මොහොමඩ් සිරාජ්: සෙරෙප්පු දෙකෙන් උල් සපත්තුවට පැමිණි වේගපන්දු යවන්නා

මොහොමඩ් සිරාජ්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි අවසන් මහ තරගය ඉකුත් ඉරිදා (සැප් .17 වැනිදා) නිමාවට පත්වුයේ මෙරට ක්‍රීඩා ලෝලීන්ට සිත්තැවුලක් මෙන්ම කලකට අමතක නොවන නමක් මුවගට එක් කරමිනි.

ඒ, අන් කිසිවෙකු නොව ශ්‍රී ලංකාව ලකුණු 50 කට සීමා කළ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කරමින් කඩුලු 06ක් දවා ගනු ලැබූ ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් සිරාජ්ය.

එක් රැයකින් ශ්‍රී ලංකාව පුරා ජනප්‍රිය ක්‍රීඩකයකෙු වූ ඔහු අවසන් මහ තරගයේ වීරයා ලෙස නම් කෙරුණි.

මොහොමඩ් සිරාජ් කියන්නේ කවුද ?

1994 වසරේ මාර්තු මස 13 වැනිදා ඉන්දියාවේ හයිද්‍රාබාද් හි උපත ලබන මොහොමඩ් සිරාජ්ගේ පියා ඔටෝ රික්ෂෝ රියදුරෙක් වන අතර මව ගෘහණියකි.

පවුලේ බාලයා වන සිරාජ්ට වැඩිමහල් සොහොයුරෙක් ද සිටියි.

කුඩා කල පටන් ක්‍රිකට්වලට ඇලුම් කළ ඔහු ක්‍රීඩාවට අවතීරණ වන්නේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවෙනි.

ආරම්භයේ දී තමා වැඩි නැඹුරුතාවයක් දැක්වුයේ පිතිකරුවෙකු වීමට බව වරක් ඉන්දීය මාධ්‍ය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සිරාජ් අනාවරණය කළේය.

“මම තාත්තා එනකම් ගෙදර යන්නේ නැහැ”

සිය ළමා කාලයේදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් ඇලුම් කළා ද කියතොත් පාසැල් පවා නොගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිය මිතුරන් සමග එක්ව කටයුතු කළ බව වරක් මොහොමඩ් සිරාජ් සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් පැවසීය.

තමන් එසේ පන්ති කාමරයේ නොසිටියොත් පාසැලේ විදුහල්පතිවරයා විසින් සිය මවට දැනුම් දෙනු ලැබූ දිනයන් පවා තිබූ බවත්, ත්‍රිරෝද රථ රියැදුරෙක් වන පියා නැවත නිවසට පැමිණෙන තෙක් තමන් නිවසට නොයන බවත් ඔහු එහිදී පැවසුවේය.

"මගේ පියාට විතරයි මාව බේර ගන්න හැකි වෙන්නේ. අම්මා මාව දැක්ක ගමන් ගහනවා. ඇය නිතරම කියන දෙයක් තමයි අයියා ඉංජිනේරු විද්‍යාලයට යනවා, උඹ පාසැලෙන් කට්ටි පනිනවා කියලා." සිරාජ් සිය සම්මුඛ සාකච්ජාවේදී සඳහන් කර සිටියේය.

“ලොකු ලොකු වාහන වල එන අය යනකම් මම බලාගෙන ඉන්නවා”

සිය පියා දෛනිකව තම වැඩිමහල් සහෝදරයාට රුපියල් 100ක් සහ තමන්ට රුපියල් 70ක් වියදම සඳහා ලබා දුන් බව සිරාජ් සිහිපත් කර සිටියි.

"මගේ යතුරුපැදියට දවසට රුපියල් 40ක ඉන්ධන අවශ්‍යයි පුහුණුවීම් සඳහා යන්න. ඒ වගේමයි යතුරුපැදිය පනගන්වන්න ඒක තල්ලු කරන්න ඕනේ."

