ශ්‍රී ලංකා ක්‍රිකට් : ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බාහිර පෙනුම, විවේචන සහ විසඳුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විවිධ අවස්ථාවලදී විවිධ හේතු මත මහජන දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Wanindu Hasaranga De Silva| Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විවිධ අවස්ථාවලදී විවිධ හේතු මත මහජන දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

වර්තමානයේදී සමාජ මාධ්‍ය භාවිතය ඉහළ ගොස් තිබීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන් තරග පැරදීමේ වේදනාව පිට කර ගන්නේ විවිධ අදහස් පළ කිරීමෙනි.

පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව බරපතළ පරාජයකට ලක්වීමෙන් පසුව මෙම විවේචන ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Wanindu Hasaranga De Silva| Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වී ඇත

'අර්ජුණලා මේන්ටේන් කරපු නායකත්වයට වෙලා තියෙන දේ'

මෙහි තවත් දිගුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වී ඇත.

'ටෙස්ට් ඉතිහාසයේ ඉඳලා ගත්තොත් බන්දුල වර්ණපුරලා, දුලීප් මෙන්ඩිස්ලා, අර්ජුන, අරවින්ද, සනත්, මාවන්, මහේල, සංගා වෙනකම් ආව මැතිව්ස්ලා , චන්දිමාල් ලා යන්තම් හරි මේන්ටේන් කරපු ජෙන්ට්ල්මන් කැපටන්සි එක අද වෙනකොට රස්තියාදුකාර ලෙවල් එකට ම බැහැලා,' යනුවෙන් ෆේස්බුක් භාවිත කරන්නෙකු සටහනක් තබා තිබිණි.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

මේ අතර, තවත් සටහනක දකුණු අප්‍රිකානු නායක ඒඩ්න් මාක්‍රාම් සහ වනිඳු හසරංග සසඳමින් අදහස් පළ කර තිබිණි.

මීට අමතරව, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යාමට පෙර ගනු ලැබූ කණ්ඩායම් ඡායාරූපයේ නායක වනිඳු හසරංග මේස් නොමැතිව සපත්තු පැළඳගෙන සිට ආකාරය ද ඇතැමෙකුගේ විවේචනයට ලක්ව තිබිණි.

ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් ආදී ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ මීට පෙර සිදුවූ ක්‍රියාකලාපයන් මෙන් ම තරග පරාජයෙන් ක්‍රීඩා ලෝලීන් ලද අමිහිරි අත්දැකීම් ද හේතුවෙන් කලක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විවේචන එල්ල වෙමින් පවතී.

'පරිණත නායකයෙක් නැති එක අඩුවක්' - හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා

චාමර සිල්වා යනු 1999 වසරේ සිට 2011 වසර දක්වා වසර 12ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

ඔහු මේ වන විට, ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ඔහු තමන් සහභාගි වූ පළමු එක්දින තරගයේදී ම ඔස්ට්‍රේලියාවට එරෙහිව අර්ධ ශතකයක් රැස් කරමින් එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම ලකුණු රැස් කළ පිතිකරුවා බවට ද පත් විය.

සනත් ජයසූරියගේ නායකත්වය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ චාමර සිල්වා, 2011 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කළේ, තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ ය.

යම් ක්‍රීඩකයෙකුගේ හැසිරීම මත එම ක්‍රීඩකයා විනිශ්චයට ලක්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Wanindu Hasaranga De Silva| Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, යම් ක්‍රීඩකයෙකුගේ දක්ෂතා ඔහුගේ බාහිර පෙනුම අනුව විනිශ්චය කිරීම අසාධාරණ බව ජාත්‍යන්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සාමාජික, සම්මානලාභී ක්‍රීඩා අභිප්‍රේරක සහ ලේඛකයෙකු වන භාතිය අර්ථනායක පවසයි

ඒ අනුව, විවිධ නායකයින් යටතේ තමන් ලැබූ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් චාමර සිල්වා බීබීසී සිංහල සේවයට පැවසුවේ, කණ්ඩායමේ නායකත්වයට පරිණත ක්‍රීඩකයෙකු පත් කළ යුතු බව ය.

