වධහිංසා විඳ, පවුලත් අහිමිව සිටියදී නාසීන්ට සමාවදුන් යුදෙව්වා

ඡායාරූප මූලාශ්‍රය, Rex Features
ඊවා කෝර්ගේ කතාව ආරම්භ වන්නේ යුදෙව් සමූලඝාතනයට ගොදුරු වූ ඕනෑම තැනැත්තෙකුගේ කතාවට සමානව ය. හෙළාදකින ලද ප්‍රජාවක සාමාජිකාවක වීමේ අපරාධය හේතුවෙන් ඊවා අත්අඩංගුවට ගැනුණි.
"1944 අවුරුද්දේ එක්තරා දවසක, මගේ පවුලේ අය යි මාව යි අත්අඩංගුවට අරගෙන, කෑමවත් වතුරවත් නොදී හරක් ගෙනියන කෝච්චිවල සත්තු වගේ ගාල් කළා," ඇය BBC Ideas වෙත පැවසුවා ය.
"එයාලා අපව පෝලන්තයට අරගෙන ගිහින්, අවුෂ්විට්ස් නාසි ඝාතන කඳවුරේ තේරීම් කරන දුම්රිය වේදිකාවට දාලා ගියා."
ඇය විශේෂ බව ආරක්ෂකයෙකුට පෙනී ගියේ එවිට ය.
"එයා මායි, මගේ නංගි මිරියමුයි අම්මගේ ඇඟේ එල්ලිලා ඉන්නවා දැක්කා."
එකල, අවුෂ්විට්ස් වෙත ගෙනආ නව සිරකරුවන් වර්ගීකරණය කෙරුණි. ගතින් දුර්වලයින් වහා ගෑස් කුටි වෙතට යැවුණු අතර, ශක්තිවන්තයින් බලහත්කාරයෙන් වැඩෙහි යෙදවිණි.
නමුත් සිරකරුවන් බෙදා දැමු තවත් එක් වර්ගයක් විය. ඒ, වෛද්‍ය ජෝසෆ් මෙන්ගල සහ ඔහුගේ සහායකයින්ට ප්‍රයෝජනවත් විය හැකි අය යි.
"එයා අපිව අම්මගේ වෙන්කරලා ඇදලා ගත්තා."
"මට මතක යි මම අම්මා දිහා බලනවා. මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ මට අම්මව ආයේ කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ කියලා."
ඊවා සහ ඇගේ 10-හැවිරිදි සොහොයුරිය මිරියම්ගේ දිවි ගැලවුණේ, ඔවුන් සම-නිවුන් දරුවන් වීම නිසා සහ මෙන්ගලට ඔහුගේ අත්හදාබැලීම් සඳහා නිඹුලුන් අවශ්‍ය වූ නිසා ය.
පළමු රාත්‍රිය බියකරු එකක් විය...
"අපිරිසිදු පොළොවෙ ගෑණු ළමයි තුන් දෙනෙක්ගේ මිනී විසිරිලා තිබුණා. ඔවුන්ගේ සිරුරුවල ඇඳුම් තිබුණෙ නැහැ. ඇස් සම්පූර්ණයෙන් ඇරිලා තිබුණේ. දැක්කාම බය හිතෙනවා"
"මම ඊට කලින් මැරුණු කෙනෙක්ව දැකලා තිබුණේ නැහැ."
"ඒක මගේ හිතට තදින් වැදුණා."
"මිරියම්ටත් මටත් පිටත මඩුවේ පොළොවෙ වැතිරිලා ඉන්න ඉඩ නොතියන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියලා, අපි කොහොමහරි බේරිලා, ඒ කඳවුරෙන් පණපිටින් පැනගන්නවා කියලා මම මටම පොරොන්දු වුණා."
වෛද්‍ය මෙන්ගල, ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්හි ප්රවේණි ජීව විද්‍යා සහ වාර්ගික ස්වස්ථාව පිළිබඳ ආයතනයේ නිවුන් දරුවන් අධ්‍යයනය කළ සුප්‍රසිද්ධ පර්යේෂකයකුගේ සහායකයෙකු විය. ඔහු අවුෂ්විට්ස්හි පර්යේෂණ ආරම්භ කළේ 1943 මැයි මාසයේ දී ය.
එහිදී ඔහුට පරීක්ෂා කරමින් ඉගෙනීමට අසීමිත නිවුන් දරුවන් සංඛ්‍යාවක් ලැබුණු අතර, ඔවුන් මියයාම කිසිදු ගැටලුවක් වූයේ නැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1943 වසරේ සිට, අවුෂ්විට්ස්හි වෛද්‍යවරයකු වූ මෙන්ගල ඔහුට විද්‍යාව පිළිබඳ විකෘති අදහසේ කොටසක් ලෙස නිවුන් දරුවන් සහ අනෙකුත් සිරකරුවන් 1000කට වැඩි පිරිසකට වධහිංසා කළේ ය.
