ජාත්‍යන්තර සම්බාධකවලට ලක්ව ඇති මතභේදාත්මක ඊශ්‍රායල ඇමති බෙන්-ගිවියර් යනු කවුද?

Far right-wing Israeli lawmaker Itamar Ben Gvir arrives to make a statement near Damascus Gate, just outside Jerusalem's Old City on 10 June 10 2021

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, සැන්ඩ්‍රීන් ලන්ගම්බූ
    • Role, බීබීසී ගෝලීය ජනමාධ්‍යකරණය

බොහෝ අවස්ථාවලදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ගිවියර්, රජයේ කටයුතු කළ කෙටි කාලය තුළ සහ ඊට පෙර දශක ගණනාවක් පුරා මතභේදයන්ට ආගන්තුකයෙකු නොවීය.

මැදපෙරදිග වඩාත් සංවේදී ස්ථානයක් වන ඊශ්‍රායලය අත්පත් කර ගෙන සිටින නැගෙනහිර ජෙරුසලමේ මතභේදාත්මක ශුද්ධ භූමියක දශක ගණනාවක් පැරණි ගිවිසුමක් උල්ලංඝනය කරමින් යාච්ඤා කිරීම බොහෝ දෙනෙකුගේ කෝපයට තුඩු දුන්නේ ය.

මුස්ලිම් ජාතිකයින් අතර 'හරාම් අල්-ෂරීෆ්' (උතුම් ශුද්ධ භූමිය) ලෙස ත් යුදෙව්වන් අතර 'Temple Mount' ලෙසත් හැඳින්වෙන ස්ථානය වෙත ඔහු කළ සංචාරයේ ඡායාරූප සහ වීඩියෝවල බෙන්-ගිවියර් එහි යුදෙව් යාච්ඥා මෙහෙයවන ආකාරය දැක්වේ. මෙම ස්ථානය අල්-අක්සා මස්ජිද සංකීර්ණය ලෙස ද හැඳින් වේ.

යුදෙව්වන්ට එහි යාමට අවසර ඇති නමුත් එහි සිට යාච්ඥා කිරීමට අවසර නොලැබේ.

ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පතට අනුව, බෙන්-ගිවියර් මීට පෙර කිහිප වතාවක් ම එම ස්ථානයට ගොස් ඇති නමුත් කිසි විටෙකත් එහි ප්‍රසිද්ධියේ යාච්ඤා කර නොමැත.

විශ්ලේෂකයින් පවසන්නේ මෙම සංචාරය එවකට ඊශ්‍රායලයේ විපක්ෂ නායකයා වූ දිවංගත ඒරියෙල් ෂැරොන් විසින් වසර 25කට පෙර එම ස්ථානයේ කළ සංචාරයට සමානකමක් දක්වන බව ය. එම සංචාරය දෙවන පලස්තීන ඉන්ටිෆාඩා (නැගී සිටීම) ඇති කළ බවට පුළුල් ලෙස විශ්වාස කෙරේ.

එය බෙන්-ගිවියර් මීට පෙර භාවිත කළ උපක්‍රමයකි.

2021 වසරේදී ඊශ්‍රායල පාලනයේ පවතින නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන ස්ථානයක් වන පලස්තීන වැසියන් දිවි ගෙවන ෂෙයික් ජරාහ්හි සංචාරයක යෙදුණේ ය. එහිදී යුදෙව් පදිංචිකරුවන්ට මග සැලසීම සඳහා බොහෝ එහි වැසියන් තම නිවෙස්වලින් ඉවත් කරන බවට තර්ජනය කෙරිණි.

මෙම සිදුවීම් බෙන්-ගිවියර්ගේ කුපිත කරවනසුලු මෙන් ම දැඩි මතභේදාත්මක ක්‍රියාකාරීත්වයේ ඉතිහාසයේ කොටසකි.

