ඊශ්‍රායලය අල් ජසීරා කාර්යාලය වටලා විකාශන කටයතු ද නවතා දමයි

අල් ජසීරාහි ජෙරුසලමේ කාර්යාලය පිහිටි ඇම්බැසඩර් හෝටලයෙන් (Ambassador Hote)l මාධ්‍ය උපකරණ පිටතට ගෙන යන අයුරු දක්නට ලැබිණි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අල් ජසීරාහි ජෙරුසලමේ කාර්යාලය පිහිටි ඇම්බැසඩර් හෝටලයෙන් (Ambassador Hotel)මාධ්‍ය උපකරණ පිටතට ගෙන යන අයුරු දක්නට ලැබිණි
    • Author, විකී වොන්ග්
    • Role, බීබීසී පුවත්

හමාස් සංවිධානයේ 'හොරණෑවක්' ලෙස හංවඩු ගසමින් ඊශ්‍රායලයේ පිහිටි අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමට එරට රජය පියවර ගෙන තිබේ.

ගාසා තීරයේ යුද්ධය පවතින අතරතුර එය වසා දැමීමට කැබිනට් මණ්ඩලය එකඟ වූ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.

ඒ අනුව, පොලිසිය ඉරිදා ජෙරුසලමේ ඇම්බැසඩර් හෝටලයේ පිහිටි කටාර් රාජ්‍යයට අයත් මෙම රූපවාහිනී ආයතනයේ කාර්යාලය වැටලීය.

තමන් ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් බවට කරන ප්‍රකාශ "භයානක හා විහිළුසහගත බොරුවක්" ලෙස අල් ජසීරා හැඳින්වී ය.

නාලිකාව කියා සිටියේ, "සියලු නීතිමය පියවර ගැනීමේ" අයිතිය තමන් සතු බව ය.

වැටලීමේදී ඔවුන් සතු උපකරණ ද භාරයට ගෙන ඇති බව ඊශ්‍රායලයේ සන්නිවේදන අමාත්‍ය ෂ්ලෝමෝ කර්හි පැවසීය.

අමාත්‍යවරයා විසින් Xහි පළ කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ, පොලිස් නිලධාරීන් සහ අමාත්‍යංශයේ නිලධාරීන් හෝටල් කාමරයකට ඇතුළු වන ආකාරය යි.

බීබීසී කණ්ඩායමක් එම ස්ථානයට ගිය නමුත් එහි රූගත කිරීම හෝ හෝටලය තුළට යාම පොලිසිය විසින් වළක්වනු ලැබිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රොයිටර්ස් පුවත් ඒජන්සියට අනුව, ඊශ්‍රායලයේ චන්ද්‍රිකා රූපවාහිනී ආයතනය වන 'Yes' මෙවැනි පණිවිඩයක් ප්‍රදර්ශනය කොට තිබේ : "රජය ගත් තීරණයකට අනුව, ඊශ්‍රායලයේ අල් ජසීරා නාලිකාවේ විකාශන කටයුතු නතර කර ඇත."

කෙසේ වෙතත්, ඊශ්‍රායලය තුළ ෆේස්බුක් හරහා තවමත් අල් ජසීරා වෙත ප්‍රවේශ විය හැකි බැවින් අවහිර කිරීම සාර්ථක වන්නේ අර්ධ වශයෙන් පමණි.

ඊශ්‍රායලයේ අල් ජසීරා ආයතනය වසා දැමීම මානව හිමිකම් සහ මාධ්‍ය කණ්ඩායම් ගණනාවක විවේචනයට ද ලක්ව ඇත.

ඊශ්‍රායලයේ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ සංගමය (ACRI) කියා සිටියේ, තහනම අවලංගු කිරීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව ය.

මෙම රූපවාහිනී ආයතනය [අල් ජසීරා] හමාස් සංවිධානයේ ප්‍රචාරක මෙවලමක් බවට කරන ප්‍රකාශ "පදනම් විරහිත" බව ත්, ඉරිදා පැනවූ තහනමට වැඩි වශයෙන් මූලික වූයේ, ආරක්ෂාව සම්බන්ධන් වන ගැටලු නොව, "විවේචනාත්මක හඬවල් නිශ්ශබ්ද කිරීම සහ අරාබි මාධ්‍ය ඉලක්ක කර ගැනීම අරමුණු කරගත් දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත න්‍යාය පත්‍රයක්" බව ත් එම කණ්ඩායම පැවසීය.

The Foreign Press Association (FPA) විසින්, ඊශ්‍රායල රජයෙන් සිය තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටිනු ලැබුවේ, එරට තුළ අල් ජසීරා ආයතනය වසා දැමීම "මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා කනස්සල්ලට පත් කරන හේතුවක්" වනු ඇතැයි බව පවසමිනි.

