එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ශුරියන් වාර්තා කළ ඓතිහාසික ජය

Sri Lanka Women's Cricket Team: Breaking Records and Hearts in England!

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

මෙරට ක්‍රිකට් වංශකතාවට නව පරිච්ජේදයක් එක් කරමින් එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පළමු වරට විස්සයි 20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (සැප් 06) සමත්විය.

ඒ, එංගන්තයේ ඩර්බීහි පැවති තරගයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු හතකින් පරාජයට පත් කරමිනි.

තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවේ තරග 2-1ක් ලෙස ය.

ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා ය.

අවාසිය එංගලන්ත පිලට

පළමුවෙන් පන්දුවට පහරදීමට පැමිණි එංගලන්ත කාන්තා පිලේ කඩුලු තුනක් පළමු පන්දු වාර හය තුළ දී දැවී ගියේ ලකුණු සංඛ්‍යාව 41ක්ව තිබිය දී ය.

එංගලන්ත පිතිකාරියන්ට කිසිදු අයුරකින් ස්ථාවරභාවයක් ඇතිකර ගැනීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දුයවන්නියන් තරගයේ ආරම්භයේ සිටම දැඩි අක්‍රමණශීලි පන්දු යැවීමක නිරතවිය.

එංගලන්ත කාන්තා කණ්ඩායමේ ලකුණු 100 වාර්තා කිරීමට පන්දු 97ක් වැයවුණි. එම කණ්ඩායම පන්දු වාර 19ක් තුළ දී ලකුණු 116කට දැවී ගියේ ය.

පන්දු යැවීමේ දී නායිකා චමරි අතපත්තු ලකුණු 21කට කඩුලු තුනක් ද, කවීෂා දිල්හාරි සහ උදේශිකා ප්‍රබෝධිනි කඩුලු දෙක බැගින් ද දවාගත්හ.

චමරි නැවතත් ලකුණු අතරට

එංගලන්ත කණ්ඩායම විසින් ලබාදුන් ලකුණු 117ක ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා පිතිකාරිණියෝ සිය ඉනිමේ ආරම්භයේ සිටම එංගලන්ත පන්දුයවන්නියන්ට එරෙහිව දරුණු පිති ප්‍රහාරයක් එල්ල කළහ.

නායිකා චමරි අතපත්තු පන්දු 28ක දී ලකුණු 44ක් රැස් කළා ය. ඇගේ ඉනිමට හතරේ පහරවල් පහක් සහ හයේ පහරවල් දෙකක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනුෂ්කා සංජීවනි ලකුණු 20ක්, හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණය කරා රැගෙන යෑමට අඩිතාලම සකස් කළෝ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 17ක දී කඩුලු තුනක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය.

Sl women's cricket team wins against ENGLAND

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

'ඔවුන් පැහැදිලි සැලැස්මක් ඇතිව පැමිණියා'

තරගයෙන් පසු ලද පරාජය සම්බන්ධයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා හෙදර් නයිට් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වශයෙන් දඟපන්දු යැවීමේ පැහැදිලි සැලැස්මක් ඇතිව පිටියට පැමිණි බව ය.

“මම හිතන්නේ ඒකෙන් අපි වඩාත් දියුණුවිය යුතු අංශ කිහිපයක් හඳුනාගත්තා. අපි ඒවායින් ඉගෙනගෙන දියුණු වෙන්න අවශ්‍ යයි. අපෙන් ක්‍රීඩා කළේ තරුණ කණ්ඩායමක් නමුත් ඒක නිදහසට කරුණක් නෙවෙයි."

"මම ඇතුළු පිතිකාරියන් කිහිප දෙනෙක් අද ආරම්භය ලබා ගත්තා මිස එය ඉදිරියට ගෙනගියේ නැහැ. අපට නිසැකවම දඟපන්දු සඳහා මුහුණ හොඳ සැලැස්මක් මෙන්ම සූදානමක් ඇතිකර ගත යුතු යි," ඇය පැවසුවා ය.

'අපට අනාගතයේ දී හොඳ කණ්ඩායමක් වෙන්න පුළුවන්'

එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පළමු විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, තරගයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ අනාගතයේ දී හොඳ කණ්ඩායමක් වීමට ඇගේ කණ්ඩායමට හැකියාව ඇති බව ය.

“ඇත්තටම මගේ දක්ෂතා සහ කණ්ඩායමේ දස්කම් ගැන මම සතුටු වෙනවා. පසුගිය මාස කිහිපය තුළ මම වෙහෙස මහන්සි වී පුහුණුවීම් කළ අතර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ අවසන් තරග දෙකේ දී අපි හොඳින් දස්කම් දැක්වූ නිසා මෙම තරගාවලියේ දීත් එය දිගටම කරගෙන යාමට අපට අවශ්‍ය වුණා."

"අවසාන වශයෙන්, අපි ජයග්‍රහණය කළා. එය අපට ඇත්තෙන්ම හොඳ යි. විස්සයි 20 තරගවල මෙන්ම එක්දින තරගවලදීත් අපට මෙම දක්ෂකම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇතැ යි මම බලාපොරොත්තු වනවා. කණ්ඩායම පන්දු යැවීම අද තරගයේ මෙන්ම මුළු තරගාවලිය පුරාම ඉතා හොඳ කාර්යයක් ඉටුකළා."

"අපි හැම විටම අපගේ විවේකාගාරයේ දී ධනාත්මක දේවල් ගැන පමණයි සාකච්ජා කරන්නේ. කිසි විටෙකත් සෘණාත්මක දේවල් අප සාකච්ජා කරන්නේ නැති තරම්. අපි අපගේ සැලසුම් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපි ජයග්‍රහණය කළා," ඇය ප්‍රකාශ කළා ය.