ඔබේ පළමු රැකියාව සොයා ගැනීමට උපකාරී වන උපදෙස් 5ක්

    • Author, ස්ටාර් මැක්ෆාර්ලේන්
    • Role, ව්‍යාපාරික පුවත් වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 5

එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ත් 24ත් අතර පුද්ගලයින් අතර විරැකියා අනුපාතය දශකයකට වැඩි කාලයක් තුළ ඉහළ ම අගයක පවතී.

එමෙන් ම අධ්‍යාපනය, රැකියාවක් හෝ පුහුණුව නොලබන තරුණ තරුණියන් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වෙමින් ඇත.

රැකියා සොයා ගැනීම සඳහා තරුණ ප්‍රජාවට කළ හැකි විශේෂිත දේවල් කිහිපයක් පවතින බව වෘත්තීය උපදේශකයෝ පවසති.

ඔබ සති අන්තයේ සිදු කළ හැකි රැකියාවක් හෝ ඔබේ පළමු පූර්ණකාලීන රැකියාවක් සොයමින් සිටිය ද එය ආරම්භ කිරීමට උපකාරී වන ප්‍රධාන උපදෙස් කිහිපයක් මෙහි දැක්වේ.

1. රැකියාවට නොව කුසලතාවට අවධානය යොමු කරන්න

ඔබේ පළමු රැකියාව කුමක්ද වුවත්, එම රැකියාව හරහා ඔබ ඉගෙන ගන්නා පරිවර්තනය කළ හැකි කුසලතා, රැකියාවට වඩා ඔබේ අනාගත වෘත්තීය ජීවිතයට බොහෝ වටිනාකම් එක් කරන බව විශේෂඥයෝ පෙන්වා දෙති.

බාත් විශ්වවිද්‍යාලයේ වෘත්තීය ප්‍රධානී ගිස්ලේන් ඩෙල් පවසන පරිදි බොහෝ ඉහළ පෙළේ රැකියා සඳහා ශක්තිමත් අන්තර් පුද්ගල සබඳතා සහ සන්නිවේදන කුසලතා අවශ්‍ය වන බවයි. මෙවැනි දක්ෂතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබා දෙන ආරම්භක මට්ටමේ රැකියා ඕනෑ තරම් පවතින බවයි.

"ඔබේ සේවාදායකයා ඔබේ වෙළෙඳසැලට පැමිණෙන පාරිභෝගිකයෙකු වෙන්න පුළුවන්, නැතහොත් මෘදුකාංගයක් නිපදවා ගැනීමට අවශ්‍ය පුද්ගලයෙකු වෙන්න පුළුවන්. ඔවුන් කවුරුන් වුව ද ඔවුන් සමඟ හොඳින් කතාබහ කර ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට ඔබට ඇති හැකියාව පෙන්වීම ඉතාමත් වැදගත්," ඇය පවසයි.

Nando's සහ B&Q වැනි වෙළෙඳ නාම මෙන් ම ජාත්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරන ආධුනිකත්ව සැපයුම්කරු Lifetime Trainin හි ප්‍රධාන විධායක චාලට් බොස්වර්ත් පෙන්වා දෙන්නේ ඔබ ඔබේ පළමු රැකියාව පිළිබඳ අනවශ්‍ය ලෙස කල්පනා නොකළ යුතු බවයි.

''වෙළෙඳපොළට පිවිසෙන්න - ඔබ රැකියාවක නිරතව ඉන්න කොට, ඔබට වෙනත් රැකියාවක් ලබා ගැනීමට ඇති හැකියාව වැඩියි" ඇය පවසයි.

2. සූදානම් වීමට AI භාවිත කරන්න

සේවායෝජකයින් වැඩි වැඩියෙන් AI කුසලතා ඇති ඊළඟ පරම්පරාවේ කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට බලාපොරොත්තු වන අතර ඔබේ රැකියා අයදුම්පත් සකස් කිරීමේදී එය භාවිත කර සහය ලබා ගැනීමේ මාර්ග පවතී.

