ෂමාර් ජෝසෆ්: පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගනිමින් මංගල තරගයේ කඩුලු 5ක් බිඳ හෙළූ ආරක්ෂක නියාමකයා

සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියාව වැනි ප්‍රබල කණ්ඩායමක් ඉදිරියේ පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෙක් සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියාව වැනි ප්‍රබල කණ්ඩායමක් ඉදිරියේ පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෙක් සමත් විය.

එම කඩුල්ල ඔස්ට්‍රේලියාවේ විශිෂ්ට පිතිකරුවෙකු වන ස්ටීවන් ස්මිත්ගේ වීම තවත් විශේෂත්වයකි.

එපමණක් නොව ඔහු සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු 5ක් දවා ගැනීමට ද සමත් විය.

මෙම දක්ෂතාව දැක්වූයේ, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට අලුතින් ම එක්වූ, 24 හැවිරිදි ෂමාර් ජෝසෆ් ය.

නමින් ක්‍රිකට් ලෝලීන් අතර තවමත් එතරම් ප්‍රචලිත නොවන මේ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? පළමු තරගයෙන්ම මෙවන් දස්කමක් දැක්වූ මෙම පන්දුයවන්නාගේ ක්‍රිකට් ආගමනයද පුදුමාකාරය.

පළමු පන්දුවෙන් ලෝක ප්‍රකට වූ ආරක්ෂක නියාමකයා

ඔහු උපත ලබා හැදී වැඩුණේ, ගයානාහි අතිශය දුෂ්කර ගම්මානයක් වන බරාකාරා නමැති ප්‍රදේශයේ ය.‍

එම ගම්මානය කෙතරම් දුෂ්කර මට්ටමක පවතින්නේ ද යත්, එම ගම්මානට පිවිසීම සඳහා කැන්යේ නදියේ කිලෝමීටර් 225ක් යාත්‍රා කළ යුතු ය.

ගයානා කණ්ඩායම නියෝජනය කරමින් දේශීය ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කළ ෂමාර් සේවය කළේ, ආරක්ෂක නියාමකයෙකු වශයෙනි.

ඔහු ඉතා කෙටි කලකින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දොරටු විවර කර ගත්තේ, මුල් පෙළ තරග 5කට පමණක් ක්‍රීඩා කර සිටියදී ය.

එම තරග 5 තුළ ඔහු බිඳ හෙළූ කඩුලු සංඛ්‍යාව 26කි.

පන්දුවෙන් සහ පිත්තෙන් විශිෂ්ට දස්කම්

ජනවාරි 17 වන දා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ කොදෙව් කණ්ඩායම ලකුණු 133කට කඩුලු 9ක් ලබා අසරණ වී සිටි අවස්ථාවක අවසන් කඩුල්ල ලෙස පිටියට පිවිසි ෂමාර් ජෝසෆ් පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 36ක් රැස් කිරීමට සමත් විය.

ඊට 4 පහර 3ක් සමග එක් හයේ පහරක් ද ඇතුළත් විය.

පසුව, ඔහුට සිය පළමු පන්දුව යැවීමට නියමිතව තිබුණේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි විශිෂ්ට පිතිකරුවෙකු වන ස්ටීව් ස්මිත් වෙනුවෙනි. ඔහුගේ ප්‍රියතම පිතිකරුවා ස්ටීව් ස්මිත් වීම ද විශේෂත්වයක් විය.

ෂමාර් ජෝසෆ් සිය ජීවිතයේ පළමු ටෙස්ට් පන්දුව යොමු කළේ ය. ස්ටීව් ස්මිත්ගේ පිත්තේ වැදුණු පන්දුව ජස්ටින් ග්‍රීව්ස්ගේ රැක ගත්තේ ය.

ගයානා කණ්ඩායම නියෝජනය කරමින් දේශීය ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කළ ෂමාර් සේවය කළේ, ආරක්ෂක නියාමකයෙකු වශයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගයානා කණ්ඩායම නියෝජනය කරමින් දේශීය ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කළ ෂමාර් සේවය කළේ, ආරක්ෂක නියාමකයෙකු වශයෙනි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහු සිය මංගල ටෙස්ට් තරගයේ පළමු පන්දුවේදී ම විශිෂ්ට පිතිකරුවෙකුගේ කඩුල්ල දවා ගත්තේ එලෙසිනි.

ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 283කට සීමා වූයේ, කඩුලු 5ක් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ෂමාර් ජෝසෆ්ගේ නම ඉදිරියේ සටහන් කරමිනි.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගිය ඔස්ට්‍රේලියානු පිතිකරුවන් වූයේ, ස්ටීව් ස්මිත්, මානස් ලබුෂේන්, කැමරන් ග්‍රීන්, මිෂෙල් ස්ටාර්ක් සහ නේතන් ලයන් ය.

දෙවන ඉනිමේදී ද අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ඔහු ලකුණු 15ක් රැස් කිරීමට සමත් විය.

කෙසේ වෙතත්, පෞද්ගලික දක්ෂතා විශිෂ්ට මට්ටමක පවත්වා ගත් ෂමාර් ජෝසෆ්ට සිය මංගල ටෙස්ට් තරගය කණ්ඩායමක් ලෙස සුන්දර එකක් නොවීය.

ඒ, එම තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ හෙයිනි.

තරගය අවසානයේ ෂමාර් ජෝසෆ් මෙසේ පැවසීය.

"ඒක පුදුම දෙයක්. පළවෙනි පන්දුවෙන් කඩුල්ලක් ගන්න එක පුදුම දෙයක්. මට චකිතයක් දැනුණේ නැහැ පන්දු යවන්න යද්දි. ස්මිත් තමයි මගේ ප්‍රියතම පිතිකරු‍. ඒ නිසා ස්මිත්වයි, ලබුෂේන්වයි දවා ගැනීම මට ලොකු දෙයක්. ආරක්ෂක නියාමකවරයෙකු වීමට වඩා ටෙස්ට් ක්‍රීඩකයෙකු වීම හොඳ යි. මගේ ජීවිතේ ඉතිරි කාලයේදීත් මේ විදිහට ක්‍රීඩා කිරීම මගේ අපේක්ෂාවයි."

පළමු පන්දුවෙන් කඩුල්ලක් බිඳ හෙළූ පන්දු යවන්නෝ

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ පන්දු යවන්නන් සංඛ්‍යාව 23 දෙනෙකි.

ෂමාර් ජෝසෆ්ට පෙර තවත් 22 දෙනෙකු එම දක්ෂතාව දක්වා තිබේ.

එම දක්ෂතාව පළමු වරට සිදු කර ඇත්තේ, ඔස්ට්‍රේලියාව නියෝජනය කළ තෝමස් පැට්‍රික් හෝරන් නමැති පන්දු යවන්නෙකි.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ, වෝල්ටර් විලියම් රීඩ් නමැති එංගලන්ත පිතිකරුවා ය.