2026 උපාධිධාරී ගුරු විභාගය: අයැදුම් කරන්නේ කෙසේ ද? සමත් වීමට ඔබ කළ යුත්තේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රී ලංකාවේ උපාධිධාරී තරුණ තරුණියන්ටත්, දැනට ගුරු සේවයේ නියුතු උපාධිධාරී රාජ්‍ය නිලධාරීන්ටත් රජයේ ස්ථීර ගුරු සේවයට ඇතුළත් වීමට ඇති ප්‍රධානතම අවස්ථාවක් වන්නේ, උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය යි.

ගුරු සේවයට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට මෙම විභාගය ඉතාමත් තීරණාත්මක වේ.

මෙම විභාගය සඳහා අයැදුම් කිරීම 2026 පෙබරවාරි 20 වන දා පෙ.ව. 9.00ට ආරම්භ වූ අතර, මාර්තු 05 වන දා ප.ව. 9.00 දක්වා අවස්ථාව ලබා දී තිබේ.

අයැදුම් කළ යුත්තේ කෙසේ ද?

මෙම විභාගය සඳහා අයැදුම් කළ හැක්කේ, ඔන්ලයින් ඔස්සේ පමණි.

ඒ සඳහා වන අයැදුම්පත ශ්‍රී ලංංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ "Our Services" යටතේ ඇති "Online Applications – Recruitment Exams/ E.B. Exams" ඔස්සේ පළ කර ඇති අතර අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි ය.

එම අයැදුම් පත ඩවුන්ලෝඩ් කර මුද්‍රණය කර සමාදාන විනිශ්චයකාරවරයෙකුගෙන් සහතික කරගෙන සම්මුඛ පරීක්ෂණය පවත්වන අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු ය.

සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරා ගැනෙන ක්‍රමවේදය

මුලින් ම තරග විභාගයක් පැවැත්වෙන අතර, සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබීම සඳහා විභාගයෙන් ලකුණු 40කට වැඩි සාමාන්‍යයක් ලබා ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරා ගනු ලබන්නේ, ගුරු පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් වන පරිදි ය.

විභාගය පැවැත්වෙන ක්‍රමය

මෙවරත් මෙම විභාගය අංශ දෙකක් යටතේ පැවැත්වේ. ඒ, විවෘත සහ සීමිත විභාග අංශ යටතේ ය.

මෙම අංශ දෙකෙහි වෙනස කුමක් ද?

සීමිත විභාගයට අයැදුම්පත් යොමු කළ හැක්කේ දැනටමත් රාජ්‍ය සේවයේ නියැලෙන උපාධිධාරීන්ට වන අතර එසේ නොවන අනෙකුත් උපාධිධාරීන්ට විවෘත තරග විභාගයට පෙනී සිටීමට හැකියාව ඇත. අනෙකුත් තරග විභාගවලදී බොහෝවිට රාජ්‍ය සේවා පළපුරුද්ද තිබිය යුතු වසර ගණනක් නිශ්චිතව සඳහන් කර තිබුණ ද, මෙහිදී සීමිත විභාගයට පෙනී සිටින අයට එලෙස සඳහන් කර නොමැත. විවෘත තරග විභාගය බොහෝවිට යෝග්‍ය වන්නේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු උපාධිධාරීන්ට මෙන් ම ගුරු වෘත්තියට පිවිසීමට කැමති නවකයින්ට ය.

සීමිත තරග විභාගයට අයදුම් කරන උපාධිධාරීන් 2023 පෙබරවාරි 10 වන දිනට පෙර පහත සුදුසුකම් සපුරා තිබිය යුතු ය.

