හදිසියේම වනිඳුව ටෙස්ට් සංචිතයට එක් කළේ දඬුවමින් ගලව ගන්නද ?

බංගලාදේශය සමග පැවැති අවසන් එක්දින තරගයේදී පිටියේ විනිසුරුවරයා සමග ඇතිවූ සිදුවීමෙන් පසු වනිදු හසරංගට නැවත වරක් තරග තහනමක් පැනවෙන බව දැන ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුව බංගලාදේශ ටෙස්ට් සංචිතයට නම් කිරීමට පියවර ගෙන ඇතැයි හැඟවෙන සංවාදයක් සමාජ මාධ්‍ය තුළ දැකගත හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බංගලාදේශය සමග පැවැති අවසන් එක්දින තරගයේදී පිටියේ විනිසුරුවරයා සමග ඇතිවූ සිදුවීමෙන් පසු වනිදු හසරංගට නැවත වරක් තරග තහනමක් පැනවෙන බව දැන ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුව බංගලාදේශ ටෙස්ට් සංචිතයට නම් කිරීමට පියවර ගෙන ඇතැයි හැඟවෙන සංවාදයක් සමාජ මාධ්‍ය තුළ දැකගත හැකිය.

පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලියට බොහෝ දෙනාගේ අවධානය යොමු වුයේ කණ්ඩායම් දෙක අතර පැවති උද්වේගකර ක්‍රීඩා විලාසය හේතුවෙනි.

කෙසේ වුවත් අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග සහ විනිසුරුවරයෙකු අතර ඇතිවූ සිදුවීමක් නිසා පිට පිට දෙවන වරටත් වනිඳුට එරෙහිව තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගන්නා ලදී.

බංගලාදේශ කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි 20 තරගාවලියේ පළමු තරග දෙක වනිදුට අහිමි වුයේ ඔහු ඊට පෙර ඇෆ්ගනිස්ථාන සංචාරයේ දී විනිසුරු ලින්ඩන් හැනිබල් ගේ තීරණයකට විරෝධය පළකිරීම හේතුවෙනි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

‘මේක ඉතාමත් නරක දෙයක්’

ඇතිවී තිබෙන තත්ත්වය ඉතා නරක දෙයක් බවත් එහි වගකීම ගත යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවත් හිටපු ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඔහු එම අදහස් දැක්වීම සිදුකළේ, විනය ගරුක ක්‍රීඩකයෙකු නිර්මාණය කිරීම හා එම විනය පවත්වාගෙන යාමේ වගකීම කවුරුන් සතුවන්නේ දැයි බීබීසී සිංහල කළ විමසීමකදීය.

"මම හිතන්නේ නැහැ මේ වගේ දෙයක් මීට ඉස්සර වෙලා තියෙනවා කියලා.ක්‍රීඩකයෙක්ට තරග තහනමක් පනවනවා. පස්සේ ආපහු තරග තහනමක් පනවනවා."

"හැබැයි මේ වගකීම ගන්න ඕන ක්‍රිකට් බෝඩ් එක. ක්‍රිකට් බෝඩ් එකේ සභාපති මම නම්, මම ඔය ඔක්කොම ක්‍රීඩකයින්ට අඬ ගහලා කියනවා වැඩියෙන්ම වැදගත් ක්‍රීඩාවට වඩා විනය කියලා."

"විනය හරියට නැත්නම් ගෙදර යවන්න තියෙන්නේ. අපේ රටේ නම නේ මේකට මැදිහත් වෙන්නේ. ඒ නිසා විනය අනිවාර්යෙන්ම තිබිය යුතුමයි." ඔහු පැවසීය.

විනිසුරුගේ අතින් තීරණයක් වැරදීම සිදුවිය හැකි කරුණක් බව පැවසූ සිදත් වෙත්තමුණි කිසිදු විටක ක්‍රීඩකයෙකුට නරක ලෙස හැසිරිය නොහැකි බව සඳහන් කර සිටියේය.

එමෙන්ම පිටියේ දී යම් විනය කඩ කිරීමක් සිදුකරන ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඬුවම් කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විනය පියවර ගන්නා බවට ඔවුන් දැනුවත් කර තිබීමේ වගකීම පුහුණුකරුවන් සහ කණ්ඩායම් කළමනාකාරිත්වය සතුවන බව ද ඔහු පැවසීය.

"චෝදනා එල්ල වුනේ කණ්ඩායමේ නායකයෙක්ට. කොහොමද නායකයෙක් ලෙස ඔහු කණ්ඩායමක් මෙහෙය වන්නේ ඉදිරියට?" සිදත් වෙත්තමුණි වීමසා සිටියේය.

