T20 කාන්තා ලෝක කුසලානය : තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට

Chamari Atthapattu

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද (ඔක්:09 වැනිදා) පැවති තරගය ලකුණු 82කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී ද පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහරදීම යන තුන් ඉරියව්වෙන් ම පෙන්නුම් කරනු ලැබුවේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයකි.

මෙම තරගයේ පරාජයත් සමග මෙවර T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවතට යෑමට සිදුවන්නේ තවත් එක් තරගයක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබියදී ය.

කාසියේ වාසිය දිනු ඉන්දීය කාන්තා කණ්ඩායම පළමු වෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඉනිම ශක්තිමත් කළ ආරම්භය

ඉන්දීය කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වූ සෆාලී වෙර්මා සහ ස්මිත්‍රි මන්දනා ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට එරෙහිව සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූහ.

ඔවුන් දෙදෙනා ඉන්දීය ඉනිමේ පවර් ප්ලේ පන්දු වාර 06 තුළදී ලකුණු 41ක් රැස් කිරීමට සමත් වුයේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ගෙන් ඔවුන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට අසමත් වූ නිසාවෙනි.

සෆාලී වෙර්මා පන්දු 40 කදී ලකුණු 43ක් රැස් කළ අතර ස්මිත්‍රි මන්දනා පන්දු 38 කදී වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරිමට සමත් වුවාය.

ඉන්දීය ඉනිමේ 13 වන පන්දු ඕවරයේ දී මන්දානා දුවද්දී දැවී ගිය අතර සෆාලී වෙර්මා ගේ කඩුල්ල දවා ගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.

සෆාලී වෙර්මා ගේ කඩුල්ල දවා ගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සෆාලී වෙර්මා ගේ කඩුල්ල දවා ගැනීමට චමරි අතපත්තු සමත් වූවාය

නයකත්වයේ ඉනිම සහ නව වාර්තා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා ලබා දුන් සාර්ථක ආරම්භයේ පන්නරය අඛණ්ඩව ඉදිරියට රැගෙන ගිය ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රිට් කෞර් සහ ජෙමීමා රොඩ්රිගස් 03 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක සබඳතාවයක් එක් කිරීමට සමත් වූහ.

ඉන්දීය ඉනිමේ 17 වන පන්දු ඕවරයේ දී ජෙමීමා රොඩ්රිගස් ලකුණු 16 කට දැවී යන විට ඉන්දීය ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 128 කට කඩුලු 03ක් ලෙසයි.

ජෙමීමා ගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි රීචා ගෝෂ් සමග එක්වූ නායිකා හර්මන්ප්‍රිට් කෞර් ශ්‍රී ලංකා පන්දු යවන්නීයන්ට එරෙහිව වේගයෙන් ලකුණු රැස් කිරීමට සමත් වූහ.

ඉන්දීය පිතිකාරිණියන් ලබා දුන් උඩ පන්දු කිහිපයක් නිසි ලෙස රැක ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා පන්දු රකින්නියන්ගේ සහයෙන් ඉන්දීය කණ්ඩායම අද තරගයේ දී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දීය කාන්තා කණ්ඩායම විසින් රැස් කළ මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඔවුන් විස්සයි 20 තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම මෙතෙක් කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ දී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.

ඉන්දීය පිතිකාරිණියන් ලබා දුන් උඩ පන්දු කිහිපයක් නිසි ලෙස රැක ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා පන්දු රකින්ණියන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය පිතිකාරිණියන් ලබා දුන් උඩ පන්දු කිහිපයක් නිසි ලෙස රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අසමත් විය

වගකීම් විරහිත පිතිකරණය

ලකුණු 173ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා නැවත ඉක්මණින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නියන් සමත් වුහ.

විශ්මි ගුණරත්න ලකුණු නොලබා දැවී ගිය අතර නායිකා චමරි අතපත්තු රැස් කළේ එක් ලකුණක් පමණි.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේදී තමන් ක්‍රීඩා කළ තරග 03 දී චමරි අතපත්තු රැස් කළේ ලකුණු 10ක් පමණි.

පකිස්ථානයට එරෙහි තරගයේදී ලකුණු 20ක් රැස් කළ විශ්මි ගුණරත්න ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේ දී මෙන් අද තරගයේදී ද ලකුණු නොලබා දැවී ගියාය.

ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු තබා සිටින හර්ෂිතා සමරවික්‍රම අද තරගයේදී ද ලකුණු 03 කට දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ කඩුලු 03ක් දැවී ලකුණු 06ක් ලෙසයි.

අද තරගයේදී කවීෂා දිල්හාරී ලකුණු 21ක්, අනුෂ්කා සංජීවනි ලකුණු 20ක් සහ අමා කාංචනා ලකුණු 19ක් රැස් කිරීමට සමත් වූහ.

සෙසු පිතිකාරිණියන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් ඉන්දීය පන්දු යවන්නීයන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 90 කට සීමා කිරීමට සමත් විය.

අද තරගයේදී ඉන්දීය පන්දු රකින්නියන් විසින් පන්දු රැකීමේදී දක්ෂ ලෙස උඩ පන්දු 09ක් රැක ගැනීමට සමත් වුයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දු රැකීම ගැන පාඩමක් කියා දෙමින්ය.

තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන අවසන් තරගය නවසීලන්තයට එරෙහිව ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිතය.