ඊශ්‍රායල-ගාසා යුද්ධය: රෆා කඳවුරට එල්ල වූ ප්‍රහාරයේදී සිදුවූයේ කුමක්ද?

A boy looking over burned out vehicle

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයට ලක් වූ කඳවුර “ පළමුවෙනි කුවේට් සාම කඳවුර" ලෙස නම් කර තිබුණි
    • Author, අහමඩ් නූර්, අබ්දිරහිම් සයීඩ් සහ ෂෙරීන් ෂෙරීෆ්
    • Role, බීබීසී අරාබි පුවත් සේවය

දකුණු ගාසාහි රෆා නගරයේ පිහිටි පලස්තීන වැසියන්ගේ අවතැන් කඳවුරකට මැයි 26 වන දා එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගාසාහි හමාස් සංවිධානය මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ දරුවෝ වෙති.

පලස්තීන වැසියන් සහ ආධාර සපයන ආයතන පවසා ඇත්තේ, ප්‍රහාරයට ඉලක්කගත වූ ප්‍රදේශය "ආරක්ෂිත කලාපයක්" විය හැකි බව ය.

ඊශ්‍රායල් ආරක්ෂක බළකාය (IDF) මෙය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ, සිවිල් වැසියන් වෙනුවෙන් පිහිටුවා තිබූ "මානුෂීය කලාපයකින්" පිටත පිහිටි ප්‍රදේශයකදී හමාස් නායකයින් දෙදෙනෙකු ඉලක්ක කර ගත් බව ය.

ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව වර්ධනය වෙමින් පවතින හෙළා දැකීම් මධ්‍යයේ, ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු සිවිල් වැසියන්ගේ මරණ හඳුන්වා ඇත්තේ, "ඛේදනීය හදිසි අනතුරක්" ලෙස ය.

ගුවන් ප්‍රහාරය සරණාගත කඳවුරකට එල්ල වූ අතර, ඇතැම් පලස්තීන මාධ්‍ය ප්‍රථමයෙන් වාර්තා කළේ, ඊශ්‍රායල් ආරක්ෂක බළකාය විසින් මීට පෙර නම් කරන ලද "මානුෂීය කලාපයක්" තුළ එය සිද්ධ වූ බවට ය.

ගින්නෙන් දැවුණු කඳවුර

වීඩියෝ දර්ශන, නිශ්චල ඡායාරූප සහ සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඇතුළු අනෙකුත් සාක්ෂි විමර්ශනය කරමින් මාරාන්තික ප්‍රහාරයේදී සැබවින් ම සිදුවූයේ කුමක් ද? යන්න ගලපා ගැනීමට බීබීසී අරාබි පුවත් සේවය උත්සහ දරමින් සිටී.

රෆා නගරයේ වයඹ දෙසින් පිහිටි කඳවුරට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරය පිළිබඳව සමාජ මාධ්‍යවල ඇතැම් වීඩියෝ දර්ශන ඉන්ටර්නෙට් ඔස්සේ මතුවීමට පටන් ගත්තේ, මැයි 26 වන දින දේශීය වේලාවෙන් රාත්‍රී 10ට පමණ ය.

සයිරන් සහ කෑගැසීම් හඬින් වාතලය පිරී තිබුණු අතර, තාවකාලික කඳවුර තුළ සැලකිය යුතු ගින්නක් පැවති බව මුල් වීඩියෝ දර්ශනවලින් පෙනී යයි.

මිනිසුන් පිළිස්සුණු සිරුරු සහ කුඩා දරුවෙකුගේ හිස නැති ශරීරය පිටතට රැගෙන එන අයුරු සංස්කරණය නොකළ වීඩියෝ දර්ශනවල දක්නට ලැබිණි.

කඳවුරේ දක්නට ඇති සංඥා පුවරුවක දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ දර්ශනවලින්, එම ස්ථානය "කුවේට් සලාම් [සාම] කඳවුර 1" ලෙස තහවුරු කෙරේ.

Zonal map of southern Gaza Strip

සමාජ මාධ්‍ය සටහන්වලින් ද වාර්තා කර තිබුණේ, රෆාහි තාල් අල්-සුල්තාන් ප්‍රදේශයේ පිහිටි පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ මෙහෙයුම් ඒජන්සියේ (UNRWA) සැපයුම් මධ්‍යස්ථානය ආසන්නයේ උතුරු දෙසින් එම කඳවුර පිහිටා ඇති බව ය.

චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව, එම ගොඩනැගිලි පිහිටා ඇත්තේ, දළ වශයෙන් මීටර් 200ක පරතරයකිනි.

