ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පුටින්ගේ උතුරු කොරියානු සංචාරය: ව්ලැදිමීර් පූටින් කිම් ජොන් උන් හමුවීමට හේතු තුනක්
මාස ගණනක් පුරා පැතිර ගිය විවිධ රාවයන්ගෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ක්‍රෙම්ලිනය තහවුරු කළ පරිදීම ඊයේ රාත්‍රියේ දී පියොංයැං වෙත පැමිණීමෙන් පසු අද (බදාදා) උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.
පුටින් රතු පලස මතින් පිළිගැනීමට රෝස මල්, දෑත් ලෙලවමින් ආචාරය දැක්වීමට සෙනඟක් සහ උත්කර්ෂවත් හමුදා පෙළපාලියක් පැවැත්විණි. බදාදා (අද) පැය නවයක දිගු කාලසටහනේ ඡායාරූප ගැනීමක්, විනාඩි 90ක සාකච්ඡාවක් සහ තේ පැන් සංග්‍රහයක් ඇතුලත්ව ඇත.
මෙය වසර 24කට පසු පූටින් පියොංයැං වෙත පා තැබූ පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් වනු ඇත. 2000 වසරේ ඔහු අවසන් වරට උතුරු කොරියානු සංචාරය කරන විට බලයේ සිටියේ කිම් ජොං ඉල් ය.
[උතුරු කොරියාවේ සංචාරය කරන ලෙසට] කිම් ජොන් උන් කළ ආරාධනය පූටින් පිළිගත්තේ පසුගිය සැප්තැම්බරයේ රුසියාවේ වොස්ටොච්නි කොස්මොද්රෝම්හි පැවති සිය සමුළුවෙන් පසුව ය.
නායකයින් දෙපළ අතර පෙර හමුව සිදු වූයේ ඔවුන්ගේ සබඳතාවයට අඩිතාලම දැමීමේ අරමුණින් නම්, මෙම සංචාරය එය අත්පත් කරගත් ප්‍රගතිය පෙන්නුම් කරනු ඇත.
මෙම හමුවේදී කුමන මට්ටමේ මිලිටරි සහයෝගීතාවක් ඇති කරනු ඇතැයි ද යන්න සම්බන්ධයෙන් ගෝලීය අවධානය යොමු වනු ඇත.
මෙම හමුවීමේදී සංස්කෘතික, කෘෂිකාර්මික, ආර්ථික සහ සංචාරක ක්ෂේත්රවල සබඳතා ශක්තිමත් කරගැනීම ද අපේක්ෂා කෙරේ.
සලකා බැලිය යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ, උතුරු කොරියාවේ දියුණු ආයුධ හුවමාරුව සහ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීමට පූටින්ගේ සැලසුම් කෙසේ විය හැකි ද යන්න ය.
දකුණු කොරියාවේ පිහිටි උතුරු කොරියානු අධ්‍යයන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ආචාර්ය කිම් ඩොං-යප් පවසන්නේ, මෙම හමුව සැබෑ ප්‍රතිඵල නෙළා ගන්නා ගැඹුරු සාකච්ඡා සිදු කෙරෙන හමුවකට වඩා වැඩි සිදුවීමක් වීමට ඉඩ ඇති බව ය.
දකුණු කොරියාව සමග සබඳතා යළි පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳව රුසියාවට ඇති අවබෝධය සැලකිල්ලට ගැනීමේදී කුපිත කරවනසුලු උතුරු කොරියානු-රුසියානු සහයෝගීතාවක් ඇති කර ගැනීම විය නොහැකි ය.
මිලිටරි සබඳතා: රුසියාවට ආයුධ අවශ්‍ය වන අතර උතුරු කොරියාවට තාක්ෂණය අවශ්‍ය වේ
රුසියාවේ යුක්රේනය ආක්‍රමණය වසර දෙකහමාරකට වැඩි කාලයක් පුරා ඇදී යද්දී, උතුරු කොරියාව සහ රුසියාව තම සැපයුම් ලබා ගැනීම සඳහා එකිනෙකා මත වඩ වඩා ත් යැපෙමින් සිට තිබේ.
කොරියානු විශ්වවිද්‍යාලයේ එක්සත්භාවය සහ රාජතාන්ත්‍රිකත්වය පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය, ආචාර්ය නාම් සන්ග්-වූක් පවසන්නේ, ඔවුන්ගේ සාකච්ඡා න්‍යාය පත්‍රයේ "උතුරු කොරියාවේ නිෂ්පාදිත ආයුධ තව ත් කොපමණ ප්‍රමාණයක් රුසියාවට සපයනු ඇත් ද" යන්න ප්‍රධාන අංගයක් වනු ඇති බව ය.
