නාසි නඩු විභාගය: 100 හැවිරිදි නාසි භටයෙකු ජර්මනියේ අධිකරණයට

A 100-year-old former security guard of the Sachsenhausen concentration camp appears in the courtroom before his trial at the Landgericht Neuruppin court in Brandenburg, Germany, 7 October 2021

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 1942 දී සැක්සන්හවුසන්හි රැකවලෙකු ලෙස සේවයට එක්වෙද්දී 21 වැනි වියේ පසුවූ ජෝසෙෆ් එස් අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින්

දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර 76කට පසු, බර්ලිනයට තදාසන්නව පිහිටි සැක්සන්හවුසන් රැඳවුම් කඳවුරේ සිරකරුවන් 3,518 දෙනෙකු ඝාතනය කිරීමට ආධාර කළේයැ යි චෝදනා ලැබූ එම කඳවුරේ හිටපු ආරක්ෂක භටයෙකුගේ නඩුව විභාගයට ගැනුනි.

'ජෝසෙෆ් එස්' වෙත එල්ල වී ඇති චෝදනාවන් වන්නේ සෝවියට් යුධ සිරකරුවන්ට වෙඩි තැබීමට දායක වීම සහ සයික්ලෝන් බී විෂ වායුව යොදා අනෙකුන් ඝාතනය කිරීම යි.

නාසි යුගයේ අපරාධකරුවන් යුක්තිය ඉදිරියට පැමිණවීමට ඇති කාලය සෙමෙන් ගෙවී යමින් පවතින අතර, ජෝසෙෆ් එස් යනු මෙතෙක් නඩු විභාගයට ඉදිරිපත් වූ වයස්ගතම නාසි විත්තිකරුවා වේ.

පහළ මට්ටමේ නාසීන්ට විරුද්ධව නඩු විභාගයන් කැඳවීම ආරම්භ වූයේ ද මෑතක දී ය.

වසර දහයකට පෙර, හිටපු SS ආරක්ෂක භට ජෝන් ඩෙම්යාන්යූක් නඩු විභාගයකින් වරදකරු බවට පත්කිරීමෙන් ලබා දුන් පූර්වාදර්ශය, දෙවන ලෝක යුද සමයේ දී නාසි අපරාධයන්ට සහාය දැක්වූ සහ අනුබල දුන් තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීම සඳහා පැමිණිල්ලේ නීතීඥයන් වෙත බලය ලබා දුන්නේ ය. එතෙක්, යමෙකු නාසි මිනීමැරුමකට සෘජුව සහභාගී වූයේයැ යි ඔප්පු කළ යුතුව තිබුණි.

ජර්මානු පෞද්ගලිකත්ව නීතිය නිසාවෙන් 'ජෝසෙෆ් එස්' යනුවෙන් හඳුන්වනු ලබන විත්තිකරු, බ්‍රැන්ඩන්බෝග් අන් ඩ හාවල්හි බන්ධනාගාරයක් තුළ දැඩි ආරක්ෂාව මධ්‍යයේ නඩුව විභාග කිරීම සඳහා විශේෂ වෙනස්කම් සිදුකළ ක්‍රීඩා ශාලාවකට ගෙනයනු ලැබුණි.

රෝද පුටුවකින් අධිකරණ ශාලාව වෙත පැමිණි ඔහු බ්‍රීෆ්කේසයක් තුරුළුකර ගෙන, ඇවිදීමේ ආධාරකයක උපකාරයෙන් ශාලාව තුළට පිවිසෙනු දක්නට ලැබුණි. ඡායාරූප ශිල්පීන්ගෙන් සිය මුහුණ වසන්කර ගනුවස් ඔහු නිල් පැහැ ලිපිගොනු කවරයකින් මුහුණ ආවරණය කරගෙන සිටියේ ය.

වසර ගණනාවක් තිස්සේ යතුරු නිපදවන්නෙකු වශයෙන් බ්‍රැන්ඩන්බෝග් ප්‍රදේශයේ විසූ ජෝසෙෆ් එස්, සිය නඩු විභාගය පිළිබඳ කිසිදා ප්‍රසිද්ධියේ කතා නොකළ අයෙකි.

