ගාසාහි ජන සංහාරයක් සිදුවන බවට ඊශ්‍රායල් මානව හිමිකම් කණ්ඩායම්වලින් ඊශ්‍රායලයට චෝදනා

Israeli human rights groups B'Tselem and Physicians for Human Rights-Israel hold a news conference in occupied East Jerusalem to release reports accusing Israel of genocide in Gaza (28 July 2025)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, B'Tselem [ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක්] සහ Physicians for Human Rights-Israel විසින් ජෙරුසෙලෙමේදී පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම සොයාගැනීම් ඉදිරිපත් කෙරිණි
    • Author, එමීර් නේඩර්
    • Role, බීබීසී, ජෙරුසලම

ගාසා යුද්ධයේදී ඊශ්‍රායලයේ හැසිරීම පලස්තීන ජනතාවට එරෙහි ජන සංහාරයකට සමාන බව ඊශ්‍රායලයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන දෙකක් පවසා තිබේ.

පසුගිය මාස 21ක පුරා පැවති ගැටුම් පිළිබඳව සිදු කළ අධ්‍යයනයන් මත පදනම්ව, B'Tselem සහ Human Rights-Israel සඳුදා (ජූලි 28) වෙන වෙන ම වාර්තා නිකුත් කළේ ය.

දශක ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයේ ක්‍රියාකාරීව සිටින මෙම සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශය සිදු කරමින් පැවසුවේ, "මෙම අඳුරු කාලවලදී සිදුවන දේවල් ඒවාට ආදාළ නමින් ම හැඳින්වීම විශේෂයෙන් වැදගත්" බව ත්, "මෙම අපරාධය වහා ම නතර කරන ලෙස ඉල්ලා සිටින" බව ත් ය.

ඊශ්‍රායල රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ඊශ්‍රායලය මූලික කරගත් මානව හිමිකම් කණ්ඩායම් විසින් පළමු වරට ඉදිරිපත් කරන ලද ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

"අපේ ආරක්ෂක හමුදා ඉලක්ක කරන්නේ ත්‍රස්තවාදීන් මිසක් සිවිල් වැසියන් නෙවෙයි. ගාසාවේ දුක්ඛිත තත්ත්වයට වග කියන්න ඕනේ හමාස් සංවිධානය" ඩේවිඩ් මෙන්සර් පැවසීය.

සඳුදා ජෙරුසලමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, B'Tselemහි විධායක අධ්‍යක්ෂ යූලි නොවැක් පැවසුවේ, තම සංවිධානයේ වාර්තාව "අපට ලියන්න වේවි කියලා අපි කිසි දිනෙක බලාපොරොත්තු නොවූ එකක්," බව ය.

පිටු 88ක මෙම ලියවිල්ලේ මෙලෙස සඳහන් වේ: "ගාසා තීරයේ ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ විනාශය සහ ප්‍රහාරයේ අරමුණු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල දේශපාලනඥයන් සහ හමුදා නායකයින් විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශ සමාලෝචනය කිරීමෙන් අපට එළඹිය හැකි පැහැදිලි නිගමනය වන්නේ ඊශ්‍රායලය සංවිධානාත්මකව හිතාමතා ම ගාසා තීරයේ පලස්තීන සමාජය විනාශ කිරීමට කටයුතු කරන බව ය."

Physicians for Human Rights Israel (PHRI) සංවිධානය සිය පිටු 65කින් සමන්විත වාර්තාව මගින් පෙන්වා දී තිබෙන්නේ, සෞඛ්‍ය සේවා මූලික කරගත් නීතිමය විශ්ලේෂණයෙන් හෙළි වී ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරයේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් "සැලසුම්ගත සහ ක්‍රමානුකූල ආකාරයකින්" ඉලක්ක කර ඇති බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"රෝහල් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම, වෛද්‍ය ආධාර සහ මුදාගැනීම්වලට බාධා කිරීම සහ සෞඛ්‍ය සේවකයින් ඝාතනය කිරීම මෙන් ම රඳවා තබා ගැනීම හරහා ගාසා තීරයේ සෞඛ්‍ය සහ ජීවිතාරක්ෂක පද්ධති හිතාමතා ම සහ ක්‍රමානුකූලව බිඳ දැමීමක් සාක්ෂිවලින් පෙන්නුම් කෙරේ," වාර්තා වේ පැවසේ.

"ජන සංහාරයක් හමුවේ නිහඬව සිටීම විකල්පයක් නෙවෙයි. අපි මේක අවධාරණය කරන්න කැමතියි: ජන සංහාරයකට මුහුණ දෙනවා කියන එක නීතිමය සහ දේශපාලනික ආයතනවල වගකීමක් පමණක් නොවෙයි. ඊට මුහුණ දෙන්න ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවෙන් හදිසි ක්‍රියාමාර්ගන් අවශ්‍ය වෙනවා," PHRI හි විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ගයි ෂලෙව් පැවසීය.

