ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
Q & A: ඊශ්‍රායල - ඉරාන ගැටුම පිළිබඳ ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු
බදාදා රාත්‍රියේ ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකාට අඛණ්ඩව ප්‍රහාර එල්ල කළ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය ගැටුමට සම්බන්ධ වේ ද යන්න විමසූ විට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, "මම කරන්නත් පුළුවන්, නොකර ඉන්නත් පුළුවන්," යනුවෙනි.
වත්මන් තත්ත්වය සහ ගැටුම තවත් නරක අතට හැරුණහොත් කුමක් සිදුවිය හැකි ද යන්න පිළිබඳ ඔබේ ප්‍රශ්නවලට බීබීසී විශේෂඥයෝ සහ වාර්තාකරුවෝ පිළිතුරු සපයති.
ඊශ්‍රායලය දැන් ඉරානයට බෝම්බ හෙළන්නේ ඇයි?
පසුගිය මාස කිහිපය තුළ ඉරානය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීම වේගවත් කරමින් සිටි බවත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මැඩපැවැත්වීම අරමුණු කර ගත් සාකච්ඡා සාර්ථක නොවූ බවත්, මෙය එහි අවසාන විකල්පය බවත් ඊශ්‍රායලය පවසයි.
ඉරානයෙන් සිය පැවැත්මට තර්ජනයක් එල්ල වන බව ඊශ්‍රායලය පවසා ඇති අතර, ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගන්නේ නම්, ඊශ්‍රායල රාජ්‍යය විනාශ කරන බවට ඔවුන් කලින් දිවුරා පවසා ඇති බැවින්, ඉරානය එය භාවිත කරනු ඇතැයි ඊශ්‍රායලය තර්ක කර තිබේ.
ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීමට ආසන්නව සිටි බව කලාපයේ සෙසු රටවල් අනිවාර්යයෙන් ම බෙදා ගන්නා මතයක් නොවන අතර, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ද එය පිළිනොගනී. ඉරානය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ආසන්න බව ප්‍රකාශ නොකළ එක්සත් ජනපද බුද්ධි අංශ නිකුත් කළ විවෘත මූලාශ්‍ර වාර්තාව ද එය පිළිනොගනී.
- ෆ්‍රෑන්ක් ගාඩ්නර්, ආරක්ෂක වාර්තාකරු
ඉරානයේ සිවිල් වැසියන්ට යා හැක්කේ කොතැනට ද?
ඊශ්‍රායල හමුදාව ටෙහෙරානයේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ඉවත් වීමේ දැනුම් දී ඇති නමුත්, එම ප්‍රදේශ අතිශය ජනාකීර්ණ සහ අධික ජන ඝනත්වයෙන් යුක්ත වේ.
බොහෝ වැසියන් ඔවුන්ට ආරක්ෂිත යැයි සැලකෙන ටෙහෙරානයෙන් උතුරු දෙසට පළා යාමට උත්සහ කරන විට ඇති වූ දැවැන්ත රථවාහන තදබදය දර්ශනවල දැකිය හැකි ය.
එහෙත්, එම ප්‍රදේශවලට ද ප්‍රහාර එල්ල වී තිබේ. ඊශ්‍රායලයේ ප්‍රහාර සෑම ප්‍රදේශයකට ම එල්ල වන හෙයින්, කිසිදු ප්‍රදේශයක් ආරක්ෂිත යැයි සැලකිය නොහැකි ය.
රජය නිවේදනය කළේ, ජනතාවට නවාතැන් ගත හැකි වන පරිදි පැය 24 පුරා ම ටෙහෙරානයේ මෙට්‍රෝ දුම්රිය ස්ථාන විවෘත කර තබන බවට ය.
ටෙහෙරානයේ මිලියන 10ක ජනතාවක් වෙසෙන හෙයින්, එතරම් පිරිසක් ඉවත් කිරීම සැබවින් ම කළ නොහැකි දෙයක් යැයි ඔබට සිතාගත හැකි ය.
- නෆීසේ කොහ්නාවර්ඩ්, මැද පෙරදිග වාර්තාකරු
ඇමෙරිකාව ගැටුමට අවතීර්ණ වුවහොත් ඉරානය ඇමෙරිකානු ඉලක්කවලට පහර දෙයි ද?
ඒ සම්බන්ධයෙන් නිසැකව ම අවදානමක් ඇති අතර, ඉන් ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රතිවිපාක ඇති විය හැකි ය.
මැද පෙරදිග පුරා ස්ථාන 19ක පමණ ඇමෙරිකානු භටයින් 40,000 ත් 50,000 ත් අතර සංඛ්‍යාවක් සිටිති. සයිප්‍රසයේ ද ඇමෙරිකානු භටයින් සිටින අතර බහරේනයේ ඇමෙරිකානු නාවික කඳවුරක් තිබේ.
