වසර 147ක ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා අලුත් කළ ශ්‍රී ලංකා - බංගලාදේශ තරග සංචාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මාසයකට ආසන්න කාලයක් පුරා බංගලාදේශය සමග පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංචාරය තරමක් සතුටුදායක ලෙස අවසන් විය.
මෙම තරග සංචාරයට පන්දු වාර 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් විය.
මාර්තු 04 වන දා ආරම්භ වූ මෙම දීර්ඝ තරග සංචාරය අවසන් වූයේ, අප්‍රේල් 03 වන දා ය.
පන්දු වාර 20 තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත් අතර, එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ, බංගලාදේශ කණ්ඩායම යි.
තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියෙන් 2-0ක් ලෙස විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
T20 තරගාවලියේ විශේෂ සිදුවීම්
පන්දු වාර 20 තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.
එම තරගාවලියේ අවසන් තරගයේ බංගලාදේශ ඉනිමේ සිව් වන පන්දු වාරයේදී නුවන් තුෂාර, පළමු වරට පන්දු වාර 20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.
ඔහුගේ පන්දු යැවීම හමුවේ, නජ්මුල් හොසේන් ෂන්තෝ, තව්හිද් රිදෝයි සහ මොහොමඩ් මහ්මදුල්ලා දැවී ගියහ.
නුවන් තුෂාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු වාර තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පස් වන පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක් විය.
මෙම තරගාවලියේ වැඩි ම ලකුණු රැස් කළ පිතිකරුවා වූයේ, ලකුණු 181ක් රැස් කළ කුසල් මෙන්ඩිස් ය.
එක් තරගයකට පමණක් ක්‍රීඩා කළ නුවන් තුෂාර කඩුලු 5ක් දවා ගනිමින් තරගාවලියේ වැඩි ම කඩුලුලාභියා බවට පත්විය.
එක්දින තරගාවලියේ විශේෂ සිදුවීම්
එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායමට හැකි විය.
මෙම තරගාවලියේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් වූයේ, තුන් වන එක්දින තරගයේදී පුනරූපණ දසුන්වලින් නොදැවුණු ක්‍රීඩකයෙකු බව පෙනුණු පැතුම් නිස්සංක දැවී ගිය ක්‍රීඩකයෙකු බවට තීන්දු කිරීම ය.
මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වූ අතර, ප්‍රසිද්ධියේ එම තීරණය විවේචනය කළ වරදට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවිණි.
එම තරගයේදී නවක ක්‍රීඩක ජනිත් ලියනගේ සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඔහු මෙම තරගාවලියේ වැඩි ම ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත්වූයේ, ඉනිම 3කදී ලකුණු 177ක් රැස් කරමිනි.
කඩුලු 8ක් දවා ගත් ටස්කින් අහමඩ් වැඩි ම කඩුලුලාභියා බවට පත් විය.
ටෙස්ට් තරගාවලියේ විශේෂ සිදුවීම්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලෝක ටෙස්ට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමි විය.
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 328ක දැවැන්ත ජයක් හිමි විය.
එම තරගය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් තරගයක් වූයේ, වාර්තා රැසක් අලුත් වීම හේතුවෙනි.
වසර දෙකක් නිහඬව සිටි කමිඳු මෙන්ඩිස් තමාට ලැබුණු දෙවන අවස්ථාවේදී ද තමන් සාර්ථක පිතිකරුවෙකු බව යළිත් තහවුරු කළේ ය.
පළමු ඉනිමේදී පන්දු 127කදී ලකුණු 102ක් රැස් කළ කමිඳු, දෙවන ඉනිමේදී පන්දු 237කදී ලකුණු 164ක් රැස් කළේ ය.
කමිඳු මෙන්ඩිස් වසර 147ක් පැරණි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පිතිකරුවන් කිසිවෙකු මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
එම වාර්තාව වූයේ, 7 වන හෝ ඊට පහළින් පිටියට පිවිස ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ශතක රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වීම ය.
1937 වසරේදී 7 වන හෝ ඊට පහළ පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරගයකදී රැස් කර තිබූ වැඩි ම ලකුණු සංඛ්‍යාව පසු කර යාමට කමිඳු මෙන්ඩිස්ට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 5ක් පමණි.