’පොඩි ළමයි පවා එයාලා දිහා බලන් ඉන්නවා’

තරගයක ජය පරාජය යන දෙකම විඳ ගත යුතු බවත්, ක්‍රීඩකයින් ලෙස ඔවුන් ක්‍රීඩා කිරීමේදී පීඩනයක් යටතේ ක්‍රීඩා කළද එය පාලනය කිරීමට ඔවුන් දැන ගත යුතු බවත් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසීය.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙස කුඩා දරුවන් පවා බලා සිටින බැවින් ඔවුන් ආදර්ශමත් ලෙස හැසිරීම වැදගත් බවයි.

"ප්ලේයර්ස්ලා ගොඩක් සෙල්ලම් කරන්නේ පීඩනයක් මැද්දේ. එතකොට ඒ වගේ වෙලාවක ක්‍රීඩකයින්ට තරහා යනවා. හැබැයි තරහා ගියාට ඒක පාලනය කර ගන්න ඕන."

"ඒ අය දැන ගන්න ඕන ඒක පාලනය කර ගන්න. ඒ අය දිහා පොඩි ළමයි පවා බලාගෙන ඉන්නවා. "

"එතකොට රට නියෝජනය කරන අය හැටියට ඔවුන් සංවරව හැසිරෙන්න ඕන. පරාජය සහ දිනුම කියන දේ දරා ගන්න පුළුවන් වෙන්න ඕන."

"තරහා ගියා කියලා විනය කඩ වෙන විදිහට හැසිරෙනවා නම් ඒක වැරදි." ඔහු පැවසීය.

‘අපිටත් වාසි වෙන තීරණ ලැබිලා තියෙනවා’

සෑම විටම විනිසුරුවරයා මධ්‍යස්ථව කටයුතු කරනු ලබන අයෙකු යැයි විශ්වාස කරන බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි ගෙන එන ආකාරයේ විනිසුරු තීරණ ද ලැබී තිබෙන බවත් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසීය.

"අම්පයර් කෙනෙක් වුණාම අපි බලාපොරොත්තු වෙනවා ඔහු මධ්‍යස්ථ කෙනෙක් කියලා."

"සමහර වෙලාවට එයා මධ්‍යස්ථ නොවෙන්න පුළුවන්. එයා අපිට හොරෙන් අනිත් පැත්තට සපෝර්ට් කරනවා වෙන්න පුළුවන්."

"සමහර අවස්ථාවන් තිබිලා තියෙනවා අපේ කණ්ඩායමට වාසි ගෙන එන " අම්පයර්ස් කෝල් තීරණ" ලැබුණු අවස්ථාවන් ගැනත්." ඔහු කියා සිටියේය.

වනිඳුව ටෙස්ට් සංචිතයට එක් කළේ දඬුවමින් ගලව ගන්නද ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අවසන් එක්දින තරගයේදී පිටියේ විනිසුරුවරයා සමග ඇතිවූ සිදුවීමෙන් පසු වනිදු හසරංගට නැවත වරක් තරග තහනමක් පැනවෙන බව දැන ගෙන ක්‍රිකට් ආයතනය විසින් ඔහුව බංගලාදේශ ටෙස්ට් සංචිතයට නම් කිරීමට පියවර ගත් බවට සමාජ මාධ්‍ය තුළ පළව තිබු අදහස් සම්බන්ධයෙන් මෙහිදී බීබීසී සිංහල රොෂාන් අබේසිංහ ගෙන් විමසීමක් කළේය.

ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"මම හිතනවා ඒක හොඳ පියවරක් කියලා. ඒක බුද්ධිමත් වැඩක්. නීතිය කියන්නේ දැලක්. ඒකෙන් රිංගලා යන්න පුලුවන්නම් ඒකෙ වරදක් නැහැ."

"වනිදුව විස්සයි 20 ලෝක කුසලානේදී තරග තහනමක් පැනෙව්වා නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා නේ."

"ඒ තීරණයට ගරු කරමින් ඒක කඩන්නේ නැතුව දඬුවම විදිනවා. මම පෞද්ගලිකව දකිනවා ඒක හොඳ දෙයක් කියලා." ඔහු කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජික අජන්ත මෙන්ඩිස් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ වනිඳු හසරංගව විස්සයි 20 ලෝක කුසලානය සඳහා තබා ගැනීමේ අරමුණින් නීතියේ හිඩැසක් භාවිත නොකළ බවය.

"ඔහු බංගලාදේශ කණ්ඩායම එක්ක පැවති එක්දින තරගාවලිය ආරම්භයට සතියකට උඩදී ක්‍රිකට් බෝඩ් එකට ඊමේල් පණිවිඩයක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබුණා නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍යයි කියලා."

"ඒ අනුව ඔහුව ටෙස්ට් සංචිතයට ඇතුළත් කරන්න අප තීරණය කළේ අවසන් එක්දින තරගයට පෙර ඉදලා."

"නමුත් මෙම තීරණය ගැන අන් අය හිතන විදිහ ගැන අපට හිතාගන්න පුළුවන්." අජන්ත මෙන්ඩිස් කියා සිටියේය.