ඉරානය ඇමෙරිකානු ඉලක්කවලට පහර දීම රඳා පවතින්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය යුද්ධයට සම්බන්ධ වීමට තීරණය කිරීම සහ කොතරම් දුරටක සම්බන්ධ වනවා ද? යන්න මත ය.
- මිකී කේ, Security Brief සත්කාරක
ඊශ්‍රායලය සමග ගැටුමකදී ඉරානයේ ප්‍රොක්සිවරුන්ට ඊට සහය දිය හැකි ද?
මම හිතන්නේ නැහැ - තවදුරටත් එහෙම වෙන්නෙ නෑ.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දුන් දා සිට, ඊශ්‍රායලය ඉරානය සතුව තිබූ පළමු ආරක්ෂක වළල්ලෙන් වැඩි කොටසක් ක්‍රමානුකූලව බිඳ හෙළා ඇත.
ගාසාහි හමාස් බලය දුර්වල වී ඇත, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ආයුධ බොහෝදුරට විනාශ කර ඇත, ඊශ්‍රායලය විසින් නොවුවත් බෂාර් අල්-අසාද් බලයෙන් පහ කළ දා සිට සිරියාව තවදුරටත් ඉරානයේ මිත්‍රයෙකු නොවේ.
යේමනයේ හූතිවරුන්ට කළ හැකි දේ සීමිත වන අතර ඔවුන් හොඳින් සම්බන්ධීකරණය වී නොමැත.
- ෆ්‍රෑන්ක් ගාඩ්නර්, ආරක්ෂක වාර්තාකරු
ඉරානයේ නායකයා කවුද? ඔහුට කොපමණ සහයෝගයක් තිබේ ද?
ඉරානයේ උත්තරීතර නායකයා අලි කමේනි ය. ඔහු ආගමික චරිතයකි, නමුත් ඔහුට ඉරාන ජනාධිපතිවරයාට වඩා බොහෝ බලයක් තිබේ.
ඔහු සන්නද්ධ හමුදාවන්හි අණදෙන නිලධාරියා වන අතර ඇමෙරිකා එක්සත් ජනපදය සමග සාකච්ඡා කිරීම ඇතුළුව රට වෙනුවෙන් තීරණ ගන්නෙකි.
නමුත් ඔහුට ඉරානයේ පූර්ණ සහයෝගයක් නොමැති අතර ජනතාව බෙදී සිටිති, එම බෙදීම මේ වන විට වර්ධනය වෙමින් පවතී.
මීට වසර දෙකකට පෙර, ඉරානයේ පාලන තන්ත්‍රයට එරෙහිව දැවැන්ත විරෝධතා පැවතිණි. කාන්තාවෝ තම අයිතිවාසිකම් සහ නිදහස ඉල්ලා එම විරෝධතාවලට සහභාගි වූහ.
එහෙත්, සන්නද්ධ හමුදා ඇතුළුව ඉරානයට තවමත් ආධාරකරුවන් සිටින බව අපට නොසලකා හැරිය නොහැකි ය.
- නෆීසේ කොහ්නාවර්ඩ්, මැද පෙරදිග වාර්තාකරු
ඉරානයේ පාලනය පෙරළා දැමුවහොත් කුමක් සිදුවේ ද?
ඊට පැහැදිලි පිළිතුරක් නොමැත.
මෑත වසරවලදී, රජය වෙනස් කිරීම සඳහා එක්ව කටයුතු කළ හැකි ඒකාබද්ධ විපක්ෂයක් ඉරානයේ අප දැක නොතිබිණි.
එක් විකල්පයක් වන්නේ, ඉරානයේ හිටපු අධිරාජ්‍යයාගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලාවි ය. ඔහු විදෙස් රටක වාසය කරයි.
ඔහුට ඉරානය තුළ සහ ඉන් පිටත ආධාරකරුවන් සිටිය ද, කොපමණ සංඛ්‍යාවක් සිටී ද යන්න පැහැදිලි නැත.
ඔහුට විරුද්ධවාදීන් ද සිටින අතර, ප්‍රතිසංස්කරණවාදීන් ද සිටිති. වසර 40කට පමණ පෙර පෙරළා දැමූ ඉරාන රාජාණ්ඩුව නැවත පිහිටුවීමට ඔවුන්ට අවශ්‍ය නොවනු ඇත.
එබැවින්, නායකත්වය භාර ගත හැකි තනි පුද්ගලයෙකු සිටී ද යන්න පැහැදිලි නැත.
- නෆීසේ කොහ්නාවර්ඩ්, මැද පෙරදිග වාර්තාකරු
ෆොර්දෝ පිහිටා ඇත්තේ කොහේ ද? එය කුමක් ද?
