T20 කාන්තා ලෝක කුසලානය : ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම කොහොමද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
ICC කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් මස 03 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
බංගලාදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබු කාන්තා ලෝක කුසලාන තරගාවලිය එරට ඇතිවූ දේශපාලනික අස්ථාවරභාවයත් සමග වෙනත් රටකට ගෙන යෑමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන ලදී.
මෙවර කාන්තා 20 විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී A සහ B යන කාණ්ඩ යටතේ කණ්ඩායම් 10ක් තරග වැදීමට නියමිත ය.
කාන්තා T20 ලෝක කුසලාන ඉතිහාසය
2009 වසරේදී ආරම්භ කෙරුණු කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය තුළ මේ දක්වා තරගාවලි 08ක් පවත්වා ඇති අතරඑහිදී ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවස්ථා 06 කදී ශුරතාවය දිනා ගැනීමට සමත්ව තිබේ.
ඊට අමතරව එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් අවස්ථාවක බැගින් කාන්තා T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'අපිට තියෙන ලොකුම අභියෝගය ඕස්ට්‍රේලියාවයි'
ICC T20 ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුවන්නේ 07 වන ස්ථානයේ යි. මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන්නේ A කාණ්ඩය යටතේයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය වැනි ප්‍රබල කණ්ඩායම් රැසක් ද එම කාණ්ඩය නියෝජනය කරනු ලැබේ.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට A කාණ්ඩය යටතේ මුණ ගැසෙන ප්‍රබලම ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියාව බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
" අපිට තියෙන ලොකුම අභියෝගය තමයි ඕස්ට්‍රේලියාව. මොකද අපි ඉතිහාසයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හොදින් ක්‍රීඩා කරලා තියෙනවා කියලා කියන්න බැහැ. නමුත් පකිස්ථානය අපි බොහොම ලේසියෙන්ම පරාජය කරපු කණ්ඩායමක්. ඒ වගේම ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී අපි ඉන්දියාව පරාජය කළා. ඒ ආත්ම විශ්වාසය අරගෙන යන්න ඕන මේ තරගාවලියටත්.''
''ඒ කියන්නේ ඕනෑම කණ්ඩායමකගේ හොද නරක බලන්නේ තමන් ක්‍රීඩා කරපු ඉතිහාසය මත. නමුත් එදා දවසේ හොදින් ක්‍රීඩා කරන අය තමයි දිනන්නේ. ඕස්ට්‍රේලියාවටත් තියෙන්නේ ඉතිහාසයක්. අපි ඒ හැඟීමත් එක්ක මේ තරගාවලියේ ක්‍රීඩා කරන්න ඕන.''
''ලෝකයේ පිළිගත් කණ්ඩාමක් වන ශ්‍රී ලංකාව එක්ක ක්‍රීඩා කරන්න එනකොට අනෙක් කණ්ඩායම් පවා ඒ ගැන ලොකු අවබෝධයක් අරන් එන්නේ." රොෂාන් අබේසිංහ පැවසුවේය.
මේ අතර බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් B කාණ්ඩය යටතේ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ලෝක කුසලානයේදී වැඩි අවධානයක් හිමිවන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් කවුද?
- චමරි අතපත්තු
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව විස්සයි 20 කාන්තා තුන් ඉරියවු අංශයේ 05 වන ස්ථානයට හිමිකම් කියනු ලබන චමරි අතපත්තු පිළිබඳව මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි අවධානයක් යොමුව තිබේ.
ඇය ICC විස්සයි 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වලට අනුව 06 වන ස්ථානයේ පසුවෙයි.
තරග 139 කදී ලකුණු 3,326ක් රැස් කරගෙන ඇති චමරි ශතක 03ක් සහ අර්ධ ශතක 12ක් රැස් කරගෙන තිබේ. ඇයගේ පන්දුවට පහරදීමේ වේගය 110.90ක් වන අතර ඇය හයේ පහරවල් 88ක් සහ හතරේ පහරවල් 433ක් එල්ල කර ඇත.
පන්දු යැවීමේ අංශයෙන් චමරී තරග 81කදී කඩුලු 56ක් දවා ගෙන ඇති අතර, ඇයගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වුයේ ලකුණු 29 කට කඩුලු 04ක් ලෙසයි.
ලීග් ක්‍රිකට් තරගාවලි රැසකට ක්‍රීඩා කර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක් ලෙස චමරී අතපත්තු මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුව ලෙස ද සැලකෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- හර්ෂිතා සමරවික්‍රම
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කරන හර්ෂිතා සමරවික්‍රම පිළිබඳ ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වූයේ පසුගිය දා අවසන් වූ කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී ඇය දැක්වූ දක්ෂතාවයන් හේතුවෙනි.
ICC විස්සයි 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වලට අනුව හර්ෂිතා පසුවන්නේ 12 වන ස්ථානයේයි.
කාන්තා ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ හර්ෂිතා, මේ වන විට විස්සයි 20 තරග 65 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඉනිම් 61 කදී අර්ධ ශතක 08ක් සමග ලකුණු 1463ක් රැස් කිරීමට සමත්ව සිටියි.