සාම්ප්‍රදායික ආයුධ සම්බන්ධ කෙටි කාලීන ගනුදෙනුවලින් ඔබ්බට විහිදෙන සාකච්ඡා සිදු විය හැකි බවට ඔහු විශ්වාස කරයි. ආයුධ පද්ධති ඒකාබද්ධව සංවර්ධනය කිරීම ඇතුළුව සමීප මිලිටරි සහයෝගීතාවක් ඇති කර ගැනීම සඳහා මෙම රටවල් දෙක එකඟ විය හැකි ය.
උතුරු කොරියාව රුසියාවට ආයුධ සැපයීම වෙනුවෙන් ආහාර හා ඉන්ධන පමණක් නොව තවත් බොහෝ දෑ බලාපොරොත්තු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සැලකිය යුතු කරුණක් ලෙස, මැයි මාසයේදී අසාර්ථක හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකා මෙහෙයුමෙන් පසු උතුරු කොරියාව අභ්‍යවකාශ තාක්ෂණය සඳහා රුසියාවේ තාක්ෂණික සහය ඉල්ලා සිටිය හැකි බවට ආචාර්ය නාම් අනාවැකි පළ කරයි.
අභ්‍යවකාශ තාක්ෂණ බලාගාරයක් ලෙස, උතුරු කොරියාවට තවත් චන්ද්‍රිකා සාර්ථකව කක්ෂගත කිරීමට රුසියාවේ සහය ඉතා වැදගත් වනු ඇත.
උතුරු කොරියාව සිය ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවල විභේදන බලය වැඩිදියුණු කර ගැනීමට සහ න්‍යෂ්ටික සබ්මැරීන සංවර්ධනය කිරීමට රුසියානු සහය ලබා ගැනීමට ද අපේක්ෂා කරයි.
න්‍යෂ්ටික අවි පිළිබඳව සිදු කෙරෙන කිසිදු සාකච්ඡාවක් ප්‍රසිද්ධියට පත් නොවනු ඇති බව ආචාර්ය නාම් විශ්වාස කරයි.
බටහිර ආයුධ යුක්රේනයට ඇතුළු වීම සහ ඒවා රුසියානු භූමි ප්‍රදේශයට තර්ජනයක් වීම පිළිබඳව සැලකිල්ලෙන් පසුවන පූටින් න්‍යෂ්ටික අවි භාවිත කළ හැකි බවට ඉඟි කළේ ය.
කෙසේ වෙතත්, න්‍යෂ්ටික අවි ආශ්රිත සහයෝගීතාවක් ඇතිකර ගැනීම හෝ කොරියානු අර්ධද්වීපයේ සහ ඊසානදිග ආසියාවේ න්‍යෂ්ටික අවි බෙදා ගැනීම අසල්වැසි රටවලින් සහ එක්සත් ජනපදය වැනි රටවලින් සැලකිය යුතු ඍණාත්මක ප්‍රතිචාරයක් ලැබීමට හේතු විය හැකි බව ආචාර්ය නාම් පවසයි.
එබැවින් මෙම මාතෘකා හමුවේදී මතුවීමට ඇති ඉඩකඩ අඩු ය.
ආර්ථිකය: රුසියාවට ශ්‍රමය අවශ්‍ය වන අතර උතුරු කොරියාවට විදේශ විනිමය අවශ්‍ය වේ
රුසියාව සහ උතුරු කොරියාව ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට ඉඩ ඇත.
ඩොං-ඒ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය තාන්ත්රිකත්වය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ආචාර්ය කන්ග් ඩොං-වන් පවසන්නේ, උතුරු කොරියාවට රුසියාවෙන් දැන් වැඩිපුර ම අවශ්‍ය වන්නේ "කම්කරුවන්ගෙන් ලැබෙන විදේශ විනිමය" බව ය. මෙමගින් උතුරු කොරියාව රුසියාවට තවත් ශ්‍රමිකයින් යැවීමට ඇති හැකියාව ඉස්මතු කරයි.
අනෙක් අතට රුසියාවට යුද්ධයෙන් හානියට පත් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් යළි ගොඩනැගීමට සහ එහි ආර්ථිකය නගාසිටුවීමට ශ්‍රමය අවශ්‍ය වේ.
යුක්රේනයේ යුද්ධයෙන් පසු හමුදා බලමුලු ගැන්වීම සහ තරුණයින් විදේශගත වීම හේතුවෙන් රුසියාව දැඩි ශ්‍රම හිඟයකට මුහුණ දී සිටින බැවින් උතුරු කොරියාවෙන් සංක්‍රමණික සේවකයින් ගෙන්වා ගැනීම පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කළ හැකි බව ආචාර්ය කන්ග් පවසයි.
