ජර්මානු හමුදාවේ සිටින යුදෙව්වන් ගැන ඔබ අසා තිබේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Alamy
"කැප්ටන්, ඔබතුමා මට ඒ විදියට කතා නොකළා නම් මම කැමතියි."
යමෙකු නවකයෙකු ලෙස ඔහුගේ අණදෙන නිලධාරියාට එරෙහිව නැගී සිටීම කිසිවිටෙක සැහැල්ලුවෙන් ගත යුතු තීරණයක් නොවේ. ඊට ත් වඩා, ඔබ ජර්මානු හමුදාවේ එක ම යුදෙව් සාමාජිකයා වන විට, දෙවන ලෝක යුද්ධයේ දී නාසීන් යටතේ සටන් කළ සොල්දාදුවන් සමග වැඩ කරද්දී එය කිසිසේත් සැහැල්ලුවට ගත යුතු නැත.
මයිකල් ෆර්ස්ට් යුදෙව් විරෝධී ප්රකාශයන්ට ගොදුරුවී දැන් දශක ගණනාවක් ගෙවීගොස් ඇතත්, එම රිදවීම පිළිබඳව මතකයේ නැවුම්භාවය ඔහු BBC ලෝක සේවයේ Heart and Soul වැඩසටහනට හෙළි කරයි.
"මම මීට කලින් කවදාවත් ඒ වගේ දෙයක් අහලා තිබුණෙ නෑ!" ඔහු කියයි.
මේ වන විට 76 වන වියේ පසු වන මයිකල් නීතිඥයෙකු වන අතර ලෝවර් සැක්සනි ප්‍රාන්තයේ යුදෙව් ප්රජාවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. ඔහුගේ කාර්යාලය, ඔහුගේ ජීවිතයේ මෙම ද්විත්ව කාර්යයන් පිළිබිඹු කරන පොත්පත්, පදක්කම් සහ ඡායාරූපවලින් පෙළගස්වා ඇත.
මයිකල්, 'බුන්ඩස්වියා' නමින් හැඳින්වෙන ජර්මානු යුද්ධ හමුදාවට එක්වූයේ 1966 වසරේ දී ය. දෙවන ලෝක මහා සංග්රාමයෙන් පසු එවැන්නක් කළ පළමු යුදෙව් ජාතිකයා තමන් බව ඔහු විශ්වාස කරයි. එකල බටහිර ජර්මනිය තුළ, නාසි හමුදාවේ හිංසනයට ලක්වූ පවුලක් ඇති ඕනෑ ම අයෙකු හමුදා සේවයෙන් නිදහස් කෙරිණි.
මයිකල්ගේ මුත්තණුවන් දෙදෙනෙකු වධ කඳවුරුවල දී මියගිය ද, මයිකල් හැදී වැඩුණේ ජර්මානු ජාතිකයෙකු සහ යුදෙව්වෙකු ලෙස ඔහුගේ අනන්‍යතාව පිළිබඳ ආඩම්බර හැඟීමකින් යුතුව ය. හමුදා සේවයට එක්වීම ඔහුගේ සියලු මිතුරන් පාසල් අධ්‍යාපනයෙන් පසු කළ දෙයක් වූ අතර, මයිකල්ට ද එය නොකර සිටීමට තරම් හේතුවක් නොවී ය.
"එතකොට මගේ වයස අවුරුදු 19 යි. මම ඒ කාලේ ගොඩක් ක්‍රීඩාශීලී යි. මම දැනගෙන හිටියේ නෑ මොනවා කරන්න ද කියලා," ඔහු ආවර්ජනය කරයි. "ඒ නිසා මට තිබුණේ එක තීරණය යි: අනිත් හැමෝම කරන විදිහට යුද්ධ හමුදාවට බැඳෙන එක විතර යි."
මයිකල්ගේ සමීපතම මිතුරන් නොවන අනෙකුත් යුදෙව්වන්ට ඔහුගේ තීරණය පිළිගැනීමට අපහසු විය. "ඒගොල්ලෝ මට කිව්වේ 'හැනෝවර්වල මෝඩයා' කියලා," ඔහු සිනාසෙයි. "මෝඩ කොල්ලෙක්. උදාහරණයක් විදිහට ඇමෙරිකාවේ යාළුවො කිව්වා: 'කොහොම ද තමුසේ හමුදාවට බැඳෙන්නේ? කොහොම ද ජර්මනියේ ජීවත් වෙන්නේ?' කියලා."
