ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කිම් ජොං උන්ගේ '13 හැවිරිදි දියණිය' උතුරු කොරියාවේ මීළඟ නායිකාව වේවි ද?
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියාවට තර්ජනය කළ අතර, පක්ෂ සම්මේලනයේදී න්‍යෂ්ටික අවි වැඩසටහන අඛණ්ඩව ව්‍යාප්ත කිරීමට පොරොන්දු විය. කෙසේ වෙතත් එහිදී බොහෝ දෙනෙකුට තිබූ විශාල ප්‍රශ්නයක් වූයේ, ඔහුගේ 13 හැවිරිදි දියණිය ඔහුගේ උරුමක්කාරයා ලෙස අභිෂේක කරනු ලබන්නේ ද යන්න පිළිබඳව ය.
මෙම සතියේදී ඒ පිළිබඳ පුවතක් හෝ පැහැදිලි ඇඟවීමක් සිදු නොවීය.
නමුත් එය මිලියන 25ක ජනතාවක් වෙසෙන, කිම් පවුලේ සාමාජිකයෙකු විසින් පමණක් පාලනය කරනු ලබන මෙම ඒකාධිපති රාජ්‍යයේ මීළඟ නායකත්වය සඳහා යොවුන් වියේ පසුවන කිම් ජූ අයි සතු හැකියාව පිළිබඳව විවාදයක් ඇති වී තිබේ.
සෑම වසර පහකට වරක් පැවැත්වෙන උතුරු කොරියානු නායකයින්ගේ සහ නිලධාරීන්ගේ ප්‍රධාන රැස්වීමක් වන පක්ෂ සම්මේලනය, සාමාන්‍යයෙන් සෝල් සහ වොෂින්ටනය වෙත කිම් ලබා දෙන පණිවිඩය දැනගැනීමට සමීපව නිරීක්ෂණය කරන අවස්ථාවකි.
නමුත් මෙවර අවධානය වෙනස් විය. පසුගිය සතියේ සෝල් ඔත්තු ඒජන්සිය නීති සම්පාදකයින්ට තොරතුරු සම්පාදනය කර ඇත්තේ කිම් ඔහුගේ දියණිය ඔහුගේ උරුමක්කාරයා ලෙස තෝරාගෙන ඇති බවට ඔවුන් විශ්වාස කරන බව සහ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ඇය ඇගේ මතය ප්‍රකාශ කරන බව ය.
බොහෝ දෙනෙකු නොදන්නා දියණියගේ තොරතුරු
රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ඇගේ පියා සමග පෙනී සිටිය ද, ඇය පිළිබඳ තොරතුරු බොහෝමයක් අභිරහසක්ව පවතී. උතුරු කොරියාව කිසිදු දිනෙක ඇගේ නම හෝ වයස ප්‍රකාශයට පත් කර නොමැත.
පැසිපන්දු තරුවක් වන ඩෙනිස් රොඩ්මන් 2013 වසරේදී ප්යොංයැංහි කළ සංචාරයෙන් අනතුරුව ද ගාඩියන් පුවත්පතට ඇගේ නම පැවසූ විට ඇය පිළිබඳ පළමු වරට ප්‍රසිද්ධියට පත් විය. බුද්ධි වාර්තා ඔස්සේ සිදු කරන ඇස්තමේන්තු මත පදනම්ව ඇය 13 හැවිරිදි වියේ පසුවන බව බොහෝ දෙනා විශ්වාස කරති.
මීට පෙර සෝල්හි ඔත්තු සේවා ඒජන්සිය ඇයට වැඩිමහල් සහෝදරයෙකු සිටින බව පවසා තිබූ නමුත් පසුව ඔවුන් එම මතයෙන් බැහැර විය.
"එය බුද්ධි අංශයේ අසාර්ථක වීමක්" බව උතුරු කොරියානු නිරීක්ෂකයෙකු සහ Sejong ආයතනයේ උප සභාපතිවරයෙකු වන Cheong Seong-chang පවසයි.
චියොං ඇතුළු අනෙකුත් විශ්ලේෂකයින් දැන් විශ්වාස කරන්නේ, ජූ අයි වැඩිමහල් දරුවා බව සහ ඇයට නව හැවිරිදි වියේ පසුවන සහෝදරියක සිටින බව ය.
