එංගලන්තය දණ ගැස්සූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අමතක නොවන තරග ජය

එංගලන්තය දණ ගැස්සූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අමතක නොවන තරග ජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ක්‍රිකට් ලොව පූර්ණ අවධානය ආසියානු කුසලානය දෙසට යොමුවෙමින් තිබියදී, මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පළමු වරට 20 යි 20 තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ( සැප්තැම්බර් 2 වැනිදා) සමත් විය.

එංගලන්තයේ, චැම්ස්ෆෝඩ් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08 කින් පරාජය කිරීමට සමත් විය.

මෙම ජයග්‍රහණය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව සිය පළමු විස්සයි 20 තරග ජයග්‍රහණය එංගලන්තයේදීම වාර්තා කිරීමට සමත් වීමය.

ශ්‍රී ලංකා දඟ පන්දුවට යටවූ එංගලන්ත පිතිකාරිනියන්

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගත නොහැකි විය.

එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 6 දී බිඳ වැටුණු අතර ඉන් පසුව ක්‍රමයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ ග්‍රහණයට ඔවුන් නතුවිය.

එංගලන්ත කණ්ඩායමේ මැද පෙළ පිතිකාරිණියක් වන චාර්ලි ඩීන් වාර්තා කළ ලකුණු 34 හැර වෙනත් කිසිදු පිතිකාරිනියකට ලකුණු 20 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් විසින් ඉඩ නොදෙන ලදී.

එංගලන්ත ඉනිමේ කඩුලු 10 යෙන් 8ක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන් විසින් දවා ගනු ලැබිය.

පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධිනි, ඉනෝෂි ප්‍රියදර්ශනී, ඉනෝකා රණවිර සහ කවීෂා දිල්හාරි කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දු වාර 18කදි සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 104ක් පමණි.

මෙම ලකුණු සංඛ්‍යාව එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 තරගයකදී වාර්තා කළ 9 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.

එංගලන්ත ඉනිමේ කඩුලු 10 යෙන් 8ක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන් විසින් දවා ගනු ලැබිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එංගලන්ත ඉනිමේ කඩුලු 10 යෙන් 8ක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන් විසින් දවා ගනු ලැබිය.

චමරිගේ නායකත්ව ඉනිම

ලකුණ 105 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 10 යෙදී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නියන් සමත් විය.

අනුෂ්කා සංජීවනී එක් ලකුණකට දැවී යාමෙන් පසු පිටියට පැමිණි හර්ෂිතා සමරවික්‍රම සමග නායක චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට සමත් විය.

එංගලන්ත පන්දු යවන්නියන්ට එරෙහිව අනුකම්පා විරහිත පිතිකරණයක නිරත වූ චමරි අතපත්තු පන්දු 31ක් තුලදී හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් දෙකක් සමගින් වේගවත් ලකුණු 55ක් රැස් කළාය.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 79ක් ව තිබියදී දෙවන කඩුල්ල ලෙස චමරි අතපත්තු දැවී ගියා ය.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 26 රැස් කිරීමට හර්ෂිතා සමරවික්‍රම ( නොදැවී ලකුණු 30) සහ විශ්මි ගුණරත්න ( නොදැවී ලකුණු 18) සමත් වූහ.

එංගලන්ත පන්දු යවන්නියන්ට එරෙහිව අනුකම්පා විරහිත පිතිකරණයක නිරත වූ චමරි අතපත්තු පන්දු 31ක් තුලදී හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් දෙකක් සමගින් වේගවත් ලකුණු 55ක් රැස් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එංගලන්ත පන්දු යවන්නියන්ට එරෙහිව අනුකම්පා විරහිත පිතිකරණයක නිරත වූ චමරි අතපත්තු පන්දු 31ක් තුලදී හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් දෙකක් සමගින් වේගවත් ලකුණු 55ක් රැස් කළාය.

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨයි

තරගයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා හෙදර් නයිට් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ බවයි.

" පෙර තරගයට සාපේක්ෂව ඔවුන් අද දිනයේදී හොඳ පන්දු යැවීමක නිරත වුවා. චමරි ඇයගේ සුපුරුදු විලාෂයෙන් ආක්‍රමණශීලිව තරගය ඔවුන් සතු කර ගනු ලැබුවා." ඇය පැවසුවාය.

ජයග්‍රහණයෙන් පසු අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පෙන්නුම් කළ ක්‍රීඩා විලාසය පිළිබඳ තමන් සතුටු වන බවයි.

" නායිකාව වශයෙන්, කණ්ඩායමක් වශයෙන්, මෙය විශාල ජයග්‍රහණයක්. මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශාල ජයග්‍රහණයක්." ඇය පැවසුවාය.

පෙර තරගයේ දී ලද අත්දැකීම් සමග මෙම තරගයේදී සියළු සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කළ බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ මේ වන විට දෙපිලම තරග 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවයෙි.

අවසන් විස්සයි 20 තරගය ලබන 06 වෙනිදා ඩර්බි හිදී පැවැත්වීමට නියමිතයි.