ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විරෝධතා සහ ඇමෙරිකානු අනතුරු ඇඟවීම් මැද දුර්වල ම අවස්ථාවකදී ඉරානයට එල්ල වන පීඩනය
- Author, අමීර් අසීමි
- Role, බීබීසී පර්සියානු සේවය
වීදි විරෝධතා ඉරානයට ආගන්තුක නොවන නමුත් වත්මන් නොසන්සුන්තාව වටා ඇති සාධක කිහිපයක් එය ඉතා බරපතළ තත්ත්වයකට පත් කර තිබේ.
සඳුදා විරෝධතා ආරම්භ වී දින නවයක් ගත වී තිබේ. දින හතරක් හෝ පහක් ඇතුළත, ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඉරාන නායකයින්ට විරෝධතාකරුවන් පීඩනයට පත්කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ "ආයුධ සුදානම්ව ඇති" බව පවසමිනි. මෙයින් පසුව වෙනිසියුලාවේ නිකොලස් මදුරෝ ඉලක්ක කර ගත් එක්සත් ජනපද විශේෂ හමුදා මෙහෙයුම සිදු වූ අතර ඉරිදා තවත් අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී.
විරෝධතා තවමත් සිදුවෙමින් පවතින අතරතුර, බලයේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු විසින් සිදුකරනු ලබන එවැනි ඍජු තර්ජන අතිශයින් අසාමාන්‍ය වේ. එය විරෝධතාකරුවන් ධෛර්යවත් කළ හැකි අතර, නොසන්සුන්තාව තවදුරටත් ව්‍යාප්ත වීමට දිරිගැන්විය හැකි ය.
ඉරාන පොලිසිය සහ ආරක්ෂක හමුදා ආරම්භයේ සිට ම ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර, මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ පුද්ගලයින් 20කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ය. ට්‍රම්ප් ඊළඟට කුමක් කරයි ද? යන්න පිළිබඳව දැන් අවධානය යොමු වී තිබේ.
ඉහළ යමින් ඇති උද්ධමනය සහ වසරකට පෙර තිබූ තත්ත්වයට වඩා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය මුදල් ඒකකයේ වටිනාකම 80% ක් පමණ පහත වැටීම පිළිබඳ වූ මහජන කෝපය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 28 වන ඉරිදා සාමකාමීව විරෝධතා ආරම්භ විය.
ඉරානයේ ආර්ථිකය බරපතළ අර්බුදයක පවතින අතර, මේ වසරේ හෝ ලබන වසරේ ආර්ථිකය වර්ධනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. නිල උද්ධමනය 42% ක් පමණ වන අතර, ආහාර මිල 70%කට වඩා වැඩි වී තිබේ. ඇතැම් මූලික භාණ්ඩවල පිරිවැය 110% කට වඩා වැඩි වී ඇති බව වාර්තා වේ.
අවදානම් තත්ත්වය
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද ජාත්‍යන්තර සම්බාධක ඉරානයේ ආර්ථික ගැටලු තවත් උග්‍ර කර ඇති නමුත් එය මේ සඳහා වූ එක ම හේතුව නොවේ.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් සම්බන්ධ ඉහළ පෙළේ දූෂණ නඩු මහජන කෝපය වැඩි කර ඇති අතර ඇතැම් පාලක ප්‍රභූවරුන් ආර්ථික අර්බුදයෙන් ප්‍රයෝජන ගන්නා බවට ඇති විශ්වාසය දැඩි කර ඇත.
බොහෝ සාමාන්‍ය ඉරාන ජාතිකයින් විශ්වාස කරන්නේ බොහෝ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් විශේෂ ගනුදෙනු, වෙළෙඳාම පාලනය කිරීම, ඛනිජ තෙල් මුදල් විදේශගත කිරීමට සහ මුදල් විශුද්ධිකරණය හරහා සම්බාධකවලින් ලාභ ලබන බව ය.
රජයේ නිලධාරීන් පවසන්නේ, "සම්බාධක ලාභ ලබන්නන්" ලෙස හඳුන්වන අය සම්බාධකවලට වඩා චෝදනා ලැබිය යුතු බව ය.