කඳවුරේ පිහිටීම

බීබීසී පුවත් සේවය විසින් මූලික වශයෙන් සත්‍යාපනය කරන ලද, ප්‍රහාරය එල්ල වූ ස්ථානය තහවුරු කරන සිතියමක් මැයි 28 දින, ඊශ්‍රායල් ආරක්ෂක බළකාය විසින් නිකුත් කරන ලදී.

බීබීසී පුවත් සේවය විසින් මූලික වශයෙන් සත්‍යාපනය කරන ලද, ප්‍රහාරය එල්ල වූ ස්ථානය තහවුරු කරන සිතියමක් මැයි 28 දින, ඊශ්‍රායල් ආරක්ෂක බළකාය විසින් නිකුත් කරන ලදී.

නිශ්චිත භූමියේ ස්ථාන පහකට හානි සිදුව ඇතැයි මැයි 27 වන දා සිට ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යයි.

ඊශ්‍රායල් ආරක්ෂක බළකාව පැවසුවේ, ඔවුන් "නිසි යුද්ධ උපකරණ" භාවිතයෙන් එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කළ බව ය. එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධයෙන් විමර්ශනයක් කරමින් සිටින බව ඔවුහු ද පවසති.

ඊශ්‍රායලය පැවසුවේ, කූඩාරම් අසල සිදුවූ ගින්නට හේතුවන්නට ඇත්තේ, අසල තිබූ හමාස් ආයුධ ගබඩාවක දෙවනුව ඇතිවූ පිපිරීමක් විය හැකි බව ය. එය ස්වාධීනව සත්‍යාපනය කර බැලීමට බීබීසී පුවත් සේවයට නොහැකි විය.

'ආරක්ෂිත කලාපයක්'?

Map showing location of damaged camp in Rafah
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කඳවුර පිහිටි ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබේ.

පලස්තීන වැසියන් සහ ජාත්‍යන්තර ආධාර සපයන ආයතන කිහිපයක් අවධාරණය කර ඇත්තේ, එම ප්‍රදේශය ඊශ්‍රායල් ආරක්ෂ හමුදා විසින් "ආරක්ෂිත කලාපයක්" ලෙස සැලකූ එකක් බව ය. ඊශ්‍රායල් ආරක්ෂක බළකාය එය ප්‍රතික්ෂේප කරයි.

"ආරක්ෂිත කලාප" ලෙස හැඳින්වෙන්නේ, දකුණු ගාසා තීරයේ ඊශ්‍රායල් ආරක්ෂක බළකාව විසින් නම් කරන ලද "මානුෂීය කලාප" ලෙස පෙනී යයි.

මෙම කලාපය මධ්‍යධරණී වෙරළ තීරයේ උතුරු දෙස පිහිටි අල්-මාවාසි කෘෂිකාර්මික ඉඩම්වල සිට ඛාන් යූනිස් නගරය සහ මධ්‍යම නගරය වන ඩීර් අල්-බාලා දක්වා විහිද තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායල් ආරක්ෂක බළකාය විසින් සිවිල් වැසියෝ එම ප්‍රදේශයට යොමු කරනු ලබමින් සිටිති.

මැයි මස මුලදී, ඊශ්‍රායල් ආරක්ෂක බළකාය නැගෙනහිර රෆාහි වාසය කළ ජනතාවට උපදෙස් දුන්නේ, එම ප්‍රදේශයේ භූමි මෙහෙයුම් සිදු කරන හෙයින් "මානුෂීය කලාපයට" සංක්‍රමණය වන ලෙසට ය.

එහි ජනතාව ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් සහ මානුෂීය කලාප නිවේදනවල කොටසක් ලෙස, ඊශ්‍රායල් ආරක්ෂක බළකාය විසින් ගාසාහි සිතියමක් භාවිත කර ඇති අතර, එහි භූමි ප්‍රදේශය අංකනය කරන ලද කොටස්වලට බෙදා ඇත.

ඊශ්‍රායල් ආරක්ෂක බළකායේ ප්‍රකාශකයෙකු මැයි 22 වන දින X හි පළ කළ සටහනක සඳහන් කළේ, නම් කරන ලද "මානුෂීය කලාපය", අංක 2360, 2371 සහ 2373 ඇතුළුව ඛාන් යූනිස් නගරයට දකුණු කලාපයේ "මායිම් ප්‍රදේශ" දක්වා පුළුල් කර ඇති බව ය.

අප ඊශ්‍රායල ප්‍රහාරයට ලක්වූ කූඩාරම් පිහිටි ස්ථානය හඳුනාගත් අතර, එය, ඊශ්‍රායල් ආරක්ෂක බළකාය විසින් නම් කරන ලද මානුෂීය ප්‍රදේශයට මදක් ඔබ්බෙන් පිහිටා ඇති 2372 කොටසේ සිදුවූ බව පෙනී යයි.