"එයාලා අපිව පැය ගණන් නිරුවතින් දාලා, අපේ ශරීරයේ හැම කොටසක්ම මනිනවා. ඒක බිහිසුණු සහ නින්දිත යි," ඊවා සිහිපත් කරයි.
"සතියකට තුන් වතාවක් එයාලා අපිව රුධිර රසායනාගාරයට අරගෙන ගිහින්, මගේ අත් දෙකම බැඳලා වම් අතෙන් ලේ ගොඩක් ගත්තා. සමහර වෙලාවට සිහියත් නැතිවෙනකම්ම. මනුස්සයෙක්ට නොමැරී ඉන්න ඕන කරන අඩුම ලේ ප්‍රමාණය දැනගන්න යි එයාලට ඕන වුණේ."
"එයාලා අපට එන්නත් ලබා දුන්නා: මගේ දකුණු අතට අඩුම වශයෙන් [එන්නත්] පහක් විතර ගැහුවා. ඒවා මාරාන්තික යි."
එක් දිනෙක, එන්නතක් ලබා ගැනීමෙන් පසු ඊවා දැඩි ලෙස රෝගාතුර විය.
""බොහොම නරක යි, ඈට ඉතාම අසාධ්‍ය යි, ජීවත්වෙන්න ඉතිරි වෙලා ඇත්තේ තව සති දෙකක් විතර යි," මෙන්ගල කිව්වා. ඔහු හරි බව මම දැන සිටියත් මැරෙන එක ප්‍රතික්ෂේප කළා."
"මම මැරුණා නම්, මීරියම්ට මාරාන්තික එන්නතක් ලබාදීලා මරල දාන්න තිබුණා, එතකොට එයාට අපේ සිරුරු දෙකම කපලා මරණ පරීක්ෂණ සංසන්දනය කරන්න පුළුවන්."
"ඊළඟ සති දෙකේ දී මම ජීවිතයත් මරණයත් අතර හිටියේ. මට මතක එකම දේ, මට ඇවිදින්න බැරි නිසා මම බැරැක්කයේ බිම බඩගාගෙන ගිය එක."
"මම බඩ ගගා ඉඳිද්දී, කලන්තේ එද්දී, සිහියත් අසිහියත් අතර ඉඳිද්දිත් මම මටම කියාගත්තා 'මම ජීවත් වෙන්න ඕන, මම ජීවත් වෙන්න ඕන' කියලා."
ඊවා සහ ඇගේ සහෝදරිය දිවි ගලවාගත් අතර, 1945 දී ඔවුන් අවුෂ්විට්ස් වෙතින් නිදහස් කෙරුණි.
"මාස නවයකට පස්සේ අපි ආයෙත් ගෙදර ආවේ අපේ පවුලේ වෙන කවුරුවත් පණ පිටින් නැති බව දැනගන්න යි. අපිට හම්බුණේ පොඩිවෙච්ච පින්තූර තුනක් විතර යි... මගේ පවුලෙන් මට ඉතිරි වෙලා තිබ්බෙ එච්චර යි."
ඊවා විවාහ වී එක්සත් ජනපදයේ දී පවුල් ජීවිතය ආරම්භ කළා ය. නමුත් නාසි අත්හදාබැලීම් නිසා ඇගේ සොහොයුරියගේ සෞඛ්‍යයට හානි සිදුවී තිබිණි.
"1987 දී මම එයාව බේරගන්න මගේ වකුගඩුවක් පරිත්‍යාග කළත්, එයා 1993 දී මියගියා. මම කම්පනයට පත්වුණා."
"පවුලේ කෙනෙක් කියලා මට හිටියේ එයා විතර යි."
"මට මහා තරහක් ආවා."
වසර ගණනාවක් ගෙවී යද්දී, ඊවා ඇගේ කම්පිත අතීතයේ සිත් තැවුල් සුවකර ගැනීමට උත්සාහ කළා ය.
ඇය ගත්තේ අසාමාන්‍ය පියවරකි. ඇය හාන්ස් මන්ච් නමැති නාසි වෛද්‍යවරයකු හමුවූවා ය.
1993 අගෝස්තු 20 වෙනිදා ඊවා ඔහු හමුවීමට ජර්මනියට යන ගමනේ දී, ඇයට නැවතත් ඇය හමුවිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මම හිතාගන්න බැරි තරම් නොසන්සුන්වෙලා, බයවෙලා හිටියේ. ඒ වෙද්දි ඩොක්ට මන්ච්ගේ වයස අවුරුදු 82ක්. එයා මට කරුණාවෙන්, ගෞරවයෙන්, සහ සැලකිල්ලෙන් ආචාර කළා. නාසියෙක් මට ගෞරවාන්විතව සලකන එක ගැන මම පුදුම වුණා."
"හාන්ස් මන්ච් අවුෂ්විට්ස්වල වැඩ කරලා තියෙන්නේ බැක්ටීරියා විද්‍යාඥයෙක් විදියට. ඒත් එයාට අමතර රාජකාරියකුත් තිබුණා. එයා ගෑස් කුටි ළඟ එළියේ බලාගෙන ඉඳලා, මිනිස්සු මරල දැම්මම මරණ සහතිකයක් අත්සන් කරලා තිබුණා. නම අනුව නොවෙයි, මරපු ගාණ අනුව."
