නිතර ගැටුම්වලට මැදිවන අල්-අක්සා යනු කුමක් ද?

Israeli police walk near the Dome of the Rock during clashes with Palestinians, 7 May

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මුස්ලිම් සහ යුදෙව් යන දෙපිරිසගේ ම ගෞරවයට පාත්‍ර වූ ස්ථානයක පිහිටා ඇති අල්-අක්සා මස්ජිද පරිශ්‍රයට ඇතුළු වී සිටින ඊශ්‍රායල පොලිසිය

මැදපෙරදිග වඩාත් සංවේදී ස්ථානයක දශක ගණනාවක් පුරා පැවති පැරණි සම්මතයක් උල්ලංඝනය කරමින්, ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික දේශපාලන්‍යඥයෙකු වන ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ගිවියර්, නැගෙනහිර ජෙරුසලමේ මතභේදාත්මක ශුද්ධ භූමියක යාච්ඥා කර තිබේ.

බෙන්-ගිවියර් අල්-අක්සා මුස්ලිම් පල්ලියේ යාච්ඥා මෙහෙයවූ ආකාරය ඡායාරූප සහ වීඩියෝවල දැක්වෙන අතර, මෙම ස්ථානය මුස්ලිම් ජාතිකයන් විසින් හරාම් අල්-ෂරීෆ් (උතුම් ශුද්ධ භූමිය) ලෙසත් යුදෙව්වන් විසින් ටෙම්පල් මවුන්ටන් ලෙසත් හඳුන්වනු ලැබේ.

ඔහු එම පරිශ්‍රයට කිහිප වතාවක් ම ගොස් ඇති, නමුත් ඔහු එහි යාච්ඤා කළ පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව මෙය යුදෙව්වන්ට මෙහි පැමිණීමට අවසර ඇති නමුත් යාච්ඤා නොකළ යුතු බවට පැවති දිගුකාලීන නීතිය උල්ලංඝනය කිරීමකි.

පලස්තීන පාලනාධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස්ගේ මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ මෙම සංචාරය "සියලු රතු රේඛා ඉක්මවූ" බව ය. හමාස් සංවිධානය එය හැඳින්වූයේ, "අපගේ පලස්තීන ජනතාවට එරෙහිව අඛණ්ඩව සිදුවන ආක්‍රමණය තවත් ගැඹුරු වීමක්" ලෙස ය.

බෙන්-ගිවියර්ගේ සංචාරය අසල්වැසි රටවලින් ද හෙළා දැකීමට හේතු වී තිබේ. අල්-අක්සාහි භාරකරු වන ජෝර්දානය එය "ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්" ලෙස හැඳින්වීය; "අන්තවාදී අමාත්‍යවරයාගේ ප්‍රකෝපකාරී ක්‍රියාවක්" සෞදි අරාබිය ද එය හෙළා දුටුවේ ය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එහි මුස්ලිම් ජාතිකයන්ට පමණක් වන්දනාමාන කිරීමට ඉඩ සලසන එකඟතාව පවත්වා ගෙන යාම සඳහා වන ඊශ්‍රායල් ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ය.

ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ට අල්-අක්සා වෙත ප්‍රවේශ වීම සීමා කරනු ලැබ තිබේ. වයස අවුරුදු 45ට අඩු පිරිමින්ට සහ නව යොවුන් වියේ පිරිමි දරුවන්ට සහ අත්පත් කර ගෙන සිටින බටහිර ඉවුරේ ජීවත් වන පලස්තීනුවන්ට ප්‍රවේශය තහනම් කර ඇත.

මෙම ප්‍රදේශය දිගු කලක් තිස්සේ විවිධ ගැටුම් සඳහා පාදක වන ස්ථානයක් බවට පත්ව ඇති අතර 2021 ඊශ්‍රායලය සහ හමාස් අතර ඇතිවූ අවසන් යුද්ධයේ ආරම්භක ලක්ෂ්‍යයක් විය.

අල්-අක්සා මෙතරම් වැදගත් වන්නේ ඇයි?

අල්-අක්සා ජෙරුසලමේ පැරණි නගරයේ මධ්‍යයේ පිහිටා ඇති අතර එය මුස්ලිම් ජාතිකයින් අතර අල්-හරාම් අල්-ෂරීෆ් හෙවත් උතුම් ශුද්ධ භූමිය ලෙස හඳුන්වන කදු ගැටයක් මත පිහිටා ඇත.

