ප්‍රහාර නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය දුන් නියෝග නොතකා ඊශ්‍රායලයෙන් රෆා වෙත ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් විශාල පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව ගාසා තීරයේ හමාස් විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රකාශ කළේ ප්‍රදේශයේ හමාස් ගොඩනැගිලි සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවයි. සිද්ධිය පිළිබඳ සමාලෝචනය කරමින් ඇතැයි ඔවුන් සඳහන් කළේය.
මීට පෙර දින හමාස් විසින් රෆා සිට ටෙල් අවිව් දෙසට රොකට් ප්‍රහාර අටක් එල්ල කරන ලදී, එය ජනවාරි මාසයෙන් පසු නගරයට එල්ල වූ පළමු දිගු දුර ප්‍රහාරයයි.
ප්‍රහාර නැවැත්විය යුතු බවට ජාත්‍යන්තර අධිකරණය සිකුරාදා තීන්දුවක් දී තිබියදීත්, රෆා වෙත ඊශ්‍රායලයේ හමුදා ප්‍රහාර අඛණ්ඩව පැවතුණි.
රෆා වෙත ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කරයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ ම අධිකරණය වන ජාත්‍යන්තර අධිකරණය (ICJ) විස්මයජනක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින්, "රෆාහි මිලිටරි ප්‍රහාරය වහා ම නතර කරන ලෙසට" ඊශ්‍රායලයට නියෝග කළේ ය.
එය ජන සංහාරයක් සිදු වන බවට චෝදනා කරමින් ඊශ්‍රායලයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් ඉල්ලා දකුණු අප්‍රිකාව ගොනු කළ නඩුවට සහය දක්වමින් ජාත්‍යන්තර අධිකරණය විසිනි එම නියෝගය නිකුත් කෙරිණි.
ගාසා තීරයේ තත්ත්වය යහපත් අතට හැරවීමට පියවර ගන්නා ලෙස අධිකරණය අවසන් වරට ඊශ්‍රායලයට නියෝග කිරීමෙන් පසු එහි තත්ත්වය නරක අතට හැරී ඇති බව සභාපති විනිසුරු නවාෆ් සලාම් පැවසීය.
ඊශ්‍රායලය එම චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කර ඇති අතර, තම මෙහෙයුම් නතර කිරීමට කරන ඕනෑ ම නියෝගයක් නොසලකා හරින බවට සංඥා කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නවාෆ් සලාම් සිකුරාදා පැවසුවේ, "ඊශ්‍රායලය වහා ම සිය හමුදා ප්‍රහාරය සහ පලස්තීනුවන්ට "භෞතිකමය විනාශයක්" ඇති වීමට හැකි වන රෆා ආණ්ඩුකාර කාර්යාලයට අයත් ප්‍රදේශයේ සිදු කරන ජාත්‍යන්තර නීතිය යටතේ ජන සංහාරයක් ලෙස සැලකෙන වෙනත් ඕනෑ ම ක්‍රියාවක් වහා නතර කළ යුතු," බව ය.
ජන සංහාර සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඕනෑ ම ආයතනයකට බාධාවකින් තොරව ගාසා තීරයට ප්‍රවේශ වීමට ද ඊශ්‍රායලය ඉඩ දිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ගාසා තීරය සඳහා මූලික සේවාවන් සහ මානුෂීය ආධාර "ප්‍රමාණවත් පරිදි බාධාවකින් තොරව සැපයීම" සක්‍රීය කිරීමේ අවශ්‍යතාව මෙම තීන්දුව මගින් ඊශ්‍රායලයට නැවත අවධාරණය කෙරිණි.
"(ගාසාහි) මානුෂීය තත්ත්වය මේ වන විට විනාශකාරී තත්ත්වයක් බවට පත්වී තිබේ," තීන්දුවේ සඳහන් වේ.
අධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායලය පැවසුවේ, ගාසා තීරයේ සිදු කෙරෙන සිය හමුදා මෙහෙයුම් ජාත්‍යන්තර නීතියට අනුකූල වන බව ය.
"පලස්තීන සිවිල් වැසියන් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමට හේතු විය හැකි ජීවන තත්ත්වයන් නිර්මාණය වන ආකාරයට රෆා ප්‍රදේශයේ ඊශ්‍රායලය හමුදා මෙහෙයුම් සිදු කර නොමැති අතර ඉදිරියේදී සිදු නොකරන," බව ද ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක උපදේශක සාචි හනෙග්බි විදේශ කටයුතු අමාත්‍යංශය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
යුද්ධය පිළිබඳ කැබිනට් අමාත්‍ය බෙනී ගාන්ට්ස් පැවසුවේ, "අවශ්‍ය තැනදී සහ අවශ්‍ය අවස්ථාවේදී රෆා ඇතුළු" ප්‍රදේශවලට ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව ය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන පලස්තීන තානාපති රියාද් මන්සූර්, එම තීන්දුව අගය කළ අතර ඊට අනුගත වන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ය.
"ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුව පැකිළීමක් නැතිව ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා," ඔහු පැවසීය. "ඒක අනිවාර්යයි. ඒ වගේ ම ඊශ්‍රායලය සම්මුතියේ කොටස්කරුවෙක්."

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සාගතයකට මුහුණ දී සිටින ගාසා තීරයේ ජනතාව වෙත ප්‍රමාණවත් ආධාර නොලැබෙන බව සහන සලසන ආයතන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා රෆාහි ආහාර බෙදා හැරීම අත්හිටුවා තිබුණේ, එහි ඇති භයානක තත්ත්වය නිසාය. මානුෂීය ආධාර “ගාසා තීරයට ගලා ඒම” සහතික කිරීම සඳහා “පුළුල් උත්සහයක්” ගත් බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් තවමත් හමාස් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් විසින් ගාසා තීරයේ රඳවා තබා ගනු ලැබ සිටීම "බරපතළ හිරිහැරයක්" බව අධිකරණයට පෙනී ගිය බවත්, ඔවුන්ව වහා ම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවත් විනිසුරු සලාම් පැවසීය.
ඊශ්‍රායල් විපක්ෂ නායක යයීර් ලැපිඩ් ICJ තීන්දුව විවේචනය කරමින් පැවසුවේ, රෆා වෙත බෝම්බ හෙලීම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හා සම්බන්ධ නොකිරීම "අසතුටුදායක සදාචාරාත්මක අසාර්ථකත්වයක්" බව ය.
දකුණු අප්‍රිකාවේ විදේශ අමාත්‍යාංශ ප්‍රධානී සේන් ඩැන්ගෝ මෙම තීන්දුව හැඳින්වූයේ, "පුරෝගාමී තීන්දුවක්" ලෙස ය. ගාසා තීරයේ කොටසක මෙහෙයුම් නතර කරන ලෙසට ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට පැහැදිලි නියෝගයක් කළ පළමු අවස්ථාව මෙය බව ද ඔහු සඳහන් කළේ ය.
හමාස් සංවිධානය ප්‍රකාශ කළේ, "කෲර සියොන්වාදී ආයතනය (ඊශ්‍රායලය) රෆාහි ක්‍රියාත්මක් කරන ආක්‍රමණශීලීත්වය නතර කරන ලෙසට නියෝග කළ" තීන්දුව සාදරයෙන් පිළිගන්නා බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු, රෆාහි මධ්‍යයේ පිහිටි ෂබෝරා කඳවුර වෙත ඊශ්‍රායලට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේ ය.
අසල පිහිටි කුවේට් රෝහලේ සිටි ප්‍රාදේශීය ක්‍රියාකාරිකයෙකු බීබීසීයට පැවසුවේ, ප්‍රහාරයේ තිව්‍රතාව හේතුවෙන් රෝහලේ ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල වූ ස්ථානවලට ළඟා වීමට නොහැකි වූ බව ය.
ඉතිරිව ඇති හමාස් බලඇණි විනාශ කරන බව පවසමින්, ඊශ්‍රායලය සති තුනකට පමණ පෙර, දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ප්‍රහාරයක් ආරම්භ කළේ ය. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද එම නගරයේ රඳවා සිටිතැයි විශ්වාස කරන බව ද ඊශ්‍රායලය පවසයි.
ප්‍රහාරය ආරම්භයේ සිට පලස්තීන වැසියන් 800,000කට අධික පිරිසක් රෆා ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මෙම නඩු විභාගය ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බව පවසමින් දකුණු අප්‍රිකාව විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් කළ නඩුවක කොටසකි. එම නඩුව තවදුරටත් විභාග වෙමින් පවතී.
ඊශ්‍රායලය ගාසා තීරයේ සිය ප්‍රහාරය ආරම්භ කළේ, ප්‍රදේශය පාලනය කළ හමාස් සංවිධානයේ තුවක්කුකරුවන් පිරිසක් විසින් ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින්, පුද්ගලයන් 1,200ක් පමණ ඝාතනය කර, තවත් පුද්ගලයින් 252ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා වෙත රැගෙන යාමෙන් පසුව ය.
ගාසාහි හමාස් පාලනයෙන් යුතු සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි, එතැන් සිට අවම වශයෙන් පලස්තීන වැසියන් 35,800 දෙනෙකු යුද්ධයේදී ජීවිතක්ෂයට පත් වී තිබේ.