2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ "බිහිසුණු සහ සාපරාධී හමාස් ප්‍රහාරය" ඊශ්‍රායල ජනතාව අතර භීතිය සහ සාමූහික කම්පනයක් ඇති කළ ප්‍රේරක සිදුවීමක් ලෙස ක්‍රියා කළ බව සංවිධාන නිගමනය කර තිබේ.

කෙසේ වෙතත්, ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේදී ඊශ්‍රායල රජය "ගාසා තීරයේ අන්තවාදී මතවාදයන් ප්‍රවර්ධනය කිරීම සහ පලස්තීන ජාතිකයන් අමානුෂිකකරණය කිරීම" සිදු කර ඇති බවට සංවිධාන චෝදනා කළේ ය.

මෙය දේශපාලන හා හමුදා නායකයින් මෙන් ම භූමියේ සිටින සෙබළුන් විසින් භාවිත කරනු ලබන භාෂාවෙන් නිරූපණය වන බව ත්, එමගින් ගාසාවේ සියලු ම පලස්තීන ජාතිකයන් මෙයට වගකිව යුතු බව නිරූපණය කරන බව ත් ඔවුහු පැවසූහ.

PHRI නිගමනය කළේ, තමන් නිරීක්ෂණය කළ හැසිරීම් "යුද්ධයේ අහඹු ප්‍රතිඵල නොවන බවත්, කණ්ඩායමක් ලෙස පලස්තීනුවන් විශේෂයෙන් ඉලක්ක කර ගත් චේතනාන්විත ප්‍රතිපත්තියක" කොටසක් බවත් ය. මෙම ක්‍රියාමාර්ග ඊශ්‍රායලය බැඳී සිටින ජාත්‍යන්තර ගිවිසුමක් වන 1948 ජන සංහාර සම්මුතියේ II වගන්තිය යටතේ ජන සංහාරයක් ලෙස අර්ථ දක්වා ඇති නිශ්චිත ක්‍රියාවන්ගෙන් අවම වශයෙන් තුනක්වත් සපුරාලන බව එහි සඳහන් ය.

File photo showing Palestinians evacuating Kamal Adwan hospital in Beit Lahia, northern Gaza, during an Israeli offensive (21 May 2024)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගාසා තීරයේ රෝහල් 36න් 18ක් පමණක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වේ (සංරක්ෂිත ඡායාරූප)

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ගණනාවක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් සහ විද්වතුන් විසින් ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරමින් සිටින බවට චෝදනා කර තිබේ.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට දකුණු අප්‍රිකාව විසින් ගොනු කරන ලද නඩුවක් ද ජාත්‍යන්තර අධිකරණය (ICJ) විභාග කරමින් සිටියි.

ඊශ්‍රායලය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර නඩුව "සම්පූර්ණයෙන් ම පදනම් විරහිත" සහ "පක්ෂග්‍රාහී සහ අසත්‍ය ප්‍රකාශ" මත පදනම් වූවක් ලෙස හඳුන්වා තිබේ.

ආචාර්ය ෂලෙව් බීබීසීයට පැවසුවේ PHRI සහ B'Tselem, ඔවුන්ගේ සංවිධාන සහ කාර්ය මණ්ඩලය ඊශ්‍රායලය තුළදී වාචික හෝ භෞතික හිංසනයන්ට මුහුණ දීමේ අවදානමක් පවතින බව ය.

"නමුත් අපි බලාපොරොත්තු වෙනවා මිනිස්සු අපි කියන දේට සවන් දෙයි කියලා," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

ඊශ්‍රායලය ජන සංහාරයක් සිදු කරන බවට නිගමනයට පැමිණීමේ ක්‍රියාවලිය දුෂ්කර වූ බව B'Tselemහි යූලි නොවැක් පැවසුවා ය.

"ඔබේ රට, ඔබේ සාමූහිකය, සැබවින් ම ජන සංහාරයක් සිදු කරන බව ඇත්තට ම තේරුම් ගන්න එක, ඒක හරි ම අමාරු මානසික සහ පෞද්ගලික ක්‍රියාවලියක්," ඇය පැවසුවා ය.

"අපි කවුද කියන එක ගැන ඔබේ අවබෝධයේ තියෙන ඉතා මූලික දෙයක් ඒකෙන් බිඳෙනවා."

පුද්ගලයින් 1,200ක් පමණ මිය ගොස් තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගනු ලැබූ 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලය ගාසාහි යුද්ධය ආරම්භ කළේ ය.

හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි පුද්ගලයින් 59,900කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින්, ජීවිත හානි සහ තුවාලකරුවන් පිළිබඳව ලබා ගත හැකි වඩාත් ම විශ්වාසදායක දත්ත මූලාශ්‍රය ලෙස අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන උපුටා දක්වනු ලබයි.