රැකියාවේ විස්තරය සහ සමාගම් වෙබ් අඩවිය AI පද්ධතියකට ඇතුළත් කර "මෙම සේවායෝජකයා සොයමින් සිටින ඉහළම සුදුසුකම් පහ මොනවාද?" වැනි නිශ්චිත ප්‍රශ්න අසන්න. ගිස්ලේන් ඩෙල් යෝජනා කරයි.

ඔබේ අයැදුම්පතේ සැලැස්ම සකස් කර ගැනීමට, ආකෘතිය නිර්මාණය කිරීමට සහ ඔබේ කුසලතා හොඳ ම ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීමට ඔබට මෙම කරුණු භාවිත කළ හැකි බව ඇය පවසයි.

ඔබට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් සිදු කර තිබේ නම්, කර්මාන්තය, සමාගම සහ ඔබ අයැදුම් කරන භූමිකාව මත පදනම්ව ඔබෙන් අසනු ලබන ප්‍රශ්න නිර්මාණය කිරීමෙන් ඔබට ඒ සඳහා සූදානම් වීමට කෘතිම බුද්ධියට උදව් කළ හැකි බව ඩෙල් පවසයි.

කෙසේ වෙතත් ඔබ වෙනුවෙන් ඔබේ අයැදුම්පත AI භාවිතයෙන් ලියවා ගැනීම සම්බන්ධයෙන් ඇය අනතුරු අඟවයි.

සේවා යෝජකයන්ට අවශ්‍ය වන්නේ ඔබ ඔබ ම ලෙස කටයුතු ආකාරය අසා දැන ගැනීමටයි. AI මගින් වැඩසටහන්ගත කළ, ඔබට වඩා අවුරුදු 10ක් වැඩිමහල් පුද්ගලයින් මෙන් ඔබ සිදු කරන අදහස් දැක්වීම අසන්නට ඔවුන්ට අවශ්‍ය නැහැ." ඇය පවසයි.

''වෙනත් කෙනෙකුව අනුකරණය කරනවාට වඩා, සුලු වැරදීම් සහිතව වුණත් ඔබේ ම අදහස් දැක්වීම තමයි වඩාත් ම හොඳ.''

3. ඔබව පෞද්ගලිකව ම හඳුන්වා දෙන්න

දේශීය ආපනශාලා, වෙළෙඳසැල් හෝ පබ් වැනි කුඩා හෝ ස්වාධීන ව්‍යාපාර සඳහා ඔබව පෞද්ගලිකව ම හඳුන්වා දීම ඔබේ විශ්වාසය සහ එම ව්‍යාපාරය පිළිබඳ වැඩි තොරතුරු දැන ගැනීමට ඇති කැමැත්ත පෙන්වීමට උපකාරී වන බව චාලට් බොස්වර්ත් පවසයි.

විවිධ සේවා ස්ථාන වෙත පිවිස ඒවා පිළිබඳ සොයා බැලීමෙන් ඔබ වැඩ කිරීමට කැමති කුමන ආකාරයේ වටපිටාවක ද යන්න පිළිබඳව අදහසක් ලබා ගැනීමට ද එය ප්‍රයෝජනවත් වේ.

''ඔබ දැනටමත් අන්තර්ජාලය හරහා අයැදුම්පතක් යොමු කර තිබුණද, පුද්ගලිකව ගොස් ඔබව හඳුන්වා දීම, රැකියාව පිළිබඳ ප්‍රශ්න ඇසීම සහ ආයතනය කෙරෙහි උනන්දුවක් දැක්වීම ඔබේ අයැදුම්පත ඉදිරියට ගෙන ඒමට හේතුවක් වෙන්න පුළුවන්," ඇය පවසයි.

ඔබේ උනන්දුව පෙන්වීම සඳහා දැනට රැකියා පුරප්පාඩුවක් පිළිබඳ දැන්වීම් පළ කර නොමැති සේවා ස්ථාන වෙත යොමුවීම පවා බොහෝසෙයින් ප්‍රයෝජනවත් වේ. එවිට ඉදිරියේදී අවස්ථාවක් නිර්මාණය වුවහොත් ඔවුන් ඔබ පිළිබඳ සිතනු ඇත.

