එක්සත් ජාතීන්ගේ 'නින්දිතයින්ගේ ලැයිස්තුව' යනු කුමක් ද? එයට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඇතුළත් කර ඇත්තේ ඇයි?

Khan Younis - Gaza November 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල සන්නද්ධ සහ ආරක්ෂක හමුදා සමග, හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ අංශ, 'නින්දිතයින්ගේ ලැයිස්තුව' ලෙසින් ද හැඳින්වෙන, එක්සත් ජාතීන්ගේ ලැයිස්තුවට එක් කර තිබේ
    • Author, අමිරා මාද්බි
    • Role, බීබීසී අරාබි

ඊශ්‍රායල සන්නද්ධ සහ ආරක්ෂක හමුදා සමග, හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ අංශ, 'නින්දිතයින්ගේ ලැයිස්තුව' ලෙසින් ද හැඳින්වෙන, ගැටුම් අතරතුර "දරුවන්ට බලපාන බරපතළ උල්ලංඝණයන් සිදු කරන" කණ්ඩායම් ඇතුළත් ලැයිස්තුවට එක් කර තිබේ.

මෙම ලැයිස්තුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ, දරුවන් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ වාර්ෂික වාර්තාවට සම්බන්ධ ඇමුණුමකි.

2023 ජනවාරි සහ දෙසැම්බර් අතර කාලය ආවරණය වන පරිදි සකස් කර ඇති මෙහි නවතම වාර්තාව ජූනි 13 වන දින ප්‍රසිද්ධියට පත් කෙරිණි.

'2023 වසරේදී, සන්නද්ධ ගැටුම්වලදී දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය උග්‍ර මට්ටම් කරා ළඟා වූයේ, බරපතළ උල්ලංඝණය කිරීම්වල 21%ක ඉතා දරුණු ඉහළ යාමක් සමග,' නවතම වාර්තාවේ සඳහන් වෙයි.

‘ඝාතන සහ බරපතළ ආබාධවලට පත්වීම් බරපතළ ලෙස 35%කින් වැඩි වී ඇත,’ එමගින් සොයා ගැනිණි.

2024 වාර්තාව ඊශ්‍රායලය සහ ඊශ්‍රායල හමුදා වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශය දරුවන්ට එරෙහිව වැඩි ම සත්‍යාපිත 'බරපතළ උල්ලංඝණයන්' සිදුවන කලාපයක් ලෙස ගෙනහැර දක්වයි.

බොහෝ උල්ලංඝනය කිරීම් ඊශ්‍රායලයට ආරෝපණය කර ඇත

උල්ලංඝණය කිරීම් බහුතරයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ ඊශ්‍රායලය වෙත ය

ඊශ්‍රායල සන්නද්ධ සහ ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ උල්ලංඝණයන් 5,698ක්, හමාස් සංවිධානයේ ඉස් අල්-දීන් අල්-කසාම් බළකාය සම්බන්ධ උල්ලංඝණයන් 116ක් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ අල්-කුඩ්ස් බළකාය සම්බන්ධ උල්ලංඝණයන් 21ක් සිදුව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තහවුරු කරන ලද තවත් උල්ලංඝණය කිරීම් 2,051කට වගකිව යුත්තේ කවුරුන් ද යන්න තීරණය කිරීමේ කාර්යය තවමත් අවසන් කර නොමැති බව එම වාර්තාවේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව, ඔවුන් තහවුරු කර ඇත්තේ:

• පලස්තීන දරුවන් 2,267 දෙනෙකු ඝාතනය කිරීම, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඔක්තෝබර් 7 සහ දෙසැම්බර් 31 අතර ගාසා තීරයේදී ඝාතනයට ලක් වූහ: "බොහෝ මරණවලට හේතු වූයේ ඊශ්‍රායල සන්නද්ධ සහ ආරක්ෂක හමුදා විසින් ජනාකීර්ණ ප්‍රදේශවල පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම"

• ඊශ්‍රායල දරුවන් 43 දෙනෙකු ඝාතනය කිරීම - ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඊශ්‍රායලයේදී ඔක්තෝබර් 7 වන දින ත්‍රස්තවාදී ක්‍රියා අතරතුර, ජීව උණ්ඩ, රොකට් හෝ වෙඩි හුවමාරුවලට මැදිව ඝාතනයට ලක් වූහ

