අධි-ඕතඩොක්ස් යුදෙව්වන් යනු කවුද සහ ඔවුන් විරෝධතා දක්වන්නේ ඇයි?

Orthodox Jews wearing black and white attire

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හරෙඩිම් යුදෙව්වන් 'නූතන ඊශ්‍රායලයේ ගෝත්‍ර හතරෙන්' එකකට අයත් වේ. ලෞකික, ආගමික ජාතිකවාදීන් සහ ඊශ්‍රායල අරාබිවරුන් සෙසු ගෝත්‍ර 3 වේ
    • Author, පෝලා රෝසස්
    • Role, බීබීසී මුන්ඩෝ පුවත් සේවය

ජෙරුසලමට අසල්වැසි ප්‍රදේශයක් වන මෙයා ෂෙයරීම්හි වෙසෙන සාම්ප්‍රදායික කළු සහ සුදු ඇඳුමෙන් සැරසී සිටි ශිෂ්‍යයෙකු වන ජෝසෆ්, තරුණ අධි-ඕතඩොක්ස් යුදෙව් වැසියන් බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට එරෙහිව විරෝධතා දක්වමින්, එය ඔවුන්ගේ ආගමික ජීවන රටාවට තර්ජනයක් වන බවට තර්ක කරයි.

"අවුරුදු 2,000ක් තිස්සේ අපි පීඩා විඳිනවා. අපි රැකිලා ඉන්නේ අපි ටෝරා (යුදෙව් බයිබලයේ පළමු පොත් පහ) ඉගෙන ගන්නා නිසා. දැන් ශ්‍රේෂ්ඨාධිකාරණයට ඕනේ මේක අපෙන් අයින් කරන්න. එහෙම උණොත් ඒක අපේ විනාශයට හේතු වේවි. හමුදාවට යන එකෙන් ආගමික යුදෙව්වෙක් තවදුරටත් ආගමික නොවන තත්ත්වයට පත්වනවා," ඔහු පවසයි.

තවත් සමහරෙකු හමුදා සේවය ඔවුන්ගේ ඕතඩොක්ස් අනන්‍යතාවයට හානි කරනු ඇතැයි යන බිය පළ කරන්නේ, ඔවුන් ඊශ්‍රායල ආරක්ෂක අංශවලට ප්‍රයෝජනවත් නොවන දෙයක් ලෙස ද දකිමිනි.

ඊශ්‍රායලයේ අධි-ඕතඩොක්ස් යුදෙව්වන් වන හරෙඩිම් යනු කවුද?

Haredi young men studying the Torah in a classroom

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හරෙඩි පිරිමි සාමාන්‍යයෙන් ටෝරා අධ්‍යයනය සඳහා තම ජීවිතය කැප කරති

හරෙඩිම් ලෙස ද හැඳින්වෙන අධි-ඕතඩොක්ස් යුදෙව්වෝ රූපවාහිනිය, ඉන්ටර්නෙට් හෝ සමාජ මාධ්‍ය නොමැතිව සංවෘත ප්‍රජාවක ජීවත් වෙති.

පිරිමින් තම කාලයෙන් වැඩි කොටසක් ආගමික අධ්‍යයනයට කැප කරන අතර කාන්තාවෝ ගෘහ කළමනාකරණය සහ පවුල් නඩත්තු කරති.

ඔවුහු ඊශ්‍රායලයේ ජනගහනයෙන් 13%ක් පමණ වන අතර දේශපාලනික වශයෙන් සැලකිය යුතු බලපෑමක් ද ඇති කරති.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් අනුප්‍රාප්තික ආණ්ඩුවලට සහය දීම වෙනුවෙන්, අධි-ඕතඩොක්ස් යුදෙව්වන් ටෝරා අධ්‍යයනයට කැප වූවන් වීමට සහ ඔවුන්ගේ ආයතන සඳහා අරමුදල් සැපයීම සඳහා අනිවාර්ය හමුදා සේවයෙන් නිදහස්ව සිටීමට ඉඩ සලසාගෙන ඇත.

මෙම විධිවිධානය හමුදාවේ සේවය කරන සහ මූලික බදු බර දරන ලෞකික යුදෙව් ඊශ්‍රායල ජාතිකයන් අතර දිගු කලක් තිස්සේ ආතතියක් ඇති කර තිබේ.

