චමෝදි ප්‍රබෝධා: 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායකත්වයට පත් 16 හැවිරිදි 'බට්ටිගේ' කතාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට 16 හැවිරිදි බට්ටි හෙවත් චමෝදි ප්‍රබෝධා පත් කර තිබේ.
ඒ අනුව, ඇය ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නායකත්වය ලබා දෙනු ඇත.
එංගලන්ත 19න් පහළ කණ්ඩායම ද මෙම තරගාවලියට එක් වන අතර, අප්‍රේල් 7, 8, 12, 13, 17, සහ 18 යන දිනවල එක්දින තරග 2ක් සහ පන්දු වාර 20 තරග 4ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිත ය.
මෙම කණ්ඩායමේ නායකත්වයට පත් චමෝදි ප්‍රබෝධා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට ඇතුළත් වූයේ, වයස අවුරුදු 14දී ය.
බට්ටි දක්ෂතා කැපී පෙනුණු මුල් ම තරගාවලිය
මීට වසර දෙකකට පෙර එනම් 2024 වසරේ අප්‍රේල් 03 වන දා අවසන් වූ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
අප්‍රේල් 03 වන දා පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් විය.
කෙසේ වෙතත්, තරග 6කින් සමන්විත වූ මෙම තරගාවලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම එක් වර බැගින් පරාජය කිරීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය.
මෙම තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සිටි අතර, එක් සුවිශේෂී 'පුංචි' ක්‍රීඩිකාවක කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මෙන් ම සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ද අවධානය යොමු වී තිබිණි.
ඒ, වයස අවුරුදු 14ක පසු වූ මොනරාගලින් බිහි වූ දක්ෂ ක්‍රීඩිකාවක දෙස ය.
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ වමතින් පිට දඟ පන්දු යවන ඇය, කඩුලු දෙකක් දවා ගත්තා ය.
ඉන් වසර දෙකකට පසු ඇය ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Provided
ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනූ චමෝදි පැමිණි 'දුෂ්කර ගමන්මග'
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ දැඩි අවධානයකට ලක්වූ මෙම පුංචි ක්‍රිකට් ක්‍රීඩිකාව වයස අවුරුදු 14 වන විට 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට තරම් දක්ෂ මෙන් ම වාසනාවන්ත වූවා ය.
ඒ, දක්ෂතාව සහ වාසනාව පිටුපස ඇගේ දෙමාපියන් පවසන පරිදි 'දුෂ්කර ගමනක කතාවක්' තිබේ.
එම දුෂ්කර කතාව දැන ගැනීමට ඇගේ මව වන අනෝමා නිශාන්ති සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය.
ඇය සමග බීබීසී සිංහල මෙම සාකච්ඡාව කළේ, 2024 වසරේදී ය.
ඇය පැවසූ පරිදි ඇය මෙන් ම චමුදිගේ පියා ද දෛනික කුලී වැඩවල නිරත වෙමින් එදිනෙදා ජීවිතය ගත කරන අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටි දියණියක් ද, 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතෙක් ද ඔවුන්ට සිටිති.
කොළඹ සිට කිලෝමීටර් 300කට අධික දුරින් පිහිටි මොනරාගල සිට කිලෝමීටර් 12ක් පමණ ඈතින් පිහිටි කුඹුක්කන නමැති ගම් ප්‍රදේශයේ ජීවත් වන චමුදි ප්‍රබෝධා ඉගෙනුම ලබන්නේ, මොනරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ ය.

ඡායාරූප මූලාශ්‍රය, provided
'දුව කුඩා කාලෙ ඉඳල සෙල්ලම් කළේ ක්‍රිකට් විතරයි'
"මගේ අක්කාගේ පුතා එක්ක දුව හැම දා ම ක්‍රිකට් ගැහුවා. සෙල්ලමකට කියලා කළේ ක්‍රිකට් ගහන එක විතර යි. ඒ පුතා එක්ක ක්‍රිකට් ගහනකොට අපට තේරුණා දුවට ක්‍රිකට්වලට හැකියාවක් තියෙනවා කියලා. අපේ පවුලේ වෙන කෙනෙක් ක්‍රිකට් ගහලත් නෑ," චමුදි ප්‍රබෝධාගේ මව සිය දියණිය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමට බලපෑ මූලික හේතුව විස්තර කළේ, එලෙසිනි.
පසුව, චමුදි සමග එක්ව පවුලේ සියලු දෙනා ක්‍රිකට් ක්‍රීඩා කළ බව මව පැවසුවා ය.
