ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථානවලට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ඉරානය කෙසේ ප්‍රතිචාර දක්වයි ද?
- Author, සර්බාස් නසාරි
- Role, BBC මොනිටරින්- ඉරානය
ඊශ්‍රායල-ඉරාන යුද්ධය දෙවන සතියට පිවිසෙද්දී, දැඩි ආරක්ෂාවක් යටතේ පැවති ෆෝඩෝ ඇතුළු ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් එක්සත් ජනපදය සිදු කළ නවතම මැදිහත්වීම හේතුවෙන් ටෙහෙරානය නොසන්සුන් වී තිබේ.
දැඩි ආරක්ෂාවක් යටතේ භූගතව පිහිටි ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට පහර දීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රාත්තල් 30,000ක් (කිලෝග්‍රෑම් 13,600) බරැති Massive Ordnance Penetrator (MOP) බෝම්බ භාවිත කිරීමට සහ නටාන්ස් සහ ඉස්ෆහාන් වෙත ප්‍රහාර එල්ල කිරීමට අවසර දෙනු ලැබී ය.
එවැනි ඇමෙරිකානු මැදිහත්වීමක් සිදුවුවහොත් "ආපසු හැරවිය නොහැකි හානියක්" සිදුවන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබූ අතර, දැන් ඉස්ලාමීය ජනරජය ගැටුම් උත්සන්න වීම හමුවේ ඔවුන් මීට පෙර සඳහන් කළ විකල්ප කිහිපයක් පිළිබඳව සලකා බලමින් සිටී.
කලාපීය එක්සත් ජනපද කඳවුරුවලට පහර දීම
ඇමෙරිකාව මොන යම් හෝ ප්‍රහාරයක් එල්ල කළහොත් කලාපය තුළ ඇමෙරිකාවට සම්බන්ධ සියලු ම ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ. ටෙහෙරානයේ ප්‍රතිචාරය "ඇමෙරිකා එක්සත් ජනපදය තම ක්‍රියාව ගැන පසුතැවිලි වීමට හේතු වනු ඇත" යනුවෙන් ප්‍රහාරවලින් පසු නිවේදනයක් නිකුත් කරමින් විප්ලවවාදී ආරක්ෂක බළකාය පැවසුවේ, ප්‍රහාර සඳහා පහසුකම් සැලසූ ඇමෙරිකානු කඳවුරුවල අවදානම ඉස්මතු කරමිනි.
ඉරානයේ බැලස්ටික් මිසයිලවල පරාසය තුළ පිහිටි ඉරාකය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට්, ජෝර්දානය සහ සිරියාව යන රටවල එක්සත් ජනපදය සිය කඳවුරු පවත්වාගෙන යයි. කැපී පෙනෙන ස්ථාන අතර කටාර්හි අල්-යුඩෙයිඩ් ගුවන් කඳවුර සහ එක්සත් ජනපද 5 වන බලඇණියට (US 5th Fleet) සත්කාරකත්වය සපයන බහරේනයේ නාවික කඳවුර ඇතුළත් වේ.
2020දී, ට්‍රම්ප්ගේ නියෝගය පරිදි ඉරානයේ ඉහළ පෙළේ අණ දෙන නිලධාරියෙකු වූ කාසෙම් සොලෙයිමානි ඝාතනයට පළිගැනීමක් ලෙස, ඉරානය ඉරාකයේ ඇමෙරිකානු හමුදා රැඳී සිටින අල් අසාද් ගුවන් කඳවුරට පහර දුන්නේ ය.
ටෙහෙරානය එක්සත් ජනපදයට කල්තබා අනතුරු ඇඟවීමක් කර තිබූ පරිදි, ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ නමුත්, බොහෝ දුරට සංකේතාත්මක ප්‍රතිචාරයක් ලෙස සැලකෙන පරිදි කඳවුරට හානි සිදු විය.
මෙවර ටෙහෙරානයට ද එවැනි ම ප්‍රවේශයක් අනුගමනය කළ හැකි ය.
කෙසේ වෙතත්, ආතතිය ඉහළ යන වත්මන් තත්ත්වය තුළ, අඛණ්ඩ ගැටුම ඉරානයට අහිමි වීමට ඉතිරිව ඇත්තේ ඉතා සුළු දෙයක් බව හැඟෙන තැනට තල්ලු කළහොත්, කලාපයේ තානාපති කාර්යාල ඇතුළු එක්සත් ජනපද මිලිටරි නොවන ස්ථානවලට ඍජු ප්‍රහාර එල්ල කිරීම සිදු විය හැකි ය.