ඔහුගේ නීතිඥවරයා වූ ස්ටෙෆාන් වෝටර්කාම්ප් අධිකරණයට ප්‍රකාශ කළේ, නඩු විභාගයේ දී විත්තිකරු තමාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිවක් නොපවසනු ඇතිබව යි. කෙසේ වෙතත්, ඔහු තමා මුහුණ පා සිටි තත්ත්වය පිළිබඳව සිකුරාදා නඩු විභාගයේ දී පවසනු ඇතැ යි නීතිඥවරයා කියා සිටියේ ය.

1942 දී සැක්සන්හවුසන් රැඳවුම් කඳවුරේ ආරක්ෂක භටයෙකු වශයෙන් සේවයට එක්වෙද්දී ජෝසෙෆ් එස් විසි එක්වැනි වියේ පසුවිය. දැන් 101 වැනි වියට ආසන්නයට පැමිණ සිටින ඔහුට දිනකට පැය දෙකහමාරක කාලයක් දක්වා උසාවියේ පෙනී සිටීමට හැකියැ යි සැලකේ. ඔහුගේ නඩු විභාගය ජනවාරි මාසය දක්වා පැවැත්වීමට නියමිත ය.

Holocaust survivor Leon Schwarzbaum holds a picture in the courtroom during a trial against a 100-year-old former security guard of the Sachsenhausen concentration camp, at the Landgericht Neuruppin court in Brandenburg, Germany, October 7, 2021

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෙයොන් ෂ්වාසන්බොව්ම් සැක්සන්හවුසන් කඳවුරෙන් පමණක් නොව අවුෂ්විට්ස් සහ බූකන්වාල්ඩ් කඳවුරුවලින් ද දිවි ගලවාගත් අයෙකි

මහජන අභිචෝදක සිරිල් ක්ලෙමන්ට් 1941 සහ 1945 අතර කාලයේ දී සැක්සන්හවුසන් රැඳවුම් කඳවුරෙහි සිදුවූ ක්‍රමානුකූලවා සිදුකරනුලැබූ සංහාරය අධිකරණයට විස්තර කළේ ය. "විත්තිකරු මෙයට සහයෝගය දැක්වූයේ දැනුවත්ව හා කැමැත්තෙන් - අවම වශයෙන් හෘදසාක්ෂියට එකඟව සිය ආරක්ෂක රාජකාරිය ඉෂ්ට කිරීමෙන්, ඔහු මිනීමරු තන්ත්‍රයට හැම අතින්ම එක්වුණා."

බර්ලිනයට උතුරින් ඔරානියන්බර්ග්හි පිහිටි මේ රැඳවුම් කඳවුරේ දී යුදෙව්වන්, නාසින්ට විරුද්ධව සටන්කළවුන්, දේශපාලනික විරුද්ධවාදීන්, සමලිංගික පුද්ගලයින්, සහ යුද සිරකරුවන් ද ඇතුළු දහස් ගණනක් ජනයා ඝාතනයකර දැමුණි.

1943 වසරේ දී සැක්සන්හවුසන් රැඳවුම් කඳවුර තුළ ගෑස් කුටියක් සවි කළ අතර, යුද්ධයේ අවසාන සමය එළඹෙද්දී 3000ක් දෙනා එය තුළ ඝාතනය කෙරුනේ ඔවුන් "පා ගමනකට අයෝග්‍ය තත්ත්වයේ පසුවීම" හේතුවෙනි.

බ්‍රහස්පතින්දා නඩු විභාගය සැක්සන්හවුසන් කඳවුරෙන් දිවි ගලවාගත් ඇතැමුන් ද ඇතුළුව සම-පැමිණිලිකරුවන් 17 දෙනෙකුට විශේෂයෙන්ම වැදගත් නඩු විභාගයක් විය.

