ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආසියාවේ උසම හීලෑ හස්තියා වූ නැදුන්ගමුවේ විජය රාජා වසර 500ක් පැවතීමට සංරක්ෂණය කර ප්‍රතිනිර්මාණය කළ හැටි
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා කරඬුව වැඩමවීම නිසා ගෞරවාදරයට පත්‍ර වූ නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්‍රතිනිර්මාණය කර, සංරක්ෂණය කර දැන් මහජන ප්‍රදර්ශනයට එක් කොට තිබේ.
ඒ අනුව මාර්තු 11 වෙනිදා සිට ජාතික කෞතුකාගාරයේ, ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී ප්‍රතිනිර්මාණය කරන ලද හස්තියා දැකබලා ගැනීමේ හැකියාව ඇත.
ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළ වර්ෂ 2022 මාර්තු 07 වෙනිදා මිය ගිය නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්‍රතිනිර්මාණය කිරීම ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුව විසින් සිදු කරනු ලැබීය.
කෞතුකාගාර දෙපාර්තුමේන්තුවට අභියෝගයක් වූ හස්තියා ප්‍රතිනිර්මාණය
'උරුමයන් සංරක්ෂණය කර අනාගත පරපුරට දැකබලා ගැනීමට සැලැස්වීම' තම දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යයක් බව පෙන්වා දුන් ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුආරච්චි, ඒ අනුව ජාතික වස්තුවක් ලෙස නම් කරන ලද නැදුන්ගමුවේ විජය රාජ නැවත ප්‍රතිනිර්මාණය කර සංරක්ෂණය කිරීමට කටයුතු කළ බව පැවසුවාය.
දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයාගේ සහ ඇතාගේ භාරිකාරීත්වය පැවරී තිබුණ හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යවරයාගේ කැමැත්ත හා ඉල්ලීම අනුව හස්තියා මිය ගිය දිනයේ ම එම සිරුර සංරක්ෂණ කටයුතු සඳහා ලබා ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියාය.
"හස්තියා ප්‍රතිනිර්මාණය කියන එක දැවැන්ත අභියෝගයක් වුණා ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවට. හරියට ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගේ ආලේඛ්‍ය සිතුවමක් කරනවා වගේ ඉතාම නිවැරදිව කරන්න ඕන. මොකද හැමෝම මේ හස්තියාගේ මුළු ස්වරූපයම දන්න නිසා."
සංරක්ෂණයට හා ප්‍රතිනිර්මාණයට දායකත්වය දැක්වුයේ කවුද?
ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ සත්ව විද්‍යා අංශය සහ ප්‍රදර්ශන සැලසුම් අංශය විසින් නැදුන්ගමුවේ විජය රාජා ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු සිදුකළ බව ද ඇය සඳහන් කළාය.
"සත්ව විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ චර්ම ශිල්පී චමල්කා කොතලාවල මහත්මිය, රවින්ද්‍ර වික්‍රමනායක මහතා ඇතුළු ඒ කණ්ඩායමත්, චර්ම ශිල්පී ඒකකයේ කණ්ඩායමත්, එල්. ආර් විජේපාල, එල්. පී මහින්ද කියන මහත්වරුන්ගෙන් සමන්විත තව විශාල කණ්ඩායමකුත් එක්ක ප්‍රදර්ශන සැලසුම් අංශයත් කියන ඒකක දෙක තමයි අප දෙපාර්තුමේන්තුවේ මෙම භාරදූර වගකීම ඉෂ්ඨ කරන්න කැප වුණේ."
වසර 500ක් තබා ගත හැකි ලෙස ප්‍රතිනිර්මාණය කිරීම
සත්වයෙකුගේ සමක් සංරක්ෂණය කර ප්‍රතිනිර්මාණය කිරීම විශාල කාර්ය භාරයක් බවත් එය විද්‍යානුකූලව සහ කලාත්මකව සිදුවිය යුතු කාර්යයක් බවත් ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ, චර්ම ශිල්පී චමල්කා කොතලාවල කියා සිටියාය.
"සම ඉවත් කිරීමේ කාර්යයට අපිට දවස් 10ක කාලයක් ගත වුණා. ඒ අතර සංරක්ෂණය වෙන ගමන් තමයි සම තිර කරගත්තේ. ඒ තිර කරගත්ත සම නැවත ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ, ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ ස්ථාපනය කරන කාර්යයේදි අපි තාක්ෂණික අතින් සත්වයාගේ මේ සම කොච්චර කල් පවතිනවාද කියන එක එක්ක තමයි; සංරක්ෂණ කටයුතු පටන් ගත්තේ. ඒක ඉතාමත් බැරෑරුම් කාර්යයක්, සතා ඒ විදියට නිර්මාණය කරන එක."
