වසර දෙකකට පෙර සිදුවූ ඔක්. 07 ප්‍රහාරයේදී හමාස් ප්‍රාණ ඇපකරුවෙකු වී ආපසු පැමිණි ෂරාබිට ඇසීමට සිදුවූ 'නරක ම' පුවත

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
- Author, ලුසී මැනිං
- Role, විශේෂ වාර්තාකරු
මීට වසර දෙකකට පෙර ඔක්තෝබර් 7 වන දින ප්‍රහාරයෙන් හමාස් සංවිධානය විසින් බිරිඳ සහ දරුවන් ඝාතනය කරන ලද හිටපු ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවෙකු, මෙම වසර මුලදී නිදහස් කිරීමෙන් පසු "ධනාත්මකව සිතීමට උත්සහ කරන" බව පවසයි.
මීට වසර දෙකකට පෙර ඊශ්‍රායලයට තුවක්කුකරුවන් කඩා වැදී අල්ලා ගන්නා ලද අය අතරින් ඉහළ ම පෙළේ ප්‍රාණ ඇපකරුවන්ගෙන් කෙනෙකු වූ එලි ෂරාබි, දුර්ලභ සම්මුඛ සාකච්ඡාවකදී, තමා නිදහස් වූ පසු තම පවුල මරා දමා ඇති බව දැනගත් මොහොත ගැන මෙනෙහි කළේ ය.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් අවසන් කිරීමේ නවතම සාම සැලැස්ම බිඳ වැටිය හැකි බවට ඔහු කනස්සල්ල පළ කළ අතර, ඊශ්‍රායලය-ගාසා යුද්ධය දිගට ම පැවතීම නිසා ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව පැවසීය.
"ඔවුන්ගේ ජනතාව... සහ මැද පෙරදිග..." වෙනුවෙන් ගිවිසුමට අත්සන් කරන ලෙස ෂරාබි තමාව අල්ලා ගත් හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටියේ ය. "යුද්ධය වැරදි සහ දෙපාර්ශ්වයට ම භයානක කාර්යයක්," යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
ගිවිසුමක් ඇති වනු ඇතැයි "අපි දිගට ම බලාපොරොත්තු තබා ගත යුතු බව," ද ඔහු පැවසීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු එකඟ වූ කරුණු 20කින් යුත් සාම සැලැස්ම මගින්, ඊශ්‍රායලයේ රඳවා සිටින ගාසා වැසියන් සහ පලස්තීන සිරකරුවන් සිය ගණනක් වෙනුවෙන්, සටන් වහා ම නතර කර පැය 72ක් ඇතුළත සියලු ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටී. හමාස් සංවිධානය මේ වන විට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟ වී ඇති නමුත් සියලු කරුණුවලට එකඟ වී නොමැත.
හමාස් සංවිධානය තවමත් ෂරාබිගේ සහෝදරයා වන යොසිගේ දේහය රඳවාගෙන සිටින අතර, එය භූමදානය සඳහා නිවසට ගෙන ඒමට ඔහු දැඩි උත්සහයක් දරයි. ගාසා තීරයේ ගැඹුරු උමං මාර්ගවල ඔහු සමග සිරගත කර සිටි ඔහුගේ මිතුරා වන 24 හැවිරිදි ඇලොන් ඔහෙල් ද එහි සිටී.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ෂරාබි දින 491ක් සිරගත වී සිටි අතර, 2025 පෙබරවාරි මාසයේදී ඔහු නිදහස් වූ දිනයේදී ඔහුගේ බිරිඳ ලියෑන් සහ දියණියන් වන 16 හැවිරිදි නොයියා සහ 13 හැවිරිදි යහෙල්, ඔහුව අල්ලා ගැනීමෙන් පසු වෙඩි තබා ඝාතනය කර ඇති බව ඔහුට දැනගන්නට ලැබිණි.