• හමාස් සංවිධානයේ ඉස් අල්-දීන් අල්-කසාම් බළකාය සහ අනෙකුත් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් මගින් ඊශ්‍රායල දරුවන් 47 දෙනෙකු පැහැර ගැනීම

• ඊශ්‍රායල සන්නද්ධ හා ආරක්ෂක හමුදා විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් බව කියමින් පලස්තීන දරුවන් 906 දෙනෙකු රඳවා තබා ගැනීම

• ඊශ්‍රායල සන්නද්ධ සහ ආරක්ෂක හමුදා, ඊශ්‍රායල පදිංචිකරුවන් සහ හඳුනා නොගත් අපරාධකරුවන්ට සම්බන්ධ, පාසල් සහ රෝහල් වෙත එල්ල වූ ප්‍රහාර 371ක්

• හමාස් සංවිධානයේ ඉස් අල්-දීන් අල්-කසාම් බළකාය, අනෙකුත් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සහ හඳුනා නොගත් අපරාධකරුවන් විසින් ඊශ්‍රායලයේ පාසල් සහ රෝහල් වෙත එල්ල කරන ලද ප්‍රහාර 17ක් වාර්තාවේ ලැයිස්තුගත කර ඇති බරපතළ උල්ලංඝණයන් අතර ළමුන් ආබාධිත වීම සහ මානුෂීය ආධාර සඳහා ප්‍රවේශය අවහිර කිරීම ද ඇතුළත් විය.

Rafah November 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රෆා - 2023 නොවැම්බර්

'නින්දිතයින්ගේ ලැයිස්තුව' යනු කුමක් ද සහ එහි සිටින්නේ කවුද?

2001 වසරේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1379 යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ, දරුවන් බඳවා ගන්නා සහ ඔවුන් භාවිත කරන "ගැටුම්වලට සම්බන්ධ පාර්ශවයන්" හඳුනාගෙන ලැයිස්තුගත කරන ලෙසයි.

එතැන් සිට, මෙම ලැයිස්තුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තාවට සම්බන්ධ වුණු අතර එහි "අදාළ සන්නද්ධ ගැටුම දරුවන්ට බලපෑ ආකාරය සහ එහිදී කරන ලද උල්ලංඝණයන් පිළිබඳ තොරතුරු" ඇතුළත් කෙරිණි.

සන්නද්ධ ගැටුම්වලින් දරුවන්ට සිදුවන බලපෑම පිළිබඳ වාර්තා කිරීම සඳහා 1996දී නිර්මාණය කරන ලද දරුවන් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳව මහ ලේකම්වරයාගේ විශේෂ නියෝජිතවරයාගේ කාර්යභාරය තුළ ගැටුම් අතරතුර දරුවන්ට බලපාන බරපතළ උල්ලංඝණයන් හයක් හඳුනා ගනී.

මෙම උල්ලංඝණය කිරීම්වලින් පහක් සිදු කරන ඕනෑ ම අපරාධකරුවෙකු නිරායාසයෙන් ම එක්සත් ජාතීන්ගේ 'නින්දිතයින්ගේ ලැයිස්තුවට' ඇතුළත් වේ:

• දරුවන් බඳවා ගැනීම සහ භාවිත කිරීම

• දරුවන් ඝාතනය කිරීම සහ ආබාධිතයින් කිරීම

• දරුවන්ට එරෙහි ලිංගික හිංසනය

• පාසල් හා රෝහල්වලට පහර දීම

• දරුවන් පැහැරගැනීම

තවත් උල්ලංඝණයක් වන්නේ, දරුවන් ඇතුළු සිවිල් වැසියන්ට මානුෂීය ආධාර වෙත ප්‍රවේශය අවහිර කිරීම ය.

එය "සිව්වන ජිනීවා සම්මුතිය සහ එහි අතිරේක ප්‍රොටෝකෝල යටතේ තහනම් කර ඇති අතර එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සහ යුද්ධ අපරාධයක් විය හැකි යැයි" යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

වත්මන් ලැයිස්තුවට බොකෝ හරාම්, ඉස්ලාමීය රාජ්‍යය සහ තාලිබාන් වැනි සන්නද්ධ කණ්ඩායම් ද ඇතුළත් වේ.

පසුගිය වසරේ රුසියානු සන්නද්ධ හමුදාවන් එයට එකතු විය.