ඒවා පුදුමයට කරුණක් නොවන බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර දේශපාලනය සහ මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලියෝනි ෆ්ලයිෂ්මන් පවසයි. "[ඒවා] ඔහු කලින් පැවසූ සෑම දෙයක් එක්ක ම සමපාත වෙනවා. ඔහුගේ ඉතිහාසය, ඔහුගේ දෘෂ්ටිවාදය සහ ඔහුගේ ආගමික විශ්වාසයන්ට අනුකූල වෙනවා. ඔහු ඒ දේවල් කරන්නේ අරමුණක් ඇතිව."

එබැවින් වසර ගණනාවක් ඊශ්‍රායල සමාජය තුළ එතරම් ජනප්‍රිය නොවූ අයෙකු මෙතරම් බලගතු තනතුරක් දැරුවේ කෙසේ ද?

 Israeli National Security Minister Itamar Ben-Gvir walks to visit the Damascus Gate to Jerusalem's Old City, as Israelis mark Jerusalem Day, in Jerusalem on 26 May 2025

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බෙන්-ගිවියර් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයට පත්වීමට තරුණ, දක්ෂිණාංශික ඊශ්‍රායල ජාතිකයින්ගේ සහයෝගය අර්ධ වශයෙන් හේතු විය.

මතභේදවලින් පිරුණු ජීවිතය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආචාර්ය ෆ්ලයිෂ්මන් එය ප්‍රධාන සාධක දෙකකින් ගෙන හැර දක්වයි: ඊශ්‍රායල මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය - සහ ගාසා තීරයේ වත්මන් තත්ත්ව ය ඒවා වේ.

2022දී ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ධූරය බෙන්-ගිවර්ට ලබා දෙන ලදී. මෙය සිදු වූයේ ඔහුගේ අන්ත දක්ෂිණාංශික ඔට්ස්මා යෙහුඩිට් (යුදෙව් බලය) පක්ෂය තවත් අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වන ආගමික සියොන්වාදී (Religious Zionis) පක්ෂය සමග හවුල් වී ව්‍යවස්ථාදායක මැතිවරණයේදී ආසන 14ක් දිනා ගැනීමෙන් පසුව ය.

ඔහුට තරුණ දක්ෂිණාංශික ඊශ්‍රායල ජාතිකයන්ගෙන් සහයෝගය ලැබුණු අතර අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් සන්ධානයකට එක් විය. බලයේ රැඳී සිටීමට නම් නෙතන්යාහුට ඔහුගේ ඡන්ද පදනම අවශ්‍ය වූ අතර දැන් ඔහුට රජයේ දේශපාලන අදහස් සහ තීරණ කෙරෙහි ප්‍රබල බලපෑමක් කළ හැකි යැයි සැලකේ.

"ගාසාව හොඳ අවස්ථාවක්. මොකද ඒක නෙතන්යාහුට බලයේ රැඳී සිටීමට අවශ්‍ය නිසා සහ ඒක කර ගන්න ඔහු රජුන් තනන්නන්ට වැඩි වැඩියෙන් බලය ලබා දෙන නිසා. ඔවුන් ඔහුව බලයේ තබා ගැනීමට උත්සහ කරනවා," ආචාර්ය ෆ්ලයිෂ්මන් පවසයි.

1976 දී ඉරාක පසුබිමක් ඇති පවුලකට දාව ජෙරුසලමේ උපත ලැබූ බෙන්-ගිවියර් වයස අවුරුදු 18දී ඊශ්‍රායල හමුදාවේ සේවය නොකළ අයෙකි. මෙය සාමාන්‍යයෙන් ප්‍රධාන මැතිවරණ බාධකයක් ලෙස සලකනු ලැබේ. කෙසේ වෙතත්, ඔහුගේ දේශපාලන අදහස් නිසා ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඔහුට ඊට බැඳීමට ඉඩ නොදෙන බව ඔහු අතීතයේදී පවසා ඇත.

