චමෝදි ප්‍රබෝධා: 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් පාන 14 හැවිරිදි 'බට්ටි'

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ වමතින් පිට දඟ පන්දු යවන ඇය, කඩුලු දෙකක් දවා ගත්තා ය.

ඡායාරූප මූලාශ්‍රය, Provided

යම් පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කැපීපෙනෙන අයුරින් ඉස්මතු වන ආකාරය මේ වන විට දැක ගත හැකි ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයේදී දැක්වූ දක්ෂතා, කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට පන්දු වාර 20 තරගාවලි ජයග්‍රහණයක් ලැබීම මෙන් ම 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෑතකදී දැක්වූ දක්ෂතා ද ඊට නිදසුන් සපයයි.

අප්‍රේල් 03 වන දා අවසන් වූ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අප්‍රේල් 03 වන දා පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් විය.

කෙසේ වෙතත්, තරග 6කින් සමන්විත වූ මෙම තරගාවලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම එක් වර බැගින් පරාජය කිරීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

'බට්ටි' හෙවත් චමෝදි ප්‍රබෝධා

මෙම තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සිටි අතර, එක් සුවිශේෂී 'පුංචි' ක්‍රීඩිකාවක කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මෙන් ම සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ද අවධානය යොමු වී තිබිණි.

ඒ, තවමත් වයස අවුරුදු 14ක පසු වන මොනරාගලින් බිහි වූ දක්ෂ ක්‍රීඩිකාවක දෙස ය.

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ වමතින් පිට දඟ පන්දු යවන ඇය, කඩුලු දෙකක් දවා ගත්තා ය.

තවමත් වයස අවුරුදු 14ක පසු වන චමුදි ප්‍රබෝධා අනාගතයේදී දක්ෂ ක්‍රීඩිකාවක වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීහු විශ්වාසය පළ කරති.

ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනූ චමෝදි පැමිණි 'දුෂ්කර ගමන්මග'

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ දැඩි අවධානයකට ලක්වූ මෙම පුංචි ක්‍රිකට් ක්‍රීඩිකාව වයස අවුරුදු 14 වන විට 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට තරම් දක්ෂ මෙන් ම වාසනාවන්ත වූවා ය.

ඒ, දක්ෂතාව සහ වාසනාව පිටුපස ඇගේ දෙමාපියන් පවසන පරිදි 'දුෂ්කර ගමනක කතාවක්' තිබේ.

එම දුෂ්කර කතාව දැන ගැනීමට ඇගේ මව වන අනෝමා නිශාන්ති සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

ඇය පැවසූ පරිදි ඇය මෙන් ම චමුදිගේ පියා ද දෛනික කුලී වැඩවල නිරත වෙමින් එදිනෙදා ජීවිතය ගත කරන අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටි දියණියක් ද, 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතෙක් ද ඔවුන්ට සිටිති.

කොළඹ සිට කිලෝමීටර් 300කට අධික දුරින් පිහිටි මොනරාගල සිට කිලෝමීටර් 12ක් පමණ ඈතින් පිහිටි කුඹුක්කන නමැති ගම් ප්‍රදේශයේ ජීවත් වන චමුදි ප්‍රබෝධා ඉගෙනුම ලබන්නේ, මොනරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ ය.

ඇය තවමත් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, අධ්‍යාපන වැඩ කටයුතු ද සාර්ථකව කරගෙන යන බව මව පැවසීය.

"මගේ අක්කාගේ පුතා එක්ක දුව හැම දා ම ක්‍රිකට් ගැහුවා. සෙල්ලමකට කියලා කළේ ක්‍රිකට් ගහන එක විතර යි. ඒ පුතා එක්ක ක්‍රිකට් ගහනකොට අපට තේරුණා දුවට ක්‍රිකට්වලට හැකියාවක් තියෙනවා කියලා. අපේ පවුලේ වෙන කෙනෙක් ක්‍රිකට් ගහලත් නෑ,"

ඡායාරූප මූලාශ්‍රය, provided

ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ අක්කාගේ පුතා එක්ක දුව හැම දා ම ක්‍රිකට් ගැහුවා. සෙල්ලමකට කියලා කළේ ක්‍රිකට් ගහන එක විතර යි. ඒ පුතා එක්ක ක්‍රිකට් ගහනකොට අපට තේරුණා දුවට ක්‍රිකට්වලට හැකියාවක් තියෙනවා කියලා. අපේ පවුලේ වෙන කෙනෙක් ක්‍රිකට් ගහලත් නෑ,"

'දුව කුඩා කාලෙ ඉඳල සෙල්ලම් කළේ ක්‍රිකට් විතරයි'

"මගේ අක්කාගේ පුතා එක්ක දුව හැම දා ම ක්‍රිකට් ගැහුවා. සෙල්ලමකට කියලා කළේ ක්‍රිකට් ගහන එක විතර යි. ඒ පුතා එක්ක ක්‍රිකට් ගහනකොට අපට තේරුණා දුවට ක්‍රිකට්වලට හැකියාවක් තියෙනවා කියලා. අපේ පවුලේ වෙන කෙනෙක් ක්‍රිකට් ගහලත් නෑ," චමුදි ප්‍රබෝධාගේ මව සිය දියණිය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමට බලපෑ මූලික හේතුව විස්තර කළේ, එලෙසිනි.