  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් හෝ එම ආයතනය පිළිගත් ආයතනයක් විසින් පිරිනමන උපාධියක් අයැදුම්පත් කැඳවන දිනට පෙර ලබා තිබීම.
  • පුරප්පාඩු පවතින විශයන්වලට අදාළතාවක් ඇති උපාධියක් සපුරා තිබීම. මෙහිදී අයැදුම් කරන විශය Transcript එකෙහි නොමැති නම් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී අදාළ විශ්වවිද්‍යාලයෙන් අදාළතාව සහතික කළ ලේඛනයක් ඉදිරිපත් කළ යුතු ය.
  • 2023 පෙබරවාරි 10 වන දිනට වයස අවු 45 නොඉක්මවා තිබිය යුතු ය.
  • සීමිත තරග විභාගයට අයැදුම් කිරීමේදී උක්ත සියලු සුදුසුකම් සපුරා තිබිය යුතු අතර ඊට අමතරව රාජ්‍ය සේවයට එක්වූ උපාධිධාරියෙකු විය යුතු ය.

විවෘත සහ සීමිත තරග විභාගවලට පෙනී සිටීමේදී පහත සඳහන් ප්‍රශ්න පත්‍ර දෙකට පෙනී සිටිය යුතු ය.

  • අභියෝග්‍යතා පරීක්ෂණය (ලකුණු 100යි/කාලය පැය 01යි)

බොහෝ දෙනෙකු මෙය ගණිත ප්‍රශ්න පත්‍රයක් ලෙස අවබෝධ කරගෙන සිටිය ද, එය එසේ නොවන බව වටහා ගැනීමට වැදගත් වේ.

විශේෂයෙන් මෙහිදී මැන බැලෙනුයේ තර්කන හැකියාව සහ විශ්ලේෂණ හැකියාව යි. සංඛ්‍යාත්මක, භාෂාමය සහ රූපමය ව්‍යුහයන් ආශ්‍රිත ගැටලු මෙහි ඇතුළත් වේ.

බහුවරණ ආකාරයේ ප්‍රශ්න 50කින් සමන්විත වේ.

  • සාමාන්‍ය දැනීම පරීක්ෂණය (ලකුණු 100යි/කාලය පැය 01යි)

මෙහිදී ගුරු හා අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ දැනුම කොතෙක් දුරට අපේක්ෂකයා සතුව පවතිනවාදැයි මැන බලයි. විශේෂයෙන්ම මෙහිදී 2010න් පසු මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ සිදු වූ විවිධ වෙනස්කම් ගැන අවධානය යොමු කිරීම වැදගත් වන අතර අධ්‍යාපනයේ නව ප්‍රවණාතා පිළිබඳවද දැනුම විමසා බලයි. බහුවරණ ආකාරයේ ප්‍රශ්න 50කින් සමන්විත වේ.

මෙම ලිඛිත පරීක්ෂණය සමත්වීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණ්‍ය 40% (එක් ප්‍රශ්න පත්‍රයකට) වේ.

උක්ත විභාගයෙන් සමත් වන අයැදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන අතර එහිදී අයැදුම්කරුවන් හඳුනා ගන්නා මාතෘකාව යටතේ ඉදිරිපත් කළ යුතු ය. මෙම පරීක්ෂණයේදී හිමිවන සමස්ත ලකුණු ප්‍රමාණය 25කි.

සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී මූලික සුදුසුකම් සපුරනු ලැබූ අයැදුම්කරුවන් ගැසට් නිවේදනයේ 10.3 වගන්තිය අනුව ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය කරනු ලැබේ.

මෙම සියලු ලකුණු අවසානයේ එකතු කරන අතර එක් එක් අයැදුම්කරුවන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව අනුව පුරප්පාඩු සංඛ්‍යාවට සමාන අපේක්ෂක සංඛ්‍යාවක් ඇතුළත් වන සේ අවසන් ප්‍රතිඵල ලේඛනය සකස් කරනු ලැබේ.

මේ සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා පහත සඳහන් දුරකතන අංක ඇමතිය හැකි ය.

  • සිංහල මාධ්‍යය - 0112-784819/ 0112-785634/ Hotline - 1988
  • දෙමළ මාධ්‍යය - 0112-785634
  • ඉංග්‍රීසි මාධ්‍යය - 0112-785258/ 0112-784819/ 0112-787399

විභාගයට සූදානම් විය යුත්තේ කෙසේ ද?