ඇය ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 86ක් වන අතර විස්සයි 20 තරගවල දී හර්ෂිතාගේ ලකුණු රැස් කිරීමේ වේගය 99.72ක් ලෙස සටහන් වේ.
- විශ්මි ගුණරත්න
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන විශ්මි ගුණරත්න මේ දක්වා ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 43ක් වන අතර ඇය එහිදී ලකුණු 720ක් රැස් කිරීමට සමත්ව ඇත.
අර්ධ ශතක 03ක් රැස් කරගෙන ඇති විශ්මි ගුණරත්න විස්ය්යි 20 තරගයකදී රැස් කරගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 73ක් වන අතර ඇයගේ පන්දුවට පහර දීමේ ප්‍රහාරාත්මක වේගය 92.30ක් ලෙස සටහන් වේ.
- කවීෂා දිල්හාරි
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩිකාවක් වන කවීෂා දිල්හාරි ICC තුන් ඉරිය වු ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අනුව 16 වන ස්ථානයේ පසුවේ. ඇය විස්සයි 20 තරග 62 කට ක්‍රීඩා කර ඇති ඇය ඉනිම් 46 කදී ලකුණු 483ක් රැස් කර ඇති අතර ලකුණු රැස්කිරීමේ වේගය 104.54ක් ලෙස සටහන් වේ.
පන්දු යැවීමේදී තරග 60 කදී කඩුලු 50ක් දවාගෙන ඇති කවීෂාගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 13 කට කඩුලු 04ක් ලෙසයි. ඇයගේ පන්දු යැවීමේ සාමාන්‍යය 6.48ක් ලෙස සටහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'එකම ක්‍රීඩිකාවකට විතරක් වගකීම පවරන්න බැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලෝක කුසලාන තරගාවලියක් වැනි තරගකාරී තරගාවලියකදී එක් ක්‍රීඩිකාවකගේ දක්ෂතාවන් මත රැඳී සිටීමට නොහැකි බවත්, කණ්ඩායමේ සියලුම දෙනා තමන්ගේ වගකීම් ඉටු කිරීමට වගබලා ගත යුතු බවත් ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේය.
"කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ 11 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරියට ක්‍රීඩා කරන්න බැරි වුණොත් අනිත් අයට වගකීමක් තියෙනවා ඒ අඩුව පුරවන්න ක්‍රීඩා කරන්න.''
''ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ දේ තමයි චමරි ෆේල් වුන දවස් වලත් අපි තරග ජයග්‍රහණය කරලා තියෙනවා. චමරි ලකුණු රැස් කරද්දී එයා සුවිශේෂී විදිහට කරන්නේ. අපි දැකලා තියෙනවා හර්ෂිතා වගේම; විශ්මි ලකුණු අතරට එනවා. මේ අයගේ ආත්ම විශ්වාසය හොඳ තැනක තියෙන්නේ. ඒ අය හොඳ කණ්ඩායම් පරාජය කරලා, දිනලා තියෙනවා. ඒ වගේ අභියෝගයකට මුහුණ දෙන්න අපේ කණ්ඩායමට දැන් හැකියාව තියෙනවා කියලා මම හිතෙනවා.''
''අනිත් අතින් ගත්තම මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන තණ තීරු දඟ පන්දු යවන්නන්ට හිතකර වෙයි කියලා විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම පිතිකරුවන්ටත් මේ තණ තීරු වාසි දායක වෙයි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ දඟ පන්දු යවන්නන් රැසක් ඉන්නවා. ඒ වාසිය මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවක් වේවි කියා විශ්වාස කරනවා." ඔහු කියා සිටියේය.
මෙවර තරගාවලියේදී වැඩි අවධානයක් හිමිවන විදෙස් ක්‍රීඩිකාවන් කවුද?
ICC විස්සයි 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අනුව අංක 01 සහ 02 යන ස්ථානවල පසුවන බේත් මුනි, ටාලියා මැක්ග්‍රා පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.
එමෙන්ම ඉන්දියාවේ ස්මිත්‍රී මන්දනා, නවසීලන්තයේ සුසී බේට්ස් සහ සොෆී ඩේවින් ද මෙවර තරගාවලියේ වැඩි අවධානයක් යොමුව ඇති පිතිකාරීණියන් ලෙස හැඳින්විය හැක.
පන්දු යැවීමේ අංශයේ ICC ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාවේ සොෆි එකොල්ස්ටෝන් ද මෙවර තරගාවලියේදී පිතිකාරීණියන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ හැකි පන්දු යවන්නියක් ලෙස හැඳින්විය හැක.
එමෙන්ම ඉන්දියාවේ දීප්ති ෂර්මා සහ රේණුකා සිං ඨාකුර්, පකිස්ථානයේ සාදියා ඉඛ්බාල් ද මෙවර තරගාවලියේ දී වැඩි අවධානයක් දිනාගෙන සිටින පන්දු යවන්නියන් ලෙස සැලකේ.














