SriLankan ගුවන් සමාගම ගැන ජනපති ගත් තීරණය පිළිබඳව විද්වතුන් කියන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රීලංකන් ගුවන් සේවය යනු ශ්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර අතර ඉහළින් ම ඇති ආයතනයකි.
ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට පසුගිය ආණ්ඩුව ගන්නා ලද තීන්දුව වෙනස් කරමින් වත්මන් රජය එය තවදුරටත් ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
එ් අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය නොකරන බවට ප්‍රකාශයක් කළ නව ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කළේ ය.
ඇතැම් ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාම සඳහා "ගුවන් යානයක් ඇසට නොදැකපු රට වැසියන් පවා බදු ගෙවමින් සිටින," බව ය.
දිගින් දිගට ම පාඩු ලබමින්, අර්බුද රැසක් මැද ශ්‍රීලංකන් ගුවන් සේවය තවදුරටත් රජය සන්තකයේ තබා ගැනීම රටට, රටේ ආර්ථිකයට කෙලෙස බලපානු ඇති ද? බීබීසි සිංහල සේවය ඒ පිළිබඳව කළ සොයා බැලීමකි, මේ.
ජාතික ගුවන් සේවයේ ලාභ, අලාභ
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන් සේවය 1979 වසරේදී ආරම්භ කරන ලදී.
එම ගුවන් සේවය 2021 වසරේදී ලබා තිබූ අලාභය රුපියල් බිලියන 166.37කි.
2022 වසරේදී කරන ලද යම් යම් වෙනස් කිරීම් මත අලාභය අඩකින් පමණ අඩු වූ අතර, සංඛ්‍යාත්මකව එම වසරේ අලාභය රු. බිලියන 74.67ක් විය.
මේ අතර, 2023 වසරේදී එය රු. මිලියන 79.78ක ලාභයක් ලැබීය.
'හොඳ ම දේ තමයි රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායකත්වයට යන එක'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායකත්ව ක්‍රමවේදයකට යාම වඩා සුදුසු බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා යෝජනා කරයි.
"ශ්‍රී ලංකන් එයාර් ලයින් එක එමිරේට්ස්ලා ගාව තියෙද්දි මේක ලාභ ලබපු ආයතනයක්. ලාභ ලබලා රජයට ලාභාංශ ගෙවපු ආයතනයක්. හැබැයි ආණ්ඩුවට පවරා ගත්තට පස්සේ තමයි පාඩු ලැබුවේ. ඒකෙන් ම අපිට පේනවා මෙතන තියෙන්නේ ඒ ආයතනය පිළිබඳ අර්බුදයකට වඩා ඒ ආයතනයේ කළමණාකරණය පිළිබඳ අර්බුදයක් තිබෙන බව. කළමණාකරණය නිවැරදි කර ගත්තොත් ලාභ උපයන්න පුළුවන්. හැබැයි පහුගිය කාලෙ ම දිගින් දිගට ම අලාභ වෙලා, විශාල වශයෙන් ණය වෙලා, තියෙන ගුවන් යානා කල් පැනලා, ඒවත් එක්ක අතිරේක විශාල මුදලක් ආයෝජනය කරන්න වෙනවා ඒක බේර ගන්න නම්. ඉතින් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් අපිට තියෙනවා කියලා හිතන්නේ නැහැ. එතනදි මම හිතන්නේ හොඳ ම දේ තමයි රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායකත්වයට යන එක."
"ගුවන් යානාවක් නොදැකපු පුද්ගලයින් පවා ශ්‍රීලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාමට බදු ගෙවන" බව කී මහාචාර්යවරයා එම ආයතනය පාඩු ලැබීම හරහා එවැනි පිරිසකට අසාධාරණයක් වන බව ද කියා සිටියේ ය.
'ආණ්ඩුවට ලොකු අභියෝගයක්'
ශ්‍රීලංකන් ගුවන් සේවය රජය යටතේ තබා ගැනීම ආණ්ඩුවට ලොකු අභියෝගයක් බවත්, එය ජය ගැනීමට ඉහළ සිට පහළ දක්වා ම එහි ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී බීබීසි සිංහල සේවයට පැවසුවා ය.