4. Cover letter (ආවරණ ලිපිය) තුළ ඔබේ පෞරුෂය හොඳින් පෙන්වා දෙන්න

ආවරණ ලිපියක් අනාගත සේවා යෝජකයින්ට ඔබ කවුද සහ ඔබ දැඩි උනන්දුවක් දක්වන්නේ කුමකට දැයි පැවසීමට හිමිවන වඩා හොඳ අවස්ථාවක් විය හැකිය.

එය ඔබ අයැදුම්පත සකස් කිරීමට කාලය වැය කර ඇති බවට ලබා දෙන "සංඥාවක්" ද වන බව social enterprise Youth Employment UKහි පර්යේෂණ සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ බාස් රාමයියා පවසයි.

"එය ඔබේ පෞරුෂය බැබළවීමට හිමිවන අවස්ථාවක්," ඔහු පවසයි.

තරුණ ප්‍රජාව රැකියා සඳහා බඳවා ගැනීමට සේවායෝජකයින්ට බොහෝ හේතු ඇති අතර ඔබේ ආවරණ ලිපියට ඔබ රැගෙන එන හැකියාවන් පිළිබඳ පෙන්නුම් කළ හැකි බව බොස්වර්ත් තවදුරටත් පවසයි.

''ඔබ සතු අත්දැකීම් ප්‍රමාණය කොපමණ වුව ද, ඔබ රැකියාවකට ගෙන එන විශිෂ්ඨ අලුත් අදහස්, ශක්තිය සහ ඔබ දෙයක් දකින් ආකාරය කිසිවිටෙකත් අඩු තක්සේරු කරන්න එපා," ඇය සඳහන් කරයි.

5. තරුණ ප්‍රජාව ඉලක්ක කර ගත් සම්පත් සොයා ගන්න

තරුණ ප්‍රජාවට රැකියාවක් සොයා ගැනීමට උපකාර කිරීම අරමුණු කර ගනිමින් නොමිලේ ක්‍රියාත්මක වන මාර්ගගත සම්පත් සහ කණ්ඩායම් පිළිබඳ සොයා බලන්න.

''රැකියාවක් සොයා ගැනීමට වෙහෙස වන තරුණ පිරිස් සඳහා උපකාර කරන බොහෝ දේශීය කණ්ඩායම්, පුණ්‍යායතන සහ සංවිධාන තිබෙනවා. ගැටලුව වන්නේ බොහෝ දෙනෙක් මෙවැනි ආයතන තියෙන බව දන්නේ නැති එකයි," රාමයියා පවසයි.

අයැදුම්පත් සඳහා කුසලතා වර්ධනය කර ගැනීමට උපකාරී වන තවත් ක්‍රමයක් ලෙස නොමිලේ හැදෑරිය හැකි මාර්ගගත පාඨමාලා රාශියක් ද ඇති බව ඔහු පවසයි.

King's Trust එවැනි පාඨමාලා පිරිනමන එක් සංවිධානයක් වේ. අවුරුදු 16ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස් සඳහා මෙම ආයතනය විවිධ ක්ෂේත්‍රවල රැකියා පුහුණු වැඩසටහන්, පෞරුෂ සංවර්ධන වැඩසටහන්, වැදගත් සම්මුඛ පරීක්ෂණ සහ අයැදුම්පත් සකස් කිරීමේ කුසලතා පිළිබඳ නොමිලේ පාඨමාලා පවත්වයි.

Youth Employment UK ආයතනය ද තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශනය, විශ්වාසය සහ කුසලතා ගොඩනැගීමට නොමිලේ මාර්ගගත පාඨමාලා ඇතුළු සහාය ලබා දෙන අතර, තරුණ තරුණියන්ට අත්දැකීම් සහ විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ නිවැරදි වෘත්තිය සොයා ගැනීමට උපකාර කිරීම සඳහා එක්සත් රාජධානියේ රජය මාර්ගෝපදේශ සහ උපදෙස් ලබා දෙයි.