"මම ක්‍රිකට් ගහපු කාලේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ අපට වඩා අත්දැකීම් බහුල පරිණතභාවයක් තියෙන නායකයින්. ඔවුන් අපිව ඉතා හොඳින් පාලනය කළා. ඒ වගේ ම නායකයින් ඉතා වගකීමෙන් යුතුව ක්‍රියා කළා. ඒ නිසා මට හිතෙන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් තියෙන තත්ත්වයට හේතුව තමයි, දීර්ඝ කාලීන සැලැස්මක් ඇතිව නායකයෙක් නිර්මාණය නොකිරීම. නායකයා සහ සෙසු කණ්ඩායම එක ම වයසේ හෝ එක ම මට්ටමක ඉන්නකොට ඔවුන්ට ජාතික කණ්ඩායමක් නියෝජනය කරනවා කියන්නේ කොයිතරම් වගකීමක් ද කියන දේ වැටහෙන්නෙ නෑ. මේ ගැටලුව තමයි මම දකින විදිහට මෙතන තියෙන්නේ," චාමර සිල්වා පැහැදිලි කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ජාතික කණ්ඩායමේ නායකත්වය සඳහා සුදුස්සෙකු හඳුනාගෙන එම ක්‍රීඩකයා ඒ සඳහා පුහුණු කරවීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව ය.

'ක්‍රීඩකයෙක් බාහිර පෙනුමෙන් මනින්න බැහැ. ඒත් හැසිරීමෙන් මනින්න පුළුවන්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

යම් ක්‍රීඩකයෙකුගේ දක්ෂතා ඔහුගේ බාහිර පෙනුම අනුව විනිශ්චය කිරීම අසාධාරණ බව ජාත්‍යන්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සාමාජික, සම්මානලාභී ක්‍රීඩා අභිප්‍රේරක සහ ලේඛකයෙකු වන භාතිය අර්ථනායක පවසයි.

"අපි කලින් දැකපු ලෝකයට වඩා බොහෝ දේවල් වෙනස් වෙලා තියෙන්නෙ දැන්. ඉස්සර අර්ජුණ වගේ නායකයෝ විනය ගැන ගත්තා ම ක්‍රීඩකයින්ගේ බාහිර පෙනුම ගැන පවා සැලකිලිමත් වුණා. හැබැයි අද ලෝකේ ක්‍රීඩාව ඊට වඩා වෙනස්. ක්‍රීඩකයෝ තමන්ගේ දක්ෂතාවලට අමතරව, තමන්ගේ පෙනුම ගැන, මෝස්තර ගැන, කොණ්ඩා විලාසිතා ගැන, පච්චා කෙටීම ගැන විවිධ දේවල් ගැන සැලකිල්ලක් දක්වනවා. ඒක වැරදියි කියන්නත් බෑ. ඒ අනුව, නායකයෙක් හෝ ක්‍රීඩකයෙක් විනිශ්චය කරන්න බෑ එයාගෙ බාහිර පෙනුමෙන්."

කෙසේ වෙතත්, යම් ක්‍රීඩකයෙකුගේ හැසිරීම මත එම ක්‍රීඩකයා විනිශ්චයට ලක්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

"හැබැයි ඔහුගේ හැසිරීම අනික් අතට එයාගේ ක්‍රීඩකත්වයට හෝ නායකත්වයට බලපෑමක් නොවෙන තුරු තමයි, ඔහුගේ බාහිර පෙනුම පෞද්ගලික දෙයක් වෙන්නේ. මේ විවේචන එල්ල වෙන්නේ, අපේ කණ්ඩායමේ දක්ෂතා දැක්වීම්වල තියෙන ප්‍රශ්නයක් නිසා යි. මේ ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා නම් ඔවුන් ඇඳ පැළඳගෙන ඉන්න දේවල් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ට ගැටලුවක් වෙන්නෙ නෑ. මූලික ගැටලුව තමයි, ක්‍රීඩකයෝ එළිය ලෝකය ඇතුළේ තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න උත්සහ කරන තරමට, තමන් ක්‍රීඩා කරන ක්‍රීඩාංගණය ඇතුළේ දක්වන දක්ෂතාවලින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නංවන්න උත්සහ කරනවා ද කියන එක ගැන ඇත්තට ම ගැටලුවක් තිබෙනවා," භාතිය අර්ථනායක පැවසීය.