ඔහු ඊශ්‍රායලයට ආපසු පැමිණි විට ඔහුව පිළිගැනීමට ඔවුන් එහි නොමැති විට, මානසිකව බිඳ වැටුණු ඔහු "සිදුවිය හැකි නරක ම දෙය සිදුව ඇති" බව වටහා ගත්තේ ය. ඔක්තෝබර් 7 වන දින, හමාස් තුවක්කුකරුවන් දේශසීමාව හරහා කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,200ක් පමණ මිය ගිය අතර, තවත් 251 දෙනෙක් ප්‍රාණ ඇපයට ගනු ලැබූහ.
එහි දෙවන සංවත්සරය ළං වන විට, ෂරාබි තමාට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා සහ ඔහුගේ ජීවිතය නැවත ගොඩනගා ගැනීමට ඔහුව පොළඹවන දේ පිළිබඳව බීබීසී සේවය සමග කතා කළේ ය.
මධ්‍යම ඊශ්‍රායලයට හිරු බැස යන විට, 53 හැවිරිදි ෂරාබි සන්සුන් මධ්‍යධරණී මුහුද දෙස බලා සිටී. මේ වසර මුලදී ඔහු කුසගින්න, අපයෝජනය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කරන විට, මුහුදු වාතය ආශ්වාස කරන විට, එම නිදහස දූරස්ථ බවක් ඔහුට දැනිණි.
ඔක්තෝබර් 7 වන දින උදෑසන, ෂරාබි පවුල ගාසා දේශ සීමාව අසල 1,000ක් පමණ සිටින ඊශ්‍රායල ප්‍රජාවක් වන කිබුට්ස් බෙයිරිහි ඔවුන්ගේ ආරක්ෂිත කාමරයේ පැය ගණනක් සැඟවී සිටියහ. කිබුට්ස් බෙයිරිහි පදිංචිකරුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු පමණ එදින මරා දමා හෝ ප්‍රාණ ඇපයට ගෙන තිබිණි.
හමාස් තුවක්කුකරුවන් කඩා වැදී වෙඩි හඬ නැඟෙත් ම, ඔහු සහ එංගලන්තයේ බ්‍රිස්ටල්හි උපත ලැබූ ලියාන් ඔවුන්ගේ දියණියන් ආරක්ෂා කර ගැනීමට උත්සහ කළහ.
ලියෑන්, නොයියා සහ යහෙල් යන සියලු දෙනාට ම බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ඇති බව ඔවුන් තුවක්කුකරුවන්ට පැවසූ නමුත් ඔවුන් ඔහුව නිවසින් එළියට ඇද දැමූ බව ඔහු පවසයි.
"මට තේරුණා ඒ මාව පැහැරගෙන යන මොහොත කියලා. ඒ නිසා මම මගේ ගැහැනු ළමයින් දෙසට හිස හරවා කෑ ගැහුවා, 'මම ආපහු එන්නම්' කියලා. ඒ මම ඔවුන්ව අන්තිමට දැක්ක දවස."
කිබුට්ස්හි හිටපු ව්‍යාපාර කළමනාකරුවෙකු වූ ෂරාබි, තමාව මුලින් ම ගාසා තීරයේ මුස්ලිම් පල්ලියකට ගෙන ගිය ආකාරය විස්තර කළ අතර එහිදී පලස්තීන සිවිල් වැසියන් පිරිසක් ඔහුට පහර දුන් බව පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images
"මගේ ඇස් බැඳලා තිබුණා, නමුත් මට පිරිමින්ගේ සහ ළමයින්ගේ හඬ ඇහුණා. ඔවුන් අත්වලින් මට පහර දෙන්න පටන් ගත්තා. මම බිම ඉන්නකොට ළමයින්ගේ සපත්තු මගේ ඇඟේ වදින්න පටන් ගත්තා."
ඔහු පවසන්නේ, ඔහුගේ මාස 16ක සිරගත කිරීමේ කාලය පුරා ම පාහේ ඔහු බැඳ දමා තිබූ බව ය. පළමුව ඔහුගේ මැණික් කටුව සහ වළලුකර වටා ලණුවලින් බැඳ, පසුව යකඩ දම්වැල්වලින් බැඳ තිබී ඇති අතර වේදනාව කොතරම් දරුණු ද යත් ඔහුට සිහිය නැති විය.
