීය.

2024 අගෝස්තු මාසයේදී රුවන්ඩාවට සහ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයට [ඔවුන්] එකඟ වූ "සටන් විරාමයට ගරු කරන" ලෙසට එහි සඳහන් විණි.

නවතම ගිවිසුමෙන් පසුව, දෙපාර්ශවය ම සටන් විරාමය උල්ලංඝණය කළ බවට එකිනෙකාට චෝදනා කළ අතර, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය රුවන්ඩාවට සම්බන්ධ බවට පවසන M23 කැරලිකරුවෝ සාම සාකච්ඡාවලින් ඉවත් වන බවට තර්ජනය කළහ.

"දැනටත් කොංගෝව සහ රුවන්ඩාව අතර ගැටුමක් තියෙනවා. ඒ කියන්නේ සටන් විරාමය ඇත්තට ම සිදු වුණේ නෑ," යැයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය උගන්වන මහාචාර්යවරියක වන මාගරට් මැක්මිලන් පවසයි.

තායිලන්තය සහ කාම්බෝජය

ජූලි 26 වන දින, ට්‍රම්ප් Truth සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක මෙසේ සඳහන් විය: "මම මේ දැන් තායිලන්තයේ වැඩබලන අගමැතිට කතා කරනවා, සටන් විරාමයක් ඉල්ලන්න සහ දැන් මේ ඇදිලා යන යුද්ධය නවත්තන්න කියලා."

දේශසීමා ආසන්නයේ සතියකටත් වඩා අඩු කාලයක් පුරාවට පැවති සටන්වලින් දින කිහිපයකට පසුව රටවල් දෙක ම "ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයකට" එකඟ විය.

මැලේසියාව සාම සාකච්ඡා සඳහා සත්කාරකත්වය දැරූ නමුත්, තායිලන්තය සහ කාම්බෝජය සටන් නතර නොකළහොත් එක්සත් ජනපද තීරු බදු අඩු කිරීම [ආනයන මත බදු] පිළිබඳ පැවැත්වෙන සාකච්ඡා අවසන් කරන බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු ඇඟවීය.

දෙරට ම එක්සත් ජනපදයට සිදු කරන අපනයන මත දැඩි ලෙස රඳා පවතියි.

අගෝස්තු 7, තායිලන්තය සහ කාම්බෝජය ඔවුන්ගේ දේශසීමාවේ ආතතීන් ලිහිල් කිරීම සඳහා ගිවිසුමකට එළඹිණි.

ආර්මේනියාව සහ අසර්බයිජානය

අගෝස්තු 8 වන දා ධවල මන්දිරයේදී ප්‍රකාශයට පත් කළ සාම ගිවිසුම ඇති කර ගැනීමේ කාර්යභාරය වෙනුවෙන් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය ලැබීමට සුදුසු බව දෙරටේ නායකයෝ පැවසූහ.

"මම හිතන්නේ ඔහු මෙතැනදී හොඳ ගෞරවයක් හිමි වෙනවා, ඕවල් ඔෆිස් එකේ තිබුණ [සාම ගිවිසුම] අත්සන් කිරීමේ උත්සවය දෙපාර්ශවට ම සාමය ඇති කර ගන්න පෙළඹවීමක් කළා," ඕ'හැන්ලන් පැවසීය.

නගෝර්නෝ-කරබාක්හි තත්ත්වය කේන්ද්‍ර කර ගනිමින් වසර 40කට ආසන්න කාලයක් පැවති ඔවුන්ගේ ගැටුම අවසන් කිරීමට සූදානම් බව මාර්තු මාසයේදී රජයන් දෙක පවසා තිබිණි.

මෑතකාලීනව, බරපතළ ලෙස සටන් පුපුරා යාමක් වූයේ, 2023 සැප්තැම්බර් මාසයේදී අසර්බයිජානය එම ප්‍රදේශය (බොහෝ වාර්ගික ආර්මේනියානුවන් ජීවත් වූ) අත්පත් කර ගැනීමත් සමග ය.

ඊජිප්තුව සහ ඉතියෝපියාව

එක්සත් ජනපද ජනාධිපතිවරයාට අවසන් කිරීමට සැබෑ "යුද්ධයක්" නොතිබූ නමුත් නයිල් ගඟේ වේල්ලක් සම්බන්ධයෙන් ආතතීන් දිගු කලක් පැවතිණි.

ඉතියෝපියාව මෙම ගිම්හානයේදී Grand Ethiopian Renaissance වේල්ල ඉදිකිරීම අවසන් කළ අතර, ඊජිප්තුව තර්ක කළේ මෙයින් නයිල් ගඟෙන් ලැබෙන ජලය අඩු විය හැකි බව ය.

වසර 12ක මතභේදයකින් පසු, ජූනි 29 ඊජිප්තු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉතියෝපියාව සමග සාකච්ඡා නැවැත්වූ බව ය.

ට්‍රම්ප් මෙසේ පැවසුවේ ය: "මම ඊජිප්තුවේ හිටියා නම් මටත් නයිල් ගඟේ වතුර ඕනේ වෙනවා." එක්සත් ජනපදය මෙම ගැටලුව ඉක්මනින් ම විසඳන බවට ඔහු පොරොන්දු විය.

ඊජිප්තුව ට්‍රම්ප්ගේ වචන පිළිගත් නමුත් ඉතියෝපියානු බලධාරීන් පැවසුවේ ඒවායින් ආතතීන් අවුළුවාලීමේ අවදානමක් ඇති කරන බව ය.

ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර මෙතෙක් ඔවුන්ගේ මතභේද විසඳීම සඳහා විධිමත් ගිවිසුමකට එළැඹී නැත.

සර්බියාව සහ කෝසොවෝ

ජූනි 27, ට්‍රම්ප් මෙම රටවල් දෙක අතර සතුරුකම් පැතිරීම වැළැක්වූ බව ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය: "සර්බියාව සහ කොසොවෝ ඒ තීරණයට යන්න හිටියේ, ලොකු යුද්ධයකට යන්න ගියේ. මම කිව්වා ඔයාලා ඒකට ගියොත් එක්සත් ජනපදය ඔයාලා සමග කිසිදු වෙළෙඳාමක් කරන්නේ නෑ කියලා. ඔවුන් කිව්වා, හරි, එහෙනම් අපි ඒ තීරණයට යන්නෑ කියලා."

1990 දශකයේ බෝල්කන් යුද්ධවලින් පැවත එන්නක් ලෙස, ආසන්න වසරවලදී ආතතීන් ඉහළ යමින් පවතින දිගු ආරවුලක් රටවල් දෙක අතර පවතියි.

"සර්බියාව සහ කෝසොවෝ එකිනෙකාට එරෙහිව සටන් කර හෝ වෙඩි තබාගෙන නෑ, ඒ නිසා ඒක යුද්ධයක් අවසන් කරනවා නෙවෙයි," මහාචාර්ය මැක්මිලන් පැවසුවා ය.

ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික උත්සහයන් ගැන ධවල මන්දිරය අපට පැහැදිලි කළේ ය.

2020දී ජනාධිපතිවරයා සමග ඕවල් කාර්යාලයේදී ආර්ථික සාමාන්‍යකරණ ගිවිසුම් රටවල් දෙක විසින් අත්සන් කරන ලද නමුත් ඒ වන විට ඔවුන් යුද්ධයක යෙදී සිටියේ නැත.

අතිරේක වාර්තාකරණය පීටර් මුවෙයි, ශෘති මෙනන් සහ ඊව් වෙබ්ස්ටර් විසිනි.