දෛනික මුදල් උච්ඡාවචනයට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ගේ වෙළෙඳසල් වසා දමා වෙළෙඳපොළ ස්ථාවර කිරීම සඳහා රජයේ මැදිහත්වීම ඉල්ලා ටෙහෙරානයේ ග්‍රෑන්ඩ් බසාර්හි ව්‍යාපාරිකයින් විවෘතව විරෝධතා දැක්වූ පළමු කණ්ඩායම විය.
වෙළෙඳ ප්‍රජාවෙන් ඇරඹි විරෝධතා වේගයෙන් රටේ අනෙක් ප්‍රදේශ කරා පැතිර ගියේ ය. ආර්ථික සටන් පාඨ ඉක්මනින් දේශපාලනික බවට පත්වූ අතර, සමස්ත ඉස්ලාමීය ජනරජය ම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
සිසුන් ද විරෝධතාවලට එක්වූ අතර, පසුව අනෙකුත් නගර සහ ගම්මානවල පිහිටි කුඩා ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව ද එයට එක් වූහ. දින කිහිපයක් ඇතුළත, ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව සටන් පාඨ පෙළපාළිවල ප්‍රධාන කොටසක් බවට පත්විය.
ඉරානය මෙවැනි රට පුරා නොසන්සුන්තාවකට අවසන් වරට මුහුණ දුන්නේ මීට වසර හතරකට පමණ පෙර ය. එරට පොලිසිය රඳවාගෙන සිටි මහ්සා අමීනි නම් තරුණියගේ මරණය 1979න් පසු විශාලතම රාජ්‍ය විරෝධී විරෝධතා ඇති කළ අවස්ථාව විය.
අනතුරුව "මහ්සා ව්‍යාපාරය" හෝ "කාන්තාව, ජීවිතය, නිදහස" ලෙස ප්‍රසිද්ධියට පත් වූ එම පෙළපාළි, රාජ්‍යයේ අත්තිවාරම් සොලවා දැමූ නමුත් අවසානයේ බලහත්කාරයෙන් සහ සමූහ අත්අඩංගුවට ගැනීම් මගින් එය මර්දනය කරන ලදී.
වත්මන් විරෝධතා වේගයෙන් පැතිර යමින් දින කිහිපයක් පැවතුණ ද, ඒවා තවමත් 2022 ඇති වූ විරෝධතා තරම් විශාල හෝ තීව්‍ර තත්ත්වයට පත්වී නොමැත.
ඉරානයේ මාධ්‍යවේදීන්ට දැඩි පීඩනයක් එල්ල වන අතර, ස්වාධීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන රට තුළ වාර්තා කිරීම තහනම් කර ඇත, නැතහොත් අවසර දී ඇත්නම්, ඔවුන්ට ඇතුළු විය හැකි ස්ථාන දැඩි ලෙස සීමා කර ඇත.
ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ තොරතුරු පැමිණෙන්නේ සමාජ මාධ්‍යවලින් සහ ඔවුන් දකින දේ හුවමාරු කර ගන්නා පුද්ගලයින් හරහා ය. එය කරුණුවල සත්‍යතාව තහවුරු කිරීම දුෂ්කර කරයි. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කෘත්‍රිම බුද්ධිය හරහා ව්‍යාජ සහ නොමග යවන තොරතුරු ව්‍යාප්ත කළ හැකි බැවින් එය තවත් උග්‍ර වූ ගැටලුවක් බවට පත්කර ඇත.
බොහෝ නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ, වත්මන් තත්ත්වය 2022ට වඩා බරපතළ විය හැකි බව ය. දේශීය විරෝධතා සහ කලාපයේ ඇති වී තිබෙන ප්‍රධාන වෙනස්කම් යන සිදුවීම් දෙකට ම එක්වර මුහුණ දීමට සිදුව ඇති ඉරාන රජය දශක ගණනාවකින් පසු දුර්වල ම රජය ලෙස සැලකේ.
පසුබෑම් මාලාවක්
2025 ගිම්හානයේදී ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවති දින 12ක යුද්ධය හැරවුම් ලක්ෂයක් වූ අතර, එය අවසන් වූයේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඍජුව මැදිහත් වීමෙන් එල්ල කළ ගුවන් ප්‍රහාරයකිනි.