පාපන්දු පිටි 20ක විශාලත්වයට සමාන හෙක්ටයාර 14කින් යුත් මෙම භූමිය යුදෙව්වන් විසින් හාර් බයිත් හෙවත් ටෙම්පල් මවුන්ට් ලෙස හඳුන්වනු ලැබේ.

අල්-අක්සා පල්ලිය යනු සමස්ත සංකීර්ණයට ම ලබා දී ඇති නාමය වන අතර, එය මුස්ලිම් ශුද්ධ වූ ස්ථාන දෙකකට නිවහන වේ: ඩෝම් ඔෆ් ද රොක් කොටස සහ අල්-අක්සා හෝ කිබ්ලි පල්ලිය ක්‍රි.ව. 8 වන සියවසේ ඉදිකරන ලද්දකි.

අල්-අක්සා ජෙරුසලමේ පැරණි නගරයේ මැද පිහිටා ඇති අතර එය මුස්ලිම්වරුන් අතර අල්-හරාම් අල්-ෂරීෆ් නොහොත් උතුම් අභයභූමිය ලෙස හඳුන්වන කදු ගැටයක් මත පිහිටා ඇත.

මක්කම සහ මදීනාවලට පසු මුස්ලිම් ජාතිකයෝ අල්-අක්සා ඉස්ලාමයේ තුන්වන ශුද්ධස්ථානය ලෙස සලකති.

මුස්ලිම් ජාතිකයින් නබීවරුන් ලෙස සලකන විවිධ චරිත එහි වන්දනාමාන කළහ. උදාහරණයක් ලෙස ඉබ්‍රාහිම් (ඒබ්‍රහම්), දාවුද් (ඩේවිඩ්), සුලෙයිමාන් (සලමොන්), ඉල්යාස් (එලියා) සහ ඊසා (ජේසුස්) ආදී චරිත එහි වන්දනාමාන කළහ.

ක්‍රිස්තු වර්ෂ 620දී එක් රාත්‍රියකදී මුහම්මද් නබිතුමා මක්කම සිට අල්-අක්සා වෙතත්, එතැන් සිට ස්වර්ගයටත් රැගෙන ගිය බවට මුස්ලිම් ජාතිකයෝ විශ්වාස කරති.

එම ස්ථානය ම වන ටෙම්පල් මවුන්ට්, යුදෙව්වන් සඳහා ඇති අති පූජනීය ම ස්ථානය වේ.

ඔවුන් විශ්වාස කරන්නේ, සොලමොන් රජු එහි පළමු දේවමාළිගාව වසර 3,000කට පෙර ඉදිකරන ලද බව ය. එහි ඉදිකරන ලද දෙවන යුදෙව් දේවමාළිගාව ක්‍රි.ව. 70දී රෝමවරුන් විසින් විනාශ කරන කෙරිණි.

ජේසුස් වහන්සේ මෙහි ඉගැන්වූ බව ත් යාච්ඤා කළ බවත් විශ්වාස කරන කිතුනුවන්ට ද එය ශුද්ධ වූ ස්ථානයකි.

අල්-අක්සා අඩවිය අද පවත්වාගෙන යන්නේ කවුද?

1967දී ඊශ්‍රායලය සහ අරාබි අසල්වැසියන් අතර ඇති වූ යුද්ධයේදී ඊශ්‍රායලය අල්-අක්සා භූමිය අල්ලා ගත් අතර, නැගෙනහිර ජෙරුසලමේ ඉතිරි කොටස සහ බටහිර ඉවුරේ ආසන්න ප්‍රදේශ සමඟ එම කොටස ඈඳා ගත්තේ ය.

එම කාලයේ මෙම ප්‍රදේශ ඊජිප්තු සහ ජෝර්දාන පාලනය යටතේ පැවති අතර, ඊශ්‍රායලයේ මෙම පියවර කිසි විටෙකත් ජාත්‍යන්තර ව පිළිගනු ලැබුවේ නැත.

ජෝර්දානයේ හැෂිමයිට් රජතුමා අල්-අස්කා අඩවියේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි පූජනීය ස්ථාන දෙකෙහි ම නිල භාරකරු වේ.