මෙය පැහැදිලි කිරීම සඳහා ඔහු හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පළ කළ අදහසක් උපුටා දැක්වීය.

"එක සම්මුඛ සාකච්ඡාවකදී ඉන්දියාවේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි හරි ලස්සනට කියනවා, එළියෙ ලෝකයේ අවධානය දිනා ගන්න උත්සහ කරන්න එපා තමන්ගේ බාහිර පෙනුම වෙනස් කිරීමෙන්. එළියෙ ලෝකයේ අවධානය දිනන එක ගැන ලොකුවට හිතන්න යන්න එපා. ඔයා ග්‍රවුන්ඩ් එක ඇතුළෙ කරන එක හරියට කරන්න, එතකොට එළියෙ ලෝකෙ අවධානය සහ සමාජ මාධ්‍යවල ආකර්ෂණය ඔබට ඉබේ ම ලැබෙයි කියලා. එතකොට මේකෙ අනික් පැත්ත තමයි වෙලා තියෙන්නෙ ලංකාවේ කණ්ඩායම ගත්තා ම."

'නායකයෙකු නිර්මාණය කිරීමට දීර්ඝ කාලීන සැලසුම් අවශ්‍යයි'

භාතිය අර්ථනායක පවසන්නේ, ලෝකයේ විශිෂ්ට ක්‍රිකට් කණ්ඩායම් ලෙස සැලකෙන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි රටවල නායකයින් නිර්මාණය කිරීමට දීර්ඝ කාලීන සැලසුම් අනුගමනය කරන බව ය.

"ඔස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ විශිෂ්ට කණ්ඩායම් අපට පේනවා නායකයින්ව පුහුණු කරනවා. නායකයින්ව හැඩ ගස්වනවා. අනාගත නායකයා කවුද කියන එක සියලු දෙනාට පේනවා ඒ අනුව. ඒක පරිපාලනය විසින් ගනු ලබන තීරණයක්. එතකොට ඒ ක්‍රීඩකයාටත් හැඟීමක් තියෙනවා, මම නායකත්වය දරන්න තමයි මේ සූදානම් වෙන්නෙ කියලා. එතකොට ඔහුට ඒකට හැඩ ගැසීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ලංකාවේ ගත්තා ම අපට පේනවා, මෑතකදී නායකත්වයට පත්වෙන ක්‍රීඩකයො විතරක් නෙවෙයි, කණ්ඩායමේ ඒ ඒ ස්ථානවලට ක්‍රීඩකයො හැඩ ගස්වන බවකුත් පේන්න නෑ කියන එකයි මගේ අදහස."

ඔහු එම අදහස සනාථ කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ බිහිවූ විශිෂ්ට නායකයෙකු ලෙස සැලකෙන රිකී පොන්ටින්ගේ උදාහරණය ගෙනහැර දැක්වීය.

"රීකි පොන්ටින් කියන්නේ තමන්ගේ තරුණ කාලේ විනය සම්බන්ධයෙන් බරපතළ චෝදනා ලබපු කෙනෙක්. සමාජ ශාලාවල ගැටුම් ඇති කර ගත්ත කෙනෙක්‍. තරග තහනම්වලට ලක් වෙච්ච කෙනෙක්. හැබැයි ඔහුව ක්‍රමානුකූලව නායකත්වයට හැඩ ගැස්සුවා ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පරිපාලකයින් විසින්. ඔස්ට්‍රේලියාව බිහි කළ විශිෂ්ටතම නායකයෙක් බවට පත්වෙන්න රිකී පොන්ටින්ට හැකියාව ලැබුණා. මම විශ්වාස කරනවා ඒක ඔහුගේ පෞද්ගලික උත්සහය මත පමණක් නොවෙයි, ඔස්ට්‍රේලියානු බලධාරීනගේ මැදිහත් වීම මත සිද්ධ වුණ දෙයක් කියලා. මේක ශ්‍රී ලංකාවේ නායකයෝ හැඩගස්වද්දී තියෙනවා කියලා මට පේන්නෙ නෑ."