නමුත් ඔහු පවසන්නේ, තමා අල්ලා ගත් අය ඔහුට පහර දී ඉළ ඇට කැඩී ගිය බවට දැන ගැනීමෙන් පසු හුස්ම ගැනීමට අපහසු වූ මාසය තුළ පවා තමා දිවි ගලවා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටි බව ය.
"ඒක භයානය දෙයක්. නිදහස උදුරා ගන්න එක නින්දාවට කරුණක්," ඔහු සිහිපත් කරයි.
"හුස්ම ගන්න, කතා කරන්න, වැසිකිළි යන්න අවසර ගන්න ඕන. කෑම, වතුර, හැම දෙයක් ම ඉල්ලන්න ඕන. නමුත් මම මගේ ගැහැනු ළමයින්ට පොරොන්දු වුණා මම ඔවුන් ළඟට ආපහු එනවා කියලා, ඒගොල්ලෝ ජීවිතේට ආදරෙයි.
"ඉතින් මම කිව්වා, මට මොනවා වුණත් කමක් නැහැ. මම අත් ඇතුව හෝ නැතිව, කකුල් ඇතිව හෝ නැතුව මගේ පවුල හොයාගෙන ආපහු එනවා. මම ඇත්තට ම, ඇත්තට ම විශ්වාස කළා ඒකෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා."
හමාස් සංවිධානයේ උමං මාර්ග ජාලයට තමාව රැගෙන ගිය බවත්, එහිදී ඔහු තවත් ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සමග මාස ගණනක් ආහාර හෝ සනීපාරක්ෂාව නොමැතිව, තදබදයෙන් යුත්, අමානුෂික තත්ත්වයන් යටතේ ගත කළ බවත් ෂරාබි පවසයි.
අවසාන මාස හය තුළ, ඔවුන්ට දිනකට එක් ආහාර වේලක් පමණක් ලබා දුන් බව ඔහු පවසන අතර, ඒ බොහෝවිට පිටා පාන් කෑලි එක හමාරක් පමණි. "කුසගින්න තමයි නරක ම දේ... කාපට් එකේ වැටුණු කෑලිත් කෑවා," ඔහු පවසයි.
බර කිලෝග්‍රෑම් 25කට වඩා අඩු වී, නිදහස් වූ පසු ඔහුගේ දුර්වල හා කෙසඟ තත්ත්වය පිළිබඳව ඡායාරූප ලොව පුරා ජනතාව කම්පනයට පත් විය.
ඔහු නිදහස් වීමට සතියකට පෙර, ඔහුව අල්ලා ගත් අය ඔහුට ඉක්මනින් නිදහස් කරන බව දැනුම් දුන්හ. ප්‍රාණ ඇපයට ගෙන සිටි ඔහුගේ සහෝදරයා ගාසා තීරයේදී මිය ගිය බවත්, බොහෝවිට එය සිදුවූයේ ඊශ්‍රායල් ප්‍රහාරයකින් බවත් ඔවුහු ඔහුට පැවසූහ. නිදහස ළං වන විට, ඔහු ලියෑන්, නොයියා සහ යහෙල් සමග එංගලන්තයේ වෙසෙන සිය බිරිඳගේ ඥාතීන් වෙත යාමට ඔහු සිහින මැව්වේ ය.
ඔහු නිදහස් වූ දිනයේදී, හමාස් සංවිධානය විසින් ඔහුව රූපවාහිනියේ විකාශය කළ උත්සවයක වේදිකාවට ගෙන යන ලද අතර, තුවක්කුකරුවන් පිරිසක් එය වට කරගෙන සිටියේ ය. බලා සිටි පුද්ගලයින් ඒ වන විට ඛේදජනක සත්‍යය දන්නා බව නොදැන තම පවුලේ අය දැකීමට ඔහු එන තෙක් කොතරම් උනන්දුවෙන් බලා සිටියා ද යන්න ගැන කතාබහ කළ බව ඔහු පවසයි.