"මම ක්‍රිකට් පුහුණුවීම්වලට යන ස්ථානයට එන අනෙක් ක්‍රීඩකයින් එන්නේ BMW, මර්සිඩීස් වැනි සුඛෝපභෝගී රථවල. ඉතින් බොහෝ දිනවල පුහුණුවීම් අවසන් වෙලා ඒ වාහන වල පැමිණි ක්‍රීඩකයින් නැවත පිටත්ව යනකම් මම බලාගෙන සිටිනවා. මොකද ඔවුන් ගියාට පසුවයි මගේ යතුරුපැදිය තල්ලු කරලා පන ගන්වන්නේ."

" මොකද මම ඒක ඔවුන් ඉදිරියේදී කළා නම් ඔවුන් මා දිහා බලන ආකාරය වෙනස් වෙන්න තිබ්බා වගේම ඔවුන් හා මා අතර දුරස්ථ භාවයක් ඇතිවෙන්න ඉඩ තිබුණා." සිරාජ් සිය ක්‍රිකට් දිවියේ මුහුණ දුන් කටුක අත්දැකීම් පිළිබඳ සම්මුඛ සාකච්ජාවේදී පවසා සිටියේය.

“මට පන්දු යවද්දී පළදින්න සපත්තු දෙකක් තිබුණේ නැහැ”

වයස අවුරුදු 16 දී වේග පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කිරීම අරඹන සිරාජ්ට එලෙස පන්දු යැවීමේදී පැළදීමට සපත්තු දෙකක් හෝ නොතිබූ බැවින් වසර 3ක් පුරා ක්‍රීඩා කළේ සෙරප්පු දෙකක් පැළද බව පවසා සිටියේය.

" ගමේදී ක්‍රීඩාවක් ලෙස සැහැල්ලු පන්දු කරද්දී බොහෝ වෙලාවට ගම් ගම් අතර ක්‍රීඩා තරග පැවැත්වෙනවා. ඒ වෙලාවේදී මට පළඳින්න සපත්තු දෙකක් හෝ තිබුනේ නැහැ. මම අවුරුදු 19ක් වෙනකම් ක්‍රීඩා කළේ සෙරප්පු දෙකක් දාගෙන”

"සපත්තු මිලදී ගන්න මට මුදල් තිබුණේ නැහැ. තාත්තා දවසට දෙන රුපියල් 70 කින් කොහොමද හැම දෙයක්ම කරන්නේ. අම්මගෙන් සල්ලි ඉල්ලන්නත් බැහැ. ඉල්ලුවනම් අනිවාර්යෙන්ම ඇය මට ගුටි දෙනවා." ඔහු කියා සිටියේය.

“මගේ ගමන ආරම්භ කළේ ප්‍රමාද වෙලා”

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වයස අවුරුදු 19ක් දක්වා සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ යෙදුණු තමන්ට පළමු වරට ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවූ ආකාරය පිළිබඳව ද මොහොමඩ් සිරාජ් මෙලෙස අදහස් දක්වා සිටියේය.

"දවසක් මට ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කරන්න එන්න කියලා ආරාධනාවක් ආවා. ඒ වගේ තරගවලදී මුදල් ලැබෙනවා කියලා දැන ගන්න ලැබුණා."

"මට අවශ්‍යව තිබුණා ආර්ථික වශයෙන් මගේ පවුලට ශක්තියක් වෙන්න. මම ඒ කණ්ඩායමේ අයට කිව්වා මම ක්‍රීඩා කරන්න කැමැති, හැබැයි මට ඒ සඳහා ගෙවීමක් කරනවද කියලා."

"ඔවුන් කිව්වා ඔව් ඔබට මුදල් පමණක් නොවේ, යතුරුපැදියට ඉන්ධන ලබා ගන්න මුදල් පවා දෙනවා, තරගයට ක්‍රීඩා කරන්න නිල ඇඳුමක් වගේම සපත්තු දෙකක් දෙනවා කියලා."