ෆොර්දෝ පිහිටා ඇත්තේ, ටෙහෙරාන් නගරයට කිලෝමීටර් 200ක් (සැතපුම් 124ක්) දකුණු දෙසිනි. එය ඉරානය සතුව ඇති තීරණාත්මක යුරේනියම් බලගැන්වීමේ මර්මස්ථාන දෙකෙන් එකකි.
ෆොර්දෝ ආරක්ෂිතව තබා ගැනීම සඳහා එය කන්දක් තුළ ගැඹුරු ස්ථානයක ඉදිකර ඇත. එය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සඳහා යුරේනියම් බලගැන්වීම් සිදු කරන ඉරානයේ ප්‍රධාන ස්ථානවලින් එකකි.
ඊශ්‍රායල හමුදාව දැනටමත් ෆොර්දෝ වෙත ප්‍රහාර එල්ල කර ඇත. එහෙත්, එම ප්‍රහාර ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ඇත්තේ එහි ස්ථාපිත ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති දුර්වල කිරීම සඳහා ය.
- මිකී කේ, Security Brief හි සත්කාරක
ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමට කොතරම් ආසන්න ද?
ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට උත්සාහ කළේ දැයි සැබවින් ම දන්නේ, ඉරානයේ ඉහළ ම න්‍යෂ්ටික විද්‍යාඥයින්, ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් සහ උත්තරීතර නායකයා පමණි. අනෙක් සියල්ල අනුමානයන් පමණි.
මේ මස මුලදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) අනතුරු ඇඟවූයේ, ඉරානය වසර 20කට ආසන්න කාලයකදී පළමු වරට සිය න්‍යෂ්ටික ගිවිසුම කඩ කර ඇති බව ය. ඉරානය සතුව දැන් යුරේනියම් කිලෝග්‍රෑම් 400ක් පමණ 60% දක්වා බලගැන්වීම කර ඇති අතර එය සාමකාමී භාවිතය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ය.
IAEA පැවසුවේ, ඉරානය පූර්ණ සහයෝගයකින් කටයුතු නොකරන බවත්, න්‍යෂ්ටික ද්‍රව්‍ය ආයුධ සඳහා භාවිත නොකරන බව තහවුරු කළ නොහැකි බවත් ය. නමුත් ඉරානය බෝම්බයක් තැනීමට යුහුසුළු වන බව එහි සඳහන් නොවී ය.
පසුගිය සතියේ ඊශ්‍රායල හමුදාව පැවසුවේ, මෑත කාලීන බුද්ධි අංශ වාර්තාවලින් ඉරානය න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට වඩාත් සමීප බවක් පෙන්නුම් කරන බව ය.
මේ බුද්ධි අංශ වාර්තා කාගේ ද? පෙනෙන විදිහට සිය සමීපතම සගයාගෙන් නොවේ. මාර්තු මාසයේදී, ඇමෙරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් කොංග්‍රසයට පැවසුවේ, ඉරානය සතුව ආයුධ ශ්‍රේණියේ යුරේනියම් විශාල ප්‍රමාණයක් පැවතිය ද, ඉන් න්‍යෂ්ටික අවියක් නිපදවන බවක් නොපෙනෙන බව ය.
මේ අතර, ඉරානය සැමවිට ම කියා සිටියේ තම න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් ම සාමකාමී බව ය.
- ෆ්‍රෑන්ක් ගාඩ්නර්, ආරක්ෂක වාර්තාකරු
ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි තිබේ ද?
ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි 90ක් පමණ ඇති බවට ඇස්තමේන්තු තිබේ. නමුත් සැබෑ පිළිතුර නම් අපි නොදන්නා බව ය.
න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ඔවුන් පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් කර නොමැත.
ඊශ්‍රායලය න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ප්‍රඥප්තියේ කොටසක් නොවන අතර, එය තවත් රටවල් බෝම්බ අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා වූ ගෝලීය ගිවිසුමකි.
න්‍යෂ්ටික අවියක් තිබීමට කරුණු තුනක් අවශ්‍ය වේ: පළමුව, යුරේනියම් 90%ක් දක්වා බලගැන්වීම, දෙවනුව, යුද උපකරණ තැනීමේ හැකියාව සහ තෙවනුව, එම යුද උපකරණ ඉලක්කයකට එල්ල කිරීමේ ක්‍රමවේදයක් තිබීම යනු එම කරුණු ය.
දැනට පවතින පරිදි, ඉහත කිසිවක් සම්බන්ධයෙන් ඊශ්‍රායලය විසින් ප්‍රකාශයක් සිදුකර නොමැත.
- මිකී කේ, Security Brief සත්කාරක