ඔහුගේ නිදහස ලැබීමෙන් ඇති වූ මුල් ප්‍රීතිය, ඔහු ඊශ්‍රායලයට නැවත පැමිණීමත් සමග විනාශකාරී යථාර්ථයට මග පෑදීය.
"සමාජ සේවිකාව මා ළඟට ඇවිත් කිව්වා: 'ඔයාගේ අම්මයි නංගියි ඔයා එනකම් බලාගෙන ඉන්නවා' කියලා. මම එයාට කිව්වා 'කරුණාකරලා මට ලියෑන්වයි මගේ දුවලාවයි ගෙනත් දෙන්න' කියලා. එතකොට එයා කිව්වා 'ඔයාගේ අම්මයි නංගියි ඔයාට කියයි' කියලා. ඇත්ත වශයෙන් ම, ඔයාට තවදුරටත් කිසිවක් කියන්න අවශ්‍ය නැහැ. මොක ද වුණේ කියලා පැහැදිලි යි, වෙන්න පුළුවන් නරක ම දේ සිද්ධ වුණා."
"මම විනාඩි කිහිපයක් ඇඬුවා, මම මට ම කියා ගත්තා 'මට දවස පුරා ම අඬන්න පුළුවන්, නමුත් ලියෑන්, නොයියා සහ යහෙල්ව ආපහු ගෙන්න ඒක උදව්වක් වෙන්නේ නැහැ. මට මගේ පවුලේ අය මාත් එක්ක ඉන්න ඕනේ' කියලා. ඉතින්, මම සමාජ සේවිකාවට කිව්වා 'එන්න, අපි ගිහින් මගේ අම්මවයි නංගිවයි වැළඳ ගමු' කියලා."

ඡායාරූප මූලාශ්‍රය, Reuters
නිදහස් මිනිසෙකු වශයෙන් වේල්සයේ සිටින තම බිරිඳගේ දෙමව්පියන්ට තම ශෝකය බෙදා ගනිමින් ගත් පළමු දුරකතන ඇමතුම සිහිපත් කරන විට හිටපු ප්‍රාණ ඇපකරුගේ සන්සුන්භාවය බිඳ වැටේ. ඔහු එය "ඉතා හැඟීම්බර" නමුත් "වැදගත්" ඇමතුමක් ලෙස විස්තර කරයි. හමාස් භාරයේ සිටියදී ඔහුගේ පවුලේ අවමංගල්‍ය කටයුතු ඊශ්‍රායලයේ පවත්වා ඇති අතර, ඔවුන්ගේ ඉරණම ගැන ඔහු නොදැන සිටියේ ය.
නිදහස් වීමෙන් පසු ගත වූ මාස කිහිපය තුළ, ෂරාබි කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති අතර, ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ලොව පුරා උද්ඝෝෂණය කර ඇත. ඔහු ඕවල් කාර්යාලයේදී ජනාධිපති ට්‍රම්ප් සමග හමුවකට ද සම්බන්ධ විය. "මේ වැඩේ අවසන් කර අනෙක් සියල්ලන්ට ම නැවත පැමිණීමට උදව් කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා," ඔහු අයැද සිටී.
පෙබරවාරි මාසයේ ප්‍රාණ ඇපකරු ගිවිසුමකින් ඔවුන්ව නිදහස් කර ගැනීම සඳහා ට්‍රම්ප් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව ඔහු විශ්වාස කරන අතර, එය සාමය සඳහා මෑත මාසවලදී ඊශ්‍රායලය සහ හමාස් මත ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අඛණ්ඩ පීඩනය පිළිබිඹු කරයි.