"මෙම රූපවාහිනී ආයතනය තහනම් කිරීමත් එක්ක" ඊශ්‍රායලය දැන් "ඒකාධිපති ස්වභාවයක් පෙන්වන ආණ්ඩු ඇතුළත් කණ්ඩායමට" එක්වන බව FPA ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළ අතර "රාජ්‍යයට එරෙහිව ක්‍රියා කරන" බවට නෙතන්යාහු විසින් සලකනු ලබන අනෙකුත් විදේශීය මාධ්‍ය ආයතන ඉලක්ක කිරීමට ඔහුට බලය ඇති බවට ද අනතුරු ඇඟවීය.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ (CPJ) වැඩසටහන් අධ්‍යක්ෂ කාලොස් මාර්ටිනෙස් ඩි ලා සර්නා ද එය වැඩිදුරටත් සනාථ කරමින් මෙලෙස කියා සිටියේය : "ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අල් ජසීරා සහ සියලු ම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට ඊශ්‍රායලයේ නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු යි, විශේෂයෙන් ම යුද්ධ සමයේදී."

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ද Xහි සටහනක් තබමින් මෙම තහනම ආපසු හැරවිය යුතු යැයි ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටියේ ය: "විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා නිදහස් හා ස්වාධීන මාධ්‍යයක් අත්‍යවශ්‍ය වේ. ගාසා තීරයේ වාර්තා කටයුතු කිරීම සඳහා ඇති දැඩි සීමා නිසා, ඒ සඳහා ඇති අවශ්‍යතාව ඊට ත් වඩා ඉහළ යි."

කටාර්හි සිය මූලස්ථානය පිහිටා ඇති අල් ජසීරා ආයතනය (මෙම පින්තූරයේ ඇති) ඊශ්‍රායලයේ සිය මෙහෙයුම් නවතා දැමීමට ඔවුන් ගත් තීරණය හෙළා දැක තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර්හි සිය මූලස්ථානය පිහිටා ඇති අල් ජසීරා ආයතනය (මෙම පින්තූරයේ ඇති) ඊශ්‍රායලයේ සිය මෙහෙයුම් නවතා දැමීමට ඔවුන් ගත් තීරණය හෙළා දැක තිබේ.

විදෙස් මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ඇතුළු වීම තහනම් කර ඇති අතර සිදුවීම් වාර්තා කිරීමට එහි වූ එක ම වාර්තාකරුවන් කිහිප දෙනා සිටියේ අල් ජසීරා කාර්ය මණ්ඩලයට පමණි.

වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායල නිලධාරීහු ඔවුන් වෙත ඊශ්‍රායල විරෝධී ලෙස කටයුතු කරන බවට චෝදනා කළහ.

පුද්ගලයන් 1,200ක් පමණ මිය ගිය, 250කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දකුණු ඊශ්‍රායලයට ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු අල් ජසීරා වෙත ඔවුන් එල්ල කරන විවේචන ඉහළ ගොස් ඇත. එම ප්‍රාණ ඇපකරුවන්ගෙන් 128 දෙනෙකු පමණ සිටින ස්ථානය පිළිබඳව තවමත් නිශ්චිතව නොදන්නා අතර අවම වශයෙන් 34 දෙනෙකු මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.

හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, ඊශ්‍රායලය එම ප්‍රහාරයට පසුව ගාසා තීරයේ දියත් කරන ලද හමුදා මෙහෙයුමේදී අවම වශයෙන් පලස්තීනුවන් 34,683 දෙනෙකු මිය ගොස් 78,018 දෙනෙකු තුවාල ලබා ඇත.

හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි සැලකෙන විදේශ මාධ්‍ය ආයතන තාවකාලිකව වසා දැමීමට රජයට බලය පවරමින් ඊශ්‍රායල පාර්ලිමේන්තුව පසුගිය මාසයේ නීතියක් සම්මත කළේ ය.

අල් ජසීරා මූලස්ථානය පිහිටා ඇති කටාරය, දැන් මාස හතකට ආසන්න කාලයක් පුරා පවතින ගැටුම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සාකච්ඡා සඳහා මැදිහත් වෙමින් සිටී.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් මීට පෙර පැවති සාකච්ඡා තාවකාලික සටන් විරාමයකට මග පෑදු අතර නොවැම්බර් මාසයේදී ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු නිදහස් කිරීමට ද හේතු විය.

ඊශ්‍රායලය හිතාමතා ම තම කාර්ය මණ්ඩලය ඉලක්ක කර ගත් බවට අල් ජසීරා චෝදනා කරයි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් අල් ජසීරා ගාසා කාර්යාංශයේ ප්‍රධානී වඑල් අල්-ඩහ්ඩූහ්ගේ පුත් හම්සා අල්-ඩහ්ඩූහ් ඇතුළු මාධ්‍යවේදීන් මිය ගොස් තිබේ. මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි.

"තම අපරාධ වසන් කිරීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ අත්අඩංගුවට ගැනීම හරහා, ඊශ්‍රායලය මාධ්‍ය නිදහස මර්දනය කිරීම, අපගේ රාජකාරිය ඉටු කිරීමෙන් අපව වළක්වන්නේ නැහැ," යනුවෙන් ඉරිදා පැනවූ තහනමට ප්‍රතිචාර දක්වමින් අල් ජසීරා පැවසීය.