ගාසාහි දින 60ක සටන් විරාම කොන්දේසිවලට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් කියයි

gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ජේම්ස් චාටර්
    • Role, බීබීසී

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවල අවසන් නිගමනයකට පැමිණීම සඳහා "අවශ්‍ය කොන්දේසිවලට" ඊශ්‍රායලය එකඟ වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

යෝජිත එකඟතාව අතරතුර, "යුද්ධය අවසන් කිරීම සඳහා අපි සියලු පාර්ශවයන් සමග කටයුතු කරන්නෙමු" යනුවෙන් ට්‍රම්ප් Truth Social හි තැබූ සටහනක සඳහන් කළේ, කොන්දේසි මොනවා ද? යන විස්තරයක් නොමැතිව ය.

"සාමය ඇති කිරීමට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇත. හමාස් සංවිධානය මෙම ගනුදෙනුව පිළිගන්නා බව මම බලාපොරොත්තු වෙමි, මන්ද එසේ නොවුණොත් ඔවුන්ට තත්ත්වය වඩා යහපත් නොවනු ඇත - එය වඩාත් නරක අතට හැරෙනු ඇත," ට්‍රම්ප් සටහන් කර තිබිණි.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසාහි හමුදා මෙහෙයුමක් දියත් කළ අතර, එහිදී පුද්ගලයින් 1,200ක් පමණ මිය ගියහ. එතැන් සිට ගාසාහි අවම වශයෙන් 56,647ක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

A Palestinian woman looks to her right, sitting amidst the rubble of a very badly damaged building in Gaza City

ඡායාරූප මූලාශ්‍රය, Reuters

හමාස් සංවිධානය සටන් විරාමයේ කොන්දේසි පිළිගන්නේ ද යන්න පැහැදිලි නැත.

ලබන සතියේ පැවැත්වීමට නියමිත ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට පෙර ට්‍රම්ප්ගේ මෙම නිවේදනය නිකුත් වූ අතර, එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ඔහු "ඉතා දැඩිව" ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ය.

ගාසාහි එදිරිවාදිකම් අවසන් කිරීමට ඊශ්‍රායල් අගමැති නෙතන්යාහුට අවශ්‍ය බව තමන් විශ්වාස කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා අඟහරුවාදා පැවසීය.

"ඔහුට අවශ්‍ය යි. මට ඔබට කියන්න පුළුවන් ඔහුට අවශ්‍ය යි කියලා. මම හිතන්නේ ලබන සතියේ අපි එකඟතාව ඇති කර ගනි යි," ට්‍රම්ප් තවදුරටත් පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අඟහරුවාදා, ඊශ්‍රායලයේ උපායමාර්ගික කටයුතු අමාත්‍ය රොන් ඩර්මර්, වොෂින්ටනයේදී මැද පෙරදිග ඇමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් හමුවීමට නියමිතව සිටියේ ය.

බීබීසී ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල් තානාපති ඩැනී ඩැනන් පැවසුවේ, ඊශ්‍රායලයට සටන් විරාමයක් "සම්පූර්ණයෙන් ම" අවශ්‍ය බවත්, නමුත් හමාස් සංවිධානය "ක්‍රීඩාවක නිරත වෙමින් සිටින" බවත් ය.

"අපි හමාස් සංවිධානයට පීඩනය යොදනවා, ඔවුන් සාකච්ඡා මේසයට නොඑන්නේ නම්, ප්‍රාණ ඇපකරුවන් ආපසු ගෙන්වා ගැනීමට අපට ඇති එක ම විකල්පය වන්නේ වැඩි මිලිටරි පීඩනයක් යෙදීම යි," ඩැනන් පැවසීය.

"ප්‍රාණ ඇපකරුවන් ආපසු පැමිණි විට යුද්ධය අවසන් වනු ඇත," ඔහු තවදුරටත් පැවසීය.

ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු පමණ තවමත් ගාසා තීරයේ රැඳී සිටින අතර, අවම වශයෙන් ඔවුන්ගෙන් 20 දෙනෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කෙරේ.

පසුගිය සතියේ ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු බීබීසී මැදිහත්කරුවන් වෙත පැවසුවේ, ගාසාහි නව සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් සඳහා මැදිහත්කරුවන් උත්සහයන් වැඩි කර ඇති නමුත් ඊශ්‍රායලය සමග සාකච්ඡා තවමත් ඇණහිට ඇති බව ය.

ඊශ්‍රායලය පවසා ඇත්තේ, ගැටුම අවසන් විය හැක්කේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන් ම විසුරුවා හැරීමෙන් පසුව පමණක් බව ය. හමාස් සංවිධානය දිගු කලක් තිස්සේ ගාසා තීරයෙන් ස්ථිර සටන් විරාමයක් සහ ඊශ්‍රායල් හමුදා සම්පූර්ණයෙන් ම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය පැමිණියේ හමුදා ක්‍රියාමාර්ග වැඩි කිරීමට පෙර උතුරු ගාසා තීරයේ ඉවත් කිරීමට ඊශ්‍රායලය නියෝග කිරීමෙන් ටික කලකට පසුව ය. වෛද්‍යවරුන් සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව සඳුදා ගාසාහි අවන්හලකට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පලස්තීනුවන් 20 දෙනෙක් මිය ගියහ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ සහය ලබන ගාසා මානුෂීය පදනම (GHF) පවත්වාගෙන යන ගාසාහි ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ළඟා වන විට සිවිල් වැසියන්ට "හානි" සිදුවූ බවට වන වාර්තා පරීක්ෂා කරමින් සිටින බව ඊශ්‍රායල හමුදාව මේ සතියේ ද පැවසීය.

මතභේදාත්මක ගාසා මානුෂීය පදනමේ ක්‍රියාකාරීත්වය නතර කළ යුතු බවට පුණ්‍යායතන සහ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන 170කට අධික සංඛ්‍යාවක් ඉල්ලා තිබේ. Oxfam සහ Save the Children වැනි සංවිධාන පවසන්නේ" ආධාර අපේක්ෂාවෙන් පසුවන පලස්තීනුවන්ට ඊශ්‍රායල හමුදා "නිරන්තරයෙන්" වෙඩි තබන බව ය.

ඊශ්‍රායලය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර ආධාර බෙදා හැරීමේදී හමාස් මැදිහත්වීම් මග හැරීමට අවශ්‍ය බව පවසයි.

මාර්තු මාසයේදී, ඊශ්‍රායලය ගාසා තීරයට නව ප්‍රහාර එල්ල කළ විට පෙර සටන් විරාම ගිවිසුම බිඳ වැටිණි. ඊශ්‍රායල් හමුදාව මෙම ක්‍රියාව විස්තර කළේ, "පූර්ව ප්‍රහාර... හමාස් ත්‍රස්ත ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට, බලය ගොඩනැගීමට සහ නැවත සන්නද්ධ වීමට ඇති සූදානම මත පදනම් වූ" බව ය.

ජනවාරි 19 වන දින ආරම්භ වූ ඊශ්‍රායලය සහ හමාස් අතර පෙර සටන් විරාම ගිවිසුම අදියර තුනකින් සමන්විත වන ලෙස සකස් කර තිබුණ ද, එය පළමු අදියර පවා ඉක්මවා ගියේ නැත.

දෙවන අදියරට ස්ථිර සටන් විරාමයක් ස්ථාපනය කිරීම, ඊශ්‍රායලයේ සිරගත කර සිටින පලස්තීනුවන් වෙනුවට ගාසාහි ඉතිරිව සිටින ජීවමාන ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දීම සහ ගාසා තීරයෙන් ඊශ්‍රායල් හමුදා සම්පූර්ණයෙන් ම ඉවත් කර ගැනීම ඇතුළත් විය.