පසුව, චමුදි සමග එක්ව පවුලේ සියලු දෙනා ක්‍රිකට් ක්‍රීඩා කළ බව මව පැවසුවා ය.

අහම්බෙන් ලැබුණු අවස්ථාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

චමුදි ප්‍රබෝධාට කෙටි කලක් තුළ 19න් පහළ කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුණේ, අහම්බයකින් ලැබුණු අවස්ථාවකින් බව ඇගේ මව පැවසුවා ය.

"දුවගේ ඉස්කෝලේ ක්‍රිකට් පුහුණුවීම්වලට පැති විකට්ටුවක් හැදුවා. ඒක විවෘත කරන දවසේ පන්දු යවන්න මගේ දුවටත් අවස්ථාව ලැබුණා. ඒක විවෘත කරන්න ආවෙ, පාසල් ක්‍රිකට් කැඳවුම්කාරිය විදිහට වැඩ කරන අප්සාරි තිලකරත්න මැඩම්. මගේ දුව පන්දු යවන හැටි දැකලා ඒ මැඩම් තමයි, දුවට මේ තරම් දුර ගමනක් යන්න අවස්ථාව සලසලා දුන්නේ. ඊට පස්සේ දුව ඉස්කෝලේ ක්‍රිකට් පුහුණු කරවපු සර් යටතේ පුහුණු වුණා. ඊට පස්සේ තවත් පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබුවා. අප්සාරි මැඩම්ගේ මැදිහත් වීමෙන් ඒ සර්ට මාසිකව මුදලක් පවා ලැබෙන්න සැලැස්සුවා. ඒ උපකාර නිසා තමයි දුවට මේ අවස්ථාව හිමි වුණේ," චමුදිගේ මව පැවසීය.

ඒ අතරතුර, චමුදිගේ මුල් පුහුණුකරුවාට පාසලෙන් ඉවත් වීමට සිදු වූ බව ඇය ප්‍රකාශ කළා ය.

"දුවගේ පුහුණුකරු විදිහට වැඩ කරපු සර් හොඳ නෑ කියලා දෙමාපියන් කට්ටියක් එකතු වෙලා ඒ සර්ව අයින් කළා. ඒක මගේ දුවට ලොකු පාඩුවක්. දැන් දුව ඒ සර්ගෙන් පුහුණුව ලබන්න වෙන පිට්ටනියකට යනවා. ඒ නිසා මම දුව ඉස්කෝලෙන් අයින් කරන්න හිතාගෙන ඉන්නේ. දුවට තැන් දෙකකට යන්න අමාරු යි. ඒත් දුවව අස් කර ගන්නත් ඉඩ දෙන්නෙ නෑ."

'මේ දුර දුවව ගෙනාවේ ඉඩම් පවා විකුණලා'

චමුදි ප්‍රබෝධා වෙනුවෙන් දැරිය යුතු වියදම් සොයා ගැනීමට තමන් සතුව තිබූ ඉඩමක් ද විකිණීමට සිදුවූ බව ඇගේ මව පැවසුවා ය.

"අපි දැනට මේක අමාරුවෙන් කරගෙන යනවා. දුවගේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන දේවල් අපි කරනවා. මේ දේවල් කරගෙන යන්න කාගෙන් හරි උපකාරයක් ලැබෙනවා නම් ලොකු සහනයක් අපිට. තාමත් දුව පාවිච්චි කරන්නේ ඉස්කෝලෙන් ලැබුණ ක්‍රිකට් බඩු ටික. අපි හිතාගෙන ඉන්නවා අලුත් බඩු ටිකක් අරන් දෙන්න. ඇත්තට ම පාසල, අප්සාරි මැඩම් ඇතුළු ගොඩක් අයගේ උපකාර නිසා තමයි මගේ දුව මෙතනට ආවෙ. ඒ ගැන සියලු දෙනාට ස්තුති කරන්න කැමතියි."

"දුව හොඳට ඉගෙනීමේ කටයුතුත් කරගෙන ගියා. පහුගිය අවුරුද්දේ නම් එයාට පාඩම් වැඩ ටිකක් මග ඇරුණා. ඒත් එයා කැමතියි ඉගෙන ගන්නත්. එයාට ඉගෙනීමත්, ක්‍රීඩාවත් දෙක ම සාර්ථකව කරගෙන යන්න අපි පුළුවන් විදිහට උදව් කරනවා. දුවගේ අදහස කාන්තා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන එක තමයි," චමුදිගේ මව අපේක්ෂාසහගත ස්වරයකින් පැවසීය.