ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය:ශ්‍රී ලංකාව වාර්තාවක් සම කරයි

Sri Lanka v Netherlands: Final - ICC Men´s Cricket World Cup Qualifier Zimbabwe 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නෙදර්ලන්තය ලකුණු 128 කින් පරාජයට පත් කරමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජූලි මස 09 වෙනිදා) සමත් විය.

ඒ අනුව තරගාවලිය පුරාවට අපරාජිතව සිටි එකම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එම කුසලානය තමන් සතු කර ගත්තේ ය.

කාසියේ වාසිය දිනු නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.5 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 233ක් පමණයි.

Sri Lanka v Netherlands: Final - ICC Men´s Cricket World Cup Qualifier Zimbabwe 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවට සහනයක් වූ සහන් ආරච්චිගේ

ආබාධයකට ලක්වීම හේතුවෙන් අද දින තරගයට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට සහන් ආරච්චිගේ කැඳවා තිබුණි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ සධීර සමරවික්‍රම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක් එක් කළේය.

සධීර සමරවික්‍රම ලකුණු 19 කට සහ පැතුම් නිස්සංක ලකුණු 23 කට දැවී ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 44 කට කඩුලු දෙකක් ලෙසයි.

ඉන් පසුව සහන් ආරච්චිගේ සමග එක්වූ කුසල් මෙන්ඩිස් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක් එක් කිරීමට සමත් විය.

කෙසේ වුවත් ලකුණු 43ක් ලබා ගෙන සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට කුසල් මෙන්ඩිස් දැවී ගියේය.

සිය දෙවන එක්දින තරගය ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

සහන් ආරච්චිගේ සහ චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමේ 04 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක් එක් කළේ ය.

ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 180ක්ව තිබියදී සහන් ආරච්චි ලකුණු 57 කට දැවී ගියේ ය.

ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ එකම අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුයේ ඔහු වීමද විශේෂත්වයකි.

සිය දෙවන එක්දින තරගය ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය දෙවන එක්දින තරගය ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

නොසිතු ලෙස කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම

තරගාවලිය පුරාවට සංවාදයට තුඩු දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරණය පිලිබඳ ප්‍රශ්නය ඉදිරියට තබමින් අද තරගයේ ද පිතිකරුවන් දුර්වල ක්‍රීඩා විලාසයක නිරත විය.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වෙනි කඩුල්ල ලකුණු 180 කට දැවී ගොස් තිබු අතර ලකුණු 36ක් ලබා ගෙන සිටි චරිත් අසලංක දුවද්දී දවා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයින් සමත් විය.

ඉන් පසුව පිටියට පිවිසි නායක දසුන් ශානක එක් ලකුණකටත්, ධනංජය සිල්වා ලකුණු 04 කට සහ මතිෂ පතිරණ ලකුණු 04 කට දැවී ගියේ නෙදර්ලන්ත පන්දු යවන්නනට සිය කඩුලු ලබා දෙමිනි.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 233ක් දක්වා ගෙන ඒමට අනගි සහයක් ලබා දෙමින් වනිදු හසරංග ලකුණු 29ක් සහ මහිෂ් තීක්ෂණ ලකුණු 13ක් රැස් කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 53 කට දැවී ගියේය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරණය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතු කරමින්ය.

නෙදර්ලන්තය අසරණ කළ මධුෂංක සහ වනිදු

ලකුණු 234ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි නෙදර්ලන්ත පිතිකරුවන්ට ස්ථාවර වීමට ඉඩක් නොතැබූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ පළමු පන්දු වාරයේ සිටම දැඩි පීඩනයක් එල්ල කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරතවු මහිෂ් තීක්ෂණ ලකුණු 33 කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය. වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ලකුණු 18 කට කඩුලු 03 ක් සහ වනිදු හසරංග ලකුණු 35 කට කඩුලු 02 ක් දවා ගත්තේය.

ඒ අනුව ලකුණු 234ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම පන්දු වාර 23.3ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 105ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරතවු මහිෂ් තීක්ෂණ ලකුණු 33 කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දක්ෂ පන්දු යැවීමක නිරතවු මහිෂ් තීක්ෂණ ලකුණු 33 කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය.

සම කළ වාර්තාව

අද තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාව අඛණ්ඩව එක්දින තරග 10ක් ජයග්‍රහණය කරමින් මිට පෙර 2004 සහ 2013-14 වර්ෂයන් හි තබා ඇති වාර්තාව සම කිරීමට ද හැකිවිය.

2004 වර්ෂයේ දී මාවන් අතපත්තු ගේ නායකත්වයෙන් සහ 2013-14 වසරේදී ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 10ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.