ශශිකලා සිරිවර්ධන: ‘ඒ වෙලාවේ මමත් එතන හිටියා වගේ දැණුනා’

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආසියානු කුසලාන කාන්තා තරගාවලියේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කොට පළමුවරට එහි ශුරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ හිටපු ක්‍රිකට් නායිකාවක් වන ශෂිකලා සිරිවර්ධන සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනකට ද සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිචාරයක් හිමිවිය.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාවක් වන ශෂිකලා සිරිවර්ධන බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ වසර 20 කට ආසන්න සිය ක්‍රීඩා ජීවිතයේදී ඇය බලාපොරොත්තුවෙන් සිටි කුසලානය ජයග්‍රහණය කිරීමට වත්මන් ක්‍රීඩිකාවන් සමත් වූ බවය.

ඡායාරූප මූලාශ්‍රය, Shashikala Siriwardena| Facebook
‘එහෙම දෙයක් මම බලාපොරොත්තු වුනේ නැහැ’
ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් විවෙකාගාරයට පැමිණ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධනට දුරකථන ඇමතුමක් ලබා ගැනීම පිළිබඳ මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එවැනි දෙයක් එම මොහොතේ සිදුකරයි යන්න තමන් බලාපොරොත්තු නොවූ බවය.
"අපේ ටීම් එකේ හැමෝම මාත් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. එයාලා මට මැසේජ් කරනවා. කිසිම වෙලාවක මම ටීම් එකේ නැහැ කියන හැඟීමක් මට තිබුනේ නැහැ."
"නමුත් මම හිතුවේ නැහැ එයාලා ඒ වෙලාවේ මට කෝල් කරයි කියලා."
"මම හිතුවේ එදාට පස්සේ දවසේ වගේ මට මැසේජ් එකක් කෝල් එකක් දෙයි කියලා. හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ වෙලාවේ එච්චර උණුසුමක් එකක් ඒ වෙලාවේ මට කෝල් එකක් දෙයි කියලා."
"ඒ වෙලාවේ මමත් ගොඩක් හැඟුම්බර වුනා මමත් ඒ වෙලාවේ. ඒ වෙලාවේ මමත් එතන හිටියා වගේ දැණුනා."
"මැච් එකේ අන්තිම ටිකේදි මමත් ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා වගේ ටෙන්ෂන් එක මට දැනුණා. ඒ එක්කම එයාලගේ කෝල් එකත් ආවම මට දැනුණා මමත් එතැනම ඉන්නවා වගේ." යැයි ඇය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Shashikala Siriwardena| Facebook
‘මාව ක්‍රිකට් වලට යොමු කලේ තාත්තයි - අයියයි’
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1998 වසරේදී තමන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුයේ තම පියා සහ වැඩිමහල් සහෝදරයාගේ උනන්දුව මත බව ද ශෂිකලා සිරිවර්ධන සිය මුල් ක්‍රීඩා දිවිය ගැන අදහස් පලකරමින් පැවසුවාය.
"මම හාර්ඩ් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ 1998 දී. ඒ කාලේ අපි පත්තරවල දැක්කා දේශිය කාන්තා තරග ගැන."
"ඒ වගේම 1997 සහ 2000 වසර වලදී දැක්කා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගවලට සහභාගී වුණා කියලා."
"මාව ක්‍රිකට්වලට යොමු කළේ මගේ තාත්තයි අයියයි. අපේ ගෙවල් ළඟ ක්‍රීඩා කරනවා දැකලා. ඉස්සර ඇකඩමී එකක් තිබුනේ නැහැ කාන්තාවන්ට."
"කෝල්ට්ස්, බ්ලුම්ෆීල්ඩ් වගේ ක්‍රීඩා සමාජ තමයි ගොඩක් ප්‍රසිද්ධ ඒ කාලේ කාන්තා ක්‍රිකට් තිබ්බා කියලා. ඒ වගේම ' රජරට ලේඩිස්' කියන ක්‍රීඩා සමාජය කාන්තා ක්‍රිකට් තිබුණා කියලා ලංකාවේ."
"මම මුලින්ම පාලිත ගුණසේකර සර් ලඟට ගියේ. අර කණ්ඩායම් කිහිපයේම කට්ටිය පිරිලා හිටියේ ඒ වෙද්දී. ඒ නිසා පාලිත සර් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් හැදුවා අලුතෙන්."
"1998 වසරේදී මම සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඉරිදට විතරයි ප්‍රැක්ටිස් තිබුණේ අපිට. ඉගෙන ගැනීමේ කටයුතු කරන ගමන් ක්‍රිකට් සෙල්ලම් කළා. අපිට කාන්තා කණ්ඩායමක් හදන්න අවුරුදු 03ක් ගියා."