පසුගිය මාසයේ, ගාසා ගැටුම සහ හිස්බුල්ලා සංවිධානය සමග පවතින ආතතීන් මධ්‍යයේ, ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිදහස් කිරීම් අවසන් කළේ, දහස් සංඛ්‍යාත හරෙඩිම් යුදෙව්වන් විරෝධතා සඳහා පොළඹවමිනි.

විශේෂඥයන් පවසන්නේ, United Torah Judaism වැනි සභාග පක්ෂ තම සහය ඉවත් කර ගන්නා බවට තර්ජනය කරන බැවින් මෙම තීරණය රජයේ ස්ථාවරත්වයට තර්ජනයක් වන බව ය.

An Orthodox Jew dressed in black and white praying in front of the Western Wall

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අධි-ඕතඩොක්ස් යුදෙව් පිරිමි සාමාන්‍යයෙන් කළු ඇඳුමින් සැරසී සිටින අතර බොහෝ විට දෙපසින් එල්ලා වැටෙන දිගු රැලි සහිත කොණ්ඩයකට සහ විශාල රැවුලකට හිමිකම් කියති. පුළුල් අව් ආවරණයක් ඇති තොප්පි ඔවුන්ගේ සුවිශේෂී ඇඳුමේ කොටසක් වේ

අනෙකුත් යුදෙව් කණ්ඩායම්වලින් වෙනස් වන ආකාරය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

හිටපු ජනාධිපති රූවන් රිව්ලින් විසින් නිර්වචනය කළ ආකාරයට හරෙඩිම් යුදෙව්වන් යනු, "නූතන ඊශ්‍රායලයේ ගෝත්‍ර හතරෙන්" එකකි. ලෞකික, ආගමික ජාතිකවාදීන් සහ ඊශ්‍රායල අරාබිවරුන් සෙසු ගෝත්‍ර වේ.

ඔවුන්ගේ සුවිශේෂී ඇඳුමට, එනම් පිරිමින් සඳහා කළු ඇඳුම්, දෙපසින් එල්ලා වැටෙන දිගු රැලි සහිත කොණ්ඩය, විශාල රැවුල සහ පුළුල් අව් ආවරණයක් ඇති තොප්පි ඇතුළත් වේ. කාන්තාවන් සාමාන්‍යයෙන් දිගු සායක්, ඝන මේස් සහ හිස් ආවරණ හෝ හවරි පැළඳ සිටින අතර, ඒවා පහසුවෙන් හඳුනාගත හැකි ය.

"Unorthodox" සහ Netflix විකාශය කෙරෙන "Shtisel" වැනි රූපවාහිනී කතා මාලා ඔවුන්ගේ ජීවන රටාව කෙරෙහි උනන්දුවක් ඇති කර ඇත.

හරෙඩිම් යුදෙව්වන් ඕතඩොක්ස් යුදෙව් ලෝකයේ කොටසක් වන අතර, යුදෙව් නීතිය දැඩි ලෙස පිළිපැදීම මගින් සංලක්ෂිත වේ.

ලෞකික වෘත්තීන් සමග ආගමික පිළිපැදීම තුලනය කර ගන්නා නූතන ඕතඩොක්ස් යුදෙව්වන් මෙන් නොව, හරෙඩිම් යුදෙව්වන් සම්පූර්ණයෙන් ම අවධානය යොමු කරන්නේ, ටෝරා අධ්‍යයනය සහ සම්ප්‍රදායික පිළිවෙත් කෙරෙහි ය.

ඕතඩොක්ස් යුදෙව්වන් අවනත වන "මූලික වශයෙන් ප්‍රධාන අංග තුනක් තියෙනවා: ඔවුහු සබත් (යුදෙව් විවේක දිනය) පවත්වනවා, කොෂර් ආහාර අනුභව කරනවා, (ආගමෙන් අවසර දී ඇති ආහාර), සහ 'විවාහ පාරිශුද්ධභාවය' ලෙස හඳුන්වන දෙය පුරුදු කරනවා (වෙන ම ඇඳන්වල නිදාගැනීම සහ ඔසප් වීමෙන් දින හතක් ගත වන තුරු සහ චාරිත්‍රානුකූලව ගිලී ස්නානය කිරීමෙන් පසු ලිංගික සම්බන්ධතාවලින් වැළකී සිටීම)", ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ඩයස්පෝරා සහ අන්තර් ජාතික අධ්‍යයන මධ්‍යස්ථානයේ මහාචාර්යවරියක වන නෙයෝමි සයිඩ්මන් බීබීසීයේ ස්පාඤ්ඤ භාෂා සේවය වන බීබීසී මුන්ඩෝ වෙත කියා සිටියාය.