"මම වැඩිපුරම ජර්මානුවෙක් ද, නැත්නම් යුදෙව්වෙක් ද කියලා තීරණය කරන එක බරපතල වැඩක් වුණා. ඉතින් මම තීරණය කළා ජර්මානුවෙකුත් යුදෙව්වෙකුත් වෙන්න."
'මං යුදෙව් විරෝධියෙක්'
බුන්ඩස්වියාහි ගතකළ වසර දෙකක කාලය තුළ, ඔහුගේ අණ දෙන නිලධාරියා එක් අවස්ථාවක දී සිදුකළ ප්‍රකාශයන් හැරුණු විට ඔහු කිසිදු යුදෙව් විරෝධයක් අත්විඳ නැතිබව මයිකල් පවසයි. අදාළ ප්‍රකාශයෙන් පැහැදිලිව ම නොසන්සුන් වූ මයිකල්, පසු දින ඔහුගේ කපිතාන් හමුවී ඔහු වෙනත් කණ්ඩායමකට මාරු කරන ලෙස ඉල්ලා සිටියේ ය.
"මට සතුටුයි තමුසෙ මාව හම්බවෙන්න ආපු එක ගැන, ෆර්ස්ට්," කපිතාන් පැවසීය. "තමුසෙට කතා කරන්න මට ඕනකමක් තිබුණා. මං යුදෙව් විරෝධියෙක්. නාසි පාලන කාලෙ අලුත් ජීවිතයක් පටන්ගන්න මගේ දෙමව්පියො නැගෙනහිර ජර්මනියට යැව්වා. ඒ කාලෙ අපට ඇතිවුණු ඔක්කොම ප්‍රශ්න ආවෙ ලෝකෙ පුරා හිටිය යුදෙව්වන්ගෙන් ."

ඡායාරූප මූලාශ්‍රය, Alamy
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මයිකල් අවඥාසහගත සිනහවකින් යුතුව ඔහුගේ නායකයා ඔහුගේ හිත දිනාගැනීමට ගත් උත්සහය ආවර්ජනය කළේ ය: "ඒත් මට ඔයත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ, ෆර්ස්ට්. අපට හොඳ යාළුවො වෙන්න පුළුවන්."
"අද කවුරුහරි එහෙම කතා කළොත් වහාම හමුදාවෙන් දොට්ට දානවා," මයිකල් කියයි. "ඒත් එයා එයාගෙ පරණ බලඇණියට ම ආපහු ආවා. මං ප්‍රධාන සාර්ජන්ට්ට ඒක වාර්තා කළා. එයා ඇහුවා 'මේක ඇත්තක් ද?' කියලා. කපිතාන් ඔළුව වැනුවා. සාර්ජන්ට්ගේ ඇස් ලොකුවෙලා, මූණ සුදුමැලි වුණා. ඊළඟ දවසේ මම කණ්ඩායම වෙනස් කළා."
කුප්‍රකට ස්වස්තික කුරුසය ඇතුළුව, ඔවුන් යුද සමයේ ලද පදක්කම් එකල ද ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කළ සොල්දාදුවන් සමග සේවය කළ අයුරු මයිකල්ට මතක ය. අද වන විට එම සංකේතය භාවිතා කිරීම ඉතා සීමිත සන්දර්භයන් හැර වෙනත් සියලු දේ සඳහා තහනම්කර ඇති අතර සිර දඬුවම් ලැබිය හැකි වරදකි.
"එයාලා ජර්මනිය වෙනුවෙන් දුක් විඳපු නිසා මේ පදක්කම ලැබුණ බවත්, එය අහක දාන්න එයාලා කොහොමටවත් කැමති නැති බවත් ඒ සොල්දාදුවෝ කිව්වා," ඔහු කියයි. "මට ඒ අය එක්ක කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ. ඒ වගේ ම, ඒගොල්ලන්ටත් යුදෙව්වක් විදිහට මාත් එක්ක ප්‍රශ්නයක් තිබුණෙ නෑ. ඒත් අපි යුදෙව්වෝ ගැන කතා කරලා නෑ. යුදෙව් විරෝධය ගැන කතා කරන්න ඒක සුදුසු වෙලාවක් වුණේ නෑ. ඒවා සිද්ධ වුණේ ඊට ගොඩක් පස්සෙ."