"ඒ කාලේ කාන්තා ක්‍රිකට් සංගම් දෙකක් තිබුණා. එකක් රජයට අනුබද්ධිතව කාන්තා ක්‍රිකට් සංගමය කියලා. "
"ඉස්සර ICC එකයි, IWCC කියන ලෝක කාන්තා ක්‍රිකට් කවුන්සිලය වෙන වෙනම තිබුනේ. එතකොට ග්වේන් හේරත් මහත්මිය කරපු ක්‍රීඩා සංගමය IWCC එක යටතේ ලියාපදිංචි වෙලා තිබුනේ."
"මේ කාල සීමාව වෙද්දී ලංකාවේ දේශීය තරගාවලි දෙකක් තිබුණා. එකක් රජයට අනුබද්ධ සංගමය කළා. අනිත් එක ග්වේන් හේරත් මහත්මියගේ IWCC එක යටතේ කළා."
"ඉස්සර ක්‍රීඩා සමාජ 6-7ක් වගේ තමයි කාන්තා ක්‍රිකට් තිබුණේ. පාසැල්වල කාන්තා ක්‍රිකට් තිබුනේ නැහැ."

ඡායාරූප මූලාශ්‍රය, Shashikala Siriwardena| Facebook
"2001 වසරේදී මම ක්‍රීඩා කරපු ක්‍රීඩා සංගමය IWCC එක යටතේ ලියාපදිංචි නැති නිසා ඉදිරියට යන්න බැරි බව තේරුම් ගත්තා. ඒ වගේ ක්ලබ් කිහිපයක් තිබුණා."
"අපේ හීනේ වෙලා තිබුනේ රට නියෝජනය කරන්න වගේම වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න."
"ගොඩක් ක්‍රීඩා සමාජ ග්වේන් හේරත් මහත්මියගේ යටතේ තිබුණ දේශීය ක්‍රීඩා තරගාවලියට සෙල්ලම් කරන්න එක්වුණා." ඇය කියා සිටියාය.
වසර තුනක් එම දේශීය තරගාවලිය නියෝජනය කිරීමෙන් පසු තමන්ට වයස අවුරුදු 16 දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට එක්වීමට අවස්ථාව උදාවූ බව ශෂිකලා සිරිවර්ධන පැවසුවාය.
‘අපිට ලොකු අනුග්‍රාහකයෝ හිටියේ නැහැ’
තමන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්වීමෙන් පසු ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන විට දී විශාල අනුග්‍රාහකයින් නොසිටි බව ඇය සඳහන් කළාය.
"මම මුලින්ම ගියේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් තරග සංචාරයකට. ඒ වෙද්දී ටීම් එකේ හිටියේ ඔක්කොම සීනීයර් ප්ලේයර්ස්ලා. මම වගේ අලුතෙන් ආපූ දෙන්නයි හිටියේ."
"ඒ වෙන කොට ග්වේන් හේරත් මහත්මියගේ මැදිහත් වීමෙන් අපට පෞද්ගලික සමාගමක රැකියාවක් හොයලා දීලා ක්‍රීඩාව කරන් යන්න උදව් කළා."
"මොකද ඒ වෙද්දී අපට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලාට ගෙවීමක් හැටියට කලේ සාමාන්‍ය මුදලක්. අපිට ඇඳුම් වෙනුවෙන් අනුග්‍රාහක භවතුන් එහෙම හිටියේ හරිම අඩුවෙන්."
"ඉස්සර කාන්තා කණ්ඩායමට ගොඩක් තරග සංචාර තිබුනේ නැහැ. සමහර කාලවල් තිබුණා අවුරුදු එකහාමාරක් වගේ තරග සංචාර නැතිව තිබුණා." ඇය සඳහන් කළාය.
'ක්‍රිඩිකාවෝ ගොඩක් කැපවීම් කළා'
කාන්තා ක්‍රිකට් සංචිතයට ඇතුලත්වී සිටි බොහෝ ක්‍රීඩිකාවන් ඉතා දුෂ්කර මෙන්ම කැපවීම් කරමින් ක්‍රීඩාවේ නිරත වූ බව ද ශෂිකලා සිරිවර්ධන පැවසුවාය.
"අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ බොහෝ දෙනෙක් හිටියේ කොළඹින් පිට.පුහුණුවීම්වලට අනුරාධපුරයේ එහෙම ඉදල එන අක්කලා හිටියා."
"ඒ එන අය කොළඹ ගෙවල් තියෙන අයගේ ගෙදර ඉදලා තමයි පුහුණුවීම් වලට ගියේ. මොකද බෝඩිම් වලට ගෙවන්න සල්ලි නැති නිසා. අපේ ගෙදරත් ගොඩක් අය නතර වෙලා හිටියා."
"ප්‍රැක්ටිස් යනකොට බස් වල යද්දී ප්‍රශ්න එනවා. බෑග් ලොකු නිසා බස් වලින් ගන්නේ නැහැ. කට්ටිය සල්ලි දාලා ත්‍රිවිල් එකක තමයි යන්නේ."
