ICC සම්මාන සඳහා නිර්දේශ වූ ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද?

Kamindu Mendis and Kusal Mendis

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 5

2024 වසර සඳහා වන ICC සම්මාන සඳහා වූ නිර්දේශ නාමයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

කාණ්ඩ 09ක් යටතේ ලබාදෙන සම්මාන සඳහා පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 36ක ගේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස නිර්දේශ කර ඇත.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු ද ICC සම්මාන සඳහා මෙවර නිර්දේශ කොට තිබේ.

ශ්‍රී ලංකාවෙන් නිර්දේශ වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද ?

2024 "ICC වසරේ නැගී එන පිරිමි ක්‍රීඩකයා" සහ ' වසරේ ටෙස්ට් ක්‍රීඩකයා' සඳහා වූ සම්මාන දෙකට ශ්‍රී ලංකාවෙන් කමිදු මෙන්ඩිස් ගේ නම ද නිර්දේශ කර තිබේ.

මීට අමතරව 2024 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සඳහා වූ සම්මානයට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ වී ඇත.

එමෙන්ම 2024 'වසරේ එක්දින' හා 'වසරේ T20' ක්‍රීඩිකාව යන සම්මාන දෙකටම සහ ICC 'වසරේ ක්‍රීඩිකාව' යන සම්මාන තුනටම චමරි අතපත්තු ගේ නම නිර්දේශ කර තිබේ.

කමිදු මෙන්ඩිස්, මෙම වසරේ තමන් ක්‍රීඩා කළ තරග 32ක් තුළදී ලකුණු 1451ක් රැස් කිරීමට සමත්ව තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කමිදු මෙන්ඩිස්, මෙම වසරේ තමන් ක්‍රීඩා කළ තරග 32ක් තුළදී ලකුණු 1451ක් රැස් කිරීමට සමත්ව තිබේ

බ්‍රැඩ්මන් ගේ වාර්තාව සමකළ කමිදු

2024 වසරේ නැගී එන ICC ක්‍රීඩකයා ගේ සම්මානයට මෙන්ම වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ගේ සම්මාන දෙක සඳහා නිර්දේශ වූ කමිදු මෙන්ඩිස්, මෙම වසරේ තමන් ක්‍රීඩා කළ තරග 32ක් තුළදී ලකුණු 1451ක් රැස් කිරීමට සමත්ව තිබේ.

ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන්ගේ ඉනිම් 13 සීමාව සම කරමින්, ටෙස්ට් ලකුණු 1000 රැස් කළ තෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ගේ සන්ධිස්ථානය කරා ළඟා වූ කමිදු මෙන්ඩිස්, 2024 දී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ නව මුහුණුවරක් ලෙස මතුවිය.

එංගලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 267ක් රැස් කළ කමිදු මෙන්ඩිස්, නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට මුලික විය.

නවසීලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගයේදී හයේ පහරවල් 04ක් සහ හතරේ පහරවල් 16ක් සමග සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය වූ නොදැවී ලකුණු 182ක් රැස් කිරීමට කමිදු මෙන්ඩිස් මෙම වසරේදී සමත් විය.

ප්‍රතිවාදී කණ්ඩායම් 06 ට එරෙහිව අර්ධ ශතක රැස් කිරීමට ද කුසල් මෙන්ඩිස් සමත්ව සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රතිවාදී කණ්ඩායම් 06 ට එරෙහිව අර්ධ ශතක රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්ව සිටියි.

කුසල් මෙන්ඩිස් නිර්දේශ වූ හේතුව

2024 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සඳහා වූ සම්මානයට නිර්දේශ වූ කුසල් මෙන්ඩිස් මෙම වසරේදී එක්දින තරග 17 කදී ලකුණු 742ක් රැස් කිරීමට සමත් විය. එහිදී ඔහුගේ ලකුණු රැස් කිරීමේ ප්‍රහාරාත්මක වේගය 90.59ක් ලෙස සටහන්ව තිබේ.