නීතිඥවරයෙකු වන බෙන්-ග්වීර්ගේ දැඩි දෘෂ්ටිවාදී ස්ථාවරය ගොඩනැගුණේ 1990දී නිව් යෝර්ක්හිදී ඝාතනය කරන ලද දිවංගත යුදෙව් ධර්මාචාර්යවරයෙකු වන මේර් කහානේ විසින් ආරම්භ කරන ලද අධි-ඕතඩොක්ස් කච් ව්‍යාපාරයට ඔහු කුඩා කල සිට ම සම්බන්ධ වීමෙනි.

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නිල වශයෙන් නම් කර ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය යන දෙකෙහි ම තහනම් කරන ලද එක ම ඊශ්‍රායල දේශපාලන කණ්ඩායම මෙම ව්‍යාපාරයයි.

එය සටන්කාමී ලෙස ජාතිකවාදී සහ පලස්තීන විරෝධී මතවාදයන් දරන අතර එහි ආධාරකරුවෙකු වන ඇමෙරිකානු-ඊශ්‍රායල වෛද්‍ය බාරුක් ගෝල්ඩ්ස්ටයින් 1994දී මුස්ලිම් පල්ලියකදී අවම වශයෙන් පලස්තීනුවන් 29 දෙනෙකු ඝාතනය කළේ ය.

බෙන්-ගිවියර්ගේ නිවසේ වරක් ගෝල්ඩ්ස්ටයින්ගේ ඡායාරූපයක් එල්ලා තිබූ බවට පුළුල් ලෙස වාර්තා විය.

බෙන්-ගිවියර්ට පලස්තීනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට අනුබල දීම සහ සිදු කිරීම සම්බන්ධයෙන් අට වතාවක් චෝදනා එල්ල වී ඇති අතර, 2007දී වාර්ගික වෛරය ඇවිස්සීම සහ ත්‍රස්තවාදී සංවිධානවලට සහය දීම සම්බන්ධයෙන් වරදකරු වීම ද ඊට ඇතුළත් ය.

A man in a wheel chair surrounded by other men leaves an aid station after collecting food aid in Gaza

ඡායාරූප මූලාශ්‍රය, Anas Zeyad Fteha / Anadolu via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්ලේෂකයින් පවසන්නේ ඊශ්‍රායල රජයේ ඇතැම් බලවත් දේශපාලන චරිත හෝ පක්ෂවලට (රජුන් තනන්නන්) ගාසා තීරයේ සිදුවන දේ හැඩගැස්වීමට හෝ බලපෑම් කිරීමට නිදහස ඇති බව ය.

බෙන්-ගිවියර් ඊශ්‍රායලය යුදෙව් ජාතිකවාදී සහ සියොන්වාදී රාජ්‍යයක් බව විශ්වාස කරන අතර ඊශ්‍රායලය අසල පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට විරුද්ධ වේ.

අතීතයේදී, ඔහු පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට සහය දුන් අතර "විශ්වාසවන්ත නොවන" අරාබි පුරවැසියන් රටින් බලහත්කාරයෙන් නෙරපා හැරීමට ඉල්ලා සිටි බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වාර්තා කරයි.

කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වූ දා සිට, ඔහු නැවත නැවතත් ඊශ්‍රායලයට සමස්ත ගාසා තීරය ම අත්පත් කර ගැනීමටත්, එම ප්‍රදේශයෙන් පලස්තීනුවන්ගේ "ස්වේච්ඡා සංක්‍රමණය" ලෙස ඔහු විස්තර කළ දෙය දිරිමත් කිරීමටත් ඉල්ලා සිටියේ ය.