මාධ්‍ය ඔස්සේ පෙනී සිටීම
2022 වසරේදී උතුරු කොරියාවේ නවතම මිසයිලය පරීක්ෂා කරන අතරතුර ඇගේ පියාගේ අත අල්ලාගෙන සිටිමින් ඇය රාජ්‍ය රූපවාහිනී වාර්තාවක ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියා ය.
චියොං පවසන්නේ, රූපවාහිනී දර්ශනවලදී ඇය රාමුවේ මැද ස්ථානගත කර සිටීම සහ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ඇය "ගෞරවණීය දරුවා" ලෙස විස්තර කිරීම ඇය නිල උරුමක්කාරයා බවට පත්ව ඇති බවට පැහැදිලි ම සලකුණු බව ය.
"රාජ්‍ය මාධ්‍ය උත්තරීතර නායිකාව සඳහා ම වෙන් වූ වචන භාවිත කරනවා. එය ඇගේ ම පෞරුෂ සංස්කෘතිය අවධාරණය කරනවා."
ඇය රටේ හමුදාවට සමීප වීම තවත් ලකුණක් බව චියොං පවසයි.
ඇය තම පියා අසල රැඳී සිටිමින් හමුදාව සහ ආයුධ පරීක්ෂා කළා ය. අවස්ථා කිහිපයකදී ම ඇය තම පියා සමග හමුදා පෙළපාළි නරඹමින් සිටියදී, ඉහළ ජෙනරල්වරුන් ඇය අසල දණ ගසා ඇගේ කණට කොඳුරන අයුරු දක්නට ලැබිණි.
කිම් ජොන් උන්ගේ බලය රඳා පවතින්නේ, හමුදාව තුළ ඔහු සතු පාලනය මත බව චියොං පවසයි. ජූ අයි ඔහුගෙන් පසුව නායකත්වයට පත්වන්නේ නම්, ඇය විශ්වාසදායක හමුදා අණදෙන නිලධාරිනියක ලෙස පෙනී සිටිය යුතු ය.
ඇගේ පියා සමග හමුදා පරීක්ෂා කිරීම්වලදී ඇය ද ඔහු පැළඳ සිටින ආකාරයට දිගු කළු සම් කබාය සහ අඳුරු අව් කණ්ණාඩි පැළඳ සිටී.
කිම් ජොන් උන්ට බලය උරුම වූයේ හදිසියේ මය. ඔහු තම පියාගේ අභාවයට වසරකට පෙර ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ය.
ජූ අයි කලින් ම පාලන තන්ත්‍රයට සහ මහ ජනතාවට හඳුන්වා දීමෙන් කිම් එවැනි වේගවත් සංක්‍රාන්තියක් වළක්වා ගැනීමට උත්සහ කරන බවට චියොං විශ්වාසය පළ කරයි.
කිම් ජොන් උන්ගේ ශරීර බර, දුම්පානය සහ මත්පැන් පානය කිරීමේ පුරුදු පිළිබඳ සඳහන් කිරීම් හැරුණු විට, ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවට කිසිදු සාක්ෂියක් නොමැත.
නමුත් චියොං පවසන පරිදි, අනුප්‍රාප්තික අර්බුදයක් වළක්වා ගැනීම සඳහා කිම් තම උරුමක්කාරයා කලින් පත් කිරීමට උත්සහ කරනවා විය හැකි ය.
කෙසේ වෙතත්, හිටපු උතුරු කොරියානු නිලධාරියෙකු වන රියු හ්යුන්-වූ පවසන්නේ, කාන්තාවක රට පාලනය කිරීමේ හැකියාව ඉතා අල්ප බව ය.
2019 වසරේදී රටින් පලා යාමට පෙර රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස සේවය කළ රියු පවසන්නේ, කිම් පවුල විසින් නිර්මාණය කරන ලද උතුරු කොරියානු නීති සංග්‍රහයට අනුව, රට පාලනය කළ යුත්තේ පෙක්ටු රුධිර පෙළපතෙන් පැවත එන අයෙකු බව ය. එය වෙනත් වචනවලින් කිවහොත්, රටේ නිර්මාතෘ කිම් ඉල් සුංගේ ඍජු පරම්පරාවෙන් පැවත එන්නෙකු බව ය.