සයිඩ්මන් තවදුරටත් පවසන්නේ, නූතන ඕතඩොක්ස් යුදෙව්වෙකු "යුදෙව් නීතියේ මෙම අංගවලට අනුකූල වන තාක් කල්, නීතිය හෝ පොලිසිය වැනි වෙනත් වෘත්තීන්වල නියැලෙනවා," යනුවෙනි.

යුදෙව් ආගමේ දිගු ඉතිහාසය දෙස බැලීමේදී, අධි-ඕතඩොක්ස්වාදය සාපේක්ෂ වශයෙන් මෑතකදී, එනම්, නව ආකාරයක යුදෙව්වෙකු සමාජයට අනුකලනය කිරීම දිරිමත් කළ 19 වන සියවසේ කාර්මිකකරණයේ ප්‍රතිඵලයක් ලෙස මතු විය.

මෙම වෙනස ඕතඩොක්ස් යුදෙව්වන් අතර බෙදීමක් ඇති කළ අතර ඇතැමුන් විවිධ යුදෙව් ධර්මාචාර්යවරුන් (රැබයි) යටතේ යුදෙව් ආගමේ දැඩි, හුදෙකලා සහ ලෞකික විරෝධී අර්ථකථනයක් වෙනුවෙන් පෙනී සිටියහ.

Orthodox Jews on a street

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙරුසලමේ මෙයා ෂෙයරීම් සහ ටෙල් අවීව් අසල ඇති බෙනෙයි බ්‍රාක් වැනි අසල්වැසි ප්‍රදේශවල අධි-ඕතඩොක්ස් යුදෙව්වන්ගෙන් සැලකිය යුතු කොටසක් වාසය කරති

ප්‍රජාව සහ ජීවන රටාව

හරෙඩිම් යුදෙව්වන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ, මහා සමාජයෙන් වෙන් වූ ඔවුන්ට සමාන දැක්මක් ඇති අසල්වැසියන් සිටින ප්‍රදේශවල වන අතර ඔවුහු තම වටිනාකම් සහ භාවිතයන් ආරක්ෂා කිරීම සඳහා බාහිර ලෝකය සමග සම්බන්ධතා අවම කිරීමට උත්සහ කරති.

සැලකිය යුතු අධි-ඕතඩොක්ස් ප්‍රජාවන් ගණනක් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පැවතුණ ද, ඔවුන්ගේ විශාලතම ජනගහනය සිටින්නේ ඊශ්‍රායලයේ වන අතර ඉහළ උපත් අනුපාතය හේතුවෙන් එම ප්‍රජාව වේගයෙන් වර්ධනය වේ.

ජෙරුසලමේ මෙයා ෂෙයරීම් සහ ටෙල් අවීව් අසල ඇති බෙනෙයි බ්‍රාක් වැනි අසල්වැසි ප්‍රදේශවල එම ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වාසය කරති.

"ඔවුන් සාමාන්‍යයෙන් විශාල පවුල්වලින් සමන්විත වන අතර සාමාන්‍යයෙන් යුදෙව්වන් අතරින් ධනවත් ම කොටස සහ කුඩා පවුල් සඳහා නැඹුරුවක් ඇති ලෞකික හෝ නූතන ඕතඩොක්ස් යුදෙව්වන්ට වඩා ධනවත් බවින් අඩු යි," නෙයෝමි සයිඩ්මන් පවසයි.

සෑම ප්‍රජාවකට ම අනන්‍ය වූ සිනගෝග, යෙෂීවා (ආගමික පාසල්) සහ ප්‍රජා සංවිධාන ඇත.