"එදා තමයි මම පළමුවරට ක්‍රීඩා කරද්දී පළඳින සපත්තු දැම්මේ. ඒකෙ සවිකර තිබ්බ ඇණ තියන්නේ මොනවටද කියලවත් මම ඒ වෙද්දී දැනන් හිටියේ නැහැ."

"තරගය පටන් ගත්තම මට ලෙදර් පන්දුවක් අතට දුන්නා. එදා තමයි මම පළමු වරට ලෙදර් පන්දුව අතින් ඇල්ලුවේ. කොටින්ම අවුට් ස්වින්ග් හෝ ඉන් ස්වින්ග් පන්දු යවන්නේ කොහොමද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ."

"ඔවුන් මට කිව්වේ හැකි තරම් වේගයෙන් පන්දු යවන්න කියලා. මම හැකි උපරිම වේගයෙන් පන්දු යවලා ඒ පළමු තරගයෙන් කඩුලු 5ක් දවා ගත්තා. ඒ වෙද්දී මට වයස අවුරුදු 19යි. " ඔහු කියා සිටියේය.

IPL ආරම්භය සහ ජීවිතයේ පළමු බලාපොරොත්තුව

මොහොමඩ් සිරාජ් පළමු වරට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියක් සඳහා තෝරා ගැනුණේ 2017 වසරේදීය.

ක්‍රීඩක වෙන්දේසියේ දී මොහොමඩ් සීරාජ් හට ඉන්දීය රුපියල් කෝටි 2.7ක මිලක් නියම විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවූ බව දැන ගත් විට තමන්ගේ සිතට පැමිණි පළමු සිතිවිල්ල පිලිබඳව ද සිරාජ් මෙලෙස කියා සිටියේය.

"මම පළමුව තීරණය කළා නිවසක් මිලදී ගන්න. මට කාර් රථයක් හෝ වෙනත් දේවල් මිලදී ගන්න අවශ්‍යයි කියා සිතුනේ නැහැ. "

"මට අවශ්‍ය වුනේ මගේ පවුලේ අයට සුව පහසුව ජීවත් වෙන්න අවශ්‍යය තැනක් ලබා දෙන්න."

"නිවස මිලදී ගත්තම මට ඇතිවුනේ පුදුම සතුටක්. එමගින් මගේ ජීවිතය තුළ යම් සාර්ථකත්වයක් අත්කර ගත් බවට වන හැඟීමක් ඇතිවුනා යැයි පැවසුවොත් මා නිවැරැදි." ඔහු කියා සිටියේය.

“අවුරුද්දක් මම ක්‍රිකට්වලට වෙන් කළා”

කොවිඩ් වසංගත සමය සමග ලොවපුරා අගුලු දැමීම නිසා නිවසට වී සිටීමට සිදුවූ වසරක කාල සීමාව පුරා තමන් බොහෝ කැපවී පුහුණුවීම් කළ බව ඔහු සඳහන් කරයි.

" මම තීරණය කළා අවුරුද්දක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා.ඒක මට හොඳ නම් අඛණ්ඩව ක්‍රීඩා කරන්න. නැත්නම් වෙන රැකියාවකට යොමු වෙන්න මගේ බලාපොරොත්තුව තිබුණේ."

"මම ලොක්ඩවුන් කාල සීමාවේදී බොහෝ මහන්සි වෙලා පුහුණුවීම් කළා. මම උදෑසන තනියම නැගිටලා ව්‍යායාම් වල යෙදිලා පන්දු යැවීමේ පුහුණුවීම් වලට යනවා. මගේ දෛනික රාජකාරිය වුනේ එයයි."

"එලෙස පුහුණුවීම් කරලා අවසානයේදී ක්‍රීඩා කරන්න පටන් ගත්තා. එතකොට දැනුනේ වෙනස්ම හැඟීමක්. "

"මට තේරුණා මා තුළ යම් වෙනස්කමක් ඇතිවෙලා තියෙනවා කියලා. අඛණ්ඩව සිදුකළ පුහුණුවීම් නිසා මගේ පන්දු යැවීමේ සාර්ථකත්වයක් ඇතිවුණා." ඔහු කියා සිටියේය.