මයිකල් ෆර්ස්ට් සහ සමවයස් යුදෙව්වන් පිරිසක් වෙනත් යුදෙව්වන්ට බුන්ඩස්වියා වෙත සම්බන්ධ වීමට මාවතක් හෙළි පෙහෙළි කර තිබේ.
මෙම නව පරම්පරාවට ද, ඔවුන්ගේ වෘත්තීය ලෙස හමුදාව තෝරාගැනීම වෙනුවෙන් පෙනී සිටීමට සිදුවී ඇත.
තිස්හය හැවිරිදි ඈන් නව යොවුන්වියේ දී යුදෙව් ආගමට හැරුණු අතර, ඊශ්‍රායලය සමග දැඩි සබඳතා පැවැත්වූ ජර්මනියේ යුදෙව් උසස් පාසලකට ඇතුළත් විය. සේවයේ නියුතු සොල්දාදුවන් හැඳින්වීමේ නීතිරීති නිසා අපි ඇයගේ වාසගම ප්‍රකාශයට පත් නොකරමු.
වයස අවුරුදු 15 දී සෙබළියක වීමට ඇය ගත් තීරණය ඇගේ පාසල් සගයින් සහ ගුරුවරුන්ට විශ්වාස කළ නොහැකි විය.
"අපේ මිලියන හයක් මරලා දැම්ම මිනිස්සු ළඟට යන්න හදන්නෙ ඇයි?" ඔවුන් ඇයගෙන් විමසීය. පාසලේ විදුහල්පතිනිය ඇයට රතු කුරුස සංවිධානයේ සේවය කිරීමට යෝජනා කළා ය. "මම එයාට කිව්වා මාවත්, අනිත් අයවත් ආරක්ෂා කරන්න ආයුධයක් නැතිව සේවයට ගිහින් හිටගෙන ඉන්න මට බෑ කියලා," ඇය පවසයි. "ඒක මගේ මාර්ගය කියලා මට දැනුණේ නෑ."
ඈන්, ජර්මානු හමුදාවට බැඳීමට කෙතරම් අධිෂ්ඨානයක පසුවූවා ද යත්, ඕනෑ ම අභියෝගයකට මුහුණදීම සඳහා ඇය බුන්ඩස්වියාහි ආරම්භක මූලධර්ම පිළිබඳව පර්යේෂණයක ද නිරත වූවා ය. "බුන්ඩස්වියා කියන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම, නිදහස් හා ප්රජාතන්ත්රවාදී පිළිවෙළක් මත පදනම්ව සමාජයක් ලෙස අප බෙදාහදා ගන්න සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන සන්නද්ධ බළකායක්," ඇය පවසයි.
"නාසි ඒ සාරධර්ම උල්ලංඝණය කරපු විදිහ තේරෙනකොට, උන්ගේ සන්නද්ධ හමුදා සම්පූර්ණයෙන් ම වෙනස් පදනමක් මත ගොඩනගල තිබුණුබව ඔයාට පෙනේවි. නූතන ජර්මානු ව්‍යවස්ථාවේ ප්‍රතිපත්ති පදනම් කර ගත්ත සමාජයක ජීවත් වෙන්න ලැබීම ගැන මං ස්තුතිවන්ත වුණා. ඒ වගේ ම ඒක ආරක්ෂා කරන්න මට ඕන වුණා."
ජර්මානු ගුවන් හමුදාවේ කාර්මික ශිල්පියෙකු වන 24 හැවිරිදි ජොහැන්නස්, තව ත් ඉදිරියට යයි. "යුදෙව් ඉගැන්වීම් සහ බුන්ඩස්වියා සාරධර්ම අතර විශාල සමානකම් තියෙනවා," ඔහු තර්ක කරයි.
"උදාහරණයක් විදිහට යුදෙව් සාරධර්ම අනුව, ආත්මාරක්ෂාව සඳහා හැමෝටට අයිතියක් තියෙනවා. අපේ සාරධර්ම ආරක්ෂා කිරීම, ජර්මානු ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම කියන්නේ ආත්මාරක්ෂාව තමයි. ඒ නිසා මට නම් යුදෙව්වෙක් සොල්දාදුවෙක් වෙන එක එකිනෙකට ගැලපෙන දෙයක්."
