ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව නීති සහ පැරණි නීති ගැන දේපළ හිමියන් සහ කුලී පදනම මත සිටින ඔබට ඇති ප්‍රශ්න 10කට පිළිතුරු
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බදු කුලී පිළිබඳ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක් ගොඩ නැගී තිබේ.
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ලෙස හඳුන්වා ඇති එම පනත් කෙටුම්පත හරහා කුලී නිවාස සහ බදු පදනම යටතේ යම් පරිශ්‍රයක පදිංචිව සිටින්නන් ආරක්ෂා කිරීමේ විධි විධානයන් සලසා තිබේ.
පදිංචිකරුවන් සම්බන්ධයෙන් එවැනි ආරක්ෂාවක් ගෙන ඒමට යාමේදී දේපළ හිමියන්ට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවා ද යන්න සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා මතුව තිබේ.
මේ බදු කුලී සම්බන්ධයෙන් දේපළ හිමි, පදිංචි ඔබ සියල්ලන්ට ම එදිනෙදා ඇති විය හැකි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ය.
කුලී නිවසක පදිංචිකරුවෙකු/පදිංචිවීමට අපේක්ෂාවෙන් සිටින්නෙකු වන ඔබට ඇති විය හැකි ප්‍රශ්න
01. දේපළක් බදු දීමට/කුලියට ගැනීමට පෙර සිදු කළ යුත්තේ කුමක් ද?
අලුතින් පැමිණීමට නියමිත පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යටතේත් දැනට පවතින 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේත් නීතිමය ආරක්ෂාවක් ලබා ගැනීමට නම් දෙපාර්ශවය අතර වලංගු බදු ගිවිසුමක් තිබීම අනිවාර්ය වේ.
එවැනි බදු ගිවිසුමක් නොපවතින අවස්ථාවක ඔබට කිසිදු නීතිමය ආරක්ෂාවක් නොමැත.
මෙම ගිවිසුම මුද්දර ගාස්තු යථා පරිදි ගෙවා ඇති, (70 වන අධිකාරිය වූ) වංචා වැළැක්වීමේ ආඥා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියා අත්සන් කර ඇති පරිශ්‍රයක් බදු දෙන්නෙකු සහ ගැනුම්කරුවෙකු සම්බන්ධ වන යම් ගිවිසුමක් විය යුතු ය.
එසේත් නැතිනම් 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන යටතේ යථා පරිදි අත්සන් කර ඇති බදු සාධන පත්‍රයක් මෙයින් අදහස් වේ.
02. ගිවිසුම අවසන් වීමට කලින් හිමිකරු ඔබගෙන් නිවස ආපසු ඉල්ලුවොත්?
ඔබ නිවසක බදු කුලී ගිවිසුමක් අත්සන් කර ඇති මොහොතක ඔබට එම පරිශ්‍රයෙන් ඉවත්ව යන ලෙස පැවසීමට ගෙහිමියාට හැකියාවක් පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අනුව නොමැත.
ඔබ අදාළ කුලී නිවසේ, කාමරයේ හෝ ගොඩනැගිල්ලේ නිරවුල්ව සහ අඛණ්ඩව මාස තුනකට වැඩි කාලයක් පදිංචිව සිටියේ නම් අධිකරණ ආඥාවක් මත මිස ඔබව එම ස්ථානයෙන් නෙරපීමේ හැකියාව නිවාස හිමියාට නැත.
පස් වන වගන්තිය, අනුව එම පරිශ්‍රයේ අයිතිකරුට හෝ වෙනත් තැනැත්තෙකුට ඔබව එම ස්ථානයෙන් නෙරපා දැමීමේ හැකියාවක් නොමැත.
03. නිවසේ හිමිකරු වතුර කපනවා ද? කැඩුණු දේවල් හදන්නේ නැද්ද?
බදු පදනම මත හෝ කුලී පදනම මත රැඳී සිටින පරිශ්‍රයක ගිවිසුමක් යටතේ සිටියදී පරිශ්‍රයක ගෙහිමියා විසින් හෝ ගෙහිමියා විසින් බලය පවරන වෙනත් තැනැත්තෙකු හරහා පදිංචි වී සිටින පුද්ගලයාට එතෙක් සපයන ලද පහසුකමක් හෝ අත්‍යවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් නැවැත්වීමට නොහැක.