Erez, 12, and Sahar, 16, were kidnapped by Hamas and released later
ඡායාරූප ශීර්ෂ වැකිය, 12 හැවිරිදි එරෙස් සහ 16 හැවිරිදි සහර් හමාස් විසින් පැහැරගෙන ගොස් පසුව නිදහස් කරන ලදී

ඊශ්‍රායලය අයිඩීඑෆ් එයට ඇතුළත් කිරීම 'ආචාරධර්මවලට පටහැනි' යැයි පවසමින් හෙළා දකී

එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව පිළිබඳව හමාස් හෝ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, ඊශ්‍රායලය එය 'ආචාරධර්මවලට පටහැනි' යැයි පවසමින් එය විවේචනය කර ඇත.

ජූනි 7 වන දින, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානියා වන කෝට්නී රැට්රේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ලැයිස්තුගත කරන බවට "නිල ඇමතුමක්" අතරතුර එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් අර්ඩන් වෙත දැනුම් දුන්නේ ය.

මෙම ඇමතුම සාමාන්‍යයෙන් "අලුතින් ලැයිස්තුගත කර ඇති රටවලට අනතුරු ඇඟවීමට සහ තොරතුරුවල රහස්‍යභාවය රැක ගැනීම සඳහා දෙනු ලැබේ," එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකා ස්ටෙෆාන් ඩුජාරික් පැවසීය.

IDF මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට ප්‍රතිචාර වශයෙන්, අර්ඩන් තමා රැට්රේ සමග දුරකතන සංවාදයක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ කළ අතර, එම සංවාදය අතරතුර ඔහු එම පියවර හැඳින්වූයේ "හමාස් සංවිධානයට පමණක් වාසිදායක ආචාරධර්මවලට පටහැනි තීරණයක්" යනුවෙනි.

Xහි අදාළ සංවාදයේ "කොටසක් පමණක් පළ කිරීම" ඩුජාරික් විසින් "තැතිගන්වනසුලු සහ අනුමත කළ නොහැකි" ක්‍රියාවක් ලෙස විස්තර කරනු ලැබුවේ, එය "මෙම සංවිධානයට සේවය කරන වසර 25 තුළ මා කිසි දිනෙක දැක නැති දෙයක්" බව ද පවසමිනි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "හමාස් මිනීමරුවන්ට සහය දෙන අය සමග එකතු වූ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතිහාසයේ අසාදු ලේඛනයට එකතු කර ගෙන ඇති" බව ය.

"අයිඩීඑෆ් යනු, ලෝකයේ වඩාත් ම සදාචාරාත්මක හමුදාව යි; එක්සත් ජාතීන් වැරදි විශ්වාසයන් මත පදනම්ව ගනු ලබන කිසිදු තීරණයක් එය වෙනස් නොකරනු ඇත," ඔහු මෙම ලැයිස්තුගත කිරීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ ය.

Palestinian children suffering of malnutrition or chronic diseases wait with family members at Nasser hospital in Khan Yunis in the southern Gaza Strip on June 24, 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මන්දපෝෂණයෙන් හෝ නිදන්ගත රෝගවලින් පෙළෙන පලස්තීන දරුවන් දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි නසාර් රෝහලේ සිටින අයුරු

ඊශ්‍රායලය ප්‍රථම වරට මෙම ලැයිස්තුවට එක් කර තිබුණ ද සන්නද්ධ ගැටුම්වල සිටින ළමුන් පිළිබඳ මීට පෙර වාර්තාවල එම රට අන්තර්ගත වී තිබේ.

"ඊශ්‍රායල් හමුදා විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ආශ්වාස කිරීමෙන් ළමුන් 524 දෙනෙකු (පලස්තීනුවන් 517ක්, ඊශ්‍රායල ජාතිකයින් 7ක්) ආබාධිත වූ අතර 563 දෙනෙකුට වෛද්‍ය ආධාර අවශ්‍ය විය," යනුවෙන් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ සඳහන් විය.

ඊශ්‍රායලයේ නම මීට පෙර නිකුත් කරන ලද වාර්තාවල සඳහන් නොකිරීම සම්බන්ධයෙන් මහ ලේකම් ගුටේරස් මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්විය.