ජූ අයි ලේ පරම්පරාවෙන් පැවත ආව ද උතුරු කොරියාවේ පීතෘ මූලික ක්‍රමය ඇය ලේ පරම්පරාවේ කාන්තාවක ලෙස නොසලකන බව රියු පවසයි.
උතුරු කොරියාවේ සෑම මට්ටමකදී ම කාන්තාවන් සමානව සැලකුම් ලැබීමට විශාල අරගලයක් සිදු කරයි.
කාන්තා නිලධාරිනියන් සිටීම දුර්ලභ සිදුවීමක් වන අතර කාන්තා හමුදා අණ දෙන නිලධාරිනියන් සිටීම ඊටත් සාපේක්ෂව වඩාත් දුර්ලභ ය.
රියුට අනුව ප්යොංයැංහි, බොහෝ කුලී රථ රියැදුරන් කාන්තාවන් ඔවුන්ගේ පළමු ගනුදෙනුකරුවන් නම් ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්නේ කාන්තාවන් ඔවුන්ට අවාසනාව ළඟා කරන බවට පවතින මිථ්‍යා විශ්වාසයක් හේතුවෙනි.
"ඔවුන් කාන්තාවන් රැගෙන යනවා නම් ඒ ගමන අවසන් වුණාට පසුව ඔවුන්ගේ මෝටර් රථයේ පිටුපසට ගිහිං අවාසනාව දුරු වෙන්න කියලා තුන් වරක් කෙළ ගහනවා," ඔහු පවසයි.
මෙම සියලු හේතු හමුවේ ජූ අයි උතුරු කොරියාව මෙහෙයවනු ඇතැයි රියු නොසිතයි.
ඔහු විශ්වාස කරන්නේ, එය කෙතරම් කම්පනයක් ද යන්න පවසන්නේ නම්, "දැන් ඕන ම කෙනෙකුට උතුරු කොරියාවේ නායකයා වෙන්න පුළුවන් කියලා හමුදා අණදෙන නිලධාරීන් සිතන්නට පෙළඹෙයි, ඉතිං ඔවුන් නායකත්වය පෙරළා දැමීමට පවා සිහින දකි යි,'' යනුවෙනි.
රියුගේ දෘෂ්ටි කෝණයෙන් පවසන පරිදි කිම් තම දියණිය රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන්නේ, ඔහුගේ අනුකම්පා විරහිත ප්‍රතිරූපය මෘදු කිරීමට සහ තවත් පාරම්පරික අනුප්‍රාප්තියක් පිළිබඳ අදහස රෝපණය කිරීමට පමණි.
නමුත් දකුණු කොරියානු බුද්ධි අංශ ඇතුළුව අනෙකුත් පාර්ශව විශ්වාස කරන්නේ මීට වඩා වෙනස් දෙයකි.
එක් කරුණක් නම්, 1990 දශකයේ උතුරු කොරියානු ආර්ථිකය කඩා වැටීමෙන් ඇති වූ Arduous March හෙවත් සාගත සමයෙන් පසු උතුරු කොරියාවේ කාන්තාවන්ගේ තත්ත්වය විශාල දියුණුවක් ලබා තිබීම ය.
පිරිමින් රාජ්‍ය අනුමැතිය ලත් රැකියා අඛණ්ඩව සිදු කරගෙන ගිය ද, ඔවුන්ගේ වැටුප් සහ සලාක අඩු වූ විට පවා, තම පවුල් පෝෂණය කිරීමට ක්‍රම සෙව්වේ කාන්තාවන් ය. ඔවුන් ව්‍යාපාර ආරම්භ කළ අතර කළුකඩ වෙළෙඳපොළේ භාණ්ඩ විකිණීම හෝ ජාවාරම්කරුවන් බවට පත්විය.