ඒ අනුව වසර 500ක කාලයක් තබා ගත හැකි ලෙස නැදුන්ගමුවේ විජය රාජා හස්තියා සංරක්ෂණය කර ප්‍රතිනිර්මාණය කර ඇති බව චර්ම ශිල්පී චමල්කා කොතලාවල සඳහන් කළාය.
ඇතාගේ සම ඉවත් කළේ කොහොමද?
නැදුන්ගමුව විජය රාජා හස්තියාගේ චර්මය ඉවත් කිරීම සම්බන්ධව ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ, සත්ව විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න විස්තර කළාය.
"චර්ම ඉවත් කිරීමේ දී මුලින්ම කරන්නේ මිය ගිය ඇතාගේ ශරීරයේ මිණුම් ගැනීම. මේ මිණුම් අත්‍යවශ්‍යයි ඇතාගේ අනුරුව හදනකොට. ඇතාගේ මිණුම් ගන්න අතරතුර ඡායාරූප ඩොකියුමන්ට් එකකුත් හදනවා මොකද හැම දෙයක්ම නිරීක්ෂණය කරලා ඇතා නිර්මාණයක් විදියට අවසානයේ එළියට දෙනකොට."
ඇතාව ප්‍රදර්ශනය කරන ආකාරය ද එම අවස්ථාවේ දී තීරණය කර ප්‍රධාන කැපුම් යොදා චර්ම කොටස් කොටසින් කොටස සිරුරෙන් වෙන් කරගන්නා බව ඇය පැවසුවාය.
සත්වයාගේ මස් කොටස් හා මේද කොටස් ඉක්මනට නරක් වන බැවින් ඒවා භාවිතා නොකරන බවත් චර්ම කොටස පමණක් භාවිතා කරන බව ද සත්ව විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න කියා සිටියාය.
"චර්මය ඉවත් කරන ගමන් ම අපි මේකට යොදනවා සංරක්ෂණ ද්‍රව්‍ය. ඒ ද්‍රව්‍ය යොදලා තමයි මේ චර්මය ටික ටික ඉවත් කරගන්නේ. සම්පුර්ණයෙන්ම චර්මය ඉවත් කළාට පස්සෙත් මේ සංරක්ෂිත ද්‍රව්‍ය යොදනවා. ඒ මත තමයි හස්තියා හදලා ප්‍රදර්ශන තත්ත්වය ගත්තට පස්සේ ඒකේ පැවැත්ම රදා පවතින්නේ."
'මිමි අරගෙන සම පොරවන කටයුතු ආරම්භ කළා'
නැදුන්ගමුවේ විජය රාජා හස්තියා ප්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණික කටයුතු ජාතික කෞතුකාර දෙපාර්තමේන්තුවේ, ආදර්ශ රූප කලාකරුවන් වන එල්. ආර් විජේපාල සහ එල්. පී මහින්ද යන දෙපළ විසින් පැහැදිලි කළේය.
"චර්ම ශිල්පී අංශය මගින් සතාගේ සම සංරක්ෂණය කරලා මොඩ්ල් එකත් හදලා තමයි අපිට බාර වෙන්නේ. ඊට පස්සේ අපේ කාර්යය තමයි සතාගේ මිමි ප්‍රමාණ ගන්න එක ආපහු. මොකද මේ සතා නැදුන්ගමුවේ රාජා ම වෙන්න ඕන නිසා ඒ මිමි ගන්නම ඕනා. අපි නියම ආකාරයෙන් මිමි අරගෙන සම පොරවන කටයුතු ආරම්භ කළා. එතකොට ඒ හැඩතල සියල්ලම අධ්‍යනය කරමින්, සතාව ඒ විධියට එනකම් අපි ගොඩනගාගෙන එනවා."
අවර්ණ වූ සමේ වර්ණය සකස් කර ගැනීම
සංරක්ෂණය කිරිමේ දී සමේ වර්ණය සුළු වශයෙන් වෙනස් වන බැවින් එය ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ද ඒ අතරේ සිදුවන බව ආදර්ශ රූප කලාකරු එල්. ආර් විජේපාල කියා සිටියේය.