ජූනි මාසයේදී ඔස්ට්‍රේලියාව, නෝර්වේ, කැනඩාව, නවසීලන්තය සහ එක්සත් රාජධානිය, බටහිර ඉවුරේ සිටින "පලස්තීන ප්‍රජාවන්ට එරෙහිව නැවත නැවතත් ප්‍රචණ්ඩත්වයට අනුබල දීම" සම්බන්ධයෙන් බෙන්-ගිවියර් සහ තවත් අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරයෙකු වන බෙසලෙල් ස්මොට්‍රිච්ට එරෙහිව ඒකාබද්ධ සම්බාධක ප්‍රකාශයට පත් කළේ ය.

ඊට පසු මාසයේ දී, නෙදර්ලන්තය සහ ස්ලෝවේනියාව බෙන්-ගිවියර්ට දෙරටට ම ඇතුළු වීම තහනම් කළේ, ඊශ්‍රායලයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ගාසාහි අඛණ්ඩව පිරිහෙමින් පවතින තත්ත්වය හේතුවෙනි.

නමුත් ඔහු තවමත් ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශ සිදු කිරීම අඛණ්ඩව කරගෙන යයි.

ජූනි මාසයේදී ඊශ්‍රායලයේ බීර්ෂිබ නගරයේ සොරෝකා රෝහලට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව, බෙන්-ගිවියර් "ඊශ්‍රායල රාජ්‍යයට වෛර කරන ඕනෑ ම අයෙකු" "පරාජය කළ යුතු" බව ත් ඉරාන පාලන තන්ත්‍රය "විනාශ කළ යුතු" බව ත් පැවසීය.

Israeli National Security Minister Itamar Ben-Gvir visits al-Aqsa compound also known to Jews as the Temple Mount in Jerusalem's Old City on 21 May 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

වඩා මධ්‍යස්ථ ද නැතිනම් දක්ෂිණාංශික ද?

2022දී ප්‍රධාන ධාරාවේ රජයට මාරු වීමෙන් පසු, බෙන්-ගිවියර් තමා වඩාත් සාම්ප්‍රදායික දේශපාලනඥයෙකු ලෙස නැවත හඳුන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බවක් පෙනෙන්නට විය.

ඔහු වරක් සමරිසි Pride පා ගමන් "පිළිකුල් සහගත" ලෙස නම් කළේ ය. දැන් ඔහු පවසන්නේ ඔහුගේ දරුවන් හය දෙනාගෙන් එක් අයෙකු සමලිංගික වුවහොත් තමන් පිළිගන්නා බව ය. නමුත් ඊශ්‍රායලයේ විවාහ ඕතඩොක්ස් ආගමික සීමාවන්ට යටත්ව තබා ගත යුතු බව ඔහු පවසයි.

මෙම පියවර නෙතන්යාහුගෙන් පසු කුමක් සිදුවේ ද යන්න පිළිබඳව අවධානයෙන් සිටිමින්, රට තුළ ඔහුට හිමි සහය පුළුල් කර ගැනීමේ වෑයමක් ද?

එය විය නොහැක්කක් බව ආචාර්ය ෆ්ලයිෂ්මන් පවසයි. "සහයෝගය ලබා ගැනීම සඳහා ඔහු තම ස්ථාවරය මධ්‍යස්ථ කළ යුතුයි කියලා මම හිතන්නේ නැහැ. වසර ගණනාවක් පුරා ඊශ්‍රායල සමාජය දකුණට ගමන් කරලා තියෙන්නේ. ගාසා ප්‍රශ්නයට කලින් ඉඳලා ම බෙන්-ගිවියර් ප්‍රකෝපකාරී සහ පලස්තීන විරෝධී කෙනෙක් විදිහටයි කටයුතු කළේ. දැන් ඊශ්‍රායල ජාතිකයන් ඉරානය සමග ඔවුන්ගේ දොරකඩදී ම යුද්ධයක් අත්වින්දා... මේ නව ලෝකය තුළ සහ නව යථාර්ථය තුළ ඔවුන්ව ආරක්ෂා කරන කෙනෙකු ඔවුන් තවදුරටත් හොයාවි.