‘එක්සත් ජාතීන්ගේ 'නින්දිතයින්ගේ ලැයිස්තුවට' ඊශ්‍රායල හමුදා ඇතුළත් කිරීම මීර පෙර සිදුවිය යුතුව තිබුණු දෙයක්,’ හියුමන් රයිට්ස් වොච්හි ළමා අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යක්ෂක ජෝ බෙකර් නව වාර්තාව එළිදැක්වීමෙන් පසු පැවසීය.

‘හමාස් සංවිධානයේ ඉස් අල්-දීන් අල්-කසාම් බළකාය සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ අල්-කුඩ්ස් බළකාය මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ම ඕනේ සංවිධාන,’ ඇය වැඩිදුරටත් පැවසුවා ය.

‘ඊශ්‍රායලය මෙම නින්දිතයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන්න ගාසා තීරයේ දරුවන් 15,000ක් මරා දානකම් ඉන්න ඕනේ නැහැ,’ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මහ ලේකම් ඇග්නස් කැලමාර්ඩ් මේ මස මුලදී ලිවීය.

ලැයිස්තුගත කිරීම කුමන බලපෑමක් ඇති කරයි ද?

A boy mourns the loss of his child sister in Deir al- Balah

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩීර් අල්-බාලාහි පලස්තීන දරුවෙකු තම සහෝදරිය අහිමි වීම ගැන වැලපෙන අයුරු

මෙම වාර්තාව දරුවන්ගේ තත්ත්වය කරළියට ගෙන ඒමට අදහස් කරන නමුත් එයට නෛතික බලයක් නොමැත.

Oxford Institute for Ethics, Law and Armed Conflictහි ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන එමානුවේලා-කියාරා ජිලාඩ් බීබීසීය වෙත පැවසුවේ, ‘එම ලැයිස්තුවට රටවල් සහ ආයතන ඇතුළත් කිරීමේ අරමුණ ප්‍රධාන වශයෙන් 'නම් කිරීම සහ ලැජ්ජාවට පත් කිරීම යි. ලැයිස්තුවේ ඉන්න පාර්ශවලට එරෙහිව ක්ෂණික ස්ථිර නීතිමය පියවර ගැනීමක් සිදු වෙන්නේ නැහැ,’ යනුවෙනි.

‘කෙසේ වෙතත්, ඊශ්‍රායලය නීතියට අනුකූලව කටයුතු කිරීම පිළිබඳ කනස්සල්ලක් ඇතැයි රාජ්‍යයන් විශ්වාස කරනවා නම්, ඒකෙන් ඒ එක් එක් රාජ්‍යවල තීරණවලට බලපෑම් ඇති කරන්න පුළුවන්. නමුත් ඉන් කිසිදු සම්බාධක දැමීමක් හෝ තහනමක් ගැන අදහස් වෙන්නේ නැහැ.’

හමාස් සංවිධානය සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය දැනටමත් ඊශ්‍රායලය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙක් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ලෙස වාර්තාවේ ඔවුන් ගැන සඳහන් කිරීම ‘ඔවුන්ගේ නෛතික තත්ත්වයට බලපාන්නේ නැත,’ යනුවෙනි.

ඊශ්‍රායලය සහ හමාස් යන දෙපාර්ශවය ම පිළිබඳව සමීපව නිරීක්ෂණයට ලක් වීමත්, එම නිරීක්ෂණ පිළිබඳව ආරක්ෂක කවුන්සිලයේ අදාළ යෝජනාවල සඳහන් කළ හැකි නිසාත් සන්නද්ධ ගැටුම්වල සිටින ළමුන් පිළිබඳව නිරීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් ගත් කල ජිලාඩ් පවසන්නේ, ලැයිස්තුගත කිරීමේ ධනාත්මක ප්‍රතිඵල ද ඇති බව ය.

එක්සත් ජාතීන්ගේ මෙම ලැයිස්තුවෙන් ඉවත් වීම සඳහා, ඔවුන්ගේ වාර්තාවේ නම් කර ඇති අදාළ සංවිධාන, උපුටා දක්වන ලද ආකාරයේ දරුවන්ට එරෙහි උල්ලංඝණය කිරීම් තවදුරටත් සිදුවීම වැළැක්වීමට අදහස් කරන "ක්‍රියාකාරී සැලසුම්" සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සංවාදයක නිරත විය යුතු ය.