ඊශ්‍රායලයට ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරයේ ජය පැරදුම කාටද?

Graphical representation of a fist painted with the Israeli flag facing a fist painted with the Iranian flag

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, මොහොමඩ් එල්නගාර්
    • Role, බීබීසී අරාබි සේවය

"ඉරානයට පක්ෂව දිනුම් ඇදීමක්". ඊශ්‍රායලයට එල්ල වූ පළමු ඉරාන ප්‍රහාරය ඇතැම් විශ්ලේෂකයින් පැහැදිලි කර ඇත්තේ, එසේ ය.

ඊශ්‍රායල් යුද්ධ හමුදාව පවසන පරිදි, පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඉරානය ඩ්‍රෝන ප්‍රහාර සහ මිසයිල 300කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලය වෙත එල්ල කර තිබිණි.

ඉරාන හමුදාව නිවේදනය කළේ, ඔවුන්ගේ ප්‍රහාරය "ඩැමස්කස්හි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් වන අතර, ප්‍රහාරයේ සියලු අරමුණු සාක්ෂාත් කර ගත්," බව ය.

අප්‍රේල් 1 වන දා සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි සිය කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානය මීට පෙර දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් තර්ජනය කර තිබිණි. එම ප්‍රහාරයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ සාමාජිකයින් 7 දෙනෙක් සහ සිරියානු වැසියන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

කොන්සල් කාර්යාලයට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසා නොතිබුණ ද, ඔවුන් එම ප්‍රහාරය පසුපස සිටින බව පොදු පිළිගැනීමයි.

 A view from the southern Gaza strip shows drones or missiles vying for targets in southern Israel, early 14 April 2024 - according to the Israeli army IDF on early 14 April Iran launched missiles from its territory toward the territory of the State of Israel. The IDF called called for people to be alert and act according to the Home Front Command's guidelines

ඡායාරූප මූලාශ්‍රය, Atef Safadi / EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සෙනසුරාදා පස්වරුවේ ඉරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර 300කට අධික සංඛ්‍යාවක් එල්ල කළේ ය.

දිනුම් සහ පැරදුම්

ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සාර්ථක වූ බවට ඉරානය සතුට පළ කළේ ය.

එහෙත්, ඉරාන පර්යේෂකයෙකු සහ ලන්ඩනය පදනම් කර ගත් අරාබි - ඉරාන අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අලි නූරි සදේහ් පවසන පරිදි, මෙම ප්‍රහාරයෙන් ඉරානයට කිසිදු ප්‍රසාද ලකුණක් හිමි වූයේ නැත. ඔහු පවසන්නේ, ඒ වෙනුවට, ඊශ්‍රායලය තුළ කිසිදු ඉලක්කයකට පහර නොදුන් නිසා ඉරාන පාලන තන්ත්‍රයේ දුර්වලතාව අනාවරණය වූ බව ය.

මෙය ඉරානයේ ඇතැම් පුද්ගලයන් අතර උපහාසයට ලක් වී තිබේ.

සදේහ් විශ්වාස කරන්නේ ඉරානය "මනස් යුද්ධය" ලෙස හඳුන්වන සංකල්පය දිගට ම ක්‍රියාත්මක කළේ නම්, ඔවුන්ට තවත් බොහෝ දේ අත්පත් කර ගැනීමට ඉඩ තිබූ බව ය.

The rubble of a destroyed building lies next to Iran's consulate in Damascus on 1 April 2024

ඡායාරූප මූලාශ්‍රය, The rubble of a destroyed building lies next to Iran's consulate in Damascus on 1 April 2024

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීහූ මිය ගියහ.

අනෙක් අතට, ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ මෝෂේ දයාන් මධ්‍යස්ථානයේ මැදපෙරදිග අධ්‍යයන පර්යේෂක ආචාර්ය එරික් රන්ඩ්ට්ස්කි පවසන්නේ, ඉහළ අනතුරු ඇඟවීමේ තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් ඊශ්‍රායලය යම් පරාජයක් ලැබූ බව ය. ඔහු පවසන්නේ, එය ඊශ්‍රායල ජාතිකයන් අතර කනස්සල්ලට හේතු වූ බවත් බොහෝ දෙනෙකු එවැනි ප්‍රහාර යළිත් සිදුවේ යැයි බියෙන් පසු වන බවත් ය.