නවසීලන්ත කණ්ඩායම සමග දඹුල්ලේ දී පැවති එක්දින තරගයේදී කුසල් මෙන්ඩිස් පන්දු 128 කදී ලකුණු 143ක් රැස් කිරීමට සමත් විය.

එමෙන්ම මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග ක්‍රීඩා කළ ප්‍රතිවාදී කණ්ඩායම් 06 ට එරෙහිව අර්ධ ශතක රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්ව විය.

එක්දින කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරන කුසල් මෙන්ඩිස් දවා ගැනීම් 19 කට ද සිය දායකත්වය දක්වා ඇත.

වනිදු හසරංග මෙම වසරේදී එක්දින තරග වලදී කඩුලු 26ක් දවා ගැනීමට සමත්වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වනිදු හසරංග මෙම වසරේදී එක්දින තරග වලදී කඩුලු 26ක් දවා ගැනීමට සමත්වී තිබේ

පළමු පන්දුවාර 03දී හසරංග දැක්වූ දස්කම

2024 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සඳහා වූ සම්මානයට නිර්දේශ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයා වන වනිදු හසරංග මෙම වසරේදී එක්දින තරග වලදී කඩුලු 26ක් දවා ගැනීමට සමත්වී තිබේ. පන්දු යැවීමේදී ඔහුගේ සාමාන්‍ය 5.36 කි.

වනිදු හසරංග මෙම වසරේ ක්‍රීඩා කළ සෑම එක්දින තරගයකදීම තමන් යැවු පළමු පන්දු වාර 03 තුළදී ප්‍රතිවාදී කඩුල්ලක් දවා ගැනීමට සමත්වූ පන්දු යවන්නෙකු බව ICC ය සඳහන් කර ඇත.

එමෙන්ම මෙම වසරේ තමන් ක්‍රීඩා කළ පළමු එක්දින තරග 03 තුළදී කඩුලු 11ක් දවා ගැනීමට වනිදු හසරංග සමත් විය. මෙම වසරේදී වනිදු ගේ හොදම එක්දින පන්දු යැවීම ලෙස සටහන් වුයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19 කට කඩුලු 07ක් දවා ගැනීමයි.

ICC සම්මාන දෙකක් සඳහා චමරි ගේ නම නිර්දේශ වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ICC සම්මාන 03ක් සඳහා චමරි ගේ නම නිර්දේශ වී තිබේ

චමරි අතපත්තු සම්මාන සඳහා නිර්දේශ වූ හේතුව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2024 'වසරේ එක්දින' හා 'වසරේ T20' ක්‍රීඩිකාව යන සම්මාන දෙකටම සහ ICC 'වසරේ ක්‍රීඩිකාව' යන සම්මාන තුනටම චමරි අතපත්තු ගේ නම නිර්දේශ කර තිබේ.

2024 වසරේ විස්සයි 20 ක්‍රීඩිකාව සඳහා වූ සම්මානය සඳහා නිර්දේශ වූ චමරි අතපත්තු, මෙම වසරේදී විස්සයි 20 තරග 21 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 04ක් සමගින් ලකුණු 720ක් රැස් කර ගැනීමට සමත් වුවාය.

එමෙන්ම පන්දු යැවීමෙන් කඩුලු 21ක් දවා ගැනීමට සමත් වූ ඇයගේ හොඳම පන්දු යැවීම ලකුණු 29 කට කඩුලු 04ක් දවා ගැනීම ලෙස සටහන් වේ.

චමරි අතපත්තු ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් 2024 ආසියනු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

එමෙන්ම 2024 වසරේ එක්දින ක්‍රීඩිකාව සඳහා වූ සම්මානයට නිර්දේශ වූ චමරි අතපත්තු මෙම වසරේදී එක්දින තරග 09 කදී ලකුණු 458ක් රැස් කිරීමට සමත් වුවාය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගයේදී පන්දු 51කදී නොදැවී ලකුණු 195ක් රැස් කිරීමට ද ඇය සමත් විය. එම තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 05කින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට සමත් වුණි.

පන්දු යැවීමෙන් චමරි අතපත්තු මේ වසරේදී කඩුලු 09ක් දවා ගැනීමට ද සමත් වූවාය.