'අපැහැදිලි උපදෙස්'

මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇතැම් පලස්තීන වැසියන් පවසන්නේ, කූඩාරම් පිහිටි ප්‍රදේශය "ආරක්ෂක කලාපයන්" බව ඔවුන් විශ්වාස කළ බව ය.

"ඊශ්‍රායල් හමුදා අපට කිව්වේ මේ ප්‍රදේශය ආරක්ෂිතයි, මේ ආරක්ෂිත කලාපයක් නිසා අපට මෙහෙ නවතින්න පුළුවන් කියලා. ඒත් ගාසා තීරයේ කිසි ම ආරක්ෂිත ස්ථානයක් නෑ," සිද්ධිව ඇසින් දුටුවෙකු වන ජමාල් අල්-අත්තාර් පැවසීය.

"උන් අපේ දරුවන් මරලා අපේ කාන්තාවන් සහ වැඩිහිටියන් ආරක්ෂිත ප්‍රදේශයක් කියලා කියන ප්‍රදේශය තුළ ම පුච්චලා දැම්මා," ඔහු තවදුරටත් පැවසීය.

මෑතකදී බීබීසී විශ්ලේෂණයක් මගින් අනාවරණය වූයේ, ඊශ්‍රායල් ආරක්ෂක බළකාය විසින් භූමි ප්‍රදේශවලින් ඉවත් වන ලෙස මීට පෙර නිකුත් කරන ලද නිවේදනවල දෝෂ රැසක් පැවති බව ය.

ඊශ්‍රායල හමුදාව පෙර අනතුරු ඇඟවීම් ව්‍යාකූල හෝ පරස්පර විරෝධී බවට කරන ලද සියලු ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබේ.

කඳවුර පිහිටි ප්‍රදේශය, ඊශ්‍රායල් ආරක්ෂක බළකාය විසින් නිවේදනය කරන ලද "මානුෂීය කලාපයට" සමීපව පිහිටා තිබේ.

ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප මගින් ද පෙනී යන්නේ, එය සරණාගතයින් සහ ඔවුන්ගේ කූඩාරම්වලින් පිරි ප්‍රදේශයක් බව ය.

ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රදේශවලින් ඉවත් වීම සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසු බොහෝ පලස්තීනුවන් රෆාහි නැගෙනහිර ප්‍රදේශවලින් පලා ගොස් තිබිණි.

එක්සත් ජාතීන්ගේ සරණාගත සහ මෙහෙයුම් ඒජන්සියේ නිලධාරියෙකු වන අද්නාන් අබු හස්නා බීබීසී අරාබි පුවත් සේවයට පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයුම් කටයුතු කරන ස්ථාන ආසන්න ප්‍රදේශ ආරක්ෂිත යැයි ජනතාව තුළ හැඟීමක් ඇති බව ය.

කඳවුරේ සිටි සිවිල් වැසියන්ද තම ප්‍රදේශය “ආරක්ෂිත” යැයි විශ්වාස කරන්නට ඇත්තේ, ඔවුන්ට ඉන් ඉවත් වන ලෙසට ඊශ්‍රායල් ආරක්ෂක බළකායෙන් උපදෙස් නොලැබුණු බැවිනි.

රෆා නගරයේ නැගෙනහිර ප්‍රදේශවල "ඉලක්කගත" ගොඩබිම් මෙහෙයුම් ලෙස හැඳින්වූ මෙහෙයුම් ඊශ්‍රායලය විසින් ආරම්භ කරනු ලබන විට මිලියන 1.5ක පමණ ජනතාවක් රෆාහි රැකවරණය ලබමින් සිටියහ.

"ප්‍රහාරය අතරතුර සටනට සම්බන්ධ නොවූ සිවිල් වැසියන්ට සිදු වූ හානිය ගැන ඊශ්‍රායල් ආරක්ෂක බළකාව කනගාටුව පළ කරනවා," ඊශ්‍රායල් ආරක්ෂක බළකාය පැවසීය.

ඊශ්‍රායල් ප්‍රහාරයට පැය කිහිපයකට පෙර හමාස් කණ්ඩායම, රෆා නගරයේ සිට ටෙල් අවිව් නගරය දෙසට රොකට් ප්‍රහාර 8ක් එල්ල කළේ ය. ජනවාරි මාසයෙන් පසු ඊශ්‍රායල නගරයකට එල්ල වූ පළමු දිගු දුර ප්‍රහාරය මෙය යි.

සති තුනකට පෙර ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් පසු, ඉවත් වන ලෙස ඊශ්‍රායල් ආරක්ෂක බළකායෙන් ලැබුණු නියෝගවලට ප්‍රතිචාර වශයෙන් පලස්තීනුවන් 800,000කට අධික පිරිසක් අවදානම් කලාපවලින් පලා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි.

අතිරේක වාර්තාකරණය පෝල් කුසියාක් සහ ලමීස් අල්තාලේබි විසිනි.