හරෙඩි ලෝකයේ, ගෞරවය සහ සමාජ තත්ත්වය යන්නට ටෝරා හැදෑරීමෙන් ලබන පාණ්ඩිත්‍යය සමග සහසම්බන්ධයක් පවතින අතර එමගින් විවාහය සහ අධ්‍යාපනය වැනි ජීවිතය තීරණාත්මක තේරීම් පිළිබඳව උපදෙස් ලබා දෙන යුදෙව් ධර්මාචාර්යවරුන් (රැබයි) සමාජයේ ප්‍රධාන චරිත බවට පත් කෙරෙති.

Orthodox anti-Zionist Jews dressed in black and white clothing protest holding with a Palestinian flag

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් අවස්ථාවලදී පලස්තීන ධජ ද අතැතිව ඊශ්‍රායලය වෙත සක්‍රීයව විරෝධය පළ කරමින් එය ප්‍රතික්ෂේප කළේ, අධි-ඕතඩොක්ස් යුදෙව්වන්ගෙන් සුළුතරයක් පමණි

බොහෝ වැඩිහිටි පිරිමින් සම්පූර්ණයෙන් ම ආගමික අධ්‍යයනය කෙරෙහි අවධානය යොමු කරන අතර, ඔවුන්ගේ භාර්යාවෝ බොහෝ විට මූල්‍ය වගකීම්වලට උර දෙති. රැකියා අවස්ථා සීමිත ය. එබැවින් රාජ්‍ය සහනාධාර මත යැපෙති.

ඔවුන්ගේ පටු ස්වභාවය තිබියදීත්, හරෙඩිම් යුදෙව්වන් අතර වඩා ත් නවීන නව පරම්පරාවක් මතුවෙමින් තිබේ.

සයිඩ්මන්ට අනුව, "ඔවුන් හරෙඩි ජීවන රටාවක් සහ ඇඳුම් පැළඳුම් පවත්වා ගෙන යන නමුත් දියමන්ති වෙළෙඳාම වැනි සම්ප්‍රදායික භූමිකාවන්ට සීමා වීම වෙනුවට, ඔවුහු අධ්‍යාපනඥයින් හෝ නීතිඥයින් ලෙස වෘත්තීය ජීවිතය කරගෙන යන අතර වඩා ගතානුගතික කණ්ඩායම් විවේචනාත්මකව බැලුව ද ඉන්ටර්නෙට් ආදිය භාවිත කරති."

මෙම නවීන හරෙඩිම් යුදෙව්වන්ගෙන් සමහරක් ඇතැම් විට හමුදාවට බැඳීමේ තීරණය ගන්නා අතර අධි-ඕතඩොක්ස් සෙබළුන්ට වෙන්වුණු නෙට්සා යෙහූඩා (Netzah Yehuda) නම් එක් බලඇණියක් ද ඇත. එය ස්ත්‍රී පුරුෂ භේදය, කොෂර් ආහාර, යාඥාවන් සහ දෛනික චාරිත්‍ර වාරිත්‍ර සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම් සපුරාලයි.

ඊශ්‍රායල සමාජයේ භූමිකාව

Ultra-orthodox Jews dressed in black and white hold a poster at a demonstration against mandatory military service that reads: 'We will go to jail but not to the army'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා ගැටුම සහ හිස්බුල්ලා සංවිධානය සමග පවතින ආතතීන් මධ්‍යයේ, ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය අධි-ඕතඩොක්ස් යුදෙව්වන් සඳහා වූ නිදහස් කිරීම් අවලංගු කළේ, විරෝධතා අවුළුවමිනි

ඊශ්‍රායලය ආරම්භ වූ 1948 සිට, අධි-ඕතඩොක්ස් ජනගහනය 40,000 සිට මිලියනයකට වඩා වැඩි වී ඇති අතර, එය ඔවුන්ගේ දේශපාලන බලපෑම සහ ඔවුන්ට සමාජය තුළ විශ්වාසය ශක්තිමත් කර ඇත, සයිඩ්මන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, හරෙඩිම් යුදෙව්වන් බදු සහ මිලිටරි බර අඩු කර ගනිමින් නිදහස් කිරීම්වලින් ප්‍රතිලාභ ලබන බව සලකන අනෙකුත් ඊශ්‍රායල ජාතිකයන් අතර අමනාපයක් වර්ධනය වී තිබේ.