ඔහු එය අධීක්ෂණය කිරීම සඳහා ඉස්ලාමීය වක්ෆ්ර් නමින් හැඳින්වෙන පදනම සඳහා සාමාජිකයින් පත් කරයි.

Muslims pray at al-Aqsa compound

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුස්ලිම් ජාතිකයින් විශ්වාස කරන්නේ අල්-අක්සා මස්ජිදය යනු මුහම්මද් නබිතුමා ස්වර්ගයට ගිය ස්ථානය බව ය

දිගුකාලීන ගිවිසුමක් යටතේ, මුස්ලිම් නොවන අයට අල්-අක්සා පරිශ්‍රයට පැමිණිය හැකි නමුත්, මුස්ලිම් ජාතිකයින්ට පමණක් පල්ලියේ පරිශ්‍රය තුළ වන්දනා කිරීමට අවසර ඇත.

ඊශ්‍රායලයේ ප්‍රධාන රබ්බිවරයා යුදෙව්වන්ට ටෙම්පල් මවුන්ට් සංකීර්ණයට ඇතුළු වීම තහනම් කරන්නේ එය ඔවුන්ට පය තැබීමට නොහැකි තරම් ශුද්ධ යැයි සලකන බැවිනි.

ඊශ්‍රායල රජයේ නීතිරීතිවලට අනුව කිතුනුවන්ට සහ යුදෙව්වන්ට එම ස්ථානයට පැමිණිය හැක්කේ සංචාරකයින් ලෙස පමණකි. ඒ දිනකට පැය හතරක් සහ සතියකට දින පහක් පමණි.

යුදෙව් ජනයා දේවමාළිගා කන්දට පහළින් පිහිටි බටහිර තාප්පය හෙවත් වැලපීමේ ප්‍රාකරය නමස්කාර කරති. එය සොලමන්ගේ දේවමාළිගාවේ ඉතිරිව ඇති අවසාන ශේෂය යැයි විශ්වාස කෙරේ.

Clashes near the al-Aqsa Mosque, 7 May 2021

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අල්-අක්සා මුස්ලිම් මස්ජිදය ආශ්‍රිත පරිශ්‍රය මුස්ලිම් ජාතිකයින් සහ ඊශ්‍රායල පොලිසිය අතර බහුවිධ ගැටුම්වලට ගොදුරු වී ඇත

අල්-අක්සා හි ඇති වූ ගැටුම් මොනවා ද?

අල්-අක්සා ප්‍රදේශය, විශේෂයෙන් රාමසාන් සමයේදී නිතර ගැටුම් ඇතිවන ස්ථානයක් වී තිබේ. සමහර ගැටුම් මාරාන්තික වී ඇත.

2000දී, එවකට ඊශ්‍රායලයේ ප්‍රධාන විපක්ෂයේ නායකයා වූ ඒරියෙල් ෂැරොන්, දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එම ස්ථානයට ගෙන ගියේ ය.

පලස්තීනුවන් ඊට විරෝධය දැක්වූ අතර, ප්‍රචණ්ඩ ගැටුම් ඇති විය. එය දෙවන පලස්තීන නැගිටීමක් දක්වා වර්ධනය වූ අතර මේ හේතුවෙන් 2000 වර්ෂයේ සිට 2005 දක්වා කාලය තුළ පලස්තීනුවන් 3,000කට වැඩි පිරිසක් සහ ඊශ්‍රායල ජාතිකයන් 1,000ක් පමණ මිය ගියහ.

A man looks at damage inside the al-Aqsa mosque, following clashes between Israeli police and Palestinian worshippers, in East Jerusalem, 5 April 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල පොලිසිය සහ පලස්තීන විරෝධතාකරුවන් අතර අල්-අක්සා පල්ලිය තුළ ඇති වූ ගැටුම්වලින් විශාල හානියක් සිදුවිය

අනෙකුත් කැපී පෙනෙන ගැටුම් අතරට 2017දී ඊශ්‍රායලය තම මුස්ලිම් සගයන්ගේ අවසරයකින් තොරව එහි පිවිසුමේ ලෝහ හඳුනා ගැනීමේ යන්ත්‍ර සවි කිරීමෙන් පසු ඇති වූ ටෙම්පල් මවුන්ට් අර්බුදය; සහ ඊශ්‍රායලය විසින් රාමසාන් වන්දනාකරුවන් වැටලීම සමග 2021 දින 11ක ගැටුම ඇරඹිණි.