ඉන්දීය පිලට ලද පළමු කැඳවීම

2017 වසරේ IPL තරගාවලියෙන් පසුව මොහොම්ඩ් සිරාජ්ට ඉන්දීය ජාතික කණ්ඩායම සමග නවසීලන්තයට එරෙහි විස්සයි 20 තරග සංචාරයට එක්වීමට අවස්ථාව උදාවිය.

එමෙන්ම 2019 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරග වරම් හිමිවන ඔහුට පළමු වරට ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවන්නේ 2020 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිවයි.

ටෙස්ට් තරග 21කදි කඩුලු 59ක්, එක්දින තරග 29 කදී කඩුලු 53ක් සහ විස්සයි 20 තරග 08 කදී කඩුලු 11ක් මේ වන විට ඔහු දවා ගැනීමට සමත්ව ඇත.

 එක්දින තරග 29 කදී කඩුලු 53ක් සහ විස්සයි 20 තරග 08 කදී කඩුලු 11ක් මේ වන විට ඔහු දවා ගැනීමට සමත්ව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්දින තරග 29 කදී කඩුලු 53ක් සහ විස්සයි 20 තරග 08 කදී කඩුලු 11ක් මේ වන විට ඔහු දවා ගැනීමට සමත්ව ඇත.

ආසියානු කුසලානයේ තෑගි මුදල

මෙවර ආසියානු කුසලානයේ අවසන් මහ තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත් මොහොමඩ් සිරාජ් ඒ වෙනුවෙන් තමන්ට ලද ඇමෙරිකානු ඩොලර් 5,000 ක මුදල මෙරට ක්‍රීඩාංගණ සේවකයින් වෙත පිරිනැමීමට තරම් ත්‍යාගශීලි විය.

ඒ සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා ලෝලීන් පවා ඔහු ඇගයීමට ලක් කරමින් සමාජ මාධ්‍ය තුල සටහන් පවා පළ කර තිබෙන අයුරු දක්නට ලැබුණා.

මෙවර ආසියානු කුසලානයේ අවසන් මහ තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත් මොහොමඩ් සිරාජ් ඒ වෙනුවෙන් තමන්ට ලද ඇමෙරිකානු ඩොලර් 5,000 ක මුදල මෙරට ක්‍රීඩාංගණ සේවකයින් වෙත පිරිනැමීමට තරම් ත්‍යාගශීලි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවර ආසියානු කුසලානයේ අවසන් මහ තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත් මොහොමඩ් සිරාජ් ඒ වෙනුවෙන් තමන්ට ලද ඇමෙරිකානු ඩොලර් 5,000 ක මුදල මෙරට ක්‍රීඩාංගණ සේවකයින් වෙත පිරිනැමීමට තරම් ත්‍යාගශීලි විය.

'ජාතික ගීය වැයෙන කොට මම හිතනවා මම අද කොතැනද ඉන්නේ කියලා'

ඉන්දීය ජාතික ගීය වාදනය කරන සෑම අවස්ථාවකදීම තමන්ගේ ක්‍රීඩා ගමන, ගමේ මිතුරන් සමග සැහැල්ලු පන්දු ආරම්භ කළ අයුරු සහ අද වන විට තමන් සිටින ස්ථානය පිළිබඳ සිහියට නැගෙන බව සිරාජ් තමන් සහභාගි වූ සම්මුඛ සාකච්ජාවේදී පවසා තිබේ.

" මට මං ගැන ආඩම්බරයක් ඇති වනවා ඒ ගැන සිතන කොට. මගේ දෙමව්පියන් වින්ද වේදනාවන් සහ ඔවුන්ගේ ආශිර්වාදය තමා මාව මෙතරම් දුර ගෙනාවේ." සිරාජ් සඳහන් කර සිටියේය.