යුද්ධයේදී ඉරානයේ ආරක්ෂක හැකියාවන්, න්‍යෂ්ටික පහසුකම් සහ බොහෝ හමුදා සහ කාර්මික ස්ථානවලට දැඩි ලෙස හානි ඇති විය.
ඒ සමග ම, කලාපය තුළ ඉරානයේ බලපෑම දුර්වල වී ඇත. සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ වැටීම හරහා ඉරානයේ ප්‍රධාන සහයකයෙකු අහිමි වී ඇති අතර, ලෙබනනයේ හිස්බුල්ලා වෙත ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමෙන් එහි ඉහළ ම නායකත්වයේ බොහෝ දෙනෙකු මිය ගොස් ඇත.
මෑතකදී, වෙනිසියුලාවේ සිදුකළ ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුමකදී නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අල්ලා ගැනීම හේතුවෙන් විදේශයන්හි ඉරානයට ඇති විකල්ප තවදුරටත් සීමා කර ඇත.
මෙම සිදුවීම් කලාපයේ සහ ලෝකයේ ඉරානයේ ස්ථාවරය වෙනස් කර ඇත. කලාපීය ගැටුම්වලදී ටෙහෙරානයට දැන් අඩු මිත්‍ර පාක්ෂිකයින් සිටින අතර එහි ඛනිජ තෙල් ආදායම විදේශයන්ට ගෙන යාමට ඇති මාර්ග අවම ය.
රුසියාව සමග එක්ව වෙනිසියුලාවේ ඛනිජ තෙල් කර්මාන්තයට ඉරානය දක්වන දැඩි මැදිහත්වීම සහ චීනයේ ඇතැයි විශ්වාස කෙරෙන වෙළෙඳපොළට සම්බන්ධ සංකීර්ණ මූල්‍ය විධිවිධාන මත එහි යැපීම සැලකිල්ලට ගත් විට මෙය විශේෂයෙන් වැදගත් වේ.
අභ්‍යන්තර පීඩනය අඛණ්ඩව වර්ධනය වන අතරතුර, මෙම ජාල කඩාකප්පල් කිරීම නිසා ඉරානයේ ආර්ථිකය වඩාත් අවදානමට ලක් කර ඇත.
මෙම පසුබිම යටතේ, ඉරානයේ වයස්ගත උත්තරීතර නායක අලි කමේනි ඔහුගේ පාලනයේ වඩාත් ම අවිනිශ්චිත කාලයකට මුහුණ දෙන බව පෙනෙන්නට තිබේ.
කලාපයේ නියෝජිත බලවේග ගොඩනැගීමට වසර 30කට වැඩි කාලයක් ගතවෙද්දී, සම්බාධක මග හැරීමේ මාර්ග සහ න්‍යෂ්ටික යටිතල පහසුකම් කෙටි කාලයක් තුළ හානි වී හෝ විනාශයට ලක්වී ඇත.
ට්‍රම්ප් නැවතත් ධවල මන්දිරයට සහ නෙතන්යාහු ඊශ්‍රායලයේ බලයට පත්වීමත් සමග, වත්මන් අර්බුදය ඉහළ පිරිවැයකින් තොරව විසඳීමට පහසු රාජ්‍ය තාන්ත්‍රික හෝ උපායමාර්ගික ක්‍රමයක් නොමැති බව පෙනේ.
වසර ගණනාවක් තිස්සේ, කමේනි සහ ඔහුගේ අභ්‍යන්තර කවය, ඉරානයේ දිගුකාලීන ආරක්ෂාව සහ තාක්ෂණික දියුණුව සඳහා අවශ්‍ය ආයෝජන ලෙස කලාපීය සහචරයින් සහ න්‍යෂ්ටික වැඩසටහන සඳහා දැවැන්ත වියදම් සාධාරණීකරණය කළහ.
අද, එම තර්කය දුර්වල බව පෙනේ. ඉරානය තුළ සහ පිටත පීඩනය ඉහළ යන විට, එම ප්‍රතිපත්ති සහතික කළ යුතු වූ දේශීය ආරක්ෂාව දැන් කවරදාකටත් වඩා දුරස් බවක් දැනේ.