සන්නද්ධ හමුදාවන්ට බැඳීම යුදෙව්වෙකුගේ අසාමාන්‍ය තේරීමක් ලෙස පෙනෙන්නට හැකිබව ජොහැන්නස් විසින් නොසැලකීම, ඇතැම්විට එරට හමුදාවේ අතීතය පිළිබඳව තරුණ ජර්මානුවන්ට හැඟෙන ආකාරය පිළිබිඹු කිරීමක් විය හැකි ය.
අද වන විට ඇස්තමේන්තු කර ඇති පරිදි යුදෙව්වන් 300ක් පමණ ජර්මානු හමුදාවේ සේවය කරන අතර, ඔවුන්ගේ පවුල් වැඩි සංඛ්‍යාවක් සෝවියට් සංගමය බිඳී යෑමෙන් පසු ජර්මනියට පැමිණ තිබේ.
මීට වසර දෙකකට පෙර, හමුදා සේවයේ නියුතු යුදෙව්වන්ට ද ක්‍රිස්තියානි සොල්දාදුවන්ට මෙන් ආගමික පාදිලි සහාය සඳහා ප්‍රවේශය ලබාදෙනු ලැබුණි.

එය ජර්මනියේ මධ්‍යම යුදෙව් කවුන්සිලය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර 2019 වසරේ දී ඇතිකර ගත් ඓතිහාසික ගිවිසුමක් අනුගමනය කරයි. මේ වන විට බුන්ඩස්වියාහි හමුදා ධර්මාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් යුදෙව් පූජක මණ්ඩලයක් තිබෙන අතර, ඔවුන් යුදෙව් සෙබළුන් වෙනුවෙන් පෙනී සිටින අතර ඔවුන්ගේ ආගමික හා අධ්‍යාත්මික අවශ්‍යතා ඉටු කරයි.
අතීතයේ ජර්මානු හමුදාවේ යුදෙව් පූජකවරුන් සිටි නමුත් පළමු ලෝක යුද්ධයෙන් පසු එම සම්ප්රදාය අභාවයට ගිය අතර නැවත පණ ගැන්වුණේ ද නැත. වර්තමානයේ හමුදා ධර්මාචාර්යවරු බුන්ඩස්වියාහි සෙසු සාමාජිකයින්ට ද යුදෙව් ධර්මය ඉගෙනීම සඳහා ස්වේච්ඡා පන්ති පවත්වති.
හංගේරියාවේ උපන් ඇති යුදෙව්වෙකු වන සොල්ට් බල්ලා (Zsolt Balla) 2021 වසරේ දී ධර්මාචාර්යවරුන්ගේ ආධ්‍යාත්මික නායකයා ලෙස පත් කරන ලදී. ඔහු පත්වීම ලද කාලය සහ හමුදා ධර්මාචාර්ය තනතුරු නිර්මාණය කිරීම යුදෙව්වන් කෙරෙහි ජර්මානු ආකල්පවල වෙනසක් පිළිබිඹු කරන බව ඔහු විශ්වාස කරයි. එය, ඇතැම් විට ජර්මනිය එහි පිළිකුල්සහගත අතීතය පිළිබඳ සලකා බැලීමේ සංකේතයකි.
"මම 1979 දී හංගේරියාවේ ඉපදුණේ. 1980 ගණන්වල කොමියුනිස්ට් රටක ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියන එක මට තවමත් මතකයි," ඔහු පැහැදිලි කරයි.
"ඉතිහාසය හරියට ම ආපහු ලියල තියෙන බව මම කියන්නෙ නෑ. ඒත්, ජර්මනිය කරපු විදියට, මිනිස්සු දෙවන ලෝක යුද්ධෙ කාලෙ කරපු වැරදි ක්‍රියා සහ භයානක ප්රවණතා යි, යුදෙව් සමූලඝාතනේ යි පිළිගන්න කිසි විටෙක සමත් නොවුණු ආකාරය මං දැක්කා.