උතුරු කොරියාවෙන් පලාගිය 120 කට අධික පිරිසකගෙන් පාලන තන්ත්‍රයේ කාන්තා නායකත්වය පිළිබඳව අදහස් විමසූ සොන්ග් හ්යුං ජින් පවසන්නේ, උතුරු කොරියාවේ කර්මාන්ත ශාලා කළමනාකරණය කරන සහ පක්ෂ ආසන පිරවීම සඳහා කාන්තාවන් සිටීම තවදුරටත් දුර්ලභ නොවන බව ය.
රට තුළ සිදුව ඇති වෙනස කෙසේ ද යන්න පෙන්නුම් කරමින් මෑත වසරවලදී, උතුරු කොරියානු රූපවාහිනී වැඩසටහන් ඔස්සේ පිරිමින් ඒප්‍රන් පැළඳ ගෙදරදොරේ කටයුතු සිදු කරන ආකාරය දක්නට ලැබිණි.
තම පියා ඇයව එම ස්ථානයට පත් කිරීමට තීරණය කරන්නේ නම්, ජූ අයිගේ ස්ත්‍රී පුරුෂභාවය ඒ සඳහා බාධාවක් නොවනු ඇතැයි සොං පවසයි. ඇයගේ පවුල් පසුබිම සහ දිළිඳු රටක ඇගේ රාජකීය හැදී වැඩීම සාමාන්‍ය උතුරු කොරියානු වැසියෙකුට ඇයව නායිකාව ලෙස පිළිගැනීමට ප්‍රමාණවත් වේ.
"අපිට අපේ තර්ක අනුව උතුරු කොරියාව ගැන හිතන්න පුළුවක්කමක් නෑ. අපි ඔවුන් දෙස බැලිය යුතු වන්නේ ජොසියොන් රාජවංශිකයින් ලෙස," මධ්‍යකාලීන කොරියානු රාජධානියක් ගැන සඳහන් කරමින් සොන්ග් පවසයි. "සිංහාසනයට පත්වන රාජකීය රුධිරය ඇති කෙනෙකුට අභියෝග කිරීමට එඩිතර වන්නේ කවුද?"
මෙම සතියේදී පක්ෂය කිම් ජොන් උන්ගේ බලවත් සහෝදරිය වන කිම් යෝ ජොං ප්‍රචාරක අමාත්‍ය ධුරය සඳහා උසස් කර ඇත. එය කිම් ජොන් අන් තම සහෝදරිය සිය දියණියගේ ආරක්ෂකයා බවට පත් කරන බවට ලකුණක් බව චියොං විශ්වාසය පළ කරයි.
ලොව ළාබාලතම නායකයා බවට පත්වෙමින් කිම් ජොන් උන් වයස අවුරුදු 27දී බලයට පත්වූ විට බොහෝ දෙනෙකු අපේක්ෂා කළේ, ඔහු උතුරු කොරියාව බාහිර ලෝකයට විවෘත කරනු ඇති බව ය.
සිහිනය ක්ෂණිකව බිඳ වැටිණි. 2013 දී ඔහු තම ප්‍රතිසංස්කරණවාදී මාමා මරණ දඬුවමට ලක් කළේ ය.
එතැන් සිට, ඔහුගේ න්‍යෂ්ටික අවි වැඩසටහන වර්ධනය වී ඇති අතර, ජීවිතයේ සෑම දෙයක් ම කෙරෙහි රජයේ දැඩි පාලනය ලිහිල් වී ඇති බව පෙනෙන්නට නොමැත.
ජූ අයි ද එම මාර්ගය ඔස්සේ ම ඉදිරියට නොයනු ඇතැයි විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නොමැති බව චියොං පවසයි. කාන්තාවන් පිළිබඳ සාම්ප්‍රදායික ආකල්ප ඇති බැවින් ඇය වඩාත් විවෘත හෝ ලිහිල් විය හැකි බවට ඇති මතය ඔහු ප්‍රතික්ෂේප කරයි.
"කිම් කියන්නේ ඔබ සිතනවාට වඩා විශාල අවධානයක් සොයන කෙනෙක්. ඔහු සහ ඔහුගේ උරුමක්කාරයා ගැන සඳහන් කරන මෙම සියලු ලිපිවලට ඔහු ඉතාමත් ප්‍රිය කරනවා," රියු පවසයි.