එවැනි අවදානම් ඇති වීමට ඉතා ප්‍රබල ඉඩක් තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම
ඉරානය සහ එහි බටහිර විරුද්ධවාදීන් අතර ආතතිය උත්සන්න වන සෑම අවස්ථාවක ම සහ ඉරානයේ දේශපාලන හා හමුදා නිලධාරීන් විසින් වසර ගණනාවක් පුරා මෙම හුරුපුරුදු තර්ජනය නැවත නැවතත් එල්ල කරනු ලැබ තිබේ.
මෙම පටු ගල්ෆ් ජල මාර්ගය උපාය මාර්ගිකව තීරණාත්මක ස්ථානයක් වන අතර ඒ හරහා ගෝලීය ඉන්ධන ප්‍රවාහනයෙන් පහෙන් එකක පමණ ප්‍රමාණයක් සිදුවේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ගැන සිදුවන ප්‍රකාශ වැඩි වෙමින් පවතින අතර ඊට පක්ෂව හඬ නගන දැඩි මතධාරීන් තර්ක කරන්නේ, එවැනි පියවරක් තුළින් ගෝලීය ඉන්ධන වෙළෙඳපොළට සහ එක්සත් ජනපද ආර්ථිකයට ගැඹුරු ප්‍රතිවිපාක ඇති කළ හැකි බව ය.
එය වසා දැමීමේ විකල්පය සාක්ෂාත් කර ගත හැක්කේ නාවික බිම්බෝම්බ, කෲස් මිසයිල, වෙරළ ආරක්ෂක මෙන් ම ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය මෑත වසරවලදී නිෂ්පාදනය කර ගබඩා කර ඇති වේග ප්‍රහාරක බෝට්ටුවල එකතුවක් හරහා ය.
කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ඉරානයට ද අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකි ය, මන්ද එය ඉරානයේ ප්‍රධාන ඉන්ධන පාරිභෝගිකයා වන චීනය සමග ඇති ඉතා වැදගත් වෙළෙඳ සබඳතා සංකීර්ණ කළ හැකි බැවිනි.
ගල්ෆ් කලාපයේ සහ රතු මුහුදේ නැව් සහ ස්ථාන ඉලක්ක කර ඩ්‍රෝන, මිසයිල සහ බිම්බෝම්බ එල්ල කරමින් සමුද්‍ර ආක්‍රමණවල නිරත වීම පිළිබඳව ඉරානයට ඇත්තේ සීමිත ඉතිහාසයකි. නමුත් ඇමෙරිකානු ප්‍රහාරවලින් පසුව, ඉරානය ඉන්ධන නැව්, සෞදි අරාබිය හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අසල්වැසි රටවල ඇති වරායන් හෝ බලශක්ති පහසුකම් ඉලක්ක කර ගනිමින් ගෝලීය තෙල් අර්බුදයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් වඩාත් ප්‍රබල ප්‍රහාර එල්ල කළ හැකි වනු ඇත.
ට්‍රම්ප්ගේ නියෝග මත ක්‍රියාත්මක වූ මෙහෙයුමෙන් පසු, ඉරානයේ අතිශය ගතානුගතික පුද්ගලයින් කිහිප දෙනෙකු සෞදි බලශක්ති පහසුකම්වලට ඍජුව පහර දීමට ඇති ඉඩ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
මිත්‍ර පාක්ෂිකයින්ගේ සහය ලැබීම
ඊශ්‍රායලය සමග යුද්ධය සහ නවතම ඇමෙරිකානු මැදිහත්වීම, කලාපයේ සිටින ඉරානයේ මිත්‍ර හමුදා ජාලය,"උදව් අවශ්‍යව සිටින තම මිතුරු" ඉරානයට උපකාර කිරීමට පෙළඹවීමට ඉඩ ඇත. සීමිත පරිමාණයකින් වුව ද, එක්සත් ජනපද වත්කම් හෝ සැපයුම් මාර්ග වෙත එකිනෙකා හා සම්බන්ධ වී ප්‍රොක්සි ප්‍රහාර එල්ල කිරීම, එක්සත් ජනපදයට සහ කලාපය තුළ එහි කටයුතුවලට සැබෑ කනස්සල්ලක් ඇති කරයි.
කෙසේ වෙතත්, ඉරානය වසර ගණනාවක් පුරා එම කණ්ඩායම්වලට අරමුදල් සැපයීම සහ ආයුධ සැපයීම සිදු කළ ද, ඔවුන් වර්තමානයේ ආරක්ෂක කටයුතුවලින් වෙහෙසට පත්ව සිටින අතර, නව ගැටුමක පැටලීමට මැළිකමක් දක්වන බව පෙනේ.