"බොහෝ විට, යුදෙව් ප්රජාවනුත් ජර්මානු ආරක්ෂක අමාත්‍යාංශයත් අතර ගිවිසුමක් ඇතිකර ගන්න හේතුව, අපි දැන් අතීතය නිසා අකර්මණ්‍ය නොවී ඉන්න පුළුවන් තරම් ඓතිහාසික දුරස්ථභාවයට ළඟාවී ඉන්න එක වෙන්න පුළුවන්."
කෙසේවෙතත්, අතීතයේ අවතාර තවමත් බොහෝ ස්ථානවල දී දැනිය හැකි අතර, යුදෙව් විරෝධී අවතාරය ජර්මානු හමුදාවෙන් මුළුමනින් ම ඉවත්කර නොමැත. පසුගිය වසර හය තුළ හමුදා බැරැක්කවලින් නාසි සිහිවටන සොයාගෙන ඇති අතර, 2020 වසරේ දී සොල්දාදුවන් අතර යුදෙව් විරෝධී අදහස් පළ කරන මාර්ගගත පෞද්ගලික ජාල සොයා ගන්නා ලදී.
"යුදෙව් විරෝධය ගැන නිතර ම මගෙන් කරුණු අහනවා," විඩාබර සිනහවකින් යුතුව සොල්ට් බල්ලා කියයි. "මගේ උත්තරය තමයි, ජර්මනියේ විතරක් නෙවෙයි, මිනිස්සු ස්වේච්ඡාවෙන් සේවයට එන ඕනෑ ම සන්නද්ධ හමුදාවක, දේශපාලන තලයේ නිවැරදි පැත්තේ සිට මිනිස්සුන්ව පොළඹවන බව තේරුම්ගත යුතු යි කියන එක යි. නිර්වචනයට අනුකූලව.
"ඒත් මට හිතෙන විදිහට නම්, මේ ක්‍රමය පවතින තාක් අපට ගැටළුවක් තියෙනවා, ඒ වගේ ම අපි ඒ ගැන යමක් කළ යුතුයි, මම ඉන්නේ එතන," ඔහු පවසයි.
"මගේ රස්සාව සම්බන්ධතා හදන එක. යුදෙව් දේවගැතිවරයෙක් නිර්මාණය කරන එක සැබෑ ම ධනාත්මක සංවර්ධනයක්. හමුදාවේ ඉන්න යුදෙව් ජාතිකයන් විදිහට අපට දැන් ලිපිනයක් තියෙනවා. යුදෙව් ආගම සම්බන්ධයෙන් අපට ප්‍රශ්න තියෙනවා නම් හැරෙන්න ඕන කා වෙත ද කියල දැන් අපි දන්නවා. බුන්ඩස්වියාවල ඉන්න ගොඩක් අය ජර්මනියේ දී යුදෙව්වෙක් දැකලා නෑ. ඒත් දැන් ඔවුන්ට දැකගන්න පුළුවන්. ඒක අපූරු දෙයක්."
යුදෙව් සොල්දාදුවන් සාපේක්ෂ වශයෙන් කුඩා පිරිසක් සිටීම සැලකිල්ලට ගෙන, ජර්මානු හමුදාවට ධර්මාචාර්යවරුන් අවශ්‍යදැ යි මයිකල් ෆර්ස්ට් සැක කරයි. යුදෙව් දේවගැතිවරුන් 10 දෙනෙකු බඳවා ගැනීම අවසාන අරමුණ බව ඔහුගේ අදහස යි. නමුත්, දේවගැති තනතුරක් නිර්මාණය කිරීම නිවැරදි දිශාවට තබන පියවරක් බව ඔහු පිළිගනියි.
"නිසැකයෙන් ම ඒක යුදෙව්වන්ට විතරක් නෙවෙයි, අනෙක් ආගම්වලටත් ප්‍රගතියක්," ඔහු පවසයි.
"මම හමුදාවෙන් ඉවත් වුණාට පස්සේ, යුදෙව්වො යි ජර්මානු හමුදාව යි අතර දැඩි සබඳතාවක් ගොඩනගන්න මහන්සි වෙලා වැඩ කළා. මම නිකං ලුතිනන් කෙනෙක් විතරයි. ඒත් මට හිතෙන්නේ මම යුදෙව්වන්ගේ ජෙනරාල් කියල යි."