කෙසේ වෙතත්, උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පනවා ඇති සම්බාධක මගින් එරට සේවකයින්ට විදේශයන්හි සේවය කිරීම තහනම් කර ඇති අතර 2019 දෙසැම්බර් 22 වන විට උතුරු කොරියානු කම්කරුවන් ආපසු ගෙන්වා ගැනීම අනිවාර්ය කර ඇත.
එබැවින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකු වන රුසියාව, උතුරු කොරියානු සේවකයින් බඳවා ගැනීම සඳහා නිල වශයෙන් ඉදිරියට ගියහොත්, එය ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශාල කැළඹීමක් ඇති කිරීමට ඉඩ ඇත. ජාත්‍යන්තරයෙන් එල්ල වන ඍණාත්මක ප්‍රතිචාර සහ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් මධ්‍යයේ දෙරට ආර්ථික සහයෝගීතාවයෙන් ගමන් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වනු ඇත.
සංස්කෘතික හුවමාරුව: උතුරු කොරියාවේ සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් තිබේ ද?
කොවිඩ්19 වසංගතය හේතුවෙන් 2020 පෙබරවාරි මාසයේ සිට අත්හිටුවා තිබූ උතුරු කොරියාවේ කණ්ඩායම් සංචාර රුසියාව නැවත ආරම්භ කර ඇත.
උතුරු කොරියාව සහ රුසියාව අතර මගී දුම්රිය සේවාව ද වසර හතරකට ආසන්න කාලයකට පසු ප්‍රථම වතාවට ජූනි 6 වන දා යළි ආරම්භ විය.
රුසියානු ප්‍රාදේශීය රජයක් වන ප්රිමොර්ස්කි ක්‍රයි රජයට අනුව, 2024 පෙබරවාරි සහ මැයි අතර රුසියානු සංචාරකයින් 400කට වැඩි පිරිසක් උතුරු කොරියාවට ගොස් තිබේ.
රුසියානු සංචාරක ඒජන්සියක් වන වොස්ටොක් ඉන්තුර් (Vostok Intur) සිය වෙබ් අඩවියේ ඩොලර් 750කට උතුරු කොරියාව වෙත රාත්‍රීන් හතරේ සිට පහ දක්වා ගත කිරීමට සංචාර ලබා දෙයි. පැක්ටූ කන්ද (Mount Paektu) නැරඹීම, උතුරු කොරියානු ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීම සහ කොරියානු යුද්ධයේ සංවත්සරය සනිටුහන් කරන සැමරුම් උත්සවවල සහභාගී වීම ඇතුළුව සැප්තැම්බර් මාසය දක්වා උතුරු කොරියාව වෙත මෙම ඒජන්සිය කණ්ඩායම් සංචාර ලබා දීම සිදු කරයි.
"සංචාරක ව්‍යාපාරය විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් පමණක් නොව මිනිසුන් අතර ඍජු හුවමාරුව හරහා සබඳතා වැඩිදියුණු කිරීමේදී වැදගත් කාර්යභාරයක් ද ඉටු කරනවා," උතුරු කොරියානු අධ්‍යයන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිම් ඩොං-යප් බීබීසීයට පැවසීය.
ආචාර්ය කිම් ඩොං-යප් පවසන පරිදි, උතුරු කොරියාවේ රුසියානු සංචාරයන් දෙරට අතර මිත්‍ර සබඳතා ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. මිනිසුන්ගෙන් මිනිසුන්ට සිදුවන සංචාර අන්තර් රඳා පැවැත්ම වැඩි දියුණු කරන අතර ම එය මිලිටරි ආතතීන් අඩු කිරීමට දායක විය හැක.
ජාත්‍යන්තර ප්‍රජාව තුළ සංවෘත හා භයානක රටක් ලෙස උතුරු කොරියාවට ඇති ප්‍රතිරූපය මෘදු කිරීමට විදේශීය සංචාරකයින්ගේ සංචාරයන් උපකාරී වන බවට ඔහු තර්ක කරයි.
එනිසා, උතුරු කොරියානු සංචාරක ව්‍යාපාරය ආර්ථික ප්රතිලාභ අත්කර ගෙන මාර්ගයකට එහා ගිය සමාජ සංස්කෘතික හුවමාරුව සහ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය වැඩිදියුණු කිරීමේ වැදගත් උපායක් ලෙස සැලකේ.
කෙසේ වෙතත්, කොරියානු අර්ධද්වීපයේ ආතතීන් ඉහළ යාම ගැන ඇතැම් සංචාරකයින් කනස්සල්ලට පත් වීමත් සමග මෑතකදී උතුරු කොරියාවේ කණ්ඩායම් සංචාර අවලංගු වුණු අවස්ථා ද තිබේ.