2023 ඔක්තෝබර් සිට 2024 නොවැම්බර් දක්වා ඊශ්‍රායලය සමග පැවති යුද්ධයෙන් දුර්වල වූ හිස්බුල්ලා සංවිධානය, ඉරාන හමුදාවන්ට සහය දක්වන බවට පැහැදිලිව සඳහන් කර නොමැති අතර, මේ දක්වා ගැටුමේ නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් සිටියි. හානියට පත් ප්‍රදේශ යළි ගොඩනැගීම සහ දිගු කලක් පුරා පවතින ආර්ථික අර්බුදය විසඳීම ඇතුළු බේරූට් රජයේ ප්‍රමුඛතාවලට සහය වන ලෙස සහ නිරායුධ වන ලෙස ලෙබනන් රජයෙන් සහ මාධ්‍යයෙන් එල්ල වන පීඩනයට ඔවුහු මුහුණ දෙති.
වත්මන් යුද්ධය අතරතුර යේමනයේ හූති කැරලිකරුවන් ද ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාරවල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර නොමැත. නමුත් නවතම ඇමෙරිකානු ප්‍රහාරවලට පෙර සහ පසුව, රතු මුහුදේ ඇමෙරිකානු යාත්‍රා ඉලක්ක කරන බවට ඔවුහු අනතුරු ඇඟවූහ. එම වචන ක්‍රියාවට නැංවීම යනු මැයි මාසයේදී වොෂින්ටනය සමග එකඟ වූ ඔවුන්ගේ ම සටන් විරාමය උල්ලංඝණය කිරීමක් විය හැකි ය.
ඉරාකය, පක්ෂපාතීත්වය මේ දක්වා අනතුරු ඇඟවීම් සහ සහයෝගීතාවයේ ප්‍රකාශවලට සීමා වී ඇති අතර, සිරියාව සම්බන්ධයෙන් ගත් කල, ටෙහෙරානයේ සගයා වන බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු ඩැමස්කස් රජය සහ ප්‍රොක්සි කණ්ඩායම් යන දෙඅංශයේ ම සහයෝගය ඉරානයට ලැබීම අඩු වෙමින් පවතී.
කෙසේ වෙතත්, වසර 46ක පාලනයට තර්ජනයක් විය හැකි ආකාරයෙන් බරපතළ ලෙස ගැටුම් උත්සන්න වීමක් සිදුවුවහොත්, ඉස්ලාමීය ජනරජය එහි කලාපීය මිත්‍ර කණ්ඩායම්වලින් - විවිධ මට්ටම්වලින් වුව ද - ඔවුන්ගේ පවතින වත්කම් මත පදනම්ව ගැටුමට සම්බන්ධ වීමට අපේක්ෂා කරනු ඇත.
අවදානම් තක්සේරුව
ඊශ්‍රායලය සමග යුද්ධය අතරතුර, ඉස්ලාමීය ජනරජය ඊශ්‍රායල් නගර සහ හමුදා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම වැනි නිශ්චිත අරමුණක කටයුතු කළ අතර ඍජු එක්සත් ජනපද ප්‍රතිචාරයක් ඇති කළ හැකි ඕනෑ ම පියවරකින් වැළකී සිටීමට දැඩි පියවරක් ගෙන ඇත.
වත්මන් ගමන්මග දිගේ යුද්ධය තවදුරටත් ඇදී ගියහොත්, ඉරානය ඊශ්‍රායලය දෙසට යොමු කරන මිසයිල සීමා කිරීමට සිදුවනු ඇත. පළමු දිනයේදී ඔවුන් ඒවායින් 150ක් මුදා හැරි අතර, මෑත දිනවල එම අගය දිනකට 30ක් දක්වා පහත වැටී තිබේ.
එක්සත් ජනපද වත්කම්වලට එරෙහිව පුළුල් හා දිගු ප්‍රහාරයක් එල්ල වුවහොත්, ක්ෂය වන ආයුධ යන්නෙන් අදහස් වන්නේ, ප්‍රතිචාර දැක්වීමට සීමිත ධාරිතාවක් ඇති වීම යි. පළිගැනීම් මගින් ඉරානයට පෙරමුණු දෙකක යුද්ධයකට මුහුණ පෑමට සිදුවිය හැකි අතර, එමගින් ඇමෙරිකානු ප්‍රතිප්‍රහාර විශාල සංඛ්‍යාවක් ඇති කිරීමටත්, ඉස්ලාමීය ජනරජ නායකත්වය තවදුරටත් අර්බුදයකට තල්ලු කිරීමටත් ඉඩ තිබේ.
ඉස්ලාමීය ජනරජය තමන්ට ඇති විකල්ප ගැන සිතන විට, එක්සත් ජනපදය සමග බරපතළ ගැටුමකට අවතීර්ණ වීමේ ප්‍රතිවිපාක අනපේක්ෂිත සිදුවීම්වලට නොඑසේ නම් තම පැවැත්මට තර්ජනයක් ඇති කිරීමට ඉඩ ඇති බැවින් ඔවුන් බොහෝ දුරට එක ඇසක් තම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය දෙසට යොමු කරනු ඇත.