එමෙන් ම, ඔබව නෙරපීමේ අරමුණින් වතුර කපා හැරීම වැනි පහසුමක් කපා හැරීම යෝජිත නව නීතියෙන් තහනම් ය.
එමෙන් ම, එහි තුන් වන වගන්තිය අනුව, ඒවා අලුත්වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම, පැහැර හැරීම හෝ අලුත්වැඩියා කිරීමට සහ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවසර නොදීමේ හැකියාව ගෙහිමියාට නොමැත.
අත්‍යවශ්‍ය සැපයුම් සහ උපයෝගිතා සේවා යන්නෙන් පනත් කෙටුම්පතේ අදහස් වන්නේ ජලය, විදුලිය, මලාපවහන සේවා, පිසීමේ ගෑස් සහ ප්‍රවේශ මාර්ගවල හා තරප්පුවල විදුලි පහන් ඇතුළු විදුලි පහන්, සෝපාන, කසළ ශෝධන සහ සනීපාරක්ෂක සේවා ය.
සරලව ම ඔබට නිරවුල් ගිවිසුමක් ඇති නම්, ඔබ කුලියට සිටින නිවසේ විදුලි බල්බ ක්‍රියාවිරහිත වූ විට හෝ ජල නළ වැනි ඒවාවල ගැටලු ඇති වූ විට ඒවා ගෙහිමියා ඔබට පිළිසකර කර දිය යුතු ය.
ඔබ ඒවා නැවත පිළිසකර කර ගැනීමට අවසර ඉල්ලන්නේ නම් ඔවුන් අවසර ලබා දිය යුතු වේ.
04. කුලී නිවසින් ඉවත් වන ලෙස බලපෑම් කරනවා ද?
ඔබේ බදු කුලී ගිවිසුම අවසන් වීමට පෙර ඔබ සිටින පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස හිමිකරු හෝ හිමිකරු විසින් යොදවනු ලබන තැනැත්තෙකු තර්ජනය කරන්නේ නම්, බැන වදිනවා නම් හෝ පරිශ්‍රයට යම් හානියක් කරන්නේ නම් එහි පදිංචිව සිටින ඔබට ඊට විරුද්ධව අධිකරණයට යාමට මෙම නව නීතිය යටතේ අවස්ථාව තිබේ.
ඉහත සඳහන් කළ ආකාරයේ ගැටලුවකට ඔබ මුහුණ දෙමින් සිටින්නේ නම්, පනත් කෙටුම්පතේ හය වන වගන්තියට අනුව, බලයලත් අධිකරණයක නඩු පවරමින් පහත දැක්වෙන සහන එකක් හෝ වැඩි ගණනක් ලබා ගැනීම සඳහා ආඥාවක් ඉල්ලා සිටිය හැකි ය.
- සේවාවන්, පහසුකම්, අත්‍යවශ්‍ය සැපයුම් සහ උපයෝගීතා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවසර දීම
- පදිංචිකරුට සාහසිකකමක්, බලහත්කාරයක් පෑම, අනතුරක්, තර්ජනයක් පාඩුවක් කිරීම හෝ එලෙස කරන බවට තර්ජනය කිරීම වැළක්වීම
- පරිශ්‍රයට අලාභහානි කිරීම කඩා බිඳ දැමීම වැනි යමක් කිරීමෙන් වැළැක්වීම
- පෙත්සම්කරු එම පරිශ්‍රයේ හිස් වූ සහ නිරවුල් සන්තකයේ පිහිටුවීම
- අධිකරණය විසින් නිශ්චය කරනු ලබන වෙනත් සහනයක්
ඒ අනුව අධිකරණය පෙත්සම්කරුට ඉහත සහන ලැබීමට සුදුසු බව සිතන්නේ නම් ඒ සඳහා නයිසයි ආඥාවක් නිකුත් කරනු ඇත. (අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ලබා දෙන ආඥාවක්)
05. අධිකරණ තීන්දුවෙන් පසුවත් ඔබට බලපෑම් කරනවා නම්?