එයින් එක් අයෙකු වන ක්‍රිස්ටොෆෙල් හේයර් අවසන් වරට සිය පියා දුටුවේ හය හැවිරිදිව සිටිය දී ය. ඔහුගේ පියා, ජොහාන් හෙන්ඩ්‍රික් හේයර්, කඳවුරේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු ඕලන්ද ජාතික නාසි විරෝධී සටන්කරුවන් 71 දෙනාගෙන් එක් අයෙකු විය.

"මිනීමැරීම කියන්නේ ඉරණම නෙවෙයි; ඒක කාලයත් එක්ක නීතියෙන් මකා දාන්න පුළුවන් විදියේ අපරාධයක් නෙවෙයි," ඔහු බර්ලිනර් සයිටුන් පුවත්පතට පවසා සිටියේ ය.

සැක්සන්හවුසන් කඳවුරෙන් දිවි ගලවාගෙන, අද වන විට 100 වැනි වියෙහි පසුවන ලෙයොන් ෂ්වාසන්බොව්ම් පැවසුවේ, "මරාදමන ලද සිය මිතුරන්, දැන හඳුනාගෙන සිටි තැනැත්තන්, සහ ආදරණීයයන් වෙනුවෙන් පැවැත්වෙන අවසන් නඩු විභාගය" එය බව යි. අවසානයේ දඬුවම් නියම කිරීමකින්ම එම විභාගය අවසන් වනු ඇතැ යි ඔහු පතයි.

ජෝසෙෆ් එස් සාක්ෂ්‍ය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් බොහෝදෙනා තුළ වූයේ උදහසකි.

"දිවි බේරාගත් අයට මේක කඳවුරේ දී සිදුවුණා වගේම තවත් ප්‍රතික්ෂේප කිරීමක්. රැඳවුම්කරුවන්ට සැලකුවේ හරියට සතුන්ට වගේ," ජාත්‍යන්තර අවුෂ්විට්ස් කමිටුවේ ක්‍රිස්ටෝෆ් හියුබ්නර් පැවසුවේ ය.

සම-පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තෝමස් වොල්තර් සඳහන් කළේ තමා එයින් පුදුමයට පත් නොවන නමුත්, ඔහු සිය තීරණය වෙනස්කරගනු ඇතැ යි ප්‍රාර්ථනා කරනබව යි.

නාසි කඳවුරුවල ආරක්ෂක භටයින්ගෙන් බොහෝදෙනාට නඩු විභාගයන්ට මුහුණදීමට සිදු නොවීය.

Bruno Dey holds a folder in front of his face in court on 23 July 2020

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගිය වසරේ දී, නාසි SS ආරක්ෂක භටයෙකු වූ බෘනෝ ඩේ මිනීමැරුම් 5000කට දායක වීමේ චෝදනාවට වරදකරු විය

ස්ටුට්හොෆ් රැඳවුම් කඳවුරේ පමණක් ආරක්ෂක භටයින් 3000ක් සේවය කළ නමුත්, එයින් දඬුවම් නියමවූයේ 50 දෙනෙකුට පමණි. ගිය වසරේ දී, කඳවුර තුළ සිදුවූ සමූලඝාතනයට සහාය දීමේ චෝදනාවට බෘනෝ ඩේ වරදකරු බවට තීන්දු කෙරුණ ද, ඔහුට හිමිවූයේ අත්හිටවූ සිර දඬුවමකි.

නාසි ලේකම්වරියක වශයෙන් ස්ටුට්හොෆ් කඳවුරේ සේවය කළ ඉර්ම්ගාඩ් ෆෝර්ෂ්නර් ගිය සතියේ හැම්බර්ග්හි දී නඩු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිය ද, ඊට පැය කීපයකට ප්‍රථමව සාත්තු නිවාසයකින් පලා යාමට ඇය සමත්වූවා ය.

අවසානයේ හැම්බර්ග්හි දී ඇය අල්ලාගනු ලැබූ අතර, ඇගේ නඩු විභාගය ඔක්තෝබර් 19 වනදාට කල් තැබුණි. ඇය මේ සතියේ මුල දී අත්අඩංගුවෙන් මුදාහරිනු ලැබුවා ය.