"ඒ වගේම එයා මට කිව්වා, 'ඒක තමයි මගේ ප්‍රශ්නෙ, ඒක මම ජීවත් වෙන නපුරු හීනයක්' කියලා."
"මා එක්ක අවුෂ්විට්ස්වලට ඇවිත් මට කියපු දේම එතනදිත් කියන්න කැමති ද කියලා මම එයාගෙන් ඇහුවා. එයා ඒකට ගොඩක් කැමතියි කිව්වා."
වෛද්‍ය මන්ච් ඊවා සමග නැවත එහිගොස්, ගෑස් කුටීර පවතින බවට තහවුරු කරන ලියවිල්ලකට අත්සන් කර තිබේ.
ඔහුට ස්තුති කිරීමට ඊවාට අවශ්‍ය විය.
"නාසීන්ට ස්තුති කිරීම පිස්සු අදහසක් බව මම දැනගෙන හිටියා... 'අවුෂ්විට්ස්වලින් දිවි ගලවාගත් අයෙක් නාසියෙකුට ස්තුති කරයි!' මිනිස්සු හිතාවි මට පිස්සු කියලා."
"මම එයාට ස්තූති කරන්න ක්‍රමයක් හොයන්න උත්සාහ කළා. මාස 10කට පස්සේ මට පොඩි අදහසක් ආවා: අවුෂ්විට්ස් දිවි ගලවාගත්තු මම සමාව දුන් බවට ලිපියක් දුන්නොත් කොහොම ද?"
"ඒක එයාට වැදගත් තෑග්ගක් වෙන බව මම දැනගෙන හිටියා."
"හැබැයි මම ඒකෙන් ලැබුවේ වෙනස්ම අත්දැකීමක්. ඒ තමයි, සමාව දෙන්න තරම් හයියක් මගේ හිතේ තියෙන බව."
"කාටවත් ඒ බලය මට දෙන්නත් බැහැ, මගෙන් ගන්නත් බැහැ"
"මම මටම අභියෝග කරගන්න හිතාගෙන, මාව අපායකට යවපු මෙන්ගලටත් සමාව දෙන්න පුළුවන් කියල තීරණය කළා."
වෛද්‍ය මෙන්ගල එක්සත් ජනපද හමුදාව විසින් අත්අඩංගුවට පත්වී තිබුණ ද, ඔහුගේ නම ප්‍රධාන යුද්ධ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඇති බව නොදත් එක් හමුදා ඒකකයක් ඔහු නිදහස් කළේ ය.
1949 දී ආර්ජන්ටිනාවට පැන යාමට ප්‍රථම, ඔහු ජර්මනියේ බැවේරියාවේ ගොවියෙකු ලෙස සේවය කළේ ය.
1959 දී බටහිර ජර්මානු බලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ ද, 1979 දී බ්‍රසීලයේ නිවාඩු නිකේතනයක දී හෘදයාබාධයක් වැළඳීම නිසා දියේ ගිලී මියයන තෙක්ම මෙන්ගල දකුණු ඇමරිකාවේ රැඳී සිටියේ ය.
ඔහු සාඕ පාවුලෝහි දී 'වුල්ෆ්ගැන්ග් ගර්හාර්ඩ්' යන නමින් මිහිදන් කෙරිණි.
නමුත් ඔහුට සමාවදීම සඳහා ඔහු ජීවතුන් අතර සිටීම ඊවාට අවශ්‍ය නොවීය.
"ඒක ලේසි වුණේ නෑ, ඒත් මට දැනුනේ ලොකු බරකින් නිදහස් වුණා වගේ. අන්තිමට මට නිදහසක් දැනුණා."
"කවුද කියන්නේ මම වින්දිතයෙක් විදියට මුළු ජීවිත කාලෙම දුකෙන්, තරහෙන්, බලාපොරොත්තුවක් නැතුව, අසරණ වෙලා ඉන්න ඕන කියලා?"
"මම ඒකට ලැහැස්ති නැහැ."
"ඔබට කවදාවත් අතීතයේ සිදුවුණු දේවල් වෙනස් කරන්න බැහැ. ඔබට කරන්න පුළුවන් ඔබ ඒකට ප්‍රතිචාර දක්වන හැටි වෙනස් කරගන්න එක විතරයි."
"මායි මගේ නංගියි මිනිස් ගිනිපිග්ලා වුණා. අපේ මුළු පවුලම මරලා දැම්මා."
"ඒත් මට ඒකට සමාව දෙන්න හයිය තිබුණා."
"ඔයාලටත් ඒ ශක්තිය තියෙනවා."
2019 ජූලි මාසයේ දී වයස අවුරුදු 85ක්ව සිටි ඊවා කෝර්, ඇගේ වාර්ෂික පෝලන්ත සංචාරය අතරතුරේ දී මියගියා ය.