පෙත්සම්කරු වන ඔබව අදාළ පරිශ්‍රයේ නැවත පිහිටුවීමට අධිකරණය විසින් නියෝග කරනු ලබන අවස්ථාවකදී ගෙහිමියා දිගින් දිගට ම එයට බාධා පමුණුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් නැවතත් අධිකරණයට වාර්තා කළ යුතු ය.
ඉන්පසුව ගෙහිමියා අධිකරණ තීන්දුව නොසලකා ක්‍රියා කර ඇති බවට අධිකරණය තීන්දු කළහොත් අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ එම පුද්ගලයාට රු. ලක්ෂ පහකට නොවැඩි දඩයක් හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීම හෝ එම දඬුවම් දෙක ම ලබා දීමට හැකි ය.
දේපළ බද්දට/කුලියට දෙන ඔබට ඇති විය හැකි ප්‍රශ්න
01. පදිංචිකරුවන්ට නිවසින් ඉවත් වන්නැයි කිවහොත් හිරේ යන්න වේවි ද?
දේපළ හිමි ඔබ ගිවිසුමක් හරහා බද්දට ලබා දී ඇති පරිශ්‍රයක පදිංචිව සිටින්නෙක්ට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පැවසුවහොත් ඔබට සිරගත වීමට සිදුවන්නේ නැත.
නමුත් පදිංචිකරු ඔබේ තීරණයට එරෙහිව අධිකරණයට ගොස්, අධිකරණය එම පදිංචිකරු නැවත එම පරිශ්‍රයේ පිහිටුවීමට තීන්දු කරන අවස්ථාවකදී ඔබ එම අධිකරණ තීන්දුව ක්‍රියාවට නැංවීමට බාධා කළහොත් එය සිදු විය හැකි ය.
කෙසේ වෙතත්, මෙය සිදුවන්නේ නඩු විභාගයකින් අවසන් තීන්දුවක් පැමිණීමෙන් පසුව ඔබ එම තීන්දුවට පටහැණිව කටයුතු කළහොත් පමණි.
එම දඬුවම නියම වන්නේ අධිකරණයට අපහාස කිරීම යටතේ යි.
නමුත් ඔබට එවැනි දෙයක් සිදු නොකර දැනටමත් පවතින 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ අධිකරණයට යාමට හැකි ය.
02. ගෙවල් කුලී ප්‍රමාද කරනවා ද?
ඔබ බද්දට ලබා දී ඇති පරිශ්‍රයේ සිටින්නන් දිගින් දිගට ම ඔබේ බදු කුලී මුදල් ගෙවීම අතපසු කරන්නේ නම්, ඔවුන් ඔබගේ බදු ගිවිසුම උල්ලංඝනය තිබේ.
එම නිසා ඔබේ බදු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනයට එරෙහිව ඔබට අධිකරණය වෙත යාමට හැකි ය.
2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනතෙහි දෙවන වගන්තිය යටතේ ඔබට අධිකරණය වෙත ගොස් අධිකරණ නියෝගයක් හරහා හිඟ බදු කුලී අය කරගැනීමට සහ ඔබට අවශ්‍ය නම් එම පරිශ්‍රය නැවත ඔබගේ සන්තකයට ගැනීමට හැකි ය.
03. ගිවිසුම අවසන් වී තිබියදීත් නිවස හැර යන්නේ නැද්ද?
ඔබ සහ බදු ගැනුම්කරු අතර පැවති ගිවිසුම් කාලය අවසන් වී තිබුණත් ඔවුන් ඇතැම්විට එම පරිශ්‍රයෙන් පිටව යාම ප්‍රතික්ෂේප කළ හැකි යි.
එපමණක් නොව, බදු ගිවිසුමේ සඳහන් කවර හෝ නියම, කොන්දේසි, ප්‍රතිඥා, බැඳීම් සහ යුතුකම් බදු ගැනුම්කරු විසින් උල්ලංඝණය කළ අවස්ථාවක ඔබ බදු ගිවිසුම අවසන් කිරීමේ නිවේදනයක් නිකුත් කර බදු ගිවිසුම අවසන් කිරීමේදීත් ඔවුන් යාම ප්‍රතික්ෂේප කළ හැකි යි.
