ආසියානු කුසලානය : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව අවසන් පුර්ව වටයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා අපරාජිතව පිවිසීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම (ජුලි 24) සුදුසුකම් ලැබීය.
ඒ තායිලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 10ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමිනි.
ඒ අනුව ජුලි 26 වැනිදා පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමයි.
තායිලන්තයට එරෙහි තරගයේදී මොකද වුණේ ?
කාසියේ වාසිය දිනු තායිලන්ත කණ්ඩායමේ නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළාය.
ඒ අනුව තායිලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලූ 07ක් පමණක් දැවී ලකුණු 93ක් රැස් කිරීමට සමත් විය.
එහිදී තායිලන්ත කණ්ඩායමේ නැනපැට් කොන්චිරන්කායි පන්දු 53 කදී නොදැවී ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුවාය.
පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි විසින් ලකුණු 13 කට කඩුලු දෙකක් දවා ගනු ලැබීය.
ලකුණු 94ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 11 යි පන්දු 3ක් අවසානයේදී එම ඉලක්කය සම්පුර්ණ කළේ එකඳු කඩුල්ලක් හෝ නොදැවී වීම විශේෂත්වයකි.
නායිකා චමරි අතපත්තු පන්දු 35 කදී නොදැවී ලකුණු 49ක් ද, විශ්මි ගුණරත්න පන්දු 34 කදී නොදැවී ලකුණු 39ක් ද රැස් කළහ.
තරගයේ ක්‍රීඩිකාව ලෙස නායිකා චමරි අතපත්තු සම්මාන ලැබුවාය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වටයේදී බංගලාදේශය, මැලේසියාව සහ තායිලන්ත කණ්ඩායම් සමග පැවති තරග තුනම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබූ රටවල් මොනවාද?
මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග ජුලි මස 26 වැනිදා පැවැත්වේ.
එහිදී ඉන්දියාව සහ බංගලාදේශය පළමු අවසන් පුර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.
දෙවන අවසන් පුර්ව වටයේ තරගය සඳහා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
එම තරග ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් ජුලි මස 28 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට ක්‍රීඩා කිරිම සඳහා සුදුසුකම් ලබනු ඇත.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙතෙක් දැක්වූ දක්ෂතා මොනවාද ?
B කාණ්ඩය යටතේ තරග කරන ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් එම කාණ්ඩයේ පෙරමුණේ පසුවේ.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තමන් මුහුණ දුන් පළමු තරග තුනෙන් ම පහසු ජයක් ලැබීමට සමත් වුයේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් ගෙන දෙමිනි.
බංගලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති පළමු තරගයේදී කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය මැලේසියානු කණ්ඩායම සමග පැවති අතර එම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 144ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවිය.
එම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 තරගයකදී විශාල ම ලකුණු පරතරයකින් ලද ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක්විය.
චමරි තැබූ වාර්තාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැලේසියානු කණ්ඩායම සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ආසියානු කුසලාන තරගාවලියේදී වාර්තා කිහිපයක් තමන්ගේ නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් වුවාය.
මැලේසියාවට එරෙහිව පන්දු 69 කදී නොදැවී ලකුණු 119ක් රැස් කළ චමරි අතපත්තු ආසියානු කුසලාන කාන්තා තරගාවලියකදී ශතකයක් රැස් කළ එකම පිතිකාරිණිය ලෙස වාර්තා පොත් අතරට එක්වූවාය.
එම ඉනිමේ දී චමරිගේ ලකුණු රැස් කිරීමේ ප්‍රහාරාත්මක වේගය 172.46ක් ලෙස සටහන් විය.
චමරි එම ඉනිමේදී හයේ පහරවල් 7ක් එල්ල කළ අතර එය ආසියානු කුසලාන තරගාවලියකදී පිතිකාරිණියක් එක් ඉනිමකදී එල්ල කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වුණි.
ආසියානු කුසලාන තරගාවලියේ ඉනිමකදී හයේ සහ හතරේ පහරවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකාරිනිය යන වාර්තාව ද චමරි අතපත්තු සිය නම ඉදිරියේ ලියා ගැනීමට සමත් වුවාය.
එහිදී චමරි විසින් ලකුණු 98ක් රැස් කරනු ලැබුවේ හයේ පහරවල් 7ක් සහ හතරේ පහරවල් 14ක් එල්ල කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැලේසියාව සමග එම තරගයේදී චමරි අතපත්තු සහ අනුෂ්කා සංජිවනි අතර තැබූ ලකුණු 115ක සබඳතාවය ආසියානු කුසලාන තරගාවලියකදී තෙවන කඩුල්ල වෙනුවෙන් තැබූ හොඳම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එක් විය.
සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්
බංගලාදේශය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණිය වන විශ්මී ගුණරත්න පන්දු 48 කදී ලකුණු 51ක් රැස් කළාය.
ඇය එම තරගයේ දී හොඳම ක්‍රීඩිකාව ලෙස ද සම්මානයට පාත්‍ර වුවාය.
එමෙන්ම මැලේසියාව සමග පැවති තරගයේදී 15 හැවිරිදි ශෂිනි ගිම්හානි පන්දු වාර 4 කදී ලකුණු 9 කට කඩුලු 3ක් දවා ගන්නා ලදී.