සදේහ් පවසන්නේ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දැන් වඩාත් ප්‍රබල බවක් දැනෙන බව ය. පසුගිය සෙනසුරාදාට දිනයට පෙර ඔහුට එල්ල කළ දැඩි විවේචනවලින් පසුව, අමෙරිකාව සහ අනෙකුත් බටහිර රටවල් සමග ශක්තිමත් සබඳතා යළි ස්ථාපනය කිරීමට එම ප්‍රහාරය උපකාරී වී තිබේ.

ඊශ්‍රායල් පර්යේෂකයා පවසන්නේ, ඊශ්‍රායලය යම් යම් ජයග්‍රහණ ලැබුව ද, වෙනත් ආකාරවලින් එය පරාජය ලබා ඇති බව ය.

මැද පෙරදිග බලය වෙනස්වන ආකාරය හඳුනා ගැනීමට ඊශ්‍රායලය අසමත් වීම සහ ඉරානය සිය දේශසීමා තුළට පහර දීම වැළැක්වීමට ඊශ්‍රායලයට ඇති නොහැකියාව එම ප්‍රහාරයෙන් පෙනී යන බව ඔහු විශ්වාස කරයි.

File image of US President Biden with his arm around Israeli Prime Minister Benjamin Netanyahu's shoulder

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයේ ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලයට සහය පළ කර තිබේ

සෙසු රටවල් යළිත් 'වැළඳ ගැනීම'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊශ්‍රායල් පර්යේෂක එරික් රන්ඩ්ට්ස්කි ද විශ්වාස කරන්නේ, ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට ජය හිමි වූ බව ය. ඊශ්‍රායලය මාස ගණනාවකට පසු දැන් පළමු වරට බටහිර රටවල සහයෝගය ලබමින් සිටින හෙයින්, එය ඔවුන්ට දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂයක් විය හැකි බව ඔහු පවසයි.

ඔහු පවසන්නේ, සබඳතාවල මීට පෙර නොපැවති ආතතියකින් පසුව ඊශ්‍රායලයට මෙම රටවල්, විශේෂයෙන් අමෙරිකාව "වැළඳගැනීම" කරා ආපසු යා හැකි බව ය.

වෙනස් අදහසක් පළ කරමින්, ඉරාන පර්යේෂක අලි නූරි සදේහ් විශ්වාස කරන්නේ, ටෙහෙරානය අභ්‍යන්තරව හා බාහිරව දේශපාලනික වශයෙන් පරාජය වූ බව ය. ඉරානයට අසල්වැසි රටවල සහය ද අහිමි වූ අතර, කිසිදු රටකින් කිසිදු සහයෝගයක් නොලැබුණු බව ඔහු පවසයි. ඉරානය, අමෙරිකාව සමග ඍජු යුද්ධයකට ඇද දැමීමට ඇතැම් පාර්ශව උත්සහ කරන බව ඔහු පවසයි.

රටවල් දෙකට ම අභ්‍යන්තර පීඩනයක් එල්ල වී ඇතැයි පර්යේෂකයින් දෙදෙනා ම පිළිගනිති‍.

රන්ඩ්ට්ස්කි පෙන්වා දෙන්නේ, ඊශ්‍රායලය තුළ විශාල පීඩනයක් පවතින බව ය. ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේදී මෑතකාලීන ප්‍රගතියක් නොමැති වීම නිසා, යුද්ධයට සමගාමීව අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්න හේතුවෙන් රට වැසියන්ගේ කෝපය උත්සන්න වී ඇති බව ඔහු පවසයි.

ඉරාන උත්තරීතර නායක අලි කමේනි තම භුමියේ පමණක් නොව, ඔහුගේ පාලන තන්ත්‍රය තුළ සිටින ප්‍රමුඛ පුද්ගලයින්ගෙන් ද දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව සදේහ් විශ්වාස කරයි.

"ඊශ්‍රායලය අල්-කුඩ්ස් බ්‍රිගේඩ්ස් බළකායේ නායකයින් හත් දෙනෙක් ඝාතනය කළ නිසා ඉරාන විප්ලවීය බළකායෙන් පීඩනයක් එල්ල වෙලා තියෙනවා. මොක ද ඔවුන්ට අවශ්‍යයි පළිගන්න."

Missiles or drones raining down on Israel

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානය පවසන්නේ, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඩමස්කස්හි පිහිටි තම තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් බව ය.