භාතිය අර්ථනායක පෙන්වා දුන්නේ, රටක ක්‍රීඩාවක් වෙනුවෙන් පැහැදිලි සැලැස්මක් තිබිය යුතු බව ය.

"මහේල, සංගක්කාර නායකත්වයට හැඩගස්වමින් තිබුණු බව අපට පේන්න තිබුණා. දැන් එහෙම දෙයක් අපට පේන්නෙ නෑ. මං කියන්නෙ රටක ක්‍රීඩාව ඇතුළෙ එහෙම වෙන්න බෑ කියලා. මොක ද අපට පැහැදිලි සැලැස්මක් තිබිය යුත්තේ, තරගයට පිට්ටනියට බහින්න විතරක් නෙවෙයි. රටක ක්‍රීඩාව ඇතුළේ පැහැදිලි සැලැස්මක් තිබිය යුතුයි. එවැනි සැලැස්මක් නැති වුණා ම අපට මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා."

'ක්‍රීඩකයින්ගේ පෞරුෂත්ව වර්ධනය ඇතුළු සියලු දේ පුහුණු කරනවා' - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, ක්‍රීඩකයින්ගේ පෞරුෂත්ව වර්ධනය, සමාජයීය ජීවිතය සම්බන්ධයෙන් පුහුණු සැසි පවත්වන බව ය.

"ගෲමින් සෙෂන්ස් තියනවා අපි සාමාන්‍යයෙන්. මීඩියා ට්‍රේනිං සහ තවත් ගොඩක් දේවල් අපි පුහුණු කරනවා. ගිය මාසය තුළ පවා අපි ඒවා කරගෙන ගියා. පෞරුෂත්වය සම්බන්ධයෙනුත් පුහුණු කරනවා. අපි හැම තරගාවලියකට ම පස්සේ කතා කරනවා කණ්ඩායම එක්ක. එතනදි ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අපි විමර්ශනය කරනවා," ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකාරවරයා පැවසීය.

'අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේ ද?'

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ට එල්ල වන චෝදනා හේතුවෙන් ඔවුන් තවතවත් මානසිකව දුර්වල වන අතර එම පීඩනයෙන් මිදීමට ක්‍රීඩකයින්ට හැකියාව ඇතැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

"මූලික දේ තමයි ඔවුන් විවේචන එල්ල නොවෙන ආකාරයට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන එක. අනිත් එක තමන්ට එල්ල වන චෝදනා විවේචන ගැන නොසිතා ක්‍රීඩා දක්ෂතා සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරන එක. ක්‍රිකට් ක්‍රීඩාව වගේ ශ්‍රී ලාංකිකයින් අතිශයින් ආදරය කරන ක්‍රීඩාවක ජාතික කණ්ඩායම නියෝජනය කරනවා කියන්නේ ලොකු වගකීමක් බව ඔවුන් වටහා ගත යුතුයි. ඒ වගකීමෙන් යුතුව ක්‍රියා කළොත් ඔවුන්ට පුළුවන් දක්ෂතා අතරට පිවිසෙන්න," විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පෙන්වා දුන්නේ ය.

මේ අතර, සම්මානලාභී ක්‍රීඩා අභිප්‍රේරක භාතිය අර්ථනායක පෙන්වා දුන්නේ, සාර්ථකත්වයට පත්වීම ක්‍රීඩකයින් මුහුණ දෙන විවේචන තුළ ම ඇති බව ය.

"ක්‍රීඩකයෝ විවේචනවලට ලක්වෙන්නේ හොඳින් ක්‍රීඩා නොකරන නිසා. පරාජයක් වුණත් ගෞරවාන්විතව පරාජය වෙන්න නම් හොඳින් ක්‍රීඩා කළ යුතුයි. ඒ නිසා අනිත් සියල්ල අමතක කරලා තමන්ගේ දක්ෂතා දියුණු කරගෙන රට වෙනුවෙන් යමක් කරන්න උත්සහ කළොත් මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්."