එවැනි අවස්ථාවකදීත් ඔවුන් එම ස්ථානයේ ඉවත් කරන පරිශ්‍රය ඔබට නැවත ලබා ගැනීම සඳහා මෙම පනත යටතේ නඩුවක් පැවරීමට ඔබට හැකි ය.
පරිශ්‍රය යන්නෙන් ගොඩනැගිල්ලක්, ගොඩනැගිල්ලක කොටසක්, ගොඩනැගිල්ලක කොටසකට සම්බන්ධ භූමිය, ගොඩනැගිල්ලක් නොමැති හිස් භූමියක් හෝ තට්ටු ගොඩනැගිල්ලක කොටස් පනතෙහි හඳුන්වා තිබේ.
ඔබට මේවා අතරින් කුමන හෝ ආකාරයක දේපලක් සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා මෙම පනතෙන් ක්‍රියාමාර්ග ගැනීමට හැකි ය.
04. දේපළට හානි වී ඇත් නම්?
බදු ගැනුම්කරු ඔබේ දේපළවලට හානි සිදු කර ඇත්නම් ඒවා අය කර ගැනීම සම්බන්ධයෙන් ද 2023 පනතේ සඳහන් වේ.
ඇතැම් බදු ගැනුම්කරුවන් ඔබේ දේපළ කඩා බිඳ දමා හෝ අලාභයන් සිදු කර ඇත්නම් අධිකරණයේ නඩුවක් පැවරීම හරහා ඒවා අය කර ගැනීමට හැකි ය.
මීට අමතරව අධිකරණයෙන් පහත සඳහන් සහන ලබා ගැනීමට හැකි ය.
- හිඟ බදු වාරික මුදල්
- පැමිණිලිකරු වන ඔබට පරිශ්‍රයේ නිරවුල් සන්තකය ආපසු ලබා දෙන තෙක් සේවා ගාස්තු තිබේ නම් එම ගාස්තු
- බදු ගිවිසුම කල් පිරීමේ දිනයේ සිට හෝ බදු ගිවිසුම අවසන් කිරීමට බලාත්මක වන දිනයේ සිට, පැමිණිලිකරුට පරිශ්‍රයේ නිරවුල් සන්තකය ආපසු ලබා දෙන දිනය තෙක් කළ අලාභ ඇත්නම් එම අලාභ
- නීත්‍යනුකූල පොළී අනුපාතිකය අනුව හිඟ බදු වාරික මුදල්, සේවා ගාස්තු සහ ප්‍රමාණ කළ අලාභ මත පොළිය
- සුදුසු යැයි අධිකරණයට පෙනී යන වෙනත් සහන සහ අධිකරණයෙන් අවසර දිය හැකි නඩු ගාස්තු
05. ගිවිසුම උල්ලංඝනය කරමින් බාහිර පාර්ශවයන් දිගින් දිගට ම නිවසේ රඳවා ගන්නවා නම්?
ඔබ බදු කුලිය සඳහා ලබා දී ඇති පරිශ්‍රය ලබා ගෙන ඇති පුද්ගලයා ඔබේ ගිවිසුම් කොන්දේසි කඩ කරමින් වෙනත් පාර්ශවයන් රඳවා ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද ඔබට 2023 වසරේ සිට ක්‍රියාත්මක වන පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතියි.
පරිශ්‍රයේ සිටින අනෙකුත් අයට, අසල්වැසියන්ට බාධා වන අයුරින් හැසිරෙන්නේ නම් ද ඔබට මෙම පියවර අනුගමනය කළ හැකි ය.
එවිට ඉහත සඳහන් කළ ආකාරයට අධිකරණයක් හමුවට ගොස් ඔවුන්ව ඉවත් කර පරිශ්‍රය නැවත ඔබ සන්තකයට පිහිටුවා ගැනීමට ඉල්ලීම් කිරීමට දේපළ හිමියා වශයෙන් ඔබට හැකියාවක් පවතී.