1937 වසරේදී එංගලන්තයට එරෙහිව 7 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉනිම දෙකේදී ලකුණු 270ක් රැස් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කමිඳු මෙන්ඩිස් ඉනිම දෙකේදී ලකුණු 266ක් රැස් කිරීමට සමත් විය.
කමිඳු මෙන්ඩිස්, ධනන්ජය ද සිල්වා සමග එක්ව තවත් වාර්තා කිහිපයකට දායක විය.
1. ඉනිම දෙකේදී ම ශතක රැස් කළ ලොව තුන් වන පිතිකරු යුගලය (මීට පෙර 1974 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් සොහොයුරන් නවසීලන්තයට එරෙහිව සහ 2014 වසරේදී පකිස්ථානයේ අසාර් අලි සහ මිස්බා උල් හක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද මෙම දක්ෂතාව දක්වා තිබිණි.)
2. ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ලකුණු 150ක සබඳතාවක් ගොඩ නැගූ තුන් වන පිතිකරු යුගලය
- ධනන්ජය සහ කමිඳු - පළමු ඉනිම 202, දෙවන ඉනිම 177
- පෝල් ගිබ් සහ එඩී පෙයින්ටර් - පළමු ඉනිම 184, දෙවන ඉනිම 168
- ජෝ බර්න්ස් සහ ඩේවිඩ් වෝර්නර් - පළමු ඉනිම 161, දෙවන ඉනිම 237
3. ටෙස්ට් තරගයක දෙවන ඉනිමේදී කඩුලු 6ක් බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩ නැගුණු වැඩි ම ලකුණු සබඳතාව. (කමිඳු මෙන්ඩිස් සහ ධනන්ජය ද සිල්වා ලකුණු 292ක් රැස් කළ අතර ඊට පෙර එම වාර්තාව පැවතියේ ලකුණු 223ක් ලෙස ය.)
දෙවන ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකාවට ලකුණු 192ක ජයක් හිමි විය.
මෙම තරගය අවසන් වන විට ටෙස්ට් ඉනිම 5කට ක්‍රීඩා කර සිටින කමිඳු මෙන්ඩිස් ලකුණු 428ක් ලබා සිටින අතර, ඔහුගේ ලකුණු සාමාන්‍යය 107.00කි.
ලෝකයේ පිතිකරුවන් අතර හොඳ ම ලකුණු සාමාන්‍යය ලෙස මෙතෙක් පිළිගැනෙන්නේ, ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ 99.94ක ලකුණු සාමාන්‍යය යි.
කමිඳු මෙන්ඩිස්ගේ ලකුණු සාමාන්‍යය ඊට වඩා ඉහළ අගයක් ගැනීම සුවිශේෂී සිදුවීමකි.
ඉනිම 5ක් තුළ ඔහු ශතක දෙකක් සහ අර්ධ ශතක 2ක් රැස් කිරීම විශේෂත්වයකි. දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔහු ලකුණු 92ක් රැස් කළ ද සෙසු පිතිකරුවන් දැවී යාම හේතුවෙන් අඛණ්ඩව රැස් කිරීමට තිබූ තුන් වන ශතකය අවාසනාවන්ත ලෙස අහිමි විය.
ටෙස්ට් තරගාවලියේ වැඩි ම ලකුණුලාභියා වන කමිඳු මෙන්ඩිස් ඉනිම 4කදී ලකුණු 367ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔහුගේ එම තරගාවලියේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 122.33කි.
වැඩි ම කඩුලුලාභියා බවට පත් වූයේ, කඩුලු 11ක් බිඳ හෙළූ ලහිරු කුමාර ය.
දෙවන ටෙස්ට් තරගයේදී කමිඳු මෙන්ඩිස්ට පන්දු යැවීමට ද අවස්ථාව හිමි වූ අතර දෙවන ඉනිමේදී කඩුලු 3ක් බිඳ හෙළීමට ඔහු සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝක ටෙස්ට් ශූරතාවලිය
මේ අතර, බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරග දෙක ම ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ 4 වන ස්ථානයට පැමිණ තිබේ.
ඒ, මෙතෙක් ක්‍රීඩා කළ ටෙස්ට් තරග 4න් 2ක් ජය ගනිමිනි.
තරග 9කින් 6ක් ජය ගෙන සිටින ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියේ පළමු ස්ථානයේ රැඳී සිටින අතර, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය පිළිවෙළින් දෙවන සහ තුන් වන ස්ථානවල පසුවේ.