"නැදුන්ගමුවේ හස්තියා කියන්නේ බොහොම ප්‍රසිද්ධ, වන්දනාමානවලට ලක් වෙච්ච හස්තියෙක්. එම නිසා එයාට හානියක් නොවෙන්න එයාගේ ජීව ගුණය සහ එයාගේ ගති ලක්ෂණ පිළිඹිබු වන ආකාරයට එයාව ප්‍රතිනිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවය අපිට තිබුණා. ඒ සඳහා විශාල කැප කිරීමක් කරන්න වුණා මොකද ඔහුගේ තියෙන විශේෂ ලක්ෂණ තිබුණා, ඒ විශේෂ ලක්ෂණ ටික, ඒ හැඩතල ටික මතු කරගැනීම සහ ඒ සමෙහි යම් තැන්වල තිබුණ අවර්ණයන් නිවැරදිව ස්ථාපිත කරගැනීමට අවශ්‍ය පහසුකම් ටික අපි නිතරම අධ්‍යනය කළා. විඩියෝ මාර්ගයෙන් සහ ෆොටෝ මාර්ගයෙන් ඒවා දිගින් දිගටම අධ්‍යනය කළා." යැයි ජාතික කෞතුකාර දෙපාර්තමෙන්තුවේ, ආදර්ශ රූප කලාකරු එල්. පී මහින්ද කියා සිටියේය.
සංරක්ෂණයට හා ප්‍රදර්ශනයට වැය වූ මුදල කොපමණ ද?
නැදුන්ගමුවේ විජය රාජා සංරක්ෂණ කර මහජන ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් වැය වූ මුදල සම්බන්ධයෙන් ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ, සත්ව විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න මෙලෙස විස්තර කළාය.
"ඇතාව සංරක්ෂණය කරන්න ලක්ෂ 70ක් වගේ, ඒ කියන්නේ මිලියන 7ක් වගේ තමයි වියදම් වුණේ, ඒ හා සමාන ගණනක්. ඒකෙදි යම් මුදලක් වැය වුණේ ප්‍රදර්ශන තත්ත්වයේදි වැඩි කාලයක් එයාව මිනිස්සුන්ට බලන්න ඉඩ දෙන එකට; ඒක තමයි අපේ අරමුණ වුණේ. ඒක නිසා ඒ ප්‍රශස්ත මට්ටමින් ඇතාව ප්‍රදර්ශනය කරන්න අපි වීදුරු කුටීරයක් හැදුවා වායු සමීකරණය කරලා, අර්ද්‍රතාවය පාලනය කරලා. ඒකට අපිට මිලියන 16ක් වගේ මුදලක් වැය වුණා. සමස්ත ව්‍යාපෘතියට මිලියන 25ක් 26ක් වගේ මුදලක් තමයි වැය වුණේ."
ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ විජය රාජා
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ 1953 දී උපත ලද මෙම හස්තියා ඉන්දීය රාජවංශිකයකුට වැළඳුණු රෝගයක් සුව කළ මෙරට වෙද පරපුරකින් පැවැත එන භික්ෂුන් වහන්සේ නමකට තුටු පඬුරු ලෙස ලැබුණ බව කියැවේ.
ආසියාවේ උසම හීලෑ හස්තියා ලෙස සැළකුණ නැදුන්ගමුවේ විජය රාජා, ගම්පහ නැදුන්ගමුව හර්ෂ ධර්ම විජය වෛද්‍යාචාර්යතුමාගේ රැකවරණය යටතේ හැදී වැඩිණි.
නැදුන්ගමුවේ විජය රාජා එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස් (Elephas maximus indicus) නැමති උප විශේෂයට අයත් වෙයි. හස්තියාගේ උස අඩි 11 1/2 ක් සහ දළ යුගල අඩි පහක් පමණ දිගකින් යුක්ත විය.
1978 වසරේ සිට නැදුන්ගමුව 'ධර්ම විජය' වෙද පරපුරේ භාරකාරත්වය යටතේ හැදී වැඩුණු නැදුන්ගමුවේ විජය රාජා 2006 වසරේ සිට 2021 දක්වා අවස්ථා 11කදී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහරේ මඟුල් ඇතු ලෙස දළදා කරඬුව වැඩම කරවූ අතර විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයා ද විය.
දළදා මාලිගාවේ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවා ඇත්තේ ද නැඳුන්ගමුවේ විජය රාජා ය.