වොස්ටොක් ඉන්තුර් රුසියානු සංචාරක ඒජන්සිය මෑතකදී වාර්තා කළේ, මැයි 31 දිනට නියමිතව තිබූ දින හතරක කණ්ඩායම් සංචාරයක් අයැදුම්කරුවන් නොමැතිකම හේතුවෙන් අවලංගු කළ බව ය.
උතුරු කොරියාවේ සීමිත සංචාරක යටිතල පහසුකම් සහ විදේශිකයන්ගේ නිදහස් සංචරණය සීමා කිරීම සංචාරක කර්මාන්තයේ ව්‍යාප්තියට අභියෝග කරයි.
උතුරු කොරියානු-රුසියා හමුව තවදුරටත් සංචාරක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දිය හැකි බව මහාචාර්ය කන්ග් විශ්වාස කරයි.
වසර 24 කට පෙර පූටින් සිදු කළ සංචාරයට වඩා මෙහි ඇති වෙනස කුමක් ද?
2000දී ජනාධිපති පූටින් පළමු වරට පියොංයැං වෙත ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් ඉල් හමුවූ අතර එය සීතල යුද්ධය අවසන් වීමෙන් පසු රුසියාව සහ උතුරු කොරියාව අතර සිදු වූ පළමු හමුව විය.
එවකට රුසියාව ජාත්‍යන්තර වේදිකාවේ නැවත නැගී සිටීමට උත්සහ කරමින් සිටි අතර, උතුරු කොරියාව 1990 ගණන්වල එරට ඇති වූ සාගතයෙන් පසුව බාහිර ලෝකය සමග සම්බන්ධතා වැඩි කර ගැනීම ඉලක්ක කර ගෙන සිටි යේ ය. එම සාගතය "The Arduous March" ලෙස ද හැඳින් වේ.
ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය දක්වා ඇති, උතුරු කොරියානු මිසයිල ප්රශ්නය ආමන්ත්‍රණය කරන සහ මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමක් වන රුසියානු-කොරියානු ඒකාබද්ධ ප්රකාශනයට දෙරට නායකයන් දෙදෙනා එහිදී එකඟ වූහ.
හමුදා සහයෝගීතාව සම්බන්ධයෙන් ගත් කල, ආක්‍රමණශීලී හෝ අන්තරායකාරී අවස්ථාවකදී දෙරට වහා ම එකිනෙකා හා සම්බන්ධ විය යුතු බවට ගිවිසුම අනුව නියම විය.
උතුරු කොරියාව සහ රුසියාව අතර ඇති මෑතකාලීන ආතතිමය සබඳතා සමග විශේෂඥයින් සැක කරන්නේ, එළඹෙන හමුවේදී මෙම ගිවිසුම අලුත් විය හැකි බව ත්, එමගින් පවතින සබඳතාවය වඩා ත් විධිමත් සන්ධානයක් දක්වා වැඩිදියුණු විය හැකි බව ත් ය.
"අතීතයේ, පූටින්ගේ උතුරු කොරියානු සංචාර සිද්ධ වුණේ උතුරු කොරියාව ප්රකෝපකාරී මිලිටිරි ක්‍රියාමාර්ග සීමා වුණු කාලයක. හැබැයි, දැන්, යුක්රේනයේ යුද්ධයෙන් පස්සේ උතුරු කොරියාව සහ රුසියාව අතර මිලිටරි සබඳතා ශක්තිමත් වෙලා තියෙන්නේ," ආචාර්ය නාම් පැහැදිලි කළේ, මෙම හමුව "අතීතයට වඩා බොහෝ සමීප සහයෝගීතාවයක්, බොහෝ දුරට සන්ධානගත වීමකට" හේතු විය හැකි බව ද අඟවමිනි.
ආචාර්ය නාම්ට නම්, අවසන් වරට සිදු වුණු සංචාරයේ සහ මෙහි ඇති ප්‍රධාන වෙනස වන්නේ, උතුරු කොරියාව සතුව දැන් න්‍යෂ්ටික අවි තිබීම ය.
"එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ඒකධ්‍රැවීය පද්ධතිය දුර්වල වීමත් සමග ජාත්‍යන්තර පර්යාය ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බැවින්, රුසියාව සහ උතුරු කොරියාව ඔවුන්ගේ ජාතික අවශ්‍යතා ඉටු කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට නව ක්‍රම සොයා ගනීවි කියලා අපේක්ෂා කරනවා," ආචාර්ය කිම් පවසයි.
"අන්තර් කොරියානු සබඳතාවල මෑතකාලීන බිඳවැටීම සැලකිල්ලට ගෙන, උතුරු කොරියාව නව රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගයක් සකස් කරනු ඇතැයි සිතිය හැකියි," ඔහු වැඩිදුරටත් පවසයි.