ඓතිහාසික වශයෙන් නිර්පාක්ෂික, බොහෝ හරෙඩිම් යුදෙව්වෝ දේශපාලන කටයුතුවලින් වැළකී සිටියහ.

දේවධර්මානුකූලව, බොහෝ අය සියොන් විරෝධී ස්ථාවරයක් දරන අතර ඊශ්‍රායල රාජ්‍යය ස්ථාපනය කළ යුත්තේ, මෙසයර්ගේ පැමිණීමෙන් පසුව පමණක් බව විශ්වාස කරති.

කෙසේ වෙතත්, සුළුතරයක් පමණක් සක්‍රීයව ඊශ්‍රායලයට විරෝධය පළ කර එය ප්‍රතික්ෂේප කරන අතර ඉඳහිට පලස්තීන ධජ ද ප්‍රදර්ශනය කරනු දක්නට ලැබී ඇත.

ප්‍රායෝගිකව, බහුතරයක් තම අරමුණු ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලනයේ යෙදෙන ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කරති.

සභාග

Clashes in Jerusalem in June and July 2024

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හරේඩි මිනිසුන් හමුදාවට බඳවා ගත හැකි බවට අධිකරණ තීන්දුවෙන් පසු ඊශ්‍රායල පොලිසිය සහ අන්ත ඕතඩොක්ස් යුදෙව්වන් අතර ජෙරුසලමේදී ගැටුම් හටගත්තේය.

මෑත වසරවලදී, සභාග ප්‍රධාන වශයෙන් ගාසා තීරයේ ප්‍රතිපත්ති සහ මිලිටරි මූලෝපායන් කෙරෙහි බලපෑම් කරමින්, නෙතන්යාහුගේ ආණ්ඩුව තුළ රිලිජස් සයනිසම් (Religious Zionism) වැනි පක්ෂ ඇතුළුව දක්ෂිණාංශික පක්ෂ සමග පෙළ ගැසී ඇත, සයිඩ්මන් පෙන්වා දෙයි.

හරෙඩිම් යුදෙව්වන් සඳහා හමුදාවට බැඳී නොසිටීමට තිබුණු නිදහස අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ආතතීන් අවුළුවා ඇත.

ඊශ්‍රායල ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් පෙනී යන්නේ, ඊශ්‍රායල යුදෙව්වන්ගෙන් 70%ක් මෙම වෙනසට සහය දක්වන බව ය.

මේ වන තෙක්, යෙෂීවා සිසුන් ලෙස ලියාපදිංචි වූ හරෙඩි පිරිමින් 60,000කට වඩා හමුදා සේවයෙන් නිදහස් කර ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් දැනට සිටින 1500ට අමතරව තවත් 3,000ක් ප්‍රජාවෙන් බඳවා ගන්නා ලෙස හමුදාවට උපදෙස් දී ඇත. තවත් බඳවා ගැනීම් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

"මගේ පුතා භට පිරිස එකතු වෙලා දැනටමත් දින 200ක්. ඔහු තව අවුරුදු කීයක් සේවය කරන්න ඕනේ ද? ඔහු ලැජ්ජාවට පත් නොවන්නේ කොහොම ද?," දකුණු ඊශ්‍රායලයේ යුද්ධ ටැංකි අණදෙන නිලධාරියෙකු ලෙස සේවය කරන සෙබළෙකුගේ මවක වන මෝර් ෂම්ගර් පසුගිය දා ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක උපදේශකවරයාට සමුළුවකදී අභියෝග කළා ය.

එය සමාජ මාධ්‍යවල විශාල වශයෙන් හුවමාරු වන්නට විය.

සාමාන්‍ය සංජානනයට පටහැනිව, සයිඩ්මන් පවසන්නේ හරෙඩි ප්‍රජාව වැඩි වැඩියෙන් මහජන මතයට අනුගත වන බව ය.

ඔවුන් "හමුදා සේවයට විකල්පයක් ලෙස සලකාවි කියලා" බලාපොරොත්තුවෙන් මාර්ග අද්දර ආධාර සහ ගිලන්රථ සේවා වැනි මහජන සේවා ක්‍රියාන්විත පුළුල් කර තිබේ, ඇය වැඩිදුරටත් පවසයි.