'ප්‍රහාරය සමග ආ පණිවුඩය'

හමුදාමය සහ උපායමාර්ගික විශේෂඥයෙකු සහ බේරූට්හි උපායමාර්ගික අධ්‍යයන සඳහා මැදපෙරදිග මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වන ලෙබනන්හි විශ්‍රාමික ජෙනරල් හිෂාම් ජාබර් බීබීසී අරාබි සේවයට පවසා ඇත්තේ, "ප්‍රහාරයේ ආශ්චර්ය නම් එය පුදුමයට කරුණක් නොවීම යි," යනුවෙනි.

ඔහු මෙසේ පවසන්නේ, ඊශ්‍රායලය "භීතියක වෙළී සිටි" අවස්ථාවක, සති දෙකක් පැවති "මානසික යුද්ධය" ගුවන් ප්‍රහාරයට මග පෑදූ බව ය.

බොහෝ පහසුකම් අවහිර වීමෙන් සහ බොහෝ ඊශ්‍රායල් පුරවැසියන් තම නිවෙස් හැර යාම හේතුවෙන් මෙය මානසික හා භෞතික හානියකට හේතු වූ බව ඔහු පවසයි.

ජාබර් ඉරානයේ "මෙහෙයුම" විස්තර කරන්නේ, ඊශ්‍රායලයේ ගැඹුරට ළඟා වීමට සහ ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක ක්‍රමවේදයේ සූදානම පරීක්ෂා කිරීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා යවන ලද "ප්‍රහාරයක් සමග ආ පණිවුඩයක්" යනුවෙනි.

මෙම ප්‍රහාරය ඉරානයට දේශපාලනික වශයෙන් අහිමි වූ කීර්තියක් නැවත ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව ඔහු ද විශ්වාස කරයි. මෑත වසරවලදී එය "උපායමාර්ගික ඉවසීමේ ප්‍රතිපත්තිය" ලෙස හඳුන්වනු ලැබූ අතර, ඉන් හමුදාමය සහ උපායමාර්ගික වශයෙන් ද ප්‍රතිලාභ ලැබීය.

ලෙබනන් ආරක්ෂක විශේෂඥයා තවදුරටත් විශ්වාස කරන්නේ, ඉරානය මෙම විශාල ඩ්‍රෝන සංඛ්‍යාව එල්ල කළේ, ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධතිය ව්‍යාකූල කර දැමීමේ අරමුණින් බව ය.

ඊශ්‍රායලයේ Iron Dome ගුවන් ආරක්ෂක පද්ධතියට පමණක් සියලු ම මිසයිලවලට ප්‍රතිප්‍රහාර එල්ල කළ නොහැකි වූ බවත්, එයට මැදපෙරදිග කඳවුරුවල ස්ථානගත කර ඇති අමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදාවල සහය ලබා ගැනීමට සිදු වූ බවත් ඔහු පෙන්වා දෙයි.

"ඊශ්‍රායලය හමුදාමය ප්‍රතිචාරයක් තෝරා ගත්තොත්, ඔවුන්ට සිය මිසයිල ඉරානයේ ප්‍රධාන භූමියට එල්ල කළ හැකි නමුත් අපේක්ෂා කළ හැකි දරුණු ඉරාන ප්‍රතිප්‍රහාර හේතුවෙන් ඊට වඩා අභ්‍යන්තරයට යන්න බැහැ," ජාබර් පවසයි.

"ඊශ්‍රායල් ගුවන් යානාවලට ඉරානයට නිවැරදිව බෝම්බ දාන්න පුළුවන්, නමුත් ඔවුන්ට ඉරානය අනතුරු අඟවා ඇති අරාබි රටවල් හරහා පියාසර කිරීමට සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අමෙරිකාව ඉඩ නොදෙන මැද පෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරුවල සිට ප්‍රහාර දියත් කරන්න සිද්ධ වෙනවා," ඔහු තවදුරටත් පවසයි.

Protests in Tehran on 1 April 2024 after Israel attacked the Iranian consulate building in the Syrian capital, Damascus, killing 13 people, including 7 members of the Revoluntiary Guard

ඡායාරූප මූලාශ්‍රය, ABEDIN TAHERKENAREH / EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අප්‍රේල් 01 වන දා සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව ටෙහෙරාන් නුවර විරෝධතා පැවැත්විණි.

ගමන් මග වෙනස් කිරීම සහ විශ්වාසය නැවත ගොඩනැගීම

ඉරානය සමග සැසඳීමේදී මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායලය වැඩි ජයග්‍රහණයක් අත්පත් කර ගත් බව ලන්ඩන් ආර්ථික විද්‍යා අධ්‍යයන ආයතනයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්ය ෆවාස් ගර්ජස් තර්ක කරයි.

ඉරානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයට සැලකිය යුතු හානියක් හෝ ජීවිත හානි සිදු නොවූ බවත්, දැන් සමස්ත බටහිර රටවල් ඊශ්‍රායලයට සහය දක්වන බවත් ඔහු පැහැදිලි කරයි. ඊශ්‍රායලය වෙත අවිආයුධ, බුද්ධි සහයෝගීතාව සහ මූල්‍ය ආධාර ලබා දීම සඳහා බටහිර සහය බලමුළු ගැන්වීමට අමෙරිකාව උත්සහ දරන බව ඔහු පවසයි.

ගර්ජස් පවසන්නේ, ඊශ්‍රායලය වෙනුවෙන් සහයෝගය ඒකරාශී කිරීම සඳහා G7 රටවල හදිසි සමුළුවක් කැඳවමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලය වින්දිතයෙකු ලෙස හුවා දක්වන බව ය: "ගාසා තීරයේ සිදුවෙමින් පවතින ව්‍යසනකාරී සහ දරුණු සිදුවීම්වලින් අවධානය තාවකාලිකව හෝ වෙනතකට යොමු කිරීමෙන් පසු නේතන්යාහු දේශපාලනික වශයෙන් වාසි ලබනු ඇති," ගර්ජස් වැඩිදුරටත් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ සිදුවූ "සාහසික ක්‍රියා" සම්බන්ධයෙන් බටහිර රටවල් ඊශ්‍රායලය දැඩි ලෙස විවේචනය කළ කාල පරිච්ඡේදයකින් පසුව බටහිර රටවල් සමග, විශේෂයෙන් ජනාධිපති ජෝ බයිඩ්න් සමග සබඳතා යථා තත්ත්වයට පත් වීමෙන් නේතන්යාහුට ප්‍රතිලාභ හිමි වනු ඇති බව ය.

An anti-missile system operates after Iran launched drones and missiles towards Israel, as seen from Ashkelon, Israel 14 April 2024

ඡායාරූප මූලාශ්‍රය, Amir Cohen / Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා ඊශ්‍රායලයේ ඉලක්ක වෙත ළඟා වීම වැළැක්වූ ඊශ්‍රායල මිසයිල නාශක පද්ධති ජාත්‍යන්තර බලවේග අතරට අයත් විය.

'ඊශ්‍රායලයට උපායමාර්ගික අලාභයක්'

කෙසේ වෙතත්, ගර්ජස් ඊශ්‍රායලයට අවාසිසහගත තත්ත්වයක් ද දකින අතර, රට අවදානමකට ලක්විය හැකි බව අවධාරණය කරමින්, එය උපායමාර්ගික අලාභයක් බව පවසයි.

ඊශ්‍රායලයට මුහුණ මුහුණ පහර දීමට ඇති කැමැත්ත ඉරානය තම ජනතාවට, මිත්‍ර පාක්ෂිකයින්ට සහ සතුරන්ට සෘජුව පෙන්වා දීමෙන්, දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්නා බව ඔහු පවසයි.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජෝර්දානය ඉරානයේ මිසයිල බොහොමයක් බිම හෙළූ නිසා ඊශ්‍රායලයට බටහිර මිත්‍ර පාර්ශවවල සහයෙන් මිස තනිව ම ආරක්ෂා විය නොහැකි බව ඉරානය ඔප්පු කර ඇති බව ගර්ජස් විශ්වාස කරයි.

ඊශ්‍රායලය ඉරානයට එරෙහිව අඛණ්ඩව එල්ල කළ ප්‍රහාරවල ප්‍රධාන අරමුණ වූයේ, ඉරානය දුර්වල බවත් ගැටුමකට මුහුණ දීමට එඩිතර නොවන බවත් පෙන්වීම බව ඔහු වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත්, ඔහු පවසන්නේ, ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් මෙම මතය බිඳ වැටුණු බව ය.

"කලාපය දැන් කුණාටුවක් මධ්‍යයේ සිටිනවා," ජර්ජස් එසේ පවසන්නේ, රටවල් දෙක ම මෙම තත්ත්වය උත්සන්න කිරීමට ප්‍රතිඥා දී ඇති පසුබිමක ය.

කලාපය දේශපාලනික, හමුදාමය සහ ආර්ථික වශයෙන් ප්‍රපාතයක් අද්දර සිටින බවට ඔහු අනතුරු අඟවයි.