ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයින් 84 දෙනාගේ සිරුරු අද ශ්‍රී ලංකාවේ සිට ඉරානයට

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 2

ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු අද (මාර්තු 13 වැනි දා) පස්වරුවේ ඉරානයට යැවීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා බීබීසී සිංහල වෙත තහවුරු කළේය.

ඒ සඳහා වන ගුවන් යානයක් මේවන විට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

ඒ අනුව සියලුම ඔවුන්ගේ මළ සිරුරු අද පස්වරුවේ, ඉරානය වෙත රැගෙන යාමට නියමිතව ඇත.

වීඩියෝව නරඹන්න

ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රයේ අධිශීතකරණ දෙකක තැන්පත් කර තිබූ එම සිරුරු අද පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබිණි.

මෙම මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයට බාර දෙන ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මාර්තු 11 වැනිදා ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලදි.

මෙම මළ සිරුරු සියල්ලම කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරිමට ඉඩ නොමැතිවිම නිසා පිටතින් ගෙන එන ලද අධිශිතකරණ කන්ටේනර් දෙකක තබා තිබිණි.

ඉරානයට යැවීම සඳහා පළමුවෙන්ම මළ සිරුරු 45ක් අලුයම 5.30ට පමණ මත්තල ගුවන් තොටුපල වෙත පොලිස් ආරක්ෂාව සහිතව ගෙන යන ලද අතර ඉතිරි මළ සිරුරු 39 පසුව ගෙන යාමට පියවර ගෙන තිබිණි.