මෙහි අභියෝගතා ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි පිරිසක් සිතා සිටින්නේ එය ගණිත ප්‍රශ්න පත්‍රයක් ලෙස ය. නමුත් මෙම ප්‍රශ්න පත්‍රයෙන් මැන බැලනුයේ ඔබ සතු තර්කන හැකියාව යි.

එනම් තාර්කිකව සිතා බැලිය හැකි ද යන්න යි. එය කටපාඩම් කළ නොහැක. හැකි උපරිමාකාරයෙන් ප්‍රායෝගිකව අභ්‍යාස කළ යුතු ය. එනම් මෙවැනි ගැටලු විසඳමින් ඒ හැකියාව වර්ධනය කර ගත යුතු ය. එය කරන්නේ කෙසේ ද?

ගුරු විභාගය පමණක් නොව ඕනෑ ම රාජ්‍ය සේවා තරග විභාගයකදී මෙවැනි ප්‍රශ්න පත්‍රයකට බොහෝදුරට පිළිතුරු සැපයීමට සිදුවෙයි.

රාජ්‍ය සේවා තරග විභාගවලට සූදානම් වීම සඳහා පරිශීලනය කළ හැකි පොත් වෙළෙඳපොළේ මිල දී ගැනීමට තිබේ. එම පොත්වල මෙවැනි ගැටලු පිළිතුරු ද සමග ඇතුළත්ව ඇත. ඇතැම් පොත් ගුරු සේවා විභාගය ම ඉලක්ක කළ ඒවා වේ. එවැනි පොත්වල ඇතුළත් අභියෝගතා ගැටලු තනිව විසදීමට උත්සහ කළ යුතු ය.

සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේදී ඔබ සතුව පවතින දේශීය මෙන් ම විදේශීය දේශපාලනික, ආර්ථික, සමාජයීය, සංස්කෘතික, ක්‍රීඩා මෙන් ම සාහිත්‍ය දැනුම අතිශය වැදගත් වේ. මෙහිදී ඔබ සතුව පවත්නා කාලීන තොරතුරු පිළිබඳ දැනුම හරහා ඒ පිළිබඳ ඇති අවබෝධය මැන බලයි. මේ වසරේ සිට වසර 05ක්වත් පසුපසට මේ කරුණු ගැන දැන සිටීම වැදගත් වේ. නමුත් එය සිදු කරන්නේ කෙසේ ද? ඔබ නිතර දේශීය හා විදේශීය තොරතුරු පිළිබඳ සොයන අයෙකු නම් මේ පිළිබඳ ඔබට වද විය යුතු නැත. නැතිනම් ඔබ මේ පිළිබඳව ගවේෂණය කළ යුතු ය.

ඔබට ඉන්ටර්නෙට් හරහා විධිමත් ප්‍රවෘත්ති මූලාශ්‍ර හා වෙබ් පිටු මගින් මෙම තොරතුරු ඉතා හොඳින් ගවේෂණය කළ හැක. එමෙන් ම රාජ්‍ය සේවා තරග විභාග ඉලක්ක කර ගත් සමාජ මාධ්‍ය සමූහයන් තිබේ. ඒවා තුළ බොහෝවිට වටිනා දැනුම එකිනෙකා බෙදාගනිති. ඒ හරහා නිතර දැනුම වර්ධනය කරගත හැක. පොත්හල් හා පුස්තකාලවල රාජ්‍ය සේවා තරගවිභාගයන්හි සාමාන්‍ය දැනුම ඇතුළත් පොත්පත් පරිශීලනය ද ඉතාමත් වැදගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ උපදේශක විරාජ් අභයසිංහ පවසයි.

එමෙන්ම 2010න් පසු මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ඇති වූ වෙනස්කම් පිළිබඳ අවබෝධයක් තිබීම ද අතිශය වැදගත් වේ.

අවසාන වශයෙන් විභාගයට කළ හැකි සුවිශේෂී ම දෙය ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම යි. උක්ත ආකාරයේ ක්‍රම මගින් ආදර්ශ ප්‍රශ්නපත්‍ර සොයා ගනිමින් ඒවා නිසි කාල සීමාව තුළ පිළිතුරු ලිවීමට උත්සහ කළ යුතු ය.