නව සාම සැලැස්ම ක්‍රියාත්මක නොවනු ඇතැයි ඔබ කනස්සල්ලට පත්ව සිටිනවා ද? යන්න බීබීසීය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ෂරාබි මෙසේ පැවසීය: "ඇත්තෙන් ම ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ. දවස් දෙකකට කලින් අපි ඒක ගොඩක් ළඟයි කියලා විශ්වාස කළා, නමුත් අවාසනාවකට ඒක එච්චර ළඟ නැහැ වගේ. සමහර විට මම ගොඩක් දේවල් ගැන දන්නේ නැතුව ඇති, නමුත් මම පුදුම වෙන්න කැමතියි."
මෙම යෝජනාව "ඉතා ශුභ ආරංචියක්" බවත්, "යම් දිනක එකඟතාවක් ඇති වන බවට අපගේ විශ්වාසය ජනතාව නැති කර නොගත යුතු" බවත් ඔහු පැවසීය.
හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ ඊශ්‍රායලය සිය හමුදා මෙහෙයුම පුළුල් කිරීම හේතුවෙන් ඔවුන් තවමත් අත්විඳින භීෂණය කුමක්දැයි ඔහු හොඳින් දන්නා බව ඔහු පවසයි. ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට 66,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
"යුද්ධය දිගට ම පවතින විට එය ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත අවදානමට ලක් කරන බව කවුරුත් දන්නවා. ඒක රහසක් නෙවෙයි. මට නම්, අද, හෙට ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා ම ගන්න ඕනේ නම් මම කරන්නේ ඒක නතර කරන එක... යුද්ධය භයානක යි, මිනිසුන් යුද්ධයෙන් පීඩා විඳිනවා, නමුත් එය ආරම්භ කළේ කවු ද, නරක පුද්ගලයා කවුද සහ හොඳ පුද්ගලයා කවුද යන්න අපට අමතක කරන්න බෑ."
ඔහු තම අත්දැකීම් බෙදා ගැනීමට සහ තමා අත්විඳින දුෂ්කරතා පිළිබඳව ජනතාව දැන ගැනීමට "Hostage" නමින් පොතක් ලියා ඇත. කියවීමට ප්‍රිය කළ ලියෑන් බොහෝ විට ඔහුට ඔහු ප්‍රමාණවත් ලෙස පොත් කියවා නැති බවට පවසමින් සිටි නිසා ඇය ඔහු ගැන ආඩම්බර වනු ඇතැයි ඔහු සිතයි.
ඔහුගේ පවුලේ අය නොමැතිව ජීවත් වීම දුෂ්කර වුව ද, ඔවුන් සිහිපත් කිරීමට අනුස්මරණ දින අවශ්‍ය නොවන බව ඔහු පවසයි.
"යොසී, ලියෑන්, නොයියා සහ යාහෙල් මගේ ජීවිතයේ සෑම දිනක ම, සෑම මොහොතක ම මාත් එක්ක ඉන්නවා. නමුත් ඒවා මගේ ජීවිතයේ කොටසක් මිසක්, ඒ වෙනුවට ආදේශකයක් නොවන බවත් මට විශ්වාස යි."
"මගේ පවුලේ අය සහ මගේ මිතුරන් දින 500ක් මම වෙනුවෙන් සටන් කළාට පස්සේ, දවස පුරා ම ඇඳේ වැතිරී අඬන්නට මට හැකියාවක් නැහැ. එහෙම කරන්න මට බෑ."
ඊශ්‍රායලයේදී, ආගන්තුකයන් ඔහු වෙත පැමිණ ඔහු වීරයෙකු බව පවසයි. ප්‍රාණ ඇපකරුවෙකු ලෙස ගත කළ කාලය, ඔහුගේ පවුල අහිමි වුව ද ජීවත් වීමට ඔහුගේ අධිෂ්ඨානය ශක්තිමත් කර තිබේ.
"ඒක හරි ම අමාරු වුණා, නමුත් මම ඇත්තට ම ජීවිතයට ආදරෙයි... මම ධනාත්මකව ඉන්න උත්සහ කරනවා. මම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා."














