2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය: ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන්නේ කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රවීණ ක්‍රීඩිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
කණ්ඩායමේ උප නායකත්වයට පත් කර ඇත්තේ, කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළ සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙක් ඇතුළත් වෙති.
2022 වසරේදී පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් නොලැබීම නිසා 2017 වසරෙන් අනතුරුව එක් දින ලෝක කුසලාන තරගාවලියකට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ.
2017 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර මෙවර සංචිතයටද ඇතුළත් කර තිබේ.
එම සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩිකාවන් 5 දෙනෙක් මෙවර සංචිතයේ ද සිටිති.
චමරි අතපත්තු, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, ඉනෝකා රණවීර සහ උදේශිකා ප්‍රභෝධනී එම ක්‍රීඩිකාවන් ය.
ලෝක කුසලාන අත්දැකීම් නොමැති නමුත් මෑත කාලීනව ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාවන් රැසක් මෙම සංචිතයට ඇතුළත් ය.
දකුණත් පිතිකාරියක වන විශ්මි ගුණරත්න, තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරි, මැද පෙළ පිතිකරු නිලක්ෂි ද සිල්වා, දඟ පන්දු යවන ක්‍රීඩිකා දෙව්මි විහංගා, දකුණත් පිතිකරු ඉමේෂා දුලානි, තුන් ඉරියව් ක්‍රීඩිකා පියුමි වත්සලා, දඟ පන්දු යවන ක්‍රීඩිකා සුගන්දිකා කුමාරි, වේග පන්දු යවන ක්‍රීඩිකා මල්කි මදාරා, වේග පන්දු යවන ක්‍රීඩිකා අචිනි කුලසූරිය ශ්‍රී ලංකා සංචිතයට නම් කළ අනෙකුත් ක්‍රීඩිකාවෝ වෙති.
මීට අමතරව දඟ පන්දු යැවීමේ ක්‍රීඩිකා ඉනෝෂි ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩිකාවක ලෙස නම් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක් දින ලෝක කුසලාන තරගාවලියකට පළමු වරට සහභාගි වූයේ, 1997 වසරේදී ය.
ඔවුහු එම වසරේදී අර්ධ අවසන් පූර්ව වටයට ද , 2013 වසරේදී සුපිරි 8 දෙනාගේ වටයට ද සුදුසුකම් ලබා ගත්හ.
ලෝක කුසලාන කාන්තා ( එක් දින ) ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව සටහන් කළ ඉහළ ම ජයග්‍රහණ වන්නේ ඉහත වසර දෙකේදී ප්‍රදර්ශනය කළ දක්ෂතා ය.
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන 30 වන දා සිට නොවැම්බර් 2 වන දා දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.
තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලබන 30 වන දා ඉන්දියාවේ ගුවහටිහිදී පැවැත්වීමට නියමිත ය.