අහම්බෙන් ලැබුණු අවස්ථාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
චමුදි ප්‍රබෝධාට කෙටි කලක් තුළ 19න් පහළ කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුණේ, අහම්බයකින් ලැබුණු අවස්ථාවකින් බව ඇගේ මව පැවසුවා ය.
"දුවගේ ඉස්කෝලේ ක්‍රිකට් පුහුණුවීම්වලට පැති විකට්ටුවක් හැදුවා. ඒක විවෘත කරන දවසේ පන්දු යවන්න මගේ දුවටත් අවස්ථාව ලැබුණා. ඒක විවෘත කරන්න ආවෙ, පාසල් ක්‍රිකට් කැඳවුම්කාරිය විදිහට වැඩ කරන අප්සාරි තිලකරත්න මැඩම්. මගේ දුව පන්දු යවන හැටි දැකලා ඒ මැඩම් තමයි, දුවට මේ තරම් දුර ගමනක් යන්න අවස්ථාව සලසලා දුන්නේ. ඊට පස්සේ දුව ඉස්කෝලේ ක්‍රිකට් පුහුණු කරවපු සර් යටතේ පුහුණු වුණා. ඊට පස්සේ තවත් පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබුවා. අප්සාරි මැඩම්ගේ මැදිහත් වීමෙන් ඒ සර්ට මාසිකව මුදලක් පවා ලැබෙන්න සැලැස්සුවා. ඒ උපකාර නිසා තමයි දුවට මේ අවස්ථාව හිමි වුණේ," චමුදිගේ මව පැවසීය.
ඒ අතරතුර, චමුදිගේ මුල් පුහුණුකරුවාට පාසලෙන් ඉවත් වීමට සිදු වූ බව ඇය ප්‍රකාශ කළා ය.
"දුවගේ පුහුණුකරු විදිහට වැඩ කරපු සර් හොඳ නෑ කියලා දෙමාපියන් කට්ටියක් එකතු වෙලා ඒ සර්ව අයින් කළා. ඒක මගේ දුවට ලොකු පාඩුවක්. දැන් දුව ඒ සර්ගෙන් පුහුණුව ලබන්න වෙන පිට්ටනියකට යනවා. ඒ නිසා මම දුව ඉස්කෝලෙන් අයින් කරන්න හිතාගෙන ඉන්නේ. දුවට තැන් දෙකකට යන්න අමාරු යි. ඒත් දුවව අස් කර ගන්නත් ඉඩ දෙන්නෙ නෑ."
'මේ දුර දුවව ගෙනාවේ ඉඩම් පවා විකුණලා'
චමුදි ප්‍රබෝධා වෙනුවෙන් දැරිය යුතු වියදම් සොයා ගැනීමට තමන් සතුව තිබූ ඉඩමක් ද විකිණීමට සිදුවූ බව ඇගේ මව පැවසුවා ය.
"අපි දැනට මේක අමාරුවෙන් කරගෙන යනවා. දුවගේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන දේවල් අපි කරනවා. මේ දේවල් කරගෙන යන්න කාගෙන් හරි උපකාරයක් ලැබෙනවා නම් ලොකු සහනයක් අපිට. තාමත් දුව පාවිච්චි කරන්නේ ඉස්කෝලෙන් ලැබුණ ක්‍රිකට් බඩු ටික. අපි හිතාගෙන ඉන්නවා අලුත් බඩු ටිකක් අරන් දෙන්න. ඇත්තට ම පාසල, අප්සාරි මැඩම් ඇතුළු ගොඩක් අයගේ උපකාර නිසා තමයි මගේ දුව මෙතනට ආවෙ. ඒ ගැන සියලු දෙනාට ස්තුති කරන්න කැමතියි."
"දුව හොඳට ඉගෙනීමේ කටයුතුත් කරගෙන ගියා. පහුගිය අවුරුද්දේ නම් එයාට පාඩම් වැඩ ටිකක් මග ඇරුණා. ඒත් එයා කැමතියි ඉගෙන ගන්නත්. එයාට ඉගෙනීමත්, ක්‍රීඩාවත් දෙක ම සාර්ථකව කරගෙන යන්න අපි පුළුවන් විදිහට උදව් කරනවා. දුවගේ අදහස කාන්තා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන එක තමයි," චමුදිගේ මව අපේක්ෂාසහගත ස්වරයකින් පැවසීය.

