"අපිට ටර්ෆ් එකක් හම්බ වෙන්නේ ටුවර් එකක් යන්න සතියක් වගේ ළංවෙද්දි. ගොඩක් වෙලාවට ගෘහස්ත ක්‍රීඩා පහසුකම් තමයි ලැබුනේ මුළු කණ්ඩායමටම දවසකට පැය දෙකක් වගේ."
"මේ නිසා අපි රුපියල් 100 ගානේ එකතු කරලා NCC ගෘහස්ත ක්‍රීඩාගාරය වෙන් කර ගන්නවා රුපියල් 700 කට වැඩිදුර පුහුණුවීම් වලින්. ඒ වගේ අපිම ක්‍රමයක් හදා ගත්තා."
"සමස්තයක් විදිහට අපේ ක්‍රීඩිකාවෝ ගොඩක් කැපවීම් කළා." ඇය පැවසුවාය.
2006 වසරේදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතට පවරනු ලැබූ අතර 2010 වසරේදී අර්ජුන රණතුංග සභාපති ධුරය දරන සමයේදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට පළමු වරට ක්‍රීඩා කොන්ත්‍රාත් නිකුත් කළ බව ඇය පැවසුවාය.
'2013 ලෝක කුසලානයේ දී කළ පෙරලිය'
2013 වසරේ පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන ලෝකයේ අවධානය යොමු වූ බව ශෂිකලා සිරිවර්ධන පැවසුවාය.
"කාලයක් තිබුණා එංගලන්තය, ඕස්ට්‍රේලියාව , ඉන්දියාව සහ නවසීලන්තය වගේ රටවල කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අපිට තරග ලබා දුන්නේ නැහැ. එංගලන්තය හිටපු ගමන් චාන්ස් එකක් දුන්නා."
"අපි ගොඩක් වෙලාවට ක්‍රීඩා කළේ බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, පකිස්ථානය වගේ කණ්ඩායම් එක්ක."
"ලංකාවේ කාන්තා ක්‍රිකට් තිබ්බට කලින් ඒවා ටෙලිවයිස් වුනේ නැහැ. නමුත් 2013 වසරේ ලෝක කුසලාන කාන්තා තරගාවලිය ටෙලිවයිස් කළා පළමු වරට."
"ඒ තරගාවලියේදී අපි එංගලන්තය පරාජය කළා වගේම සත්කාරක රට වුණ ඉන්දියාව පරද්දවලා සුපිරි 06 දෙනාගේ වටයෙන් එලියට දැම්මා. ඒක හරිම විශේෂයි."
"ඒ තරගාවලියෙන් පස්සේ අපේ කාන්තා කණ්ඩායම වගේම අපේ ජිවිත පවා වෙනස් වුණා. අපිට ස්පොන්සර්ලා එහෙමත් ආවා පෞද්ගලිකව. ගොඩක් දේවල් වෙනස් වුණා."
"ICC එක ඊට පස්සේ කළේ රෑන්කින් වලින් උඩම ඉන්න රටවල් 08 අරගෙන අවුරුදු තුනහමාරක සර්කල් එකක් ඇතුළත හැම රටක් එක්කම තරග තුනක් සෙල්ලම් කරලා චැම්පියන්ෂිප් තරගාවලියක් පවත්වන්න කටයුතු කළා."
"එතැනින් අපි දැන ගත්තා අපේ තියෙන අඩු පාඩු හදාගෙන ටෙක්නික්ස් එහෙම හදාගෙන ඉස්සරහට යන්න අවස්ථාව උදාකර ගන්න ලැබුණා." ඇය සඳහන් කළාය.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩිකාවන් පාසැල් ක්‍රිකට් ඔස්සේ පැමිණි අය බවත් එය ඉතා හොඳ ලක්ෂණයක් බව ඇය පැවසුවාය.
"අද වෙන කොට කාන්තා ක්‍රිකට් වලට ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා රටේ. චමරි අතපත්තු වගේම වත්මන් කණ්ඩායමේ ඉන්න ක්‍රීඩිකාවන් ගොඩ දෙනෙකුගේ හැකියාවන් හා දස්කම් නිසා අද වෙද්දී ඒ තත්ත්වය ඇතිවෙලා තියෙනවා."
"අතීතයේ ගත්තම අපේ ජාතික කණ්ඩායමේ පළමු නායිකාව ලෙස කටයුතු කළ වැනේසා ද සිල්වා ගේ ඉදලා අද දක්වා ක්‍රීඩා කරපු හැම ක්‍රීඩිකාවක්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වෙනුවෙන් ගොඩක් කැපවීම් කළා. විශේෂයෙන් ග්වේන් හේරත් මහත්මිය හිටියා මේ ගමනේදී." ඇය වැඩිදුරටත් පැවසුවාය.