"මේක ආණ්ඩුවට ලොකු අභියෝගයක්. හේතුව තමයි මේගොල්ලෝ කලින් චෝදනා කළේ මේක ඇතුළේ තනතුරු හිතවත්කම්වලට දෙනවා කියලා. එතකොට මේගොල්ලන්ට අභියෝගයට මුහුණ දෙන්න නම් අනිවාර්යෙන් ම ශ්‍රීලංකන් ගුවන් සේවය සම්පුර්ණයෙන් ම ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ මැනේජ්මන්ට් එකේ ඉඳන් ගුවන් සේවය තියෙන ග්‍රවුන්ඩ් ෆැසිලිටි එකේ ඔක්කෝම ඉඳන් මේවා ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. මම හිතන්නේ නෑ ඒක ලේසි වැඩක් කියලා. හැබැයි ඒක අභියෝගයක් විදියට අරගෙන කරන්න පුළුවන්."
"රජය යටතට ගන්නවා නම් ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳන් ම හැදෙන්න ඕනේ. අපි ගිහින් චෙකින් වෙන කවුන්ටර් එක තියෙන්නේ, එතන ඉඳන් ම හැදෙන්න ඕනේ. මේවා හොයලා බලලා කරන්න ඕනේ ප්‍රධාන දේවල්," යනුවෙන් ආචාර්යවරිය සඳහන් කළා ය.
'රජය යටතේ තියා ගන්නවා නම් වාසිත් තියෙනවා'
රජය යටතේ ගුවන් සේවයක් පවත්වාගෙන යාමේ වාසිසහගත තත්ත්වය ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී උදාහරණ සහිතව පැහැදිලි කළා ය.
"පෞද්ගලීකරණය කරන්නේ නැතුව රජය යටතේ තියා ගන්නවා නම් හොඳයි. හොඳ ම උදාහරණය තමයි, 2020 වසරේ කොරෝනාත් එක්ක චීනයේ වූහාන්වලට ෆ්ලයිට් එකක් ගියා. ඩිරෙක්ට් ෆ්ලයිට් නැහැ වූහාන්වලට, හැබැයි අපේ රටේ අපිට ම කියලා ගුවන් සේවයක් තිබ්බ නිසා තමයි කිසි ම බයක් නැතුව කෙලින් ම වූහාන්වලට ම ෆ්ලයි කළේ. එතනදි ශ්‍රීලංකන් එකෙන් ගිහිල්ලා අපේ කට්ටියක් මුදාගෙන ආවා මෙහෙට. ඕක පෞද්ගලීකරණය කළොත් ඔය වගේ චාන්ස් නැති වෙනවා. ඒක තමයි වාසියක් පැත්තට තියෙන්නේ. හැබැයි මේක ලාභ ලබන ආයතනයක් බවට අනිවාර්යෙන් පත් කළ යුතු යි. මේගොල්ලන්ට තියෙන ලොකු ම අභියෝගය ඒක."
අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය
ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය නොකිරීමට තීන්දු කළ වත්මන් රජය නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගුවන් සේවයේ කටයුතු කරගෙන යයි. එහි වත්මන් තත්ත්වය පිළිබඳව බීබීසි සිංහල සේවය ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරාගෙන් විමසීමක් කළේ ය.
"අලුතින් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් වුණා. ඉතින් අලුතින් වැඩ කටයුතු කරගෙන යනවා. එතනින් එහාට දෙයක් මට කියන්න අමාරුයි."
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකාරවරයාගේ ප්‍රතිචාරය වූයේ, එය යි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස සරත් ක්ලෙමන්ට් ගනේගොඩ කටයුුතු කරයි.
ඊට අමතරව බුද්ධික හේවාවසම්, පියාසර ලුතිනන් (Flt/Lt) සුගත් රාජපක්ෂ, එරංග රොහාන් පීරිස් ගුණතිලක, ඩිමාල් අරන්දර (මහා භාණ්ඩාගාරයේ නියෝජනය) අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරති.
මේ අතරින්, සභාපති සරත් ගනේගොඩ සහ එරංග රොහාන් පීරිස් ගුණතිලක හේලීස් සමාගමේ අධ්‍යක්ෂවරු වෙති.
රජයේ ප්‍රතිචාරයක් ලබා ගැනීමට ගත් උත්සහය අසාර්ථක යි
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධව රජයේ ප්‍රතිචාරය ලබා ගැනීමට බීබීසි සිංහල දැරූ උත්සහයන් සියල්ල ම අසාර්ථක විය.
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගෙන් මේ පිළිබඳව විමසූ විට ඇය කියා සිටියේ, ඒ පිළිබඳව විස්තර ලබා ගැනීමට වඩාත් සුදුසු කම්කරු ඇමති හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු බව ය.
එහෙත්, දුරකතනය ඔස්සේ ඔහු සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී ගත් උත්සහය අසාර්ථක විය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇමතීමට ගත් උත්